ලක්ෂ හතරකට “ෆ්‍රෙඩී” මරන්න එයා කැමති වුණා

ලක්ෂ හතරකට “ෆ්‍රෙඩී” මරන්න එයා කැමති වුණා

ලොකු අරමගේ ප්‍රදීප් ප්‍රසන්න ද සිල්වා නොහොත් ෆ්‍රෙඩී මිනුවන්ගොඩ, කටුනායක ඇතුලු ප්‍රදේශවල බොහෝ දෙනකු දන්නා හඳුනන චරිතයකි. එලෙසම මෙම ප්‍රදේශයන්හි පොලිස් ස්ථාන වලද මොහුගේ නම ලියැවී ඇත. ඒ... මොහු.... මේ පළාතේ සිටින නම ගිය අපරාධකාරයකු වූ බැවිනි.

පසුගිය විසිහතර වැනිදා උදේ නවයයි තිස්හයට 119 පොලිස් හදිසි ඇමතුම් අංශයෙන් මිනුවන්ගොඩ පොලිසියට තොරතුරක් ලැබිණි. එම පණිවුඩයෙන් කියා සිටියේ යටියන, පීල්ලවත්ත ප්‍රදේශයේ දී යතුරුපැදියකින් ගිය අයකු පුද්ගලයකුට වෙඩි තබාගෙන පලා ගිය බවය.

පොලිසියේ සිට කිලෝමීටර් හයක් පමණ දුරින් පිහිටි මෙම ස්ථානයට පොලිසිය යන විට සිද්ධිය වී පැය භාගයක් පමණ ගත වී තිබිණි.

එම ස්ථානයට ගිය පොලිස් කණ්ඩායම දුටුවේ වෙඩි ප්‍රහාරයට ලක් වූ පුද්ගලයා මිය ගොස් ඇති බවත්, ඒ වන විට ද අඩුම වශයෙන් මළ සිරුර රෙදි කඩකින් වසා දමන්නටවත් කිසිවකු ඉදිරිපත්ව නොමැති බවත්වය.

“කවුද මේ මරලා දාලා තියෙන්නේ”

“සර්... ඔය ෆ්‍රෙඩී”

සිද්ධිය වූ ස්ථානය අසලට එක් රොක්ව සිටි පිරිස පොලිසියට එලෙස මිය ගොස් සිටින පුද්ගලයා කවුරුන්දැයි හඳුන්වා දුන්නේය.

කාලයක් තිස්සේ මිනුවන්ගොඩට හිසරදයක්ව සිටි ෆ්‍රෙඩී... අද... වෙඩි තබා ඝාතනය කොට ඇත.

“අවි ගත්තෝ අවියෙන්ම නසිති” යන කියමන සත්‍ය බව යළිත් සනාථව ඇත. ෆ්‍රෙඩී... මනුෂ්‍ය ඝාතන කිහිපයක්ම සිදුකොට දැනට මහාධිකරණ ඇප මත සිටින අයෙකි. එදා... ඔහු අවි භාවිතයෙන් පුද්ගලයන් මරා දැමීය. අද... ඔහුව ද වෙඩි තබා ඝාතනය කර ඇත.

මෙම ඝාතනය පිළිබඳ පරීක්ෂණ ආරම්භ කළ මිනුවන්ගොඩ පොලිසිය ඝාතකයන් සොයා මෙහෙයුම් දියත් කරද්දී පෑලියගොඩ බස්නාහිර උතුරු දිසා අපරාධ කොට්ඨාසය ද මීගමුව නීතිය බලගැන්වීමේ ඒකකය ද පරීක්ෂණ සඳහා එක්විය.

සිද්ධිය වී දින කිහිපයක් ගෙවී යද්දී ෆ්‍රෙඩී ඝාතනය සඳහා උපයෝගී කරගත් ටී - 56 ගිනි අවිය ද යතුරු පැදිය ද සමඟ එක් පුද්ගලයකු අත්අඩංගුවට ගනු ලබන්නේ පෑලියගොඩ ඒකකය විසිනි.

මෙලෙස අත්අඩංගුවට පත්වන්නේ මිනුවන්ගොඩ පොලිස් වසමේ උන්නාරුව ප්‍රදේශයේ පදිංචි ප්‍රියන්ත මෙන්ඩිස් නැමැති විසිහත් හැවිරිදි තරුණයෙකි.

“මම තමයි බයික් එක පැද්දේ”

ෆ්‍රෙඩී ඝාතනයෙන් අනතුරුව පුත්තලම - පල්ලම ප්‍රදේශයට පලාගොස් ඥාති නිවෙසක සැඟව සිටිය දී අත්අඩංගුවට පත්වන පි‍්‍රයන්ත මෙන්ඩිස් එලෙස පාපොච්චාරණයක් කිරීමට ඉදිරිපත් විය.

ඔහු... පොලිස් භාරයේ සිටිය දී මීගමුව නීතිය බලගැන්වීමේ ඒකකයෙන් නිලන්ත මෙන්ඩිස් යන අය අත්අඩංගුවට ගන්නේ පුත්තලම ප්‍රදේශයේ දීය. ඔහු... පි‍්‍රයන්ත මෙන්ඩිස්ගේ වැඩිමල් සහෝදරයෙකි.

මොහුගේ පාපොච්චාරණයට අනුව මාතර ගොඩගම, ලේන්දූව ප්‍රදේශයේ පදිංචි හිටපු ගුවන් හමුදා භටයකු ද, මිනුවන්ගොඩ පොලිස් වසමේ පදිංචි චන්දන යන අයද අත්අඩංගුවට ගන්නා අතර මෙම ඝාතනයට සම්බන්ධ අමල්, ලසන්ත සහ සමන්ත යන තිදෙනා මීගමුව නීතිය බලගැන්වීමේ එකකයට භාර වූහ.

මේ සැකකරුවන් හත් දෙනාම කී තොරතුරු වලට අනුව හෙළිවන්නේ මෙය වසර ගණනක් තිස්සේ පැවැති වෛරයක් පිරිමසා ගැනීම උදෙසා සිදුකළ ඝාතනයක් බවය.

ඉතා දිළිඳු පවුලක දරුවකු ලෙස මීට වසර තිස්හතකට පෙර මෙලොව එළිය දකින ලොකු අරමගේ ප්‍රදීප් ප්‍රසන්න ද සිල්වා අධ්‍යාපනය ලබන්නේ තුන්වන ශ්‍රේණිය දක්වා පමණි.

ළාබාල වියේදීම පාසල් දිවියට සමුදෙන ඔහු කොලු රැළ සමඟ කැලේ කොලේ හැදී වැඩෙන්නේ තමන්ට රිසි ලෙසටය. කල් ගතවෙද්දී තරුණ වියට එළැඹෙන මොහු කටුනායක ගුවන්තොටුපල හා සම්බන්ධ සුලු රැකියාවල නිරත වන අතර පසුව එම ප්‍රදේශයේ ප්‍රචලිත පස් ව්‍යාපාරයට ද එක් විය.

ඔහු උන්නාරුව සුසන්ත නම් අපරාධ කල්ලියක ප්‍රධානියා සමඟ හිතවත් වන්නේ ඔය අතරේ දීය. නිලන්ත මෙන්ඩිස් යන අයද ඒ කාලයේදීම උන්නාරුව සුසන්තගේ ගෝලයකු බවට පත්වන අතර ප්‍රදීප් ප්‍රසන්ත සහ නිලන්ත අතර දැඩි මිතුදමක් ද ලියලා වැඩිණි.

උන්නාරුවේ සුසන්තගේ හොඳම ගෝලයන් ලෙසට පත්වන මේ දෙදෙනා හොඳම මිතුරන් දෙදෙනකු බවට ද පත්වන අතර ප්‍රදීප් සුසන්තට “ෆ්‍රෙඩී සිල්වා” යන අනවර්ථ නාමය පටබැඳෙන්නේ ඔය කාලයේදීය.

එනම්... ඔහු අපරාධ ලෝකයේ “ෆ්‍රෙඩී” ලෙස ජනපි‍්‍රය විය.

“මමයි ෆ්‍රෙඩී අයියයි හිටියේ සහෝදරයෝ වගේ. අපි එකටමයි හිටියේ. එක ආප්පේ දෙකට කඩාගෙන අපි කෑවේ. ෆ්‍රෙඩී අයියා කෙසෙල් කැනකින් ගෙඩියක් කඩාගත්තොත් මම ඒ ඇවරිය මොකක්ද කියලා අහලා එයා කඩාගත්ත කෙසෙල් ගෙඩිය ළඟම තියෙන ගෙඩිය කඩාගෙන කෑවේ. අපි ඒ තරමටම හිතවත්ව හිටියේ. ෆ්‍රෙඩී අයියලා පදිංචිවෙලා හිටපු බිග් සිටි ගේත් මම මගේ නමට කුලියට අරගෙන එයාට දුන්නේ. කප්පම් ගත්තම අපි ඒ සල්ලි බෙදාගත්තා” නිලන්ත මෙන්ඩිස් ෆ්‍රෙඩී සමඟ ගෙවා දැමූ අතීතය එලෙස ආවර්ජනය කළේය.

ෆ්‍රෙඩී ඝාතනයට මුල් වූ ආසන්නතම හේතුව වන්නේ හයිබ්‍රිඩ් වර්ගයේ මෝටර් රථයකි. ෆිනෑන්ස් කොට මිලදී ගන්නා මෙම මෝටර් රථය ගුවන් තොටුපල කුලී ගමන් සඳහා රියැදුරකු සමඟ යෙදවීමට නිලන්ත මෙන්ඩිස් කටයුතු කළේය.

ටික කලක් එලෙස ගතවෙද්දී එම මෝටර් රථය ෆ්‍රෙඩී විසින් මිල දී ගනු ලබන්නේ ඔහුට අයත්ව තිබූ පැරැණි මෝටර් රථයත්. ඉතිරි මුදලින් කොටසකුත් ලබා දී ෆිනෑන්ස් ගෙවන පදනම මතය. නිලන්ත මෙන්ඩිස් මෝටර් රථය ෆ්‍රෙඩීට ලබා දෙන්නේ රියැදුරු ද සමඟය. නිකවැරටිය ප්‍රදේශයේ පදිංචි කරුවකු වූ රියැදුරු ෆ්‍රෙඩීගේ නිවෙසේ කල් ගෙවමින් රැකියාවේ නිරත වූ අතර ලැබෙන ආදායමෙන් සියයට දහයක් ඔහුට වැටුප් ලෙස ලැබිණි.

“මීට ටික දවසකට කලින් දවසක් රැ නවයට විතර නිලන්ත ඇවිත් ගමනක් යන්න තියෙනවා හෙට උදේට ගෙනත් දෙන්නම් කියලා කාර් එක ඉල්ලගෙන ගියා. ඒත්... උදේ කාර් එක ගෙනත් දුන්නේ නෑ. දවල්ට ගෙනත් දෙන්නම් කියලා දුවට ඉස්කෝලේ යන්න එයා වෙන කාර් එකක් එවලා තිබුණා.”

“ඒත්... දවලුත් කාර් එක ලැබුණේ නෑ. මහත්තයා ත්‍රිවිල් එකකින් ගිහිං දුවව ඉස්කෝලෙන් එක්කගෙන ආවා. ඔහොම දිගින් දිගටම නිලන්ත මෙන්ඩිස් කාර් එක එව්වේ නෑ.”

“පස්සේ එයා යාළුවෙකුගේ අතේ පණිවිඩයක් එවලා තිබුණා කාර් එක සතියකින් එවනවා කියලා. ඒ අතරේ අපේ මහත්තයා එයාට කෝල් ගත්තා. ඒත් එයා ඒවා ආන්සර් කළේ නෑ. එයා ආපහු පණිවිඩයක් එවලා තිබුණා. තව සතියකින් කාර් එක එවනවා කියලා. ඒත්... කාර් එක ලැබුණේ නෑ.”

ෆ්‍රෙඩීගේ බිරිය එලෙස පවසන්නට වුවාය.

මෙලෙස ෆ්‍රෙඩීට විකුණු මෝටර් රථය රැගෙන යන නිලන්ත මෙන්ඩිස් ෆිනෑන්ස් මුදල් ගෙවා එය විකුණා මුදල් ලබාගෙන තිබිණි. ඔහු එලෙස මෝටර් රථය රැගෙන ගොස් විකුණා ඇත්තේ ෆ්‍රෙඩීගෙන් ඒ සඳහා ලැබිය යුතු රුපියල් ලක්ෂ විස්සක මුදල නොලැබුණු නිසාය.

“දවසක් ෆ්‍රෙඩී අයියා කට්ටියකුත් එක්ක අපේ ගෙදරට ගිහින් වාහනේට හරියන්න අපේ ගේ එයාගේ නමට ලියලා දෙන්න කියලා තර්ජනය කළා.”

“අම්මලා අමාරුවෙන් හදාගත්ත ගේ කිව්වම එහෙම නම් අම්මාව මරලා හරි අත කපලා හරි ගේ ලියාගන්නවා කිව්වා. ඊටත් වඩා අපේ අම්මාට කුණුහරුපයෙන් මහා කැත විදියට අපහාස කළා.”

“අපේ අම්මටයි, මස්සිනාටයි මටයි ගහලා මාව අරගෙන ගියා. එයාලගේ ගෙදරට අරගෙන ගිහින් මාව දණගස්සවලා මට ගහලා කිව්වා උඹේ අයියට කියපං කාර් එක ගෙනත් දෙන්න නැන්තම් මම ඌව මරනවා කියලා. උඹ කුලී වැඩ කරන එකා නිසා උඹට මොකුත් කරන්නේ නෑ කියලා මාව දවසක්ම තියාගෙන ඉඳලා එව්වා. පස්සේ අපි පොලිසියට ගිහින් පැමිණිල්ලක් දැම්මා. පොලිසිය ෆ්‍රෙඩී අයියව අත්අඩංගුවට අරගෙන උසාවියට දාලා රිමාන්ඩ් කළා. ඇප පිට තමයි එයා එළියට ඇවිත් හිටියේ” පි‍්‍රයන්ත ජයසිරි මෙන්ඩිස් එලෙස පාපොච්චාරණය කළේය.

මෙන්ඩිස් පවුලේ සහෝදරයන් දෙදෙනා ෆ්‍රෙඩී මරා දැමීමට තරම් වෛර බැඳ ගත්තේ සිය මවට කළ අපහාසය මුල් කරගෙනය.ඒ සඳහා ඔවුන් සහාය ලබා ගන්නේද ෆ්‍රෙඩී සමඟ කාලයක් පුරා වෛර බැඳගෙන සිටි කිහිප දෙනකුගෙනි.

මෙන්ඩිස්ලා එලෙස ෆ්‍රෙඩී ඝාතනය කිරීමට සැලසුම් කරද්දී ෆ්‍රෙඩී ද නිලන්ත මෙන්ඩිස් ඝාතනය සඳහා සැලසුම් කරමින් සිටියේය.

සමහරු පාසල් ගොස් අකුරු නොකළ ද බුද්ධිමත්ය. එහෙත්... බොහෝ නුගතුන් බුද්ධිමත් නැත. ෆ්‍රෙඩී මෙන්ඩිස් ඇතුලු මේ කල්ලිවල සියල්ලෝම පාහේ උගත්කමක් නොමැති බුද්ධියක් ද නැති එහෙත්... තමාට ඉහළින් මැස්සකුවත් පියාඹනවාට අකමැති අමන පිරිසකි.

එබැවින් ... මොවුන් ගේ සමාජයේ සිටින්නෝ පුංචි දෙයටත් වෛර බැඳගන්නා අතර එය හිතේ තබාගෙන අවස්ථාව ලැබුණ වහාම පළි ගැනීමට මාන බලති.

චන්දන නම් වූ මුදල් පොලියට දෙන අයගේ මල්ලිට ෆ්‍රෙඩී මීට වසර තුනහමාරකට පමණ පෙර සවලක් කැඩෙනතුරු පහර දී ගස් බැඳ ඇත. එබැවින් චන්දන කාලයක සිට ෆ්‍රෙඩී සමඟ අමනාපය.

චන්දනගේ හිතවතකු වූ ඉන්දික නම් වූ පළාත් සභා මන්ත්‍රීවරයකු මීට ටික කලකට පෙර රුපියල් ලක්ෂ එකහමාරකට චන්දනට ටී - 56 අවියක් ලබා දෙන්නේ ෆ්‍රෙඩී සමඟ පවත්නා අමනාපය දන්නා බැවිනි.

ඒ අතරේ කපාකොටා ඉන්දික ඝාතනය කරන උන්නාරුවේ සුසන්ත නීතියේ රැහැනට කොටු නොවී විදෙස් රටකට පලායන්නේ මීට වසර කිහිපයකට ඉහතදීය. ඒ වන විට ෆ්‍රෙඩී මනුෂ්‍ය ඝාතන තුනක සැකකරුවෙකි.

චන්දන මීට වසර තුනහමාරකට පෙර ෆ්‍රෙඩීට වෙඩි තැබීමට සැලසුම් කළ ද එදින ෆ්‍රෙඩී, නිලන්ත මෙන්ඩිස් සමඟ සිටි බැවින් වෙඩි නොතබා යන චන්දනට කාලයත් සමඟ එය අමතකව ගොස් තිබිණි.

මෝටර් රථයේ සිද්ධියෙන් අනතුරුව ෆ්‍රෙඩී ඝාතනයට සැලසුම් කරන නිලන්ත මෙන්ඩිස් චන්දනට කතාකොට සිය අවශ්‍යතාව පැහැදිලි කරන්නේ චන්දන සතුව ගිනි අවියක් තිබෙන බව තමා දන්නා බව අඟවමිනි. චන්දන ඊට එකඟතාව පළ කළේය.

ඊළඟට මොවුන් එකතු කර ගන්නේ චන්දනගේ මිතුරකු වූ උන්නාරුවේ ලසන්තය. ෆ්‍රෙඩී ලසන්ත සමඟ වෛර බැඳගෙන සිටියේ ඇප සිද්ධියකටය. එනම් ෆ්‍රෙඩී අත්අඩංගුවට පත් අවස්ථාවක ඇප තබන ලෙස ලසන්තට කියා ඇතත් ලසන්ත එය ප්‍රතික්ෂේප කොට ඇත. එබැවින් ඇප දීමට කෙනෙකු නොමැතිව සති කිහිපයක්ම සිර බත් කෑමට ෆ්‍රෙඩීට සිදු විය.

“උඹ මට ඇප තිව්වේි නැති නිසා මට ඇතුලට යන්න වුණා. මම උඔව මරනවා.”

ලෙසින් ෆ්‍රෙඩී ලසන්තට තර්ජනය කර තිබිණි. ලසන්තට ෆ්‍රෙඩීගෙන් මරණ තර්ජන වු බැවින් ඔහු ෆ්‍රෙඩී ඝාතනයට දායකත්වය දැක්වීමට ඉදිරිපත් විය.

“එදා.... අපි... ෆ්‍රෙඩී මරන්න ප්ලැන් කළේ ලසන්තගේ වත්ත පිටි පස්සේ වෙළ අයිිනේදී. චන්දන වෙපන් එකත් අරගෙන ආවා. මට කිව්වා උඹ ඌට වෙඩි තියලා මරපං. අපි වෙපන් එකත් එක්ක වෙන එකෙක් පොලිසියට භාර කරමු කියලා. එත් ... මට හරියට ඉලක්කයට වෙඩි තියන්න බෑ. වැරදුණොත් ෆ්‍රෙඩී මාව මරණ එක මරනවා. ඒ නිසා මම එ්ක බෑ කියලාි හොඳට ඉලක්කෙට වෙඩි තියන්න පුලුවන් කෙනෙක් අපි හොයාගන්න තීරණය කළා.”

“ලසන්තගේ මාමා කෙනෙක් ඉන්නවා අමල් කියලා. එයා... ටැක්සි ඩ්‍රයිවර් කෙනෙක්. අපි එයාට මේක කිව්වාම එයා කිව්වා ඉස්සර එයාර්ෆෝර්ස් බුද්ධි අංශයේ කෙනෙක් එයාර්පෝට් එකේ ඩියුටි හිටියා. එයා අවුරුදු දොළහ සම්පුර්ණ කරලා දැන් විශ්‍රාම ගිහින් මාතර ඉන්නේ... එයාට හොඳට වෙඩි තියන්න පුලුවන්. අපි එයාට කතා කරලා බලමු කියලා අමල් මාමා එයාට කොල් කරලා කිව්වාම රුපියල් ලක්ෂ හතරකට වැඩේ කරලා දෙන්න එයා කැමති වෙලා තිබුණා.

නිලන්ත මෙන්ඩිස් මෙසේ පාපොච්චාරණය කළේය.

එම සැලසුමට අනුව පසුගිය මස අටවෙනිදා මාතර සිට කොළඹට එන වෙඩික්කරු කඳානට යන අතර අමල් ඔහු කැඳවාගෙන මඩවල හන්දියට ගොස් ලසන්තට භාර දෙයි. ලසන්ත සිය ත්‍රිරෝද රථයෙන් ඔහු යටියන පිහිටි චන්දනට අයත් පාවිච්ච්යට නොගන්නා නිවසට කැඳවාගෙන යන අතර ෆ්‍රෙඩී පිළිබඳ තොරතුරු සෙවීම සඳහා ඔත්තුකරුවකු යෙදවීමට මේ දෙදෙනා කටයුතු කළහ. ඒ සඳහා යොදා ගන්නේ විජිත යන අයගේ බාල සහෝදරයකු වන සමන්ත නමැත්තාය.

ඒ අනුව ෆ්‍රෙඩී පසුගිය දහවෙනිදා මීගමුව අධිකරණයට යන බවට තොරතුරු අනාවරණය විය. මීගමුව අධිකරණයට වෑන් රථයකින් යන චන්දනත් ලසන්තත් දකින්නේ ෆ්‍රෙඩී පැමිණි වාහනය පමණි. ටික වේලාවකින් මේ දෙදෙනා එම ස්ථානයෙන් පිටවන අතර ඔත්තුකරු පවසා සිටින්නේ ෆ්‍රෙඩී අධිකරණයෙන් පිටත්ව නිවස බලා යමින් සිටින බවයි.

ප්‍රසන්න මෙන්ඩිස් සිය මස්සිනාගේ යතුරු පැදියට වෙඩික්කරු නංවාගෙන ෆ්‍රෙඩීට වෙඩි තැබීම සඳහා ෆ්‍රෙඩී යන වාහනය හඹා ගිය ද එදින එම සැලසුම සාර්ථක කර ගැනීමට හැකි වුයේ නැත. ඒ ෆ්‍රෙඩී ගමන් ගත් වාහනයේ වේගය වැඩි වීමත් වාහනය ෆ්‍රෙඩීගේ නිවස අසල නැවත්තු වහාම ඔහු ඉන් බැස කඩමුඩියේ නිවෙස තුළට යාමත් නිසාය.

එදින සැලසුම අසාර්ථක වූ බැවින් වෙඩික්කරු මාතර බලා පිටත් වන අතර ඔහු නැවත පසුගිය දහඅටවෙනිදා යටියනට එන්නේ හැකි ඉක්මනින් මේම ඝාතනය සිදු කිරීමට අවශ්‍ය වූ බැවිනි.

ෆ්‍රෙඩී පිළිබඳ ඔත්තු බැලීමට යොදවා සිටි සමන්ත සිද්ධිය වූ දින උදේ ලෑන්ඩ්මාස්ටර් රියදුරුකු ලෙස ෆ්‍රෙඩී පදිංචි බිග් සිටි නිවාස සංකීර්ණයේ තේ කඩයක් අසල ලෑන්ඩ්මාස්ටරය නවත්වා තේ එකක් බොමින් වට පිට බලමින් ෆ්‍රෙඩී පැමිණේදැයි විපරමින් සිටියේය. උදේ නමයහමාරට ආසන්න වෙද්දී ෆ්‍රෙඩී තවත් පුද්ගලයකු සමඟ ගෙවත්තෙන් පිටව අසල පිහිටි මාර්ගයට පිවිසෙනු සමන්ත දුටුවේය.

ඔහු චන්දනට දුරකථන ඇමතුමක් දෙමින් “අරූ පාරේ ඉන්නවා” යැයි පැවසිය.ඒ වන විටත් නිලන්ත මෙන්ඩිස්ගේ මල්ලි වන පි‍්‍රයන්ත මෙන්ඩිස් සිය මස්සිනාට අයත් යතුරු පැදියේ නැගී වෙඩික්කරු ද එහි පිටුපස ඉන්දවා ගෙන ගමනට සුදානම්ව සිටියේ ය. චන්දන, ප්‍රසන්න මෙන්ඩිස්ට දුරකථන ඇමතුමකින් මේ බව දන්වන අතර ටී - 56 ගිනිඅවිය ක්‍රියාත්මක කිරීම සඳහා සුදානම් කොට එය ජැකට්ටුවේ සඟවා ගන්නා වෙඩික්කරු පි‍්‍රයන්ත සමඟ බිග් සිටි බලා පිටත් විය.

බිග් සිටි වෙත යතුරු පැදිය එද්දී ෆ්‍රෙඩී පාර අයිනේ සිටිනු පි‍්‍රයන්ත මෙන්ඩිස් දුටුවේය. “අර ඉන්නේ මෑන්” කියා ගෙන ඉදිරියට ගිය. පි‍්‍රයන්ත මෙන්ඩිස් යතුරුපැදිය ආපසු හරවාගෙන එද්දී වෙඩික්කරු ජැකට්ටුවේ සඟවාගෙන සිටි ගිනි අවියෙන් ෆ්‍රෙඩී වෙත එක වෙඩි පහරක් තැබීය. එය ඔහුට වැදුණේ නැත. ඒ සමඟම ෆ්‍රෙඩී පණ බේරා ගැනීම සඳහා එතැනින් දිව ගියේය. පි‍්‍රයන්ත මෙන්ඩිස් සිය යතුරු පැදිය ෆ්‍රෙඩී පිටුපස පන්නාගෙන ගිය අතර වෙඩික්කරු අවියේ උන්ඩ සියල්ලම එක වර පිටවන ලිවරයට (බර්ස්ට් එක) දමා ෆ්‍රෙඩීගේ පපු ප්‍රදේශයට උණ්ඩ රැසක් මුදා හැරීයේය.

පපුවට එල්ල වූ වෙඩි පහරවලින් ෆ්‍රෙඩී එම ස්ථානයේදීම මිය ගිය අතර ඔහු සමඟ සිටි රියදුරු එම ස්ථානයෙන් පලා ගියේය.

ෆ්‍රෙඩී මිය ගිය බව දැන ගත්ත ද ඔහුගේ පවුලේ කිසිවකුත් ඔහු වැටී සිටි ස්ථානයට පැමිණ තිබුණේ නැත.

ෆ්‍රෙඩී ඝාතනය කිරීමෙන් අනතුරුව යටියන මාර්ගය දිගේ යතුරුපැදිය ධාවනය වන අතර චන්දන සිය වෑන් රථයෙන් මාර්ගය අසලට පැමිණ සිටියේ ලසන්ත සහ සමන් සමඟය. මගක් දුරට පැමිණ වෙඩික්කරු සහ පි‍්‍රයන්ත මෙන්ඩිස් වෑන් රථයට ගොඩවන අතර ලසන්ත යතුරුපැදිය රැගෙන සිය ලොකු අම්මාගේ නිවසට ගොස් යතුරුපැදියත් හෙල්මටයත් එහි සැඟවිය.

රුපියල් ලක්ෂ හතරේ කොන්ත‍්‍රාත්තුව ලබා ගත් වෙඩික්කරුට රුපියල් හාරදහසක් ලබා දෙන චන්දන ඉතුරු මුදල් බැංකු පොතට දමන බව පවසා මඟ බස්සවන අතර වෙඩි තැබීම සඳහා උපයෝගී කර ගත් ගිනි අවිය පි‍්‍රයන්ත මෙන්ඩිස් බෑගයකට දමා ගත්තේය. අනතුරුව පල්ලම ප්‍රදේශයට යන අතර පොලිසිය ගිනි අවිය සමඟ ඔහු අත්අඩංගුවට ගන්නේ ලැබුණු තොරතුරු වලට අනුවය. වෙඩික්කරු මාතරදී පොලිස් අත්අඩංගුවට පත්වන අතර ෆ්‍රෙඩී ඝාතතනය සඳහා එක් වූ පුද්ගලයන් හත් දෙනාම අත්අඩංගුවට ගැනීමට ඒ අනුව පොලිසියට හැකිවිය.

බස්නාහිර උතුර භාර නියෝජ්‍ය පොලිස්පති කපිල ජයසේකර, ගම්පහ ජ්‍යෙෂ්ඨ අධිකාරි මුදිත පුස්සැල්ල, මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පි‍්‍රයලාල් දසනායක, සහකාර පොලිස් අධිකාරී 2 ලලිත් රෝහණගමගේ, ගම්පහ සහකාර පොලිස් අධිකාරී 1 ශ්‍රීලාල් පෙරේරා, බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී සමුද්‍රජීව යන නිලධාරින්ගේ අධීක්ෂණය යටතේ මීගමුව නීතිය බලගැන්වීමේ ඒකකයේ ස්ථානධිපති පොලිස් පරීක්ෂක ඩී.ආර්.ඒ. ගිහාන් මනෝහර ඇතුළු සැරයන් 63188 රවුෆ්, 51744 ඩැනී පෙරේරා, 7000 චන්දන, කොස්තාපල් 68229 අමල් පරීක්ෂණ සඳහා එක් වුහ.

මෙම ඝාතනයේ මුලික කටයුතු මිනුවන්ගොඩ පොලිස් ස්ථානාධිපති ජීවක රාජපක්ෂ ප්‍රමුඛ අපරාධ අංශයේ ස්ථානධිපති ආර්.ඒ.ඩී.එම්.පී. දිසානායක, උප පොලිස් පරීක්ෂක කාංචන ඒකනායක, සැරවරුන් වන 17922 නිහාල්, 51687 නිශ්මි, 51216 වසන්ත, 20305 අබේරත්න කොස්තාපල් වරුන් වන 15332 කාරියප්පේරුම, 55474 සුසන්ත, පොලිස් කාන්තා කොස්තාපල් 5332 තුෂාරී පරීක්ෂණ සඳහා එක් වූහ.

පොලිස් පරීක්ෂණ ඇසුරෙන් ලිපිය සකස් කෙරිණි.