කර්ම ශක්තිය අවසන් වුණාම ඕනෑම කෙනෙක් මැරෙනවා

“ස්වාමිනී, භාග්‍යවතුන් වසන්ස! මේ ලෝකයේ ජීවත් වන මිනිසුන්ගෙන් මරණයෙන් පසු කීයෙන් කීදෙනෙක් සුගතිගාමීවේද...?” එක්තරා භික්ෂුවක් දිනක් බුදුරජාණන් වහන්සේගෙන් එසේ විමසුවේය.

“මේ පෘථිවියේ ඇති සම්පූර්ණ වැලි හා පස් ප්‍රමාණය මිනිස් ගහනය නම් එයින් සුගතිගාමී වන්නේ මෙන්න මේ තරම් ස්වල්පයකි.” නිය මතට පස් ටිකක් ගෙන පෙන්වූ බුදුන් වහන්සේ එසේ වදාළහ.

මෙහිදී සුගතිය යැයි කියන්නේ දිව්‍ය ලෝක සයත් මිනිස් ලෝකයත්ය. එසේ නම් මරණයෙන් පසු ඒසා විශාල පිරිසක් උපදින්නේ සතර අපායේය. කෙනෙකු සුගතියෙහි උපදින්නට නම් මරණාසන්න මොහොතේ ත්‍රිහේතුක කුසලයක් චුති චිත්තයට සිහිපත් විය යුතුය. ලෝභ, ද්වේෂ, මෝහ යන අකුසලයන්ගෙන් තොර අලෝභ, අද්වේෂ, අමෝහයෙන් පරිපූර්ණ කුසලයක් සිහිපත් විය යුතු අතර ඒ කුසලය පිරිසිදුව තිබිය යුතුය.

කුසලයක් කරන්නට පෙර සැලසුම් කරන කාලයේත්, කුසලය කරන අවස්ථාවේත්, කුසලය සිදුකළාට පසු එය මෙනෙහි කරන අවස්ථාවේත් සතුටු වීමෙන් සිත පිරිසිදු වේ. බාහිර සමාජයත් සමඟ කටයුතු කරන සිතට පිනක් දහමක් කරන්නට, දනක් පැනක් දෙන්නට ලැබෙන්නේ නම් එම කුසල් තවත් පිරිසුදු වේ. එවැනි කුසල් සිත් සුගතිය කරා යොමුවන අතර වස්තු සම්පත්, දූ දරුවන්, ආදරය, තරහ මරහ, පළිගැනීම් මරණාසන්නයේ සිහිපත් වුවහොත් කොයි ජගතා වුවද ඊළඟ උපත සිදුවන්නේ දුගතියේමය.

මහරගම ප්‍රදේශයේ පදිංචි වීරසිංහ හතළිස් හැවිරිදි ඉංජිනේරුවෙකි. දෙදරු පියෙකි. මෙයින් වසරකට පමණ පෙර ඔහුගේ බිරිය අසනීපයකින් මිය ගියාය. කාලයා ඇවෑමෙන් වීරසිංහගේ ශරීරය ද අප්‍රාණික විය. රාත්‍රියට නිවස තුළ යමෙකු ගමන් කරන අඩි සද්ද ඇසෙන්නට විය. නිදා ගන්නට ලක ලැහැස්ති වී විදුලි පහන් නිවා ඇඳේ දිග ඇදුණු සැණින් කෙනකු පැමිණ ඇඳේ වාඩිවෙන බව වීරසිංහට දැණුනේය.

මේ තත්ත්වයෙන් මිදෙන්නට වෛද්‍ය ප්‍රතිකාර ගන්නට ගිය විට ඔහුට මානසික ආතතිය යැයි පවසා වෛද්‍ය ප්‍රතිකාර කළත් කිසිදු සුවයක් සහනයක් ලැබුණේ නැත. පිළිවෙත් ශාන්ති කර්ම කළත් එයින්ද සුවයක් නොවීය.

දිනක් වීරසිංහගේ රියැදුරා “මාංචු” පත්‍රයේ පළවන “භූත ආත්මය” විශේෂාංගයේ සඳහන් ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය පිළිබඳ ඔහු දැනුවත් කළේය. ඒ අනුව ඔහු සිය රියැදුරා සමඟ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය සොයා ගියේය. එහිදී ආධ්‍යාත්මීය උපදේශකවරයා මුණගැසී ප්‍රතිකාර පැතීය.

ගවේෂකවරයා ආධ්‍යාත්මීය ශක්ති කිරණ එල්ල කරමින් රෝගියා පරීක්ෂා කරන විට හෙතෙම අඬන්නට වූයේය. දැඩි දුකකින් අඬන්නට වූයෙන් ගවේෂකවරයා වීරසිංහට පියවි සිහිය ලබාදී දින විසි එකක් බෝධිපූජා පවත්වා නැවත එන්නැයි උපදෙස් දුන්නේය.

බෝධිපූජා අවසන්කොට නැවත පැමිණි දිනයේද වීරසිංහ දිෂ්ටි ගැන්වී අඬන්නට වූයේය. ගවේෂකවරයා භූතාත්මයෙන් ප්‍රශ්න කරන්නට විය.

“කවුද මේ අඬන්නේ....?”

“මම මාලනී”

“කවුද මාලනී කියන්නේ....?”

“මේ මගේ මහත්තයා.”

“මොනවා වෙලාද ඔබ මැරුණේ....?”

“ඩෙංගු හැදිලා.”

භූතාත්මය නැවත අඬන්නට විය.

“ඇයි මේ නිතරම අඬන්නේ...?”

“මගේ මහත්තයාවයි දරුවන් දෙන්නවයි දාලා යන්න සිද්ධ වුණු දුකට”

“කෝ ඔබ මැරුණාට මහත්තයවයි දරුවන්වයි දාලා යන්න වුණ දුකට අඬනවා කීවාට දාලා ගිහින් නැහැනේ. ළඟට වෙලා ලෙඩ කරනවානේ”

“මට දාලා යන්න බෑ. මම මේ ගොල්ලන්ට ඒ තරම් ආදරෙයි. මැරෙන වෙලාවෙත් මට මහත්තයාව මතක් වුණා. මම මැරුණොත් මහත්තයා තනිවෙයි කියලා දුක හිතුණා. මැරුණට පස්සෙත් දුක හිතුණා. ඒ නිසා දැන් ළඟට වෙලා ඉන්නවා.”

පේ‍්‍රතිය කීවාය.

“තමන් ස්වාමියාට ආදරේ නම් ලෙඩ නොකර ඉවත්වෙන්න එපැයි.”

ගවේෂකවරයා කීවේය.

“අපි විශ්ව විද්‍යාලයේ ඉන්නකොට ආදරේ කළා. බැන්දට පස්සෙ ඒක අඩු වුණා. දෙවැනි දරුවා ලැබුණට පස්සෙ මම රස්සාවෙන් අස්වුණා. ළමයින්ගෙ වැඩ නිසා ගෙදර නතර වුණා. මහත්තයා රස්සාවට ගියා. මෙයා ගෙදර ඇවිත් කාලා බීලා ආයෙත් කොම්පියුටරේ ළඟ වාඩිවෙනවා මිසක් මං ගැන හොයලා බැලුවේ නෑ. මගේ අඩුපාඩු ඕනෑ එපාකම් හොයලා බැලීම එහෙම්ම නතර වුණා. මට ආදරේ කළේ නෑ. මෙයාට රස්සාව ලොකු වුණා. මම තනිවුණා වගේ දැනුණා. ආදරේ කළේ, විවාහ වුණේ ළමයි හදලා ගෙදර වැඩ කරන්න විතරද කියලා මට හිතුණා. මෙයා කොළඹින් පිට ගියාම දවස් ගණන් ගෙදර එන්නේ නෑ. මට දුක හිතුණා. ඕවා හිත හිත ඉන්නකොට තමයි මම ලෙඩ වෙලා මැරුණේ. දැන් මට මෙයාගෙ ළඟට වෙලා ඉන්න පුළුවන්. මම දැන් ළඟට වෙලා ඉන්නවා.”

“හරි ඔබ ජීවත්ව සිටියදී ඔබට අවශ්‍ය දේවල් මහත්තයා ගෙනැත් දුන්නේ නැද්ද...?

ගවේෂකවරයා ඇසීය.

“ගෙනැත් දුන්නා.”

“කන්න බොන්න”

“ගෙනැත් දුන්නා”

“ඇඳුම් පැළදුම්.....?”

“ගෙනැත් දුන්නා”

“ඉතින් ඔය ඔක්කොම කළේ රස්සාව නිසානෙ. ඉතින් එයා රස්සාවට ආදරය කරන්න එපැයි. මහත්තයා දරුවන්ට ආදරේ කළේ නැද්ද....?”

“දරුවන්ට හරිම ආදරෙයි”

“ඉතින් ඔය හැම දෙයක්ම කළේ ඔබටත් ආදරේ නිසානේ”

“මට ඕනෑ වුණේ ළඟට වෙලා ආදරය කරන්න. ඒකයි මම දැන් ළඟට වෙලා ඉන්නේ......”

“ඔබට මහත්තයා වෙනස්කම් කළාද......?”

“නැහැ. අපි හොඳින් හිටියා”

“බොළඳ ආදරය නිසා දැන් ඔබ පේ‍්‍රතියක් වෙලා. ඔබ මැරෙනකොට ඔබට පහළවුණේ අකුසල් සිතක්. ඒ නිසා ඔබ පේ‍්‍රතියක් වෙලා ඉපදිලා. ඔබ එදා සිටි මාලනී නෙමෙයි දැන්. ඔබ දැන් පේ‍්‍රතියක්”

“ඒ කොහොමද.......?”

“මේ මිනිස් ශරීරය සකස් වී තියෙන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන සතර මහා ධාතූන්ගෙන්. ඒ මහා භූත රූපවලින් සහ වර්ණ, ගන්ධ, රස, ඕජා යන උපාදා රූපවලින්. මේවාට කියන්නේ ශුද්ධාෂ්ඨක. ඉතාම සියුම් රූප. මේවා භෞතිකව දකින්න බැහැ. මේවා ශක්තීන් හා ක්‍රියාවන්. මේවා ක්ෂණයක් පාසා වෙනස් වෙනවා. ඒ නිසා හැමදෙයක්ම අනිත්‍යයි. මනුෂ්‍ය ශරීරයත් එහෙමයි. උපදිනකොට ගෙනා කර්ම ශක්තිය අවසන් වුණාම මැරෙනවා. මාලනීත් ඉපදිලා ජීවත්ව සිට මැරුණා. ඔබ මැරෙන වෙලාවේ පැවතුණ චිත්ත ශක්තිය භෞතික ශරීරයෙන් ඉවත්ව ගියා. චිත්ත ශක්තිය ගියේ නිකම්ම නෙමෙයි. රැස්කර ගන්නා සංස්කාරයන් එක්ක. ඔබ අන්තිමට රැස්කළේ මහත්තයා ගැන ඇලීම, ආදරය. එතැන ලෝභය, රාගය, ආශාව තියෙනවා. ඒ ලෝභ මූලික සිත ඔබට භවයක් සකස් කළා. ඒක පේ‍්‍රත ආත්මයක්. දැන් ඔබ පේ‍්‍රතියක්. ඔය පේ‍්‍රතාත්මයට අවුරුදු ලක්ෂ ගණනක් දුක් විඳින්න වේවි. මේ වීරසිංහ මැරිලා යාවි. ඒ මැරෙන්නෙත් ඔබ නිසා. ඔබ වීරසිංහට සමීපවීම නිසා ඔහු දැන් රෝගියෙක්. වීරසිංහ මළොත් ඔබේ දරු දෙන්නා අනාථවෙනවා. අසරණ වෙනවා.”

ගවේෂකවරයා එලෙස පවසන විට පේ‍්‍රතිය යළිත් අඬන්නට වූවාය.

අනතුරුව වීරසිංහට පියවි සිහිය ලබාදුන් ගවේෂකවරයා තවත් සතියක් බෝධිපූජා පවත්වා දරුවනුත් සමඟ තමා හමුවන්නට නැවත එන්නැයි උපදෙස් දුන්නේය.

සතියක් ඉක්ම ගියපසු වීරසිංහ දරුවන් සමඟ නැවත පැමිණි මොහොතේ ගවේෂකවරයා මාලනීගේ දරු දෙදෙනාට මව දැනට සිටින තත්ත්වයත්, පියාගේ තත්ත්වයත් පැහැදිලිකොට මවට ඇමතිය යුතු ආකාරය ද කියා දුන්නේය. ඊළඟට වීරසිංහ දිෂ්ටි ගන්වා මාලිනීගේ ප්‍රාණකාරිය දරුවන් ඉදිරිපිටට ගෙන්වීය.

“ආ.... මේ ඉන්නේ මගේ පුතයි, දුවයි.”

එසේ කියමින් භූතාත්මය දරු දෙදෙනා සතුටින් වැළඳ ගත්තාය.

“අම්මේ....., අපි අම්මට ආදරෙයි. අපි පින් දෙනවා. ඒ පින් අනුමෝදන් වෙලා ඉහළට යන්න. අපට දැන් ඉන්නේ තාත්තා විතරයි. තාත්තා ලෙඩවෙලා මැරුණොත් අපි දෙන්නා අනාථ වෙනවා. තාත්තා ලෙඩ වුණේ අම්මා නිසා. අම්මා තාත්තා අතහැරලා දිව්‍ය ලෝකයට යන්න”

ගවේෂකවරයා දුන් උපදෙස් අනුව දරුවෝ භූතාත්මය ඉදිරියේ එසේ කියන්නට වූහ. ඇඬිල්ල නතර කළ පේ‍්‍රතිය ගවේෂකවරයා දෙස හැරී මෙසේ විමසුවාය.

“මහත්තයා මම මොනවද දැන් කරන්න ඕනෑ....”

“මේ අය දානයක් දී ඔබට පින් අනුමෝදන් කරාවි. ඒ පින් අරගෙන ඔය ඉන්න පේ‍්‍රතාත්මයෙන් මිදෙන්න අධිෂ්ඨාන කරගන්න.”

ගවේෂකවරයා පේ‍්‍රතිය අමතා කීවේය.

නිවසේ සාංඝික දානයක් පිරිනමා මාලිනීට පින් අනුමෝදන්කොට සති දෙකකින් ඔවුහු නැවත පැමිණියහ. එදිනද වීරසිංහ දිෂ්ටි ගන්වා ගවේෂකවරයා පේ‍්‍රතිය ඇමතීය.

“දැන් ඔබට කොහොමද...?”

“මහත්තයා මට පින් ලැබුණා. කරුණු අවබෝධ වුණා. මම ඉවත්වෙලා යන්න කැමතියි”

පේ‍්‍රතිය කීවාය.

පළතුරු වට්ටියක් ගෙන්වූ ගවේෂකවරයා පේ‍්‍රතිය ඊට සම්බන්ධකොට කැලණියට යැව්වේය.

එදා පටන් ක්‍රම ක්‍රමයෙන් වීරසිංහ සුව අතට හැරිණි.