සේයා . . .

කුලියාපිටිය පොලිස් නිල සුනඛ ඒකකයේ අපරාධ නිල සුනඛයන් දෙදෙනා අතරින් දෙවැනියා “විකී”ය. එහෙත්.... ගැහැනු සතෙකි. ඩොබමන් පිංචර් වර්ගයට අයත් “විකී” මෙරට උපත ලබන්නේ පොලිස් නිල සුනඛ පියකුගේත්, මවකගේත් දරුවකු ලෙසටය. එබැවින්.... ඇයට පොලිස් රාජකාරි පිළිබඳ හැකියාව උපතින්ම උරුමව ඇත.

එතරම් උස මහත සිරුරක් ඇයට නැත. එහෙත් රාජකාරියට දක්ෂය. සැරයන් (49068) සුනිල් මාලිගරත්න “විකී”ගේ භාරකරුය.

2014 වර්ෂයේ සැප්තැම්බර් මස 26 දා මෙලොව එළිය දුටු “විකී”ගේ වයස යන්තම් අවුරුදු දෙකකි. තවමත් කුඩා එකියක බැවින් “විකී”ගේ වැඩිම කැමැත්ත තියෙන්නේ සුනිල් සමඟ සුරතල් වීමටය. එහෙත්.... විවේක වේලාවලදී සුනිල්ගේ සිරුරේ දැවටෙමින් සුරතල් වුවද රාජකාරියකට සූදානම් කළ විටෙක “විකී” වෙතින් දිස් වන්නේ රෞද්‍ර, පෙනුමකි. කඩිසර බවකි.

වර්තමානයේ විකී කුලියාපිටියේ සිටියද 2015 වර්ෂයේ ඇයට මුල්ම පත්වීම ලැබුණේ මීගමුව පොලිස් කොට්ඨාසයටය.

පළමු පත්වීම ලැබූ අවුරුද්දක් පමණ වයසේ පසුවූ “විකී”ට ලැබුණු පළමු රාජකාරිය කුමක්දැයි ඔබ දන්නවාද....? ඒ..... මුළු රටක්ම කම්පාවට පත් කළ සේයා සදෙව්මි බක්මීදෙණිය සෙවීමය.

ඇය.... පදිංචිව සිටියේ කොටදෙණියාව පොලිස් වසමේ බඩල්ගම, අකරංගම, අංක 23/2 දරණ නිවෙසේය. වයස අවුරුදු හතරකුත් මාස එකොළහකි.

ඇය අතුරුදන් වන්නේ 2015 සැප්තැම්බර් මස එකොළොස්වැනිදා රාත්‍රියේදීය. ඒ..... ඇය ඇතුළු පවුලේ සැම නින්දට ගිය පසුවය. ඇය.... අතුරුදන් බව ඇයගේ මවුපියන් දැනගන්නේ ඊට පසුදා එනම් දොළොස්වැනිදා උදේ වරුවේදීය.

නිවෙස පුරාත්.... අවටත් සොයා බැලුවද ඇය හමුනොවූ බැවින් ඇයගේ මව කොටදෙණියාව පොලිසියට ගොස් ඇයගේ අතුරුදන්වීම පිළිබඳ පැමිණිල්ලක් කළාය. පරීක්ෂණ ආරම්භ වන්නේ ඉන් අනතුරුවය.

අපරාධ ස්ථානයට පැමිණෙන මීගමුව අපරාධ නිල සුනඛ “විකී”ට සිය පළමු රාජකාරිය ලෙස පැවරුණේ අහස පොළොව නුහුලන අපරාධක් කළ අපරාධකරු මෙන්ම අතුරුදන් දැරිය සොයාදීම බව “විකී”ට නොවැටහෙන්නට ඇත. එහෙත්.... ඇය.... මාස හයකට ආසන්න කාලයක් ලද පුහුණුවෙන් උපරිම ප්‍රයෝජන ගනිමින් සේයා සෙවීමේ මෙහෙයුමට එක් වූවාය.

සේයා පදිංචිව සිටියේ ඉදිකෙරෙමින් පවතින නිවෙසකය. එබැවින්.... එහි දොර ජනේල සවිකොට අවසන් කර තිබුණේ නැත. සේයා පැහැරගෙන ගිය පුද්ගලයා නිවෙසට ඇතුළුව තිබුණේ කාමරයේ ජනේල තුනෙන් එක් ජනේලයක් ගලවාගෙනය.

අපරාධකරු එලෙස ජනේලයෙන් ඇතුළුව තිබුණේ සේයා නිදා සිටි කාමරයටය. වැඩිහිටි කාන්තාවක උස්සාගෙන යාමට පැමිණිය ද නිදා සිටින සේයා දැරිය දුටු අපරාධකරු ඒ අදහස අතැර දමා සේයා දැරිය ඔසවාගෙන රැගෙන ගොස් තිබිණි.

අතුරුදන් සේයා සේවීමේ පරීක්ෂණ ආරම්භ කළ කොටදෙණියාව පොලිසිය නිල සුනඛයාට ඉව ඇල්ලීමට දීම සඳහා යමක් සෙවීය. ඔවුන්ගේ අවශ්‍යතාව වූයේ සේයා හැඳ සිටි ඇඳුමක් සොයා ගැනීමය. එලෙස.... සේයා ගේ ඉවක් ලබාගත හැකි යමක් සෙවූයේ නිවෙසට ඇතුළු වූ පුද්ගලයා කිසිදු සාක්ෂියක් ඉතිරිකර ගොස් නොතිබුණ බැවිනි.

එදින එනම් දොළොස්වැනිදා උදේ නවයහමාර පමණ වෙද්දී අපරාධ ස්ථානයට ගිය “විකී”ට ඉව ඇල්ලීම සඳහා ලබාදුන්නේ සේයා ඊට පෙර දින හැඳ සිටි බව කී කලිසමකි. රතු, නිල් වර්ණවලින් සමන්විත එම කලිසම ඉව කළ “විකී” නිවෙස පිටුපසට ගොස් ඉවකර ඉදිරිපිටට පැමිණියේය. නිවෙසින් පිටවූ “විකී” ඉදිරිපස පිහිටි නිවෙස් දෙකකට ගොස් නැවතත් ඉව කරන්නට විය.

නිලධාරීන්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ එම නිවැසියන් පවසා සිටියේ සේයා දැරිය බොහෝ විට කෑම ඉල්ලාගෙන සිය නිවෙස්වලට පැමිණෙන බවත් පෙර දිනයේ ද ඇය පැමිණි බවත්ය.

එම නිවෙස්වලින් පිටවූ “විකී” ඊළඟට පාර දිගේ ඉදිරියට ගමන් කරන්නට විය. එලෙස ඉදිරියට ගොස් පිටුපසට වැටී ඇති මාර්ගය දිගේ ඉදිරියට ගමන් කරන්නට විය.

එලෙස මීටර් 200ක් පමණ ඉදිරියට ගිය “විකී”ගේ ගමන නවතා දැමීමට කරුණු කිහිපයක් මුල්විය. ඉන් එක් කරුණක් වූයේ “විකී” ඇතුළු වූ පොල් වත්තේ ඉන් එහා කොටස ඝණ කැලෑවකින් යුක්තවීමය.

එලෙසම.... “විකී”ට ඉන් එහාට ඉවක් ද නොදැනෙන්නට ඇත. ඒ.... එදින රාත්‍රියේ මෙන්ම උදේ වරුවේද ඇදහැළුණු වර්ෂාව නිසාය.

එදා.... “විකී”ට ඉලක්කයට යාමට හැකිවූයේ නැත. “විකී” කුඩා එකියක බැවින් ඇයට මෙම පරීක්ෂණය සාර්ථකව කර ගැනීමට නොහැකි වූ බවට සමහරු මැසිවිලි නඟන්නට වූහ. එහෙත්.... සිරුරින් කුඩා වුවද ලැබූ පුහුණුවේ අඩුවක් නැත. දක්ෂතාවයේ ද අඩු පාඩුවක් නැත. ඉලක්කයට යාමට “විකී”ට නොහැකි වූයේ ඇද හැළුණු වර්ෂාව හේතුවෙන් ඉව සේදීයාම නිසාය. එසේ නොවුණා නම් “විකී”..... අනිවාර්යයෙන්ම නතරවන්නේ සේයා දැරියගේ මළ සිරුර අසලය.