"බූරු" ගැහුවාට දුන්නු දඬුවම

"බූරු" ගැහුවාට දුන්නු දඬුවම

සොමි නෝනලා, බබි අක්කලා, රතු ඩොටීලා, එළැඹෙන නත්තල් ප්‍රීතිය සමරන්නට පවත්වාගෙන ගිය “බූරු” පොලකට පසු ගියදා කොච්චිකඩේ පොලීසිය කඩා පැන්නේය. පොලීසිය දකිද්දී මේ අයට තරු විසි වී තිබුණි. ඒ හොරා කරගෙන ආ වැඩේ පොලීසිය කොහොම දැන ගත්තේද යන්න සැකය නිසාය.

සොමි නෝනලා, බබී අක්කලා, රතු ඩොටීලා තවත් පිරිමින් සමඟ කරට කර “බේබි කැපුවේ” මෝලවත්තේ අයිරාගේ බූරු පිටියේ දීය. සිරුරේ තැන් තැන්වල සඟවා ගෙන ආ මුදල් නෝට්ටු ඒ මේ අත තබමින් ඔට්ටු ඇල්ලූ ඔවූහු පොලීසිය එතැනට කඩා පනින බව හීනෙකින් හෝ නොසිතූහ.

අයිරා දරු මුනුබුරන් ද සිටින කාන්තාවක් වුවත් කෙල්ලක මෙන් සල්ලි ඔට්ටුවට බූරු ගස්සවන්නට හපනියකි. අයිරාගේ බූරු තිප්පල පිළිබඳ වටින් ගොඩින් ආරංචි තිබුණත් පිරිමින් සමග ගැහැණුන්ද හරි හරියට සුදු කෙලින අයිරාගේ බූරු තිප්පල වැටලීම කොච්චිකඩේ පොලීසියටත් ලෙහෙසි පහසු දෙයක් නොවීය. ඒ අයිරාද කපටි ගැහැණියක වූ නිසාය.

අයිරා බූරු පොල පටන් ගත්තේ එකම වේලාවක නොවේ. දිනක් දහවලේදී වැඩ අල්ලන අයිරා තවත් දවසක ගෑනු පිරිමි එකතු කරගෙන බූරු ගසන්නට සවස් යාමය තෝරා ගනී. වේලාව පමණක් නොව අයිරාගේ බූරු පොලට නිශ්චිත තැනක් ද නොවීය. ඒ නිසා මේ සූදු පොල වැටලීමට දින ගණන් ඔත්තු බලමින් කල් ගෙවන්නට පොලීසියට සිදු විය.

“සර් අදනම් බඩු ෂුවර්. අද ගෑනි බූරු පැදුර එලලමයි තියෙන්නේ. ඒක බැලූ බැල්මට හොයන්න බැහැ. අයිරාගේ ළමයිනුයි ළමයින්ගෙ ළමයිනුයි සේරම ගෙදර ඉන්නවා. ඒ හැමෝම කෑ කෝ ගගහා ඉන්න අතරේ තමයි අයිරා බූරු පිටිය ගෙයි කාමරේක දාලා තියෙන්නේ. දැන්ම ආවොත් බඩුත් එක්ක අල්ල ගන්න පුළුවන්.”

කොච්චිකඩේ පොලීසියට පසුගිය 29 වැනිදා සවස ලැබුණු එම තොරතුරට අනූව වැටලීම දියත් කළේ දූෂණ මර්ධන අංශය මගිනි. ඒ අනූව එහි ස්ථානාධිපති ගයාන් සමීර ඇතුළු නිලධාරීන් කොච්චිකඩේ පොලිස් වැයික්කියේ උතුරු වැලිහේනේ පිහිටි අයිරාගේ නිවසට ගියේ සිවිල් ඇඳුම් වලින් සැරසී ගෙන කාටත් සැක නොසිතන ලෙසිනි. බූරු පොල පවත්වාගෙන ගිය කාමරයට පොලීසිය කඩා වදින තෙක්ම වැඩ වැරදුනු බව අයිරාට තියා එතැන කාටත් නොවැටහිණි.

“අනේ අපි දන්නේ නෑ සර්” කියන්න වත් කාටත් ඉඩක් නොලැබුණේ බඩුත් එක්කම කට්ටියම අතටම කොටුවුණු නිසාය. කට්ටියට අමතරව ලන්සු තැබූ මුදල් නෝට්ටු කාඩ් කූට්ටම සහ ක්‍රීඩාවේ යෙදෙන්නට බිම එලා තිබූ ඇතිරිලි ආදියද පොලීසිය සිය භාරයට ගත්තේය.

“අනේ සර්. මේ අයිරලා, ඩොටීලා,බබියලා,සොමි නෝනලා, අහිංසකයි. ඒ නංගිලා කව්රුත් අරන් යන්න එපා සර්. මේ අපි ඉන්නේ අපි වරද පිළිගන්නම් සර්. අනේ ගෑනුන්ව දාලා අපිව ගෙනියන්න සර්.”

කේඬෑරි පිරිමි දෙතුන් දෙනෙකු පොලීසිය ඉදිරියේ පිණ්සේන්ඩු වූහ. එහෙත් අයිරාගේ කැරැට්ටුව දැන සිටි කොච්චිකඩේ පොලීසියේ නිලධාරීන් පිරිමින් සමග අයිරා ඇතුළු ගැහැණු තිදෙනාත් අත්තඩංගුවට ගත්තේය.

සූදු කෙළින්නට යොදාගත් සල්ලිවලට අමතරව පසුම්බිවල සහ අත්බෑග් වල තිබූ මුදල් ගැන විමසද්දී සැකකාරියෝ හැඬූ කඳුළින් පොලීසියට නොයෙකුත් නානාප්‍රකාර කතන්දර කියන්නට වූහ. ඒවා ගෙවල් කුලී ගෙවන්නට දරුවන් ට පොත්පත් අරන් දෙන්නට, ජල සහ විදුලි බිල්පත් ගෙවන්නට තිබෙන මුදල් බව ඔවුහුට කීහ.

අයිරාගේ බූරු පොලේදී කොටුවූ කාන්තාවන් වයස අවුරුදු 30ත් 50ත් අතර වයස් වල පසුවූ අතර ඔවුන් සියල්ලෝම දරු මල්ලන් සිටින්නවුන්ය. පිරිමින් ද එසේය.

බබී බිලිඳු දරුවන් දෙදෙනෙකුගේ මවකි. දරු දෙදෙනා තනිවම නිවසේ දමා ආ බව ඇයට සිහිවූයේ දෑතට මාංචු වැටෙද්දීය.

කොච්චිකඩේ පොලීසියට ගෙනා කාන්තාවන්ට ඇප දෙන්නට ආවේ එයාලගේම ස්වාමිපුරුෂයන් වීම විශේෂත්වයක් ගෙන දුන්නේය. ඔවුන්ද විටින් විට බූරු පොලවල්වලදී පොලීසියට කොටුවූ පුද්ගලයෝ ය. වෙනත් රස්සාවක් නොකරන බූරුවා ගැසීම වැනි සූදුවෙන්ම ජීවත් වන සැමියන් ද අතර විය. සමහර පවුල් වල බිරිය හා සැමියා දෙදෙනාම සූදුවෙන් ජීවත් වන්නන් බව පොලීසිය හඳුනාගෙන සිටියේය.කාන්තාවන් සිව් දෙනාගෙන් තිදෙනෙකුටම ඇප ලබා දුන්නත් ඩොටී නමැති සැකකාරියට ඇප දීමට පොලීසි ඒමට ඇයගේ සැමියා අකමැති විය. බූරුපොල භාරව කටයුතු කළ අයිරාටත් ඇප දුන්නේ ඇගේ පුතෙකුය. එහෙත් ඩොටීට ඇප දෙන්නට කවුරුත් නොවීය. ඒ නිසා ඇයට කූඩුවේ කූරු ගණිමින් සිටින්නට වූවාය.

සොමි නෝනාට ඇප දීමට යද්දී පොලීසිය තවත් කාරණාවක් අනාවරණය කර ගත්තේය.කොල්ලෙකු සමඟ පැන යාම නිසා අධිකරණය විසින් පරිවාස භාරයේ රඳවා තැබූ සිය දියණියගේ දුක සැප බලා එන අතරතුර සොමි නෝනා අයිරාගේ බූරු තිප්පොලට ගොඩ වැදී තිබිණි. ඇය පොලීසියට කොටු වූයේ ඒ අතරය.

“සර්. මං මේ වැලිහේනේ කෙනෙක් කතා කරන්නේ. බූරු ගහලා අහුවෙච්ච කෙනෙකුට ඇප දෙන්න එයාගේ පවුලේ කෙනෙක් නැතිව වෙනත් කෙනෙකුට ඇප දෙන්න පුළුවන්ද සර්”

ගමක් නමක් හෙළි නොකළ එම පුද්ගලයා පොලීසියෙන් විමසා සිටියේය.

”ඔව් පුළුවන්”

පොලීසිය පිළිතුරු දුන්නේය. ටික වේලාවක් ගත වන විට කොච්චිකඩේ පොලීසියට පැමිණි එම පුද්ගලයා පොලීසියේ හුඟ දෙනෙකුට අමුත්තෙකු නොවීය. ඒ ඔහු කොච්චිකඩේ බූරු කප්පිත්තෙකු විදියට නම ගිය කෙනෙකු වූ නිසාය. අන්තිමේදී සැමියාත් ඇප දීමට ඉදිරිපත් නොවූ ඩොටීට ඇප දුන්නේ ඒ තැනැත්තාය.

මේ සූදු පිටියට අදාල නඩුව පසුගිය පළමුවැනිදා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයයේදී කැඳවිණි. චූදිත කාන්තාවන් සිව් දෙනා සහ පිරිමි තිදෙනා වරද පිළිගත්හ. ඒ අනූව බූරු පොල පවත්වාගෙන ගිය අයිරාට පැය සියයක කාලයක් ප්‍රජා සේවයේ නිරත වන්නට නියම කළ මීගමුව මහේස්ත්‍රාත්වරයා අනෙක් සැකකාරියන් තිදෙනාට සහ සැකකරුවන්ට පැය පනහ බැගින් ප්‍රජා සේවයේ නිරත යුතු බවට නියෝග කළේය. ඒ අනූව ඔවූහු ප්‍ර‍්‍රජා සේවයේ නිරත වූහ. මීගමුව භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියලාල් දසනායක මහතාගේ උපදෙස් මත කොච්චිකඩේ පොලීසියේ වැඩ බලන ස්ථානාධිපති මව්සම් ප්‍රමුඛ කොච්චිකඩේ පොලීසියේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති ගයාන් සමීර සහ කොස්තාපල්වරුන් වන (81500) සඳරුවන්, (77186) දොඩන්වල, (15808) සේනාරත්න, ආදීහු මේ පිළිබඳ විමර්ශනවලට එක්ව සිටියහ.

(සැකකාරියන්ගේ නම් මන:කල්පිතයි.)