"මැරෙන වෙලාවේ මගේ හිත නරක්වුණා"

"මැරෙන වෙලාවේ මගේ හිත නරක්වුණා"

අනුන්ගෙන් ණය ගත යුත්තේ එය ආපසු ගෙවන්නට හැකියාවක් හා පදනමක් ඇත්නම් පමණි. අත්‍යවශ්‍ය නොවන කාරණාවලට අනුන්ගෙන් ණය ලබාගෙන ණය ගැත්තෙක් වනවාට වඩා සරල ජීවිතයක් ගෙවමින් ලද දෙයින් සතුටුවීමට කටයුතු කිරීම මෙලොව පරලොව දෙකටම ගුණදායකය. සීමාව ඉක්මවා අනුන්ට වඩා ඉහළින් වැජඹෙන්නට සිතා බැරිවැඩ කරන්නට ගොස් ණය තුරුස් වී තමන් ජීවත් වූ ගේ දොර පවා අහිමි කරගෙන පස්ස බිම ඇනී මහමඟට වැටුණු අය එමටය.

එසේම අනුන්ට පොරොන්දු දී බලාපොරොත්තු ඇති කිරීමද එතරම් යහපත් නොවේ. ඒ පොරොන්දු ඉටුකර දෙන්නට නොහැකි වූ විට මේ ජීවිතයේදී පසුතැවිලි වෙනවා සේම පරලොව දී ද දුක් විඳින්නට සිදුවේ. එමෙන්ම කෙනෙකුට යමක් දෙන්නට අධිෂ්ඨාන කරගෙන සිට එය ඉටු කරන්නට පෙර හදිසියේ මරණයට පත්වුවහොත් ඒ උපාදානය ද පරලොව දුකට හේතුවේ.

මොරටුවේ නදීකා හතළිස් හැවිරිදි දෙදරු මවකි. ඇගේ සැමියා සුමති ව්‍යාපාරිකයෙකි. නදීකා හිටිහැටියේ කෑ ගසාගෙන දිව එළියට දමා පිස්සු නටන්නීය. අවට සිටින අයට පහරදෙයි. ඉතා දරුණුවට හැසිරෙන ඇය හතර දෙනකුටත් අල්ලා පාලනය කරන්නට අපහසුය. මේ දරුණු තත්ත්වය විනාඩි දහයකින් පහළොවකින් මඟහැරී යයි. දිනකට කිහිපවතාවක් ඇය මෙසේ පිස්සු නටයි. පාලනයකින් තොරව පැන නගින මේ විකෘතිතාවට විවිධ ප්‍රතිකාර කළත් වත් පිළිවෙත් කළත් සුවයක් නොවීය.

දිනක් “මාංචු” පත්‍රය කියවූ සුමති එහි පළවන “භූත ආත්මය” විශේෂාංගය කියවා එයින් දැනුවත් වී එහි සඳහන් ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය වෙත නදීකා කැඳවාගෙන ගියේය. එහිදී අධ්‍යාත්මීය උපදේශකවරයා මුණගැසී ඇගේ රෝගී තත්ත්වය පැහැදිලි කළේය.

මූලික පරීක්ෂණයේදීම නදීකා භූතාත්මයක් ආවිශ්ටව ඉතා දරුණු අන්දමින් කෑ කෝ ගසා දඟලා විනාඩි දහයකින් පමණ සන්සුන් වූවාය.

ගවේෂකවරයා ඔවුන්ට දින විසි එකක් බෝධිපූජා පවත්වා නැවත එන්නැයි උපදෙස් දුන්නේය. මේ බෝධිපූජා පවත්වන විටද දින තුනක් ඇය බෝ මළුවේදී ද ආවිශ්ටව දඟලන්නට වූවාය. ඒ දිනවලදී ඇයට කෑම අපි‍්‍රයතාව, ඇඟපත රුදාව හා නින්ද නොයාම පැවතියාය.

ඊළඟට පැමිණි දිනයේද නදීකා ආවිශ්ට වූවාය. එහිදී ගවේෂකවරයා ඒ භූතාත්මයෙන් ප්‍රශ්න කරන්නට විය.

“කවුද මේ ශරීරයට ඇතුල්වෙලා කලබල කරන්නේ.....?”

“මම මේකිගෙ නැන්දම්මා”

“මොකක්ද නම....?”

“බ්‍රියට්‍රිස්...”

කියමින් භූතාත්මය නිහඬ වූවාය. කතා කළේම නැත.ගවේෂකවරයා නදීකා පියවි සිහියට පත්කොට මියගිය මෑණියන් ගැන ඔවුන්ගෙන් විමසීය. අම්මා සමාජයට හිතකරව ජීවත් වූ බවත් ඇගේ මුදල් තමන් ළඟ පවතින බවත් සුමති කීවේය.

එසේ නම් ඇය වෙනුවෙන් නිවසේ සාංඝික දානයක් පිරිනමා ඇයට පින් අනුමෝදන් කරන ලෙසත්, මීරිගම විහාරස්ථානයකට ධාතු කරඩුවක් අවශ්‍යව ඇති බවත් ඒ පන්සලට ධාතු කරඩුවක් පූජාකොට අම්මගේ නම කියා පින් අනුමෝදන්කොට නැවත පැමිණෙන ලෙසත් ගවේෂකවරයා සුමිතිට කීවේය.

ඒ පින්කම් සිදුකොට ඔවුහු නැවත පැමිණියහ.නදීකා එදිනද ආවිශ්ට වූවාය. ගවේෂකවරයා ප්‍රශ්න කළේය.

“කොහොමද....? පින් ලැබුණද...?”

“පිස්සුද මහත්තයා. මගේ හිත නිදහස් වෙනතුරු කොහොමද පින් ගන්නේ....? පින් දැනෙන්නේ නෑ.”

“මොකක්ද ඔබේ හිත නිදහස් නොවන හේතුව.....?”

“මහත්තයා මේ මගේ පුතා.”

එසේ කියමින් භූතාත්මය සුමතිට පහර දෙන්නට වූවාය. ගවේෂකවරයා වේවැල අතට ගෙන පේ‍්‍රතිය පාලනයකොට නැවත ප්‍රශ්න කළේය.

“ඇයි මේ පුතාට පහර දෙන්නේ....?”

“මහත්තයා මගේ මාලයක් තියෙනවා පවුම් දෙකහමාරක. මම ජීවත්ව ඉන්දැද්දි මුන් දෙන්නටම කිව්වා ඒ මාලය මම මැරුණම මගේ ලොකු කෙල්ලට දෙන්න කියලා. මුන් ඒක ඉෂ්ට කළේ නෑ. මම ජීවත්ව ඉන්දැද්දි මුන් මගේ රත්තරන් බඩු බැංකුවට උකස් කළා. පස්සෙ බේරාගත්තා. ඒත් මගේ මාලය මම මැරෙනකම් බේරාගත්තේ නෑ.”

පේ‍්‍රතිය කීවාය.

“දැන් ඒ මාලය කොහේද තියෙන්නේ...?”

“මේකිගෙ අල්මාරියේ”

මේ ඇත්තදැයි ගවේෂකවරයා සුමතිගෙන් ඇසීය.

“ඔව් මහත්තයා අම්මා ජීවත්ව ඉන්දැද්දි ඒ මාලය අක්කාට දෙන්න කිව්වා”

ඔහු එය පිළිගත්තේය.

තවත් සතියක් බෝධිපූජා පවත්වා නැවත එන ලෙස ද ඒ එනවිට මාලය ද රැගෙන අක්කාද කැඳවාගෙන එන ලෙස ඔහුට උපදෙස් ලැබුණි.

ඊළඟ දිනයේ සුමති, නදීකා අක්කා ද කැඳවාගෙන ආවේය. එදින භූතාත්මය නදීකාට ආවිශ්ටව ඉතා සතුටින් කතා කළාය.

“හිඞ....... හිඞ..... හි.... අද මගේ ලොකු දුවත් ඇවිත් ඉන්නේ.....”

භූතාත්මය කීවාය.

“ඔව් ඉතින් අද මොකද කියන්නේ...?”

ගවේෂකවරයා ඇසීය.

“මට මගේ මාලය ඕනෑ...”

“ඔබට මාලය මොකටද....? පළඳින්න පුළුවන්ද....?”

“මට මේක මගේ ලොකු කෙල්ලට දෙන්න ඕනෑ...”

“මාලය ඔබේ බව ඇත්ත. ඒත් ඔබ මාලයක් නිසා මරණාසන්න මොහොතේ ලෝභයත්, ද්වේෂයත් මතුවෙලා දැන් ප්‍රේතියක් වෙලා ඉපද දුක් විඳිනවා.”

ගවේෂකවරයා කියන්නට විය.

“ඔව්, අම්මේ... අම්මා කොයි තරම් හොඳ වැඩ කළාද....? ගමේ දාන ගෙවල්වලට ගිහින් කොයි තරම් උදව් කළාඳ...? අම්මට හරිම රහට උයන්න පුළුවන්නේ. ගමේ අසරණ අය හොයාගෙන ගිහින් අම්මා කොයිතරම් සාත්තු සප්පායම්, උදව් කළාද....? අම්මා සිල් නොගත්තාට අම්මා අතින් දස කුසලයම වගේ ආරක්ෂා වුණා. හැමෝම අම්මාගෙ ගුණ තවමත් කියනවා.”

ලොකු දුව අම්මා කළ පෙර කුසල් සිහිපත් කළාය.

“ඔව් දුවේ, මුන් දෙන්නා කරපු පාහර වැඩේ නිසා මැරෙන වෙලාවේ මගේ හිත නරක් වුණා...”

පේ‍්‍රතිය හඬන්නට වූවාය.

“අඬන්න එපා. මේ අය ඔබේ නමින් දානයක් දුන්නා. ධාතු කරඬුවක් පූජා කළා. කරඬුවක් පූජා කිරීම බුදුරජාණන් වහන්සේට ආරාමයක් පූජා කළා වගෙයි. දැන්වත් ඒ ගැන හිතා සතුටු කරගන්න”

ගවේෂකවරයා පේ‍්‍රතියට කීය.

“ඒත් මට මගේ මාලය ඕනෑ....”

ගවේෂකවරයා සුමති ලවා පේ‍්‍රතිය ආවිශ්ට වී සිටි නදීකා අතට මාලය දුන්නේය. පේ‍්‍රතිය සිනාසෙන්නට වුවාය.

“අනේ..... මගේ රත්තරන් මාලය...”

දෝතින්ම ගත් මාලය

“දැන් ඉතින් මේ ගැන මගේ ආශාවක් නෑ.... මෙහාට එන්න දුවේ...”

ලොකු දියණිය ළඟට ගෙන මාලය ඇගේ ගෙල පැළඳුවාය.

“ඔන්න දුවේ මගේ බලාපොරොත්තුව ඉෂ්ට වුණා. දැන් මට සතුටුයි. මගේ සිත සැහැල්ලුයි.”

“ඔව් ඔබ කළ පෙර කුසල් සිහිපත් කරන්න. එවිට ඔබට දිව්‍ය ලෝකයකට යන්න පුළුවන්.”

“අනේ මහත්තයා මට ඒකට උදව් කරන්න”

පේ‍්‍රතිය ගවේෂකවරයාගෙන් ඉල්ලා සිටියාය.

“ඔව් ඔබ හොඳ සිද්ධස්ථානයකට ගිහින් බෝධිපූජා බුද්ධ පුජා, ධර්ම දේශනා, පිරිත් සඡ්ඣායනා, ආදිය දැක සතුටු වෙන්න. අතහිත දී සාදු කියා දායකවෙන්න. එතකොට ඔබේ සිතට පින් සිතුවිලි පිරේවි. ක්‍රමයෙන් ඉහළට යන්න පුළුවන් වෙවි.”

සුමති ලවා සුදු මල් වට්ටියක් ගෙන් වූ ගවේෂකවරයා භූතාත්මය එයට සම්බන්ධකොට අනුරාධපුරයට යැවීය.මරණාසන්න මොහොතේ චුති චිත්තය ප්‍රසන්න කරගැනීම සඳහා භාවනා කටයුතුවල යෙදෙමින් නිතර ධර්මය මනසිකාරකොට සිත පුහුණු කළ යුතුයි.