මනුස්සකම නැතිව මොනවා තිබුණත් වැඩක් නැහැ

මනුස්සකම නැතිව මොනවා තිබුණත් වැඩක් නැහැ

තෙබුවන පොලිස් වසම ගැන සඳහන් කළහොත්....?

“මගේ වසමේ සිංහල, දෙමළ, මුස්ලිම් ජාති තුනම ජීවත්වෙනවා. ජනගහනය 27,593 යි. ඉන් 21,587 ක්ම සිංහල වැසියන්. දෙමළ 6001 දෙනෙක් ඉන්නවා. මුස්ලිම් ජාතිකයන් පස්දෙනයි. ග්‍රාම නිලධාරී වසම් 18 ක් තියෙනවා. සිංහල, දෙමළ, මුස්ලිම් භේදයක් නැතිව සැමට සමාන සේවයක් පොලිසියෙන් කෙරෙනවා. ”

“ගඟේ වැලිගොඩ දැමීමෙන් හුඟදෙනෙක් ජීවත්වෙනවා. ගල් වළවල්වල වැඩ කරනවා. ගොවිතැන් කරනවා. රබර්, තේ තමයි වැඩි හරියක්ම ඇත්තේ. කුරුඳුත් පොඩ්ඩක් තියෙනවා. වතු තියෙනවා ලැයිම් තියෙනවා. දෙමළ අය ජීවත්වෙන්නේ ලැයිම්වල. කළුතර, පානදුර, බේරුවල පැත්තටම ජලය බෙදාහරින ජල පොම්පාගාරය මගේ වසමේ තමයි තියෙන්නේ.’

ඔබ ද්‍රවිඩ නිලධාරියෙක්. පොලිස් ස්ථානාධිපතිවරයෙක් ලෙස ද්‍රවිඩ නිලධාරියෙක් රාජකාරි කරන පොලිස් ස්ථාන ඉතාමත් අල්පයි. ඔබ සේවය කරන වසමේ වැඩිපුර ඉන්නේ සිංහල ජාතිකයන්. රාජකාරි කිරීමේදී එය බාධාවක් වෙන්නේ නැද්ද....?

“කිසිසේත්ම නැහැ. මම හැම ජාතියටම ගරු කරන නිලධාරියෙක්. ඔබ කිව්වා වගේම එක කාලයක් තිබුණා මුළු ලංකාවෙම ද්‍රවිඩ ජාතික ඕ.අයි.සී. කෙනෙක් හැටියට රාජකාරි කළේ මම විතරයි. අද මම හිතන විදිහට දෙන්නෙක් නැත්තම් තුන්දෙනෙක් ඇති.”

“අපි ඉපදෙනකොට කුඩුකාරයෙක්, මංකොල්ලකාරයෙක්, හොරෙක්වෙලා ඉපදෙන්නේ නැහැ. ඉපදෙන ළමයා නරක මිනිහෙක් ද හොඳ මිනිහෙක් ද කියලා කියන්න බැහැ. ඒ දරුවගේ අම්මා, තාත්තා ඒ දරුවව හදන විදියට තමයි එයා අනාගතයේදී යහපත් දරුවෙක්ද නොමඟ යන කෙනෙක්ද වෙන්නේ. තාත්තා කෙනෙකුට වඩා අම්මා කෙනෙක් අතින් තමයි ඒ ගුණ යහපත්කම වෙන්නේ. හැම අම්මා, තාත්තා කෙනෙක්ම උත්සාහ කරන්නේ තමන්ගේ දරුවා ගුණ යහපත් කෙනෙක් කරන්නයි. ඒක මට මගේ තාත්තා කියලා දීලා තියෙනවා.”

“මගේ තාත්තා කියපු තව දෙයක් තමයි ඔයා කවදාාවත් ඉංජිනේරුවෙක් වෙන්න ඕන නැහැ. දොස්තර කෙනෙක් වෙන්න ඕන නැහැ. ඔයා හොඳ මනුස්සයෙක් වෙන්න. මනුස්සකම ඔයා ළඟ තිබුණොත් තමයි ඔයාට දෙවියෝ හරි ආශිර්වාද කරන්නේ. හොඳ අහන්න ලැබෙන්නේ, සතුටින් ඉන්න පුළුවන් වෙන්නේ.”

“තාත්තා කියලා දුන්න දේ මගේ ජීවිතයට හුඟාක් බලපෑවා. දොස්තර කෙනෙක්, ඉංජිනේරුවෙක්, පොලිස් නිලධාරියෙක්, කෝටිපතියෙක් වුණත් වැඩක් නැහැනේ එයා ළඟ මනුස්සකම නැත්තම්. අන්න ඒ තාත්තා කියපු දේ අදටත් මගේ හිතේ තියෙනවා. ඒක හිතේ තියාගෙන තමයි මම රාජකාරි කරන්නේ. ඒ නිසා මට ජාති, ආගම් භේද නැහැ. කාටත් සාධාරණව රාජකාරි කරනවා.”

ඉදි කෙරුණු නව මාර්ගය

ඔබ ද්‍රවිඩ ජාතික නිලධාරියෙක් වුණත් බුද්ධ ධර්මය ගැන පැහැදිලි කරමින් මිනිසුන්ගේ ප්‍රශ්න,ආරවුල් සමථයකට පත්කරන බව දැනගන්නට ලැබුණා......

“ඒක ඇත්ත. මම ද්‍රවිඩ ජාතික වුණත් බෞද්ධ දර්ශනය ගැන මගේ පැහැදීමක් තියෙනවා. මේ පොලිසියට එන බොහොමයක් අය බෞද්ධ අය. ගහමරාගෙන, පවුල් ආරවුල් ඇතිකරගෙන, ඉඩමකට වැටකට ආරවුල් ඇතිකරගෙන ජන්මාන්තර වෛරක්කාරයෙක් වෙලා පොලිසියට එන අයට මම බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගැන පැහැදිලි කරලා දෙපැත්තේම අයගේ සිත්වලට ධර්මය මෙනෙහි කරලා වෛරයෙන් වෛරය නොසන්සිඳෙන බවත් අපි හැමදාම ජීවත්වෙන්නට ආපු අය නොවන බවත් පහදා දීලා දෙපැත්තම සමඟි කරලා පිටත්කරලා යවනවා. ඔවුන් පොලිසියෙන් පිටව යන්නේ සතුටින්.යහපත් කල්කිරියාවෙන් ජීවත්වීම තුළින් වසම තුළ අපරාධ ඇතිවීම වළක්වා ගැනීමයි මගේ අරමුණ වෙන්නේ.”

“ඒ වගේම තමයි මම ද්‍රවිඩ ජාතිකයෙක් වුණාට හැම පෝයකටම මගේ පොලිසියට ස්වාමීන් වහන්සේ නමක් වැඩම්මලා ධර්ම දේශනයක් පවත්වලා අටපිරිකරක් දෙනවා. එක එක පෝයදාට මගේ පොලිසියේ තියෙන ඒ ඒ අංශවල රාජකාරි කරන නිලධාරීන් ඒ උතුම් කර්තව්‍ය ඉටුකරනවා. ඒකත් මහජනයාට දෙන ආදර්ශයක්. පොලිස් නිලධාරීන්ගේ හිතට සහනයක්.”

ඔබ තෙබුවන පොලිසිය බාරගැනීමෙන් පසු ගමේ වසර ගණනාවක් නොවිසඳුණු ප්‍රශ්නයක් විසදා දීමට ඔබට හැකිවුණාලු

“මම දැනට තෙබුවනට ඇවිත් අවුරුද්දයි මාස තුනයි. මම මේ ගමට ආව හැටියේම දැක්කා එක පාරක් තියෙනවා නෑබඩ වෙල්ලන කැන්දකඩුව පාර කියලා. ඒක අවුරුදු 43 ක්ම හදලා දෙනවා කිව්වට හදලා දීලා නැහැ. හරිම දුෂ්කරතාවයක් තියෙන්නේ පාරේ වාහනයක්වත් යන්න බැහැ කැඩිලා. මේ නිසා කැන්දකඩුව රෝහලට, වෙල්ලන පාසලට, තැපැල්හලට යෑමට හරිම අමාරුයි. පාලම ගිලා බැහැලා. දුවපු එකම බස්එකත් දුවන්නේ නැහැ. පළාත් සභාවට, ප්‍රාදේශීය සභාවට රජයේ නිලධාරීන්ට කොච්චර කිව්වත් පැමිණිලි කලත් ඒක හැදුවේ නැහැ.”

“මම වෙල්ලන කැන්දකඩුව ජනතාව හම්බවෙලා මේ ගැන ඇහැව්වා. මේ පැත්තේ මිනිස්සුන්ට සුපිරි පන්නයේ වාහන නැහැ. තියෙන්නේ බයිසිකලයක් නැත්තම් ට්‍රැක්ටරයක්. හොයලා බලද්දී මට තෙරුණා මේ පැත්තේ තියෙන ගල්වළකට දවසකට ලොරි 50 ක් 60 ක් යනවා එනවා. ඒකෙන් තමයි පාර කැඩෙන්නේ කියලා. මම ඒ ගල්වැඩපළ අයිතිකරුවන් හම්බවෙලා ඒ අයත් එක්ක සාකච්ඡා කරලා කෘෂිකර්මය ආර්.ඩී.ඒ. එක පී.ආර්.ඕ පරිසර, ෂොරස්ට්, පළාත් සභාවත්, ප්‍රාදේශීය ලේකම් එහෙම සම්බන්ධ කරගෙන පෞද්ගලික ව්‍යාපාරිකයන්, ධනපතියන් ගමේ තරුණ පිරිස් සමඟ එක්වෙලා කිලෝමීටර් හතරක් දිග පළාත් සභා මාර්ගය සංවර්ධනය කරලා ගිලා බැහැලා තිබුණු පාලම වෙනුවට අලුතින් පාලමක් ඉදිකරලා පයින්වත් යන්න බැරි කැන්දකඩුව වල්ලන මාර්ගය රුපියල් මිලියන 5 ක් වියදම් කරලා කාපට් කළා. හැබැයි හැමෝම උදව් කළා මේ පාර සංවර්ධනය කරන්න.”

ඒ වගේම ඔබ පරිසර හිතකාමියෙක් විදියටත් ඇතැම් අය හඳුන්වනවා.

"ඒකත් ඇත්ත. මම ඒකට හේතුව කියන්නම්. මට කවදාවත් තාත්තා ගහලා නැහැ. බැනලා නැහැ. දවසක් මිදුලේ තිබුණ කොහොඹ පැලයක් මම කඩනවා තාත්තා දැක්කා. තාත්තා එදා මට පාරක් ගැහැව්වා. ගහලා කිව්වා උඹ කවදාවත් ඒ වගේ වැඩක් කරන්න එපා. ගහක් කියන්නේ දරුවෙක් හා සමානයි. අපි උඹව හදලා ලොකු මහත් වෙනකොට අපි උඹලා දිහා බලාගෙන ඉන්නවා. ලස්සන වෙනවා. ඉගෙන ගන්නවා. ඒ වගේම තමයි පැලයක් හිටවලා ඒකට වතුර පෝර දාලා ඒ පැලේ දළු දාලා ලොකු වෙලා මල් ඇවිල්ලා ගෙඩි පිරිලා දකිනකොට අපිට හරි සතුටුයි. ඒක මගේ හිතට තදින් වැදුණා. එදා ඉඳන් ගස් හිටවනවා හැරෙන්න ගස් කපන්නේ නැහැ. මම රාජකාරි කල හැම පොලිස් වසමකම මම ගස් හිටෙව්වා. මම මිල්ලනිය පොලිසිය බාරව ඉන්නකොට ඒ පොලිසියේ හිටවපු අඹගස්වල ඵලදාව අද ඒ පොලිසියේ ඉන්න රාළහාමිලා භුක්ති විඳිනවා. ඒකට මට සතුටුයි. මම මඩකලපුව කල්අඩි පොලිස් අභ්‍යාස විද්‍යාලයේ ස්ථානාධිපති වෙලා ඉන්නකොට අක්කර 25 කම පළතුරු එළවළු පැල හිටෙව්වා. තාත්තා මට ගහපු දා ඉඳන් මම පරිසරයට ආදරය කළා. ඒ වගේම තෙබුවන පොලිසියට එන කළුතර නෑබඩ පාරේ පැල පන්සියයක් හිටෙව්වා.ඒක සංවිධානය කළේ තෙබුවන ක්‍රීඩා සමාජයේ පිරිස. තාත්තා එදා දුන්න ආදර්ශය මට රාජකාරි කරන හැම වසමකම සෙසු අයටත් බෙදා දුන්නා.”

ඔබගේ ක්‍රීයා කලාපය නිසා ප්‍රදේශයේ අපරාධ වාර්තාවෙන්නේ නැතිව ඇති.......

“අපරාධ වාර්තාවීම අඩුයි. එහෙත් දේපල වාර්තාවීම අඩු වුණාට ශරීරය පිළිබඳ වාර්තාවීමේ පොඩි වැඩිවීමක් තියෙනවා. දැන් 54% ක් ප්‍රතිශතයක් තියෙනවා. පොලිස්පතිතුමාගේ බලාපොරොත්තුව ඊට වඩා වැඩි ප්‍රතිශතයක්. ඒ සඳහා අපි නොයෙකුත් ක්‍රියාමාර්ග අරන් තියෙනවා. බුද්ධි අංශ නිලධාරීන් යොදවලා තොරතුරු ගන්නවා. මාර්ග බාධක හදිසි මුර සංචාර, සෝදිසි කිරීම් කරනවා. බයිසිකල් චෙක්කරනදාට බයිසිකල් චෙක්කරනවා.ඹ ත්‍රීවිලර් චෙක්කරනදාට ත්‍රීවිලර් චෙක්කරනවා. ඊට හේතුව වන්නේ මාල කඩන හොරුන්ගෙන් මහජනයා බේරගන්නයි. තෝරාගත් වාහන සෝදිසි කිරීම නිරන්තරයෙන් කරනවා. ඒ අනුව දේපළ, ශරීරය පිළිබඳ විසඳීමේ ප්‍රතිශතය ඉදිරියේදී වැඩිවෙයි. ඒ හැරෙන්න මිනිස් ඝාතන, මහා පරිමාණ කොල්ලකෑම් මගේ වසමේ නැහැ.”

අනෙක තමයි පොලිසියට එන සුළු පැමිණිලි සඳහා දැඩි අවධානයක් යොමුකරනවා. මිනිහෙක් පොලිසියට එන්නේ තමන්ට වුණු අසාධාරණයක් නැත්නම් දුක් ගැනවිල්ලක් ඉදිරිපත් කරන්න. නිලධාරියා ඊට ඇහුම්කන් දිය යුතුයි. හරිහැටි ඇහුම්කන් නොදී සාධාරණව ඒ පැමිණිල්ල විසඳුවේ නැත්තම් ඒක මිනීමැරුමකින් අවසන් වෙන්න පුළුවන්. ඉඩම් ආරවුල, වැටේ ආරවුල ගහබැන ගැනීම කෙළවර මිනිස් ඝාතන දෙක තුනකින් ඉවරවෙන්න පුළුවන්.” “මම ඔබට උදාහරණයක් කියන්නම්. මම මෙහෙට ආවට පස්සේ ප්‍රාදේශීය මාධ්‍යවේදියක් එයාගේ වැඩක් කරවගන්න මාව මුණගැහෙන්න ආවා. මම ඒ වැඩේ කරලා දුන්නා. ඒ මාධ්‍යවේදීයා මට කිව්වා අවුරුදු 16 ක් තිබුණ ප්‍රශ්නය අද තමයි විසඳුණේ කියලා.”

ඒ වගේම ඔබ තාත්තට හුඟාක් ආදරය කළා.....?

“ඇත්තෙන්ම ඔව්. මගේ අම්මයි තාත්තයි දෙන්නම අද ජීවතුන් අතර නැහැ. අද මම මෙතැන ඉන්නවා නම් ඒ තාත්තගේ හයිය. තාත්තගේ ආදරය සෙනෙහස කරුණාව. මම ඔබට කිව්වේ තාත්තා කිව්වේ නැහැ මට පොලිස් නිලධාරියෙක්, දොස්තර කෙනෙක් වෙන්න කියලා. මට කිව්වේ මනුස්සයෙක් වෙන්න කියලා.”

“අපි ඉපදුණේ මඩකලපුවේ. ජීවත්වුණේ එහේ. මගේ අම්මා සාමන්‍ය ජීවිතයක් ගතකරලා නැතිවුණත් ත්‍රස්තවාදී සංවිධානය මගේ තාත්තව කිහිපවතාවක්ම පැහැරගෙන ගියා. එයාලා තාත්තට කිව්වා මට පොලිසියෙන් අයින්වෙන්න කියන්න කියලා. ඒ ගිය හැම පාරක්ම අපි එයාලට සල්ලි දීලා තාත්තා බේරගත්තා. එකපාරක් ගෙදරටම ඇවිත් තාත්තට හොඳට ගහලා තිබුණා. තාත්තා ඉස්පිරිතාලේ හිටියා අයියා මට කිව්වේ නැහැ. අන්තිමට තාත්තා පැහැරගෙන ගියා. ඒ 2007 දී. අපි හැම තැනම තාත්තව හෙව්වත් හම්බවුණේ නැහැ. එතකොට තමයි යුද්ධය ආවේ. එල්.ටී.ටී.ඊ ය විනාශ වුණා. කඳවුරු විනාශ වුණා. ඒත් තාත්තා හොයාගන්න බැරිවුණා. තාත්තයි, අම්මයි මතක්වෙලා මම තවමත් රෑට හැමදාම අඬනවා.”

පොලිස් නිලධාරීන්ට තියෙන බරපතල චෝදනාවක් තමයි මිල මුදල් ඇතුළු වෙනත් වාසි ප්‍රයෝජන ගන්නවයි කියන එක. ඔබ ඊට එරෙහි නිලධාරියෙක් කියලා දැනගන්නට තියෙනවා.

“අසාධාරණයෙන් හම්බකිරීම කවදාවත්ම හරියන්නේ නැහැ. ඒවා යාදෙන්නේ නැහැ. විනාශ වෙනවා. කොච්චර සල්ලි හම්බකළත් අපි යනකොට ඒවා ගෙනියන්නේ නැහැ. දේපළ මිල මුදල් තිබ්බට වැඩක් නැහැ මනුස්සකම නැත්තම්. වැරදි ක්‍රමයට මුදල් හම්බකරන නිලධාරියා මහජනයා ප්‍රතික්ෂේප කරනවා. එහෙම නැත්තම් ස්වභාව ධර්මය ඔහුට දඬුවම් දෙනවා. නැත්තම් ලෙඩරෝග හැදිලා විනාශ වෙනවා.”