මම මූව . . .

 

කෝටිපති පවුල්වල මව්පියෝ තමන්ගේ දරුවන් ඉගෙන නොගත්තත් තිබෙන බූදලය තවත් පරම්පරා කිහිපයකට ඇතැයි සිතා නිහඬ වෙති. එය යහපත් දෙමවුපියන්ගේ ගුණාංගයක් නොවේ. එහෙත් ඉහළම මට්ටමට අධ්‍යාපනය නැතත් කෝටිපතියන් වූ ව්‍යාපාරිකයෝද බොහෝ වෙති. පාසල් අධ්‍යාපනයෙන් හය හත ශ්‍රේණිවලට වඩා ඉගෙනුමක් නොලැබුවද සමාජයෙන් පාඩම් ඉගෙනගෙන කෝටිපතියන් වූ ව්‍යාපාරිකයන් මෙන්ම උපාධිධරයන්, ඉංජිනේරුවන්, වෛද්‍යවරුන් සිය ගණන් රැකියාකරන ව්‍යාපාර නැතුවා ද නොවේ. එළෙසම කොයි තරම් ඉහළට අධ්‍යාපනය ලැබුවත් උපාධි ලැබුවත් සාමාන්‍ය මිනිසුන්ගේ කපටිකම්වලට අසුවන උගත්තු ද බොහෝ වෙති.

කුරුණෑගල පි‍්‍රයන්ත සහල් තොග වෙළඳාම කරන පනස්අට හැවිරිදි ව්‍යාපාරිකයෙකි. වී මෝල් කිහිපයක් ලොරි රථ දොළහක් හා තවත් වාහන කිහිපයක් හිමි කෝටිපතියෙකි. ඔහුගේ කට ඇදවී ශරීරයේ පැත්තක් අප්‍රාණික වෙමින් පැවතුණි. එය අංශභාග රෝගය යැයි සිතා වෛද්‍ය ප්‍රතිකාර ගත්තත් සුවයක් ලැබෙන ලකුණු නොවීය.

ඊට අමතරව ඔහුගේ නිවෙස තුළින් කිසිවකු උගුර පාදන හඬ, රාත්‍රි කාලයට දොර ජනෙල් අරින හඬ, වහන හඬ, එහා මෙහා ගමන් කරන අඩි සද්ද ඇහෙන්නට විය. උගුර පාදන හඬ මීට වසර කිහිපයකට පෙර මියගිය පියාගේ බව ප්‍රියන්තට වැටහිණ.

පි‍්‍රයන්ත කාලයක් තිස්සේ ව්‍යාපාර දියුණුව සඳහා දේවාශිර්වාද අපේක්ෂාවෙන් දේවාලවල පුදපූජා තබමින් කටයුතු කළ කෙනෙකි. ධන සම්පත් පතා උදේ සවස ලක්ෂ්මි පූජාව පැවැත් වූවෙකි. වාහනයක් මිලදී ගත්තත්, ගමනක් බිමනක් ගියත් දේවාලයේ කපු මහතාගේ උපදෙස් අනුවම සිදුකරන්නට ඔහු වග බලාගත්තේය. සෑම මාසයකම දේවාලයට රුපියල් ලක්ෂයක් දෙකක් වියදම් කළේය. මේ කටයුතු කරගෙන යන අතරතුරදී ඔහුගේ පියා මරණයට පත්විය. පියාගේ මරණයෙන් වසරක් පමණ ගතවන විට පි‍්‍රයන්තට අසනීප තත්ත්වය ඇති විය. එහෙත් ඔහුට සහනයක් ලබා දෙන්නට කපුවාට නොහැකි විය. වෛද්‍ය ප්‍රතිකාරවලින්ද සහනයක් නොලැබිණි.

අවසානයේ “මාංචු” පත්‍රය කියවන ඔහුගේ රියැදුරකුගේ උපදෙසක් මත එම පත්‍රයේ “භූත ආත්මය” විශේෂාංගයේ සඳහන් ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය සොයාගෙන පි‍්‍රයන්ත සිය බිරිය සමඟ ආවේය. එහිදී ආධ්‍යාත්මීය උපදේශකවරයා මුණගැසී තමන් පත්ව ඇති තත්ත්වය පැහැදිලි කළේය. ඇත්තටම පි‍්‍රයන්ත ප්‍රතිකාර මධ්‍යස්ථානයට පැමිණියේද ඇවිද ගන්නට අපහසුව බිරියගේ වාරුවෙනි.

රෝගියා පරීක්ෂා කළ ගවේෂකවරයා ඔහුට භූතාත්මයක බලපෑමක් ඇති බව දැක දින විසි එකක් ගමේ පන්සලේදී බෝධිපූජා පවත්වා නැවත එන්නැයි උපදෙස් දුන්නේය. බෝධිපූජා අවසන් වනවිට පි‍්‍රයන්තගේ තත්ත්වය තවත් ආමරු විය. ඇවිද ගන්නට කොහෙත්ම බැරිවිය. දුරකතනයෙන් ලද ගවේෂකවරයාගේ උපදෙස් අනුව අමාරුවෙන් වුවද බෝධිපූජාවලට ඔහු සහභාගි විය.

බෝධිපූජා අවසන්කොට පි‍්‍රයන්ත බිරියත් සමඟ නැවත පැමිණියේය. එදින පි‍්‍රයන්තට ආවිශ්ට වූ භූතාත්මය කතා කරන්නට විය.

ගවේෂකවරයා භූතාත්මයෙන් ප්‍රශ්න කරන්නට වූයේය.

“කවුද මේ ශරීරයට ඇතුල්වෙලා ඉන්නේ.....?”

ගවේෂකවරයා ඇසීය.

“මම පුංචි බණ්ඩා”

භූතාත්මය පිළිතුරු දුන්නේය.

“කවුද පුංචි බණ්ඩා කියන්නේ.....?”

“මූගේ තාත්තා....”

“ඇයි තාත්තා මේ පුතාට හිරිහැර කරන්නේ....?”

“මම මූව මරන්නේ නෑ පුතා නිසා. ඒ වුණාට මූව එක්තැන් කරලා තියන්න ඕනෑ. මූ කරපු දුෂ්ට පාහර බලු වැඩේට”

“මොකක්ද....? මොකක්ද...? මෙයා කරපු වැරැද්ද...?”

“මහත්තයා, අර දේවාල හොර කපුවා මූව ගොනාට අන්දගෙන. මූගේ නහය විදලා ඌ වැඩ ගන්නවා. මූව රවටාගෙන ලක්ෂ ගණන් කඩා ගන්නවා. ඒ මදිවට මම මැරුණු ගමන් මටත් හිරිහැර කරන්න පටන් ගත්තා.”

“ඇයි මොකද කළේ....?”

“මම මැරිලා හත් දවසෙ පින්කම කරපු ගමන් කපුවා කිව්වා මූට අටවැනි දවසේ ගෙවල් දොරවල් හොඳට ශුද්ධ කරලා ගෙදර ඉන්න භූතයෝ එළවන්න ඕනෑ නැත්තම් ගෙදරටත් ව්‍යාපාරවලටත් තියෙන දේවාශිර්වාද, දේව ශක්ති හීන වෙනවා කියලා.”

“ඉතින්...? ඉතින්....?”

“ඉතින් මුන් කපුවා කියපු විදිහට කළා. විශාල තොවිලයක් කරලා ආරක්ෂා කරලා භූතයන් බැන්දුවා කියලා මුගෙන් ලොකු ගණනක් ඔය හොර කපුවා අරගත්තා.”

“ඉතින් මෙයා මෝඩවෙලා වියදම් කළාම ඔබ තරහගන්නේ මොකටද.......”

“මහත්තයාත් යකාගෙ කතාවක්නෙ කියන්නේ....?”

භූතයා ගවේෂකවරයා කෙරෙහි අමනාපයෙන් මෙන් කීවේය.

“ඇයි එහෙම කියන්නේ....?”

ගවේෂකවරයා ඇසීය.

“ඇයි මහත්තයා මම දෑතේ කරගැට නැගෙනකම් කුඹුරු කොටලා දහදිය වගුරලා හම්බකරලා හදපු හාල් ව්‍යාපාර පටන්ගත්ත මටත්, මගේ ගෙදරට ඇතුල්වෙන එක වළක්වන්න මූ කපුවො ගෙන්නලා වැඩකරපු එක වැරදි නැද්ද....?”

“ඉතින් ඔබ කපුවගෙ බන්ධනයට අහුවුණේ නැද්ද...?”

“මුන් ලැහැස්ති වෙනකොට මම පැනලා ගියා. අනිත් එක කපුවා භූතයන් බන්ධනය කරනවා කියලා කළෙත් බොරු”

එසේ කියමින් භූතයා සිනාසෙන්නට විය. “අනේ මෙහෙම මෝඩයෙක්” භූතයා සිනහසෙමින් කීවේය.

“පි‍්‍රයන්ත ළමා කාළේ ඔබ හොඳට ඉගැන්නුවාද...?”

“මම වියදම් කළා මහත්තයා ඒත් මූ ඉගෙන ගත්තේ නැහැ.”

“ඇයි ඔබ පුතාගෙ අධ්‍යාපන කටයුතුවලට උනන්දු කළේ නැද්ද.....?”

ගවේෂකවරයා ඇසීය.

“මම ඒක ඒ තරම් ගණන් ගත්තේ නැහැ මහත්තයා. මමත් ඔය තරම් බූදලයක් ගොඩ නැගුවෙ මහ ලොකුවට ඉගෙන ගෙන නෙමෙයිනෙ. උපාධි පාස්වෙලා නෙමෙයිනේ. පන්සල ආශ්‍රයෙන් හොඳ නරක ඉගෙන ගත්තා. මූටත් මේ තියෙන දේපළ මදැයි කියලා මමත් වැඩි උනන්දුවක් දැක්වූවේ නෑ. මුන් මගේ හාල් ව්‍යාපාරයටම සම්බන්ධ වුණා. සල්ලි තිබුණ නිසා දියුණු වුණා.”

“මිනිහෙක් වුණාම ලෝකය දිහා විවෘත මනසකින් නුවණින් බලන්න දැනගන්න ඕනෑ. එහෙම නූනොත් හොරුන්ට අහුවෙනවා. පුතාට සිද්ධවෙලා තියෙන්නේ ඒ ටිකමයි. දැන් ඔබ පුතාට සමාව දෙන්න. එයා දේවාලයේ කපුවගෙ කපටිකම්වලට අහුවෙලා මෝඩවැඩ කළාට මීට පස්සේ ඒ වගේ වැඩ කරන එකක් නැහැ. දැන් මෙයාගෙන් පළිගන්න එපා. තව දුරටත් පළිගන්න ගියොත් ඔබටත් පාඩුවක් වේවි.”

“ඒ කොහොමද...?”

“දැන් පුතා අංශභාග රෝගයට ගොදුරු වෙන්නයි යන්නේ. එහෙම වෙන්නේ ඔබ නිසා. ඔබ දුක් මහන්සිවෙලා ගොඩනගපු රාජ්‍යයට එතකොට මොකද වෙන්නේ....?”

“අප්පච්චියේ............”

භූතාත්මය කල්පනා කරන්නට විය.

“ඔබේ රාජ්‍ය බිඳ වැටෙනවා.”

ගවේෂකවරයා නැවත අනතුරු ඇඟවීය.

“ඇත්ත නේන්නම් මහත්තයා. මූ කට්ටඩියට රැවටිලා මගේ ගෙදරට මම එන එක නතර කරන්න හදපු එකට ඇතිවෙච්ච තරහ නිසා හැම දෙයක්ම මට අමතක වුණා. පළිගන්නමයි මට හිතුණේ. වෙන දෙයක් මතකයට ආවෙම නෑ.”

“ඒක තමයි හදිසියේවත් මේ පුතා අසනීපෙන් ආබාධිතයෙක් වුණොත් ඔය ව්‍යාපාර බිඳ වැටේවි. යාන වාහන නැතුව යාවි. පරම්පරාවෙ බලපුළුවන්කාරකම් නැතුව යාවි. ඒ හැම දෙයක්ම සිද්ධවෙන්නේ ඔබ නිසා. ඔබ මේ ප්‍රියන්ත අසනීප කිරීම නිසා. ඔබ මෙයාගෙ ශරීරයෙන් ඉවත්වෙලා යන්න. ඔබ දැන් පේ‍්‍රතයෙක්. පේ‍්‍රතයා කියන්නේ නම්බුකාර ජීවියෙක් නෙමෙයි. ඔය තත්ත්වයෙන් මිදෙන්න ඉහළ තලයකට යන්න කල්පනා කරන්න. ඔය ගෙවල් දොරවල් ව්‍යාපාරවලට වඩා හොඳ දිව්‍ය විමානයක් සහිත දෙවි කෙනෙක් වෙන්න හිතන්න.”

“ඒකට මොනවද කරන්න ඕන මහත්තයා. අනේ මට දෙවියෙක් වෙන්න උදව් කරන්න.”

“දෙවියෙක් වෙන්න පින් ඕනෑ. මම පි‍්‍රයන්තට කියන්නම් සාංඝික දානයක් දී තාත්තට පින් අනුමෝදන් කරන්න කියලා. ඔබ ඒ පින් අරගෙන හොඳ සිද්ධස්ථානයකට ගිහින් පිනට දහමට හිතයොමු කරන්න.”

“හොඳයි මහත්තයා. මම ඒකට කැමතියි.”

භූතයා කීවේය.

උපදේශකවරයාගේ නියමය අනුව නිවෙසට භික්ෂූන් වහන්සේලා වැඩමවා සාංඝික දානයක් පිරිනමා පියාට පින් අනුමෝදන් කරන්නට ප්‍රියන්ත පියවර ගත්තේය. ඒ වනවිට පි‍්‍රයන්තට අනුන්ගේ උදව් නැතුව ඇවිදීමේ හැකියාවද ලැබී තිබුණි. දානයෙන් පසු ඔහු නැවත ගවේශකවරයා හමුවීමට පැමිණියේය.

එදින ඔහුට ආවිශ්ට වූ භූතාත්මය සිනාසෙමින් කතා කළේය.

“මහත්තයා මට සතුටුයි. පුතා හොඳ දානයක් දීලා මට පින් අනුමෝදන් කළා. මම අනුරාධපුරයට යන්න කැමතියි.”

භූතයා කීවේය.

සුදුමල් වට්ටියක් ගෙන්වූ ගවේෂකවරයා භූතාත්මය ඊට සම්බන්ධ කොට අනුරාධපුරයට යැවීය.

අනුන්ගේ උපදෙස් කොයිතරම් ලැබුණත් තමන්ගේ නුවණින් විමසා බලා කටයුතු කළ යුතුය. එසේ නොකළ හැකිනම් කල්‍යාණ මිත්‍රයකුගෙන් හෝ උපදෙස් ගත යුතුය. වැඩි තණ්හාව දුකට හේතුවෙයි.