අනේ අපිට . . .

“අපිට යන්න එන්න තැනක් තිබුණේ නැහැ. අපි හිටියේ මහගෙදර. ඒත් අනිත් නෑයෝ නඩුකියලා අපිව ගෙදරින් එළියට දැම්මා. තාත්තට පිළිකා රෝගයක් වැළඳුණා. අම්මට වත්තෙන් ලැබුණු ඉඩමේ අපි ඉටිකොළ අහුරගෙන හිටියේ. ඒත් එහෙම ඉන්න අමාරුයි. තාත්තා මියගියාට පස්සේ අපි හරිම අසරණ වුණා. පස්සේ තමයි අපිට මේ ගේ ලැබුණේ.”

සෙල්වරානි පවසන්නේ දෑසේ නැගි කඳුළු පිසදමමිනි. දහඅට හැවිරිදි සෙල්වරානි අපට හමුවූයේ ඉකුත් දිනෙක කොස්ලන්ද මීරියබැද්දට ගිය ගමනකදීය. උසස් පෙළ කලා විෂය ධාරාවෙන් ඉගෙනුම ලැබූ සෙල්වරානිට මේ වන විට රැකියාවක් නැත. ඇගේ බාල සොයුරා තවමත් කොස්ලන්ද ශ්‍රී ගනේෂ දෙමළ මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන්නේය. ඔහු දාහතර හැවිරිදිය. සෙල්වරානිගේ මව විජයලක්ෂ්මි හැටහත් හැවිරිදිය. ඇය කලක් වත්තේ තේ දළු නෙළුවාය. අසනීපයෙන් පසුවුවද ඇයට තම දියණිය හා පුතුගේ අනාගතය වෙනුවෙන් තවමත් වත්තේ වැඩට යාමට සිදුව ඇත්තේය.

තමන්ටය කියා ඉඩමක් නිවෙසක් නැතිකම නිසා අනේකවිධ දුක්ඛ දෝමනස්සයන්ට මුහුණදීමට සිදුවූ ඔවුන්ට අවසානයේ පිහිටවීමට ඉදිරිපත් වූයේ කොස්ලන්ද පොලිසියය. ඒ කොස්ලන්ද පොලිසියේ ස්ථානාධිපති සුනිල් දයාසිරි මහතාගේ කාරුණික අවධානය යොමුවීමෙනි.

“අපි හරියට දුක් වින්දා. අන්න අර පේන මඩුවේ තමයි අපි දවල්ට හිටියේ. රෑට පල්ලෙහා නැන්දලගෙ ගෙදරට නිදියන්න යනවා. ඒගොල්ලෝ අපේ ඥාතීන් නෙමෙයි. අපිටම කියලා ගෙයක් නැතිකම නිසා අපි හරියට දුක්වින්දා. මිනිස්සු අපිට අපහාස කරන්න ගත්තා. සමහරු කැමති නැහැ අපි ඒ ගොල්ලන්ගේ ගෙවල්වලට යනවට. නමුත් දවසක් පන්සලේ තිබුණ රැස්වීමකදී පොලිසියේ ලොකු මහත්තයා තමයි කියලා තිබුණේ අපට ගෙයක් හදලා දෙනවා කියලා. එදා ඒක ඇහුවම අපිට හරිම සතුටක් දැනුණා.”

සෙල්වරානි සිහිපත් කරන්නීය. ඇය යෞවනියකි. මාස කිහිපයක් ඇය කොළඹ පෞද්ගලික රෝහලක සේවය කළාය. නමුදු අසනීපයෙන් පසුවීම නිසා ඇයට යළි සිය ගමට එන්නට සිදුවූවාය. දැන් ඇය සිටින්නේ නිවසේය.

පියා අහිමිවීමත්, තමන්ටම කියා නිවෙසක් නැතිවීමත් නිසා අසරණභාවයට පත් සෙල්වරානිලා වෙනුවෙන් නිවෙසක් ඉදිකරදීමට ඉදිරිපත් වූයේ කොස්ලන්ද පොලිසියයි.

“පොලිසියට වසර එකසිය පනහක් පිරීම නිමිත්තෙන් අපි කොයිවගේ දෙයක්ද කරන්නේ කියලා හිත හිතා හිටිය මොහොතක තමයි අපිට මොවුන් ගැන ආරංචිය ලැබුණේ. මම මගේ නිලධාරීන් සමඟ සාකච්ඡා කළා මොකද කරන්නේ කියලා. ඔවුන් සියලු දෙනා මේ සද්කාරය සමඟ එක්වීමට කැමති වුණා. ඒ වනවිට මොවුන් හිටියේ කොස්ලන්ද ටවුමේ යන්න එන්න තැනක් නැතිව. අපේ ප්‍රජා පොලිස් කමිටුව ගමේ අය එක්ක මේ ගැන කතා කළා. මහකන්ද ආර්නෝල්ඩ් වත්තට කතාකරලා තමයි අපි මේ ඉඩම ලබාගත්තේ. මේ දරුවන්ගේ අම්මා ඒ වත්තේ සේවය කරන්නේ. අපි කිසිම කෙනකුගෙන් මුදල් ලබාගත්තේ නැහැ. හැමෝගෙන්ම ලබාගත්තේ ද්‍රව්‍ය ආධාර පමණයි. අපේ ආයතනයේ සේවය කරන පොලිස් කොස්තාපල් චමින්ද (40882) තමයි මේ නිවසේ ඉදිකිරීම් කටයුතු සිදුකළේ. ඔහු එය කැපවීමෙන් ඉටුකළා. අපිට බොහෝම ඉක්මණින් මේ අයට ගේ හදා දීමට පුළුවන් වුණා.”

පොලිස් ස්ථානාධිපති සුනිල් දයාසිරි මහතා පවසන්නේය.

සාලයක් සහ කාමරයක් සහිත නිවෙසක් කඩිනමින් ඉදිවිය. නිවෙසට තිබූ අඩුපාඩු බොහෝය. නමුදු කොස්ලන්ද පොලිසියේ ස්ථානාධිපතිතුමා තම දැන හැඳුනුම්කම් මත විවිධ දානපතියන්ගෙන් මේ අසරණ පවුලට බොහෝ දේ ලබාදුන්නේය. නිවෙසක් ලැබීම පිළිබඳ වැඩියෙන්ම සතුටුවන්නේ සෙල්වරානිය.

“මගෙ අම්මා වයසයි. එයාට දැන් වත්තේ වැඩකරන්න යන්න බැහැ. මල්ලි තාම ඉගෙන ගන්නවා. එයාට මාසයකට රුපියල් 500 ශිෂ්‍යත්වයක් ලැබෙනවා. අම්මට සමෘද්ධිය ලැබෙනවා. අපිට ජීවත්වෙන්න එපමණයි තියෙන්නේ. මම අසනීපයෙන් නිසා රැකියාවකට යන්න බැහැ. ගෙයක් නැති නිසා අපි පුදුම විදියට දුක්වින්දා. අපි හරියට මිනිස්සුන්ගෙන් බැනුම් ඇහුවා. අම්මා බයයි රෑට මාව ඉටිරෙදිවලින් ආවරණය වෙච්ච මඩුවේ තියන්න. අපි නිදියන්න ගිය ගෙවල්වල අය අපිව පිළිකුල් කළා. ඉවසනවා ඇරෙන්න අපිට වෙන කරන්න දෙයක් තිබුණේ නැහැ.”

“පොලිසියේ මහත්තුරු අපේ ගේ හදනවා දැක්කම හිතට පුදුම සතුටක් දැනුණේ. මේ ගේ විවෘත කළේ පසුගිය තිස්වැනිදා. ඇත්තම කිව්වොත් අපි පොලිසියේ ලොකු මහත්තයා ඇතුළු හැමෝටම ණය ගැතියි.”

සෙල්වරානි පවසන්නීය.

ගෙදරකට අවශ්‍ය පිඟන්, කෝප්ප ආදියද ඔවුන්ට දැන් යම් පමණකට තිබේ. නමුත් ඔවුන්ට තවත් අඩුපාඩු බොහෝය. ඉදින් කොස්ලන්ද පොලිසිය විසින් කර දුන් සද්කාරයට තව දුරටත් දායකවීමට මාංචු පාඨක ඔබටද පුළුවන.

සෙල්වරානි දෙමළය. කොස්ලන්ද පොලිසිය මෙන්ම ඊට දායකවූවෝ සිංහලය. නමුදු කිසිදු ජාති ආගම් භේදයකින් තොරව සහෝදරත්වයෙන් එකිනෙකාට උදව්කර ගැනිමට තරම් ඔවුහු මානුෂික වූහ.

“දරුවෝ දෙන්නයි මමයි අසරණ වෙලා හිටපු වෙලාවක තමයි අපිට ගේ ලැබෙන්න යන බව ආරංචි වුණේ. දැන් අපේ හිතට සැනසිල්ලක් දැනෙනවා. මම අසනීපයෙන් නිසා දැන් වත්තේ වැඩට යන්න අමාරුයි. මගෙ දුවත් අසනීපයෙන්. නමුත් කොහොමහරි මම මගේ දරුවට උගන්නගන්න ඕන. අනේ අපිට කවුරුහරි පිහිට වෙනවානම්.........”

විජයලක්ෂ්මි පවසන්නේ ඔවුන් දැන් මුහුණ පා ඇති තත්ත්වය පිළිබඳවය.

දැන් ඔවුන්ගේ හිසට සෙවණක් ඇත්තේය. ඔවුහු ඒ ගැන සිතා උපරිම සතුටු වන්නාහ. සෙල්වරානිට මෙන්ම ඇගේ සොයුරාටද හොඳ අනාගතයක් ඇත. ඔහුගේ අරමුණ ඉහළට ඉගෙන ගැනීමය. නමුත් ප්‍රශ්නයකට ඇත්තේ ඔහුගේ වියදම් පියවා ගැනීමට ක්‍රමයක් නැතිකමය.

ඉබාගාතේ යාමට ගිය, හිසට සෙවණක් නැතිව දුක් විඳි මේ යෞවනිය හා ඇගේ පවුලට නිවෙසක් තනා දුන් කොස්ලන්ද පොලිසියේ ස්ථානාධිපතිතුමා ඇතුළු එහි නිලධාරීන් හා ප්‍රදේශවාසීන්ද පැසසිය යුතුය. ඒ මක් නිසාද යතහොත් හිසට සෙවණක් දීම විශාල පුන්‍යකර්මයක් බැවින්ය.