යසර් අරපත්ට වස කැව්වේ කවුද....?

යසර් අරපත්ට වස කැව්වේ කවුද....?

තම නායකයාගේ හදිසි මරණය ගැන සැක පහළ කරගත් පලස්තීන නායකයෝ ඒ ගැන විමර්ශනය ස්විට්සර්ලන්තයේ අධිකරණ විමර්ශන පොලිසියට බාරදී වහාම පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ලබාදෙන ලෙස ඉල්ලා සිටියහ. අරපත්ගේ මරණය සෙවීමට බාරගත් අධිකරණ විමර්ශන පොලිසිය පිටු එකසිය අටක වාර්තාවක් නිකුත් කරමින් අරපත් මියගොස් ඇත්තේ විකිරණශීලීතාවය අඩංගු (Ralioactive polonium)  පොලෝනියම් 210 ක් ශරීර ගතවීම නිසා යැයි කියා සිටියේය.

කිසියම් පුද්ගලයකු හෝ පුද්ගලයන් කිහිපදෙනකු විසින් ඔහුට වසදී මරාදමා ඇතැයි මෙම වාර්තාව වැඩිදුරටත් කියා සිටියේය. මෙය ස්ථීර වශයෙන්ම මිනීමැරුමක් යැයිද පොලිසිය කීවේය.

තම සැමියාගේ හදිසි මරණය ගැන එකල සිටම සැකයක් ඇතිකරගෙන සිටි අරපත්ගේ බිරිය වන සුභා අරපත් මෙම වාර්තාව නිකුත්වීමත් සමඟ ඔහුගේ මිනිය ගොඩගෙන යළිත් පරීක්ෂණයක් පවත්වන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටියාය.

මේ අනුව අරපත්ගේ මිනිය ගොඩගෙන යළිත් පරීක්ෂණයක් පැවැත්වීමට පලස්තීන බලධාරීහු පියවර ගත්හ.මෙම පරීක්ෂණය බාරකරන ලද්දේ ස්වීස් ජාතික විෂ අධ්‍යයන විද්‍යාව හැදැරූ වෛද්‍ය විශේෂඥයන් පිරිසකටය. පරීක්ෂණය ඇරඹි විශේෂඥයින් අරපත් ජීවත්ව සිටියදී පරිහරණය කරන ලද භාණ්ඩද හිස කෙස්ද, කෙළ ද (දත්බුරුසුවකින් ලබාගන්නා ලදී) යට ඇඳුම්වල ගෑවී තිබුණ මුත්‍රා ද ලේද පරීක්ෂණය සඳහා යොදා ගත්තේය. මෙම ද්‍රව්‍ය පර්යේෂණයට භාජනය කිරීමෙන් පසු පොලෝනියම් නමැති මාරාන්තික විෂ වර්ගය ඒවායේ ගැබ්වී ඇතැයි ස්වීස් පරීක්ෂකයෝද කියා සිටියහ.

මේ අතර සුභා අරපත්ගේ ඉල්ලීමක් අනුව ප්‍රංශ නීතිඥයන් පිරිසක් අරපත්ගේ මරණය පිළිබඳ යළිත් පරීක්ෂණයක් ආරම්භ කළහ. ඔවුන් මුලින්ම කළේ කම්කරුවන් පිරිසක් ලවා අරපත්ගේ කොන්ක්‍රීට් සොහොන්ගැබ හෑරීමය. අරපත්ගේ මිනිය ගොඩගැනීමෙන් පසු පලස්තීනයේ අධිකරණ විමර්ශන නිලධාරියෙක් ඔහුගේ දිරාපත් වී තිබුණ ශරීරයෙන් කොටස් විස්සක් පමණ වැඩිදුර පරීක්ෂණය සඳහා ඉවත්කර ගත්තේය. ඉන්පසු යළි අරපත්ගේ මිනිය මිහිදන් කරන ලදී.

අරපත්ගේ ශරීරයෙන් ඉවත්කර ගන්නා ලද කොටස් පසුව ප්‍රංශ, ස්වීස්, මර්ලන්ත සහ රුසියානු විද්‍යාඥයන් පිරිසක් විසින් පරීක්ෂණයකට භාජනය කරන ලදී

.ඉතා සියුම්ව කරන ලද පරීක්ෂණයේදී අරපත්ගේ ශරීරය තුළට විෂ පොලෝනියම් ඇතුළු වී ඇති බව මෙම විද්‍යාඥයන්ද තහවුරු කර ගත්තේය. ඔහුගේ ඉල ඇට සහ අධෝ කුහරය තුළ පොලෝනියම් සෑහෙන ප්‍රමාණයක් තිබුණු බවද මෙම විද්‍යාඥයෝ පසුව සිය වාර්තාවේ සඳහන් කළහ.

මේ අතර අධිකරණ විමර්ශන විද්‍යාඥයකු වන මහාචාර්ය ඩේවිඩ් බාර්ක්ලේ ප්‍රකාශයක් කරමින් අරපත් මියගොස් ඇත්තේ පොලෝනියම් නමැති විෂ වර්ගය ශරීර ගතවීමෙන් යැයි ස්ථීරවම කියා සිටියේය.

“කිසියම් පිරිසක් විසින් අරපත්ට පොලෝනියම් කවා ඔහු ඝාතනය කර තිබෙනවා. මේ පොලෝනියම් නමැති විෂ රසායනිකය අරපත්ගේ ශරීර ගත කළේ කොහොමද...? යන්න ලොකු ප්‍රශ්නයක්." මහාචාර්ය බාර්ක්ලේ ප්‍රශ්න කර සිටියේය.

“දේශපාලඥයන් කිහිපදෙනකුටම මගේ සැමියා ප්‍රශ්නයක් වී තිබුණා. මේ ඝාතනය සිදුකර ඇත්තේ එම පුද්ගලයන් විසින්. ඝාතකයා සොයාගැනීම මං පොලිසියට බාර කරනවා.”

යසර් අරපත්ගේ බිරිය ඒ අතර කියා සිටියාය.මේ අතර ඊශ්‍රායල් රජය අරපත්ගේ මරණය ගැනත් නිකුත් වී ඇති වාර්තාව ගැනත් ප්‍රකාශයක් කරමින් අරපත්ගේ මරණයට තමන්ගේ කිසිම සම්බන්ධයක් නැතැයි කියා සිටියේය.

අරපත්ගේ මරණය සිදුවී ඇත්තේ පොලෝනියම් විෂ ශරීර ගතවීමෙන් යැයි මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් කළ එරාට පොලිසියද කිවේය. මේ ඝාතකයා කවුරුන්දැයි සොයාගැනීම සඳහා පොලිසිය දිවා රෑ වෙහෙසෙමින් ක්‍රියාත්මක විය. එහෙත් මෙම ඝාතනය සිදුවී මේ වනවිට වසර ගණනාවක් ගතවී ඇතත් පොලිසියට තවමත් අරපත්ගේ මිනීමරුවා අල්ලා ගැනීමට නොහැකි වී ඇත.