ආදරයේ වේදනාව

ආදරයේ වේදනාව

කැරොකේ සමාජ ශාලා ‘ස්පා’ ආයතනවල රැකියාවේ යෙදෙන බොහොමයක් යුවතියන් එවැනි තැන් සොයා එන්නේ නැතිබැරිකම නිසාය. ඊට එක් හේතුවක් වන්නේ එවන් බොහොමයක් යුවතියන් අකාලයේම සිය ජීවිතය විනාශ කරගත් අය වීමය. එවන් යුවතියන් බොහොමයක සැමියන් ඔවුන් අතහැර ගොසිනි. නැතහොත් ඔත්පලවී හෝ මිය පරලොව ගොසිනි.

දරුවන් නඩත්තු කර ගැනීමට, මව පියා සහෝදර සහෝදරයන් රැක බලා ගැනීමට.බඩවියත රැක ගැනීමට අවශ්‍ය මුදලක් සොයාගැනීමට ඔවුහු දිවා රෑ නොතකා අනුන් සතුටු කරති.නැතිබැරිකම කරපින්නාගෙන සිටින එවන් යුවතියන් සොයා යන ඇතැම් කාමාතුරයන්ට එම අහිංසකාවියන් දිව්‍යාංගණාවක් ලෙස පෙනුණද ඔවුන් ගත කරන්නේ අතිශයින් දුක්බර ජිවිතයකි.

එම යුවතියන්ගේ ජිවිත කතා ඇසුරෙන් ලියනලද ‘තටු සිඳුණු කිරිල්ලියෝ’ කළක් අප පුවත්පතට ගෙන දුන්නේ මහත් ජනපි‍්‍රයතාවයකි.

එබැවින් බොහෝ පාඨකයන්ගේ ඉල්ලීම මත අපි එම විශේෂාංගය නැවත පළ කරන්නට තීරණය කළෙමු. එබැවින් ඔබත් කැරෝකේ හෝ ස්පා ආතනයක සේවයේ නියුතු යුවතියක් නම් ඔබගේ ජීවිත කතාව අපට කියන්නට ඔබට පුළුවන. ඒ සඳහා කර්තෘ “මංචු” ලේක්හවුස් කොළඹ යන ලිපිනයෙන් විමසිය හැකිය.

ඒ ඉකුත් සතියයි. ආයතනයෙන් ගෙවනු ලබන වැටුපට අමතරව ප්‍රසාද දීමනාවක් ලැබීම අප කාගේත් සතුටට හේතු විණි.

“අද අරහෙ යමුද”

මිතුරෙකු ගෙනා යෝජනාවට මම එක පයින් කැමැති වීමි. අතේ මුදල් ද වෙනදාටත් වඩා වැඩියෙන් ඇති නිසා කිසිදු බියක් සැකයක් නැතිව කොල්ලුපිටියේ පිහිටි කැරෝකේ අවන්හලට අපි ඇතුළු වීමු. අපි පිළිගත්තේ කොටට කලිසම් ඇඳගත් තරුණියන් දෙදෙනකු විසිනි.

“අලුත් කෙනෙක් වගේ.”

එකියක මා දෙස බලා ඇසක් ඉඟි කළේ නක්කලයට මෙනි. එතැන් පටන් මගේ දෙනෙත් රැඳුණේ ද ඇය වෙත පමණි. මා මිතුරා මට ඇයව හඳුන්වා දුනි.

“මචං... මෙයා මධු.”

කළු පැහැති ගවුම ඇසේ සිහින් සිරුරට ගෙන දෙන්නේ දැකුම්කළු බවකි. දෙනෙත් පිහාටුවල උලා ඇති නිල්වන් සායම් ඇගේ රුවට කදිම ලස්සනක් ගෙන දේ.

“අපි අතනට යමු.”

මිතුරා ඇගේ මිතුරිය හා සෝපාවකට බර වෙද්දි මධු මාව ඇදගෙන ගියේ ශාලාවේ අඳුරු තැනකටය.

“ඔයා අදද මෙහෙ ආවේ”

“නැහැ මට මීට කලින් එකපාරක් ඇවිත් තියෙනවා” මම නිර්භීත ලෙස ඇයට කීවෙමි.

“නැහැ වෙන්න බැහැ. මම අදයිනේ ඔයා දැක්කේ”

ඇය මා සමඟ කුළුපගව පවසන්නේ කාලයක් සිටි දැන සිටි එකියක ලෙසය. මම දෙනෙත් ඒ මේ අත යවමින් මිතුරා දෙස බැලිමි. මිතුරා ඒ වන විටත් සිටින්නේ වෙන ලෝකයක බව මට වැටහිණි. ඇය සමඟ සිටිනා රූමතිය ඔහුගේ කර මත දෑත් තබාගෙන මොනවදෝ මුමුණන්නීය.

“මොකද අනුන්ගේ ලව් බලනවද?”

ඇය කී කතාවට මට ඇතිවුණේ ලැජ්ජාවකි.

මම ඒ වගක් ඇයට නොපෙන්නුවෙමි.

“මොනවද බොන්නේ”

මධූ මගෙන් විමසුවාය.

“ඕනෑ දෙයක්.”

“එහෙම බැහැ. ජාතිය කියන්න.”

“වොඩ්කා.”

සතුටින් පියාඹා යන කිරිල්ලියක සේ මගෙන් ඈත්වී දිව ගිය ඇය මා අසල තැබුවේ වොඩ්කා බෝතලයකි. ඒ සඳහා අවශ්‍ය කටගැස්මට කොල ඇපල් පීරිසියකි.

“ඔයාට...”

මම ඇගෙන් ඇසුවෙමි.

“මට රෙඩ්බුල්”

මම ඊට හිස වැණුවෙමි. අද නම් මා තුළ කිසිදු බියක් නැත. ඕනෑම බිලක් ගෙවීමට හැකි මුදලක් මා සතුව ඇත. ඒ අද ලැබුණු බෝනස් මුදල නිසාය.

“ඔයාලට අද පඩිද”

ඒ සමගම ඇය කී කතාවෙන් මම අන්දුන් කුන්දුන් වූයෙමි. මගේ වැටුප් දවස ඇය කෙසේ දැනගත්තාදැයි මම පුදුම වීමි.

“කවුද ඔයාට කිව්වෙ”

“හරි හරි මම අහන්නෙ ඔයාලට අද පඩිනේ”

“නැහැ. පිස්සුද මොන පඩිද”

“ඇයි බෝනසුත් හම්බ වුණේ”

“පිස්සුද”

“පිස්සු නෙමෙයි. අද ඔයාලට පඩියි බෝනසුයි.” මට ඇය ගැන ඇතිවූයේ පුදුමයකි. ඇය මෙතරම් මට ආදරය කරුණාව දක්වන්නේ මේ නිසා බව මට වැටහිණි.

“මොනවද කල්පනා කරන්නෙ”

“ඒක නෙමේ කවුද ඔයාට ඔය බොරුව කිව්වෙ”

“අන්න අර ඉන්නේ අරයා”

ඇය පෙන්නුවේ මා මිතුරාය. ඔහු මා දෙස බලා සිනාසුණේය.

“ඒ එයාට. මට අද නෙමේ පඩි”

මම තරහින් මෙන් කීවෙමි.

“අනේ බොරු කියන්න එපා අනේ. මම ඔයාගෙන් සල්ලි ඉල්ලුවේ නැහැනේ.”

ඇය බොරු කේන්තියක් මවා පාමින් මා වෙතින් මුහුණ ඉවතට ගත්තාය. ඒ කැරෝකේ කෙල්ලන්ගේ හැටිය. ආදරය ලබන්නට එතැනට එන අයට ඔවුන් එවන් ‘පුංචි මර්සියක්’ දැමීම ඔවුන්ගේ උපක්‍රමයක් බව මා මිතුරා මට කියා ඇත.ඒ නිසා මා සිතුවේද ඇය මේ සැරසෙන්නේ මගේ ‘දතක්’ ගලවන්නට බවය.

“උන්ට අහුවෙන්න එපා. රෙඩ්බුල් කියයි වයින් ඉල්ලයි බ්ලැක් ලේබල් ඉල්ලයි. උඔ මෝල් වෙලා එවුන්ට මුකුත් අරන් දෙන්න එපා...”

මිතුරා මට කී දේ මගෙ මතකයට නැ‍ඟේ. ඇය ද තරහෙන් මෙන් ඉවත බලා සිටී. ඒ සැණින් මම වොඩ්කා ෂොට් එකක් කටට හලා ගතිමි.

ටිකෙන් ටික වොඩ්කා බෝතලය හිස්වෙද්දී ඇය මා තුරුලට වැටිණි.

“ඔයා වයින් එකක් ගන්න”

මම ඇයට කීවෙමි.

“එපා... මම මේකෙන් පොඩ්ඩක් ගන්නම්”

අඩඅඳුර අපට ගෙනාවේ සහනයකි. ඇගේ දෑත් මා දෑත් වෙලාගෙන තිබිණි. සිහින් දෙනෙත් පියවි ඇත්තේ මත් ගතිය නිසාවෙනි.

“ඔයා මට ආදරේද...”

දෑත් තදින් මිරිකා ඇය මගෙන් විමසන්න වූවාය. පිළිතුරක් නොදුන් මම ඇය දෙස බලා සිටියෙමි.

“ඔයා හිතුවේ මම ඔයාගේ සල්ලිවලට විදී කියලා නේද?”

ඇය මා දෙස බලා විමසන්නීය. මම ඊට ද පිළිතුරු නොදුන්නෙමි.

“ඔක්කොම පිරිමි ඔහොම තමයි.”

ඇය මා උරහිසට හිස තබමින් කීවාය.

“මම එහෙම නැහැ”

මම ඇයට කීවෙමි.

“ඔයත් එහෙම තමයි.”

ඇගේ ඇස් දෙක කඳුළින් බරවී ගොසිනි.

“මට තව වයින් එකක් ඕනෙ.”

ඇය ඒ මුමුණන්නේ මත් ගතියෙන් බව මම තේරුම් ගතිමි. රෙඩ්බුල්වලට වොඩ්කා ද එකතු වීම ඊට හේතුව වන්නට ඇත.

“ඔයාට දැන් ඇති.”

“නැහැ මට තව එකක් ඕන.”

මම ඊට එකඟ විමි. කූඩුවකින් මුදාහළ කිරිල්ලියක් සේ ඇය මා වෙතින් නික්ම ගොස් වයිට් වයින් වීදුරුවක් රැගෙන ආවාය. ඇය එය ටිකෙන් ටික තොල ගාද්දී වොඩ්කා බෝතලයේ අවසානය ද ළඟාවී තිබිණි. ඇය ඉන්නේ් හොඳ පදමේ බව මට තේරිණි.

“අයිසේ මෙයාට බොන්න දෙන්න එපා. මෙයා බීලා වැඩිවුණු ගමන් අඬනවා.”

මා මිතුරා ළඟ සිටි රූමතිය එකවරම පැමිණ මා ඉදිරියේ එසේ කියන්නට වූවාය.

“කෝ දියන් ඕක මෙහාට”

ඇය මා ළඟ සිටි මධූ අත තිබු වයින් වීදුරුව ද උදුරා ගත්තාය.

“අනේ එහෙම කරන්න එපා කෙල්ලේ ඕක මට දීපන් ප්ලීස්. මට ඕක දීපන්.”

ඇය මිතුරියට එසේ කියමින් බැගෑපත් වූවාය.

“දැන් ඔයාට ඇති... ඒකයි එයා වයින් එක ගත්තේ.”

මම මධූට නැවත නොබොන ලෙස කිහිප වතාවක්ම කීවෙමි. මොහොතකින් ඇය ඊට අවනත වූවාය. ඇය මා උරහිසට සිය හිස තබා දෙනෙත් පියා ගත්තාය. මම ඇය දෙස බලා සිටියෙමි. මට ඇය ගැන ඇතිවූයේ කනගාටුවකි. දෙනෙත් විවර කරමින් වරින්වර මා දෙස බැලු ඇය කෙරෙහි මට ඇතිවුණේ අනුකම්පාවකි.

“ඇයි ඔයා ඔච්චර බොන්නේ”

මම හීන්සැරේ ඇගෙන් විමසුවෙමි.

පාට පාට විදුලි දහරා අප සිටි තැනට වැටි පෙනී නොපෙනී ගිය ද මගේ පැනයට ඇගෙන් පිළිතුරක් නැත. මොහොතකින් ඇය දෙනෙත් විවර කොට මා දෙස බැලුවාය.

“ඔයා මට ආදරේ නැහැ නේද”

ඇය මා දෙස බලා යළිත් විමසුවාය. ඇගේ හිත අපහසුතාවයට පත් නොකිරීමේ අරමුණින් මම ඇයට මෙසේ කීවෙමි.

“නැහැ. මම ඔයාට ආදරෙයි.”

මා එලෙස කියද්දී ඇය එකවරම මහ හඬින් සිනාසුණාය. මේසය මත දෑත් ගසමින් සිනාසුණාය. මම ඇය දෙස බලා සිටියෙමි.

“ඔන්න ඔය වචනෙට තමයි මම රැවටුණේ කොල්ලෝ”

“ඒ කිව්වේ.”

“ආදරයට”

"මට ඔයා කියන දේ තේරෙන්නේ නැහැ. ඔයාට හොඳටම වෙරි. නැත්නම් ඔයාට පිස්සු.”

මෙතෙක් මහ හඬින් සිනාසුණ ඇය මගේ වදන් අසා එකවරම ගල් ගැසුණාක් මෙන් මා දෙස බලන්නට වූවාය.

“මොකක් මට පිස්සු.”

මුකුත් නොකී මම ඇය සමඟ ආරවුලක් ඇති නොකරගන්නා අදහසින් නිහඬ වීමි.

“මට පිස්සු නැහැ පැටියෝ ඔයාට පිස්සු.”

“හරි මට පිස්සු.”

“ඔයා මගෙ කතාව දන්නෙ නැහැනේ.”

“මම කොහොමද ඔයා ගැන දන්නෙ. අදනේ මට ඔයා හම්බ වුණේ.

මේසය මත තිබු වොඩ්කා බෝතලය මුව මත තබාගත් ඇය එහි වූ ඉතිරිය කටට හලා ගත්තාය. ඉන් පසුව මගෙ මුහුණට ඇගෙ මුහුණ කිට්ටු කළාය.

“මට ඔයා වගේ කෙනෙක් ආදරය කළා.”

“ඉතින්”

“ගොඩාක් ආදරය කළා. මාත් එහෙමයි. මාත් ආදරය කළා.”

“ඉතින්”

"මොකක්ද දන්නවද එකා මට කළේ. එච්චර මම ආදරය කරපු එකා මගේ හොඳම යාළුවත් එක්ක පැනලා ගියා.”

එසේ කී ඇය නැවතත් ඉකි ගසමින් හඬන්නට වූවාය.

“එදා ඉඳලා මම මුළු පිරිමි සංහතියටම ශාප කරනවා.”

“ශාප කරලා වැඩක් තියෙනවැයි”

මම හීන් සැරේ කියන්නට වීමි.

“වෙන මොනව කරන්නද. එදා ඉඳන් මම මේ ජීවිතේට පුරුදු වුණා.”

මේසය මත හිස හොවා ඉකි ගසන ඇය අස්වසන්නට මා ගන්නා උත්සාහය දුටු ඇගේ මිතුරිය අප අසළට පැමිණියාය.

“අයිසෙ එයා ඔහොම තමයි. ඔහොම ඉන්න එයාට දෙන්න”

“එතකොට’

මම පුදුමයෙන් මෙන් විමසුවෙමි.

“ඕක තමයි එයාගේ ජීවිතේ.

හඬලා හඬලා ඔහොමම නිදා ගනිවි.”

මට ඇය ගැන ඇතිවූයේ දුකකි.

ආදරය නිසා ජීවිතය විනාශ කර ගත් ඇයට පෙරළා පිදිය යුත්තේ ද ආදරය බව මට වැටහිණි. ඒ ඇයට අවංක ආදරයක් අවශ්‍ය නිසාවෙනි.