කෝටිපති ව්‍යාපාරිකයා ඝාතනයට බිරිය ඇතුලු හතරක් ඇතුළට

කෝටිපති ව්‍යාපාරිකයා ඝාතනයට බිරිය ඇතුලු හතරක් ඇතුළට

දවස් පඩියට වත්තක කුරුදු තළන්නට ගිය මෙහෙකරුවෙක් ඒ වත්තේ හාම්පුතාගේ බිරියත් සමඟ ඇතිකරගත් බව කියන අනියම් සම්බන්ධයක් අන්තිමේදී මිනීමරුමකින් කෙළවර වීමේ සිද්ධියකට පසු ගිය දා හක්මණ පොලිසියෙන් වාර්තා විය. හක්මණ පොලිස් වැයික්කියට අයිති කෝංගල කන්දේ මුදුනට වන්නට පිහිටි නිවෙසකදී මිනීමැරුමකින් කෙළවර වූ ඒ සිද්ධියෙන් මියගියේ කෝටිපතියකු වූ කළු අයියාය.

තොග වශයෙන් මාළු විකිණීමේ නිරතව සිට මියගිය පුද්ගලයාව මාතර අවට හුඟදෙනකු හඳුනාගෙන සිටියේ කළු අයියායි කීවිටය. එහෙත් ඔහුගේ නියම නම පල්ලියගුරුගේ සේපාලය. පනස් හැවිරිදි ඔහු තිදරු පියෙකි.

කලෙක පටන් කළු අයියා සහ ඔහුගේ හතළිස් හත් හැවිරිදි බිරිය අතර අමනාපකම් අඩදබර සහ අවුල් වියවුල් තිබී ඇත. ඒ හේතුවෙන්දෝ තම රූමත් බිරිය ඒ වත්තේම කුරුඳු තැලූ තිස්හත් හැවිරිදි විවාහකයකු සමඟ අනියම් සම්බන්ධයක් පවත්වන බවට කළු අයියා සැකකොට තිබේ. එහෙත් ඒ සම්බන්ධව සැකකටයුතු කිසිමදෙයක් කළු අයියා අතට හසු වූයේ නැත. නමුත් පසුගිය විසිදෙවැනිදාට දින දෙකතුනකට කලින් කළු අයියා දැඩි තීරණයක් ගත්තේය. ඒ බිරිය අනියම් සම්බන්ධයක් පවත්වන බවට සැකකළ පුද්ගලයා පමණක් නොව ඔහු සමඟ එකට වැඩකළ කණ්ඩායමම රැකියාවලින් අයින්්කොට කුරුදු වත්තෙන් ඉවත් කිරීමය.

ඊට දින දෙකකට පමණ පසුව 23 වැනිදා අලුයම හක්මණ පොලිසියට කළු අයියාගේ බිරියගෙන් ඇමතුමක් ලැබිණ.

“අනේ සර්, කවුද දෙන්නෙක් අපේ ගෙදරට ඇවිත් මහත්තයට කතාකළා. මහත්තයා ගිහින් දොර ඇරියා. ඊට ටික වෙලාවකට පස්සේ මහත්තයා බුදු අම්මෝ, කියලා කෑගහනවා ඇහුණා. ඒ වෙලාවේ ගෙදර ලයිට් තිබුණෙත් නැහැ. මං කුස්සියට ගිහින් එළියක් හොයාගෙන ඇවිත් බලද්දී මහත්තයට ගහපු ඒ දෙන්න ආයෙත් ඇවිත් ඇඳේ නිදාගෙන හිටිය මහත්තයට ඇසිඩ් ගහලා සර්.... අපිටත් බයයි සර් අනේ සර් ඉක්මණට එන්නකෝ....”

මේ අන්දමට කළ පැමිණිල්ලට අනුව හක්මණ පොලිස් ස්ථානාධිපති සහ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ඇතුළු පිරිස කෝන්ගල කඳු මුදුනේ වූ කළු අයියාගේ නිවෙසට ගියහ. ඒ වනවිටත් හිසට වැදුණු පොලු පහර සහ කැති පහර සමඟ ඇසිඩ්වලින් දමා ගැසීමෙන් ඇතිවූ දැඩි පිළිස්සුම් තුවාල ද ඇතිව කළු අයියා නිදි ඇඳේම අවසන් ගමන් ගොස් සිටියේය.

අනතුරුව මහේස්ත්‍රාත්වරයාගේ සහ මාතර අපරාධ ස්ථාන පරීක්ෂණාගාරයේ නිලධාරීන්ගේ සෝදිසි කිරීම්වලින් පසුව මිනිය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මාතර මහ රෝහලට රැගෙන යන ලදී. මරණ පරීක්ෂණ වාර්තා ආදිය පරීක්ෂා කළ පොලිසියට මුලින්ම හෙළිදරව් කරගත හැකිවන්නේ කළු අයියාගේ බිරිය පොලිසියට පැමිණිලි කිරීමට කලින් ඒ නිවසේ යමක් සිදුව තිබෙන බවය.

කළු අයියා සැලකිය යුතු වේලාවක තුවාල සහිතව පණ ඇද ඇති බවක් පෙනෙන්නට තිබිණ. එහෙත් ඒ වනවිට බිරිය සහ ඒමොහොතේ නිවසේ සිටි බව කියන කළු අයියාගේ මෙන්ම ඔහුගේ බිරියගේද මිතුරියක බව කියන ඇඹිලිපිටියේ පදිංචිකාර කාන්තාව හෝ කළු අයියාගේ බිරිය හෝ තුවාලකරු රෝහල්ගත නොකිරීම ගැනත් පොලිසිය සැක ඇති කර ගෙන තිබිණි.

මිනීමැරුම සිදුවූ දිනට ආසන්නම දිනෙක කුරුදු තැලූ පිරිස වත්තෙන් එළවා දැමූ කළු අයියා සහ බිරිය අතර නිරන්තරයෙන් තිබූ නොහොද නෝක්කාඩුකම් නිසා පොලිසියට කළු අයියාගේම බිරිය පිළිබඳ එතරම් පැහැදීමක් තිබුණේ නැත. එවේලේ නිවසේ නිදාසිටි බව කියන කළු අයියාගේ පාසල් වියේ පසුවන දරුවන්ගෙන් ලද ප්‍රකාශ අනුව පොලිසියේ සැකය මරණකරුගේ බිරිය පැත්තට වැඩිපුර නැඹුරුවිණි. ඒ අනුව අපරාධය සිදුවූ දවසේ සහ ඊට ආසන්න දිනවල ඇයගේ ජංගම දුරකථනයට ලද ඇමතුම් පිළිබඳ පොලිසිය වැඩිදුර සෝදිසි කරන්නට විය. එවිට හඳුනාගත් සැකකටයුතු ඇමතුම් අංක ඔස්සේ කළ සෝදිසි කිරීම්වලදී එක්තරා දුරකථන අංකයක් පිළිබඳ පොලිසියේ අවධානය යොමුවිය.

එම අංකය හිමි තැනැත්තා අපරාධය සිදුවීමට දින කිහිපයකට කලින් කළු අයියා කුරුඳු වත්තෙන් ඉවත්කර වූ පිරිස අතර සිටින 37 හැවිරිදි මීටියාගොඩ පොලිස් වැයික්කියේ පදිංචිකරුවකු බව පොලිසිය හඳුනාගත්තේ ඉන් පසුවය. ඔහු සහ බිරිය අතර අනියම් සම්බන්ධයක් ඇතැයි යන සැකය කළු අයියාටත් ඇතිව තිබූ බවක් එවිට හෙළිවිය. ඒ අනුව හක්මණ පොලිසියේ කණ්ඩායමක් මීටියාගොඩට කහවට ගොස් සැකකරුව අත්අඩංගුවට ගත්තේ සැකපිට ප්‍රශ්න කිරීමටය. එහිදි ඔහුගේ සිරුරේ තැනින් තැන පිලිස්සුණු බවට සැකකළ හැකි තුවාල ඇතිබව පොලිසියට දිස්විය.

“අපිට ඇත්ත කියනවා. කොහොමද තමුන්ගේ ඇඟ පිච්චුණේ”

තත්බීරිවී සිටි සැකකරු කළ අපරාධය පිළිබඳ පාපොච්චාරණයක් සිදුකරන විටත් සැමියා ඝාතනයට කුමන්ත්‍රණය කළාට සහ පොලිසියට සත්‍ය තොරතුරු වසන් කරමින් ස්වාමිපුරුෂයා ඝාතනයට අනුබල දීම ආදි කාරණා යටතේ කළු අයියාගේ බිරිය සහ ඇයත් සමඟ එකට සිටි කාන්තාව යන දෙදෙනාම පොලිසිය අත්අඩංගුවට ගෙන සිටියේය.

බිරියව පොලිසිය අත්අඩංගුවට ගෙන සිටියදී දරුවන් ඇතුළු පවුලේ ඥාතීන් කෝංගල කන්දේ නිවසේදී කළු අයියාගේ අවසන් කටයුතු සූදානම් කළහ. ඒ කටයුතු සිදුකරන්නට නියමිතව තිබුණේ පසුගිය 25 වැනිදා සවසය. ඊට කලින් 24 වැනිදා කළු අයියාට පොලු සහ කැති පහරදී ඇසිඩ් ගැසූ ප්‍රධාන සැකකරු සහ ඔහුට සහාය වූ බව කියන අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි විවාහක තරුණයාවද පොලිසිය අත්අඩංගුවට ගත්තේය.

“මං අවුරුදු 15 ක විතර ඉඳන් ඒ වත්තේ වැඩකරනවා. වරින් වර එහේ යද්දී එද්දී වත්තේ නෝනා මගෙත් එක්ක හිතවත් වුණා. මහත්තයාගෙන් හරි කරදරයි කියලා නෝනා නිතර නිතර මට කිව්වා. පසුගියදාක වත්තේ වැඩකළ මාවත් කට්ටියක් මහත්තයා වත්තෙන් අස්කළා. එතකොට නෝනා කිව්වා මහත්තයාගෙන් එන්න එන්න කරදර නිසා මොනවහරි කරන්න ඕන කියලා. මහත්තයාට ගහලා එක්තැන් කරන්න හිතාගෙනයි අපි දෙන්නා එදා රෑ ත්‍රිවිලර් එකකින් කෝංගලට ගියේ. ඊට පස්සේ වැඩේ කරලා පාන්දරම අපි අම්බලන්ගොඩ ආවා.”

සැකකරුවන්ගේ පාපොච්චාරණය එවැන්නකි.

සැකකරුවන්ගේම ප්‍රකාශ මත පහරදීමට යොදාගත් කැත්තක්, පොලු සහ ඇසිඩ් ප්‍රහාරයට යොදාගත් බවට සැකකරන භාජන ආදියද කළු අයියාගේ වත්තේම සඟවා තිබියදී පොලිසිය සොයාගෙන ඇත.

මාතර බාර පොලිස් අධිකාරී ජී.එච්. මාරපන ගේ අධීක්ෂණය යටතේ හක්මණ බාර සහකාර පොලිස් අධිකාරි බුද්ධික විජේසේකරගේ උපදෙස් මත හක්මණ පොලිසියේ ස්ථානාධිපති චන්දන විජේසේකර සහ පොලිස් පරීක්ෂක වෙත්තසිංහ ප්‍රමුඛ අපරාධ අංශයේ ස්ථානාධිපති පේ‍්‍රමතිලක උප පොලිස් පරීක්ෂක විජේසේකර ද සමඟ කොස්තාපල්වරු වන (86389) අනුරසිරි, (72917) වසන්ත, (40642) හේමාල්, (86387) රත්නපි‍්‍රය, (81576) නිරෝෂන්, (82686) පි‍්‍රයංකර ආදීහු මේ පිළිබඳ වැඩිදුර විමර්ශනවලට එක්ව සිටියහ.

පොලිස් විමර්ශන අනුව ලිපිය සකස් කෙරිණි.