අම්මා මැරූ බවට බොරු කී පුතා නූලෙන් බේරේ

අම්මා මැරූ බවට බොරු කී පුතා නූලෙන් බේරේ

ඉකුත් 21 වනදා 119 හදීසි ඇමතුම් අංශය හරහා කළුතර දකුණ පොලීසියට ලැබුණු පණිවිඩයකින් කියැවුණේ කළුතර පන්විල නිවසක පදිංචි වයෝවෘද්ධ කාන්තාවක් අතුරුදන්ව සිටින බවය. සිද්ධිය සැලවීමෙන් පසු කළුතර දකුණ අපරාධ විමර්ෂණ අංශය බාර ස්ථානාධිපතිවරයා ඇතුළු පිරිසක් පන්විල එම නිවසට ගිය විට දක්නට ලැබුණු නිවසේ දොර ජනෙල් වසා දමා ඇති අයුරුය. ස්ථානාධිපතිවරයාගේ උපදෙස් අනූව කොස්තාපල්වරයකු ජනේලයකින් නිවසට ඇතුළු විය.

නිවස පුරා දුගඳක් හමා යයි. හමන දුගඳ කුමක්දැයි දැනගැනීමට නිවස තුළට එබිකම් කළ කොස්තාපල්වරයා ට දැකගත හැකි වූයේ නිවස තුළ කිසියම් අයෙකු මිය ගොස් සිටින බවය. දුගඳ හමන්නේ ඒ නිසා බව ඔහුට වැටහිණි.

මේ බව ස්ථානාධිපතිවරයාට දැනුම් දීමෙන් පසු නිවසේ දොර විවර කොට ඊට ඇතුළු වූ නිලධාරීහු විමර්ශන ආරම්භ කළහ. මියගොස් ඇත්තේ වාසලතන්ත්‍රීගේ ලීලාවතී නමැත්තියකි. ඇය හැට හැවිරිදිය. ඇගේ ගෙල වටා රතු තන්ගුස් නූලක් ඔතා ඇති අතර නූලේ කෙළවර ඒ අසල ඇති ජනේලයේ යකඩ කූරක ගැට ගසා ඇත. බැලූ බැල්මට ඇය එල්ලී මිය ගොස් ඇති බවක් පෙනේ. ඇයගේ සිරුර නරක් වී ඇති බැවින් ඇය කෙසේ මියගියේදැයි තහවුරු කිරීමට ද නොහැකි විය. එහෙත් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා තුළ ඇත්තේ කිසියම් සැකයකි. නයිලෝන් ලණුව ගැට ගසා තිබූ ජනේලය අඩි තුනකට වඩා ඉහළින් තිබීමත් කාන්තාව මිය ගොස් ඇති ඉරියව්වත් ඔහුගේ සිතට කිසියම් සැකයක් එක් කළේය. පරීක්ෂණය කළුතර දකුණ සුළු පැමිණිලි අංශයට බාර කෙරිණි.

පොලීසිය සිද්ධිය වූ තැනට හදීසි මරණ පරීක්ෂකවරයා කැඳවීය. මිය ගිය කාන්තාවකගේ ගෙලේ රතු පැහැති නයිලෝන් ලණුව ගැන මරණ පරීක්ෂකවරයාට කිසියම් සැකයක් ඇති විය. හදීසි මරණ පරීක්ෂක මහතා පැවසුවේ මේ පිළිබඳ මහේස්ත්‍රාත්වරයාට දැනුම් දිය යුතු බවයි. ඒ අනූව සිද්ධිය වූ ස්ථානයට පැමිණි කළුතර වැඩබලන මහේස්ත්‍රාත් වජිර ලක්ෂ්මන් අසුරප්පුලි මහතා මියගිය කාන්තාවගේ පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කළුතර මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට නියෝග කළේය.

ඒ අනූව විමර්ශනයක් සිදුකළ කළුතර නාගොඩ මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී එල්.බී.එම්.ප්‍රනාන්දු මහතා තීන්දු කළේ වාහලතන්ත්‍රීගේ ලීලාවතී ගෙල මිරිකා මරා දමා ඇති බවයි. ඒ අනූව ඇයගේ මරණය ඝාතනයක් හැටියට තීන්දු කෙරිණි. මෙතෙක් සුළු පැමිණිලි අංශය මගින් සිය දිවි නසා ගැනීමක් ලෙස විමර්ශන සිදුකළ ලීලාවතීගේ මරණය ඝාතනයක් බවට හෙළිවීමත් සමඟ අපරාධ විමර්ශන අංශය පරීක්ෂණ ඇරඹීය. ලීලාවතී මරා දැමුවේ ඇයි? ඇය මරා දැමුවේ මුදල් හෝ දේපළක් නිසාද? ඇය මරා දැමුවේ කවුද? වැඩ බලන ස්ථානාධිපති වරයාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශය භාර ස්ථානාධිපතිවරයා ලීලාවතීගේ පන්විල නිවසට ගොස් කරුණු කාරණා සොයා බැලීය.

ලීලාවතීට දරුවන් දෙදෙනෙකි. ඔවුන් ජීවත්වන්නේ වෙන වෙනමය ලිලාවතිගේ පුතා මත් පැනට ඇබ්බැහි වූවෙකි. පුතාගේ කල් කිරියාව ගැන පැහැදීමක් නැති පන්විල අවට ගම් වාසීහු ලීලාවතීගේ ඝාතනයට පුතාව සැක කළහ. මේ නිසා ඔහු ගමෙන් පලා ගියේය. මවගේ අවසන් කටයුතු වලට පුතා සහභාගි වූයේ නැත. ඒ නිසා ඔහු කෙරෙහි සැකය තවත් වැඩි විය. පුතා ඉන්න තැනක් සොයා ගැනීමට ගම්මුන්ට හැකි නොවූහ. ගම්මු පොලීසියට චෝදනා එල්ල කළහ. ඊට හේතුව වූයේ පුතා අත්තඩංගුවට නොගැනීමය. පොලීසිය ලීලාවතීගේ දියණියගෙන් ප්‍රශ්න කළේය. ඇයද මවගේ මරණය ට තම සොහොයුරා හෝ ඔහුගේ මිතුරා සැකකරන බව කීවාය.

ලීලාවතීගේ පුතා මළගමින් දින කිහිපයකට පසු පොලීසියට භාර විය. ඔහු අපරාධ විමර්ශන අංශය භාර ස්ථානාධිපතිවරයා සමඟ පැවසුවේ මව මැරුවේ තමා බවය. ඒ මිතුරාවූ ලසන්තද සමඟින් බවත්ය. එහෙත් ඔහුගේ හැසිරීමෙන් කතාබහෙන් ඔහු තම මව මරා දමන්නට ඇති බව ස්ථානාධිපතිවරයා විශ්වාස කළේ නැත. ඔහුට කරුණු කාරණා පහදා දී ඇත්ත කියන ලෙස ස්ථානාධිපතිවරයා කීවේය. මිතුරු ලසන්ත යනු කවුදැයි ස්ථානාධිපතිවරයා ලීලාවතීගේ පුතාගෙන් විමසුවේය.පසුව ඔහු පොලීසියට ඇත්තම කීවේය.

ඉන්පසු පොලීසිය ලසන්ත පසුපස පන්නන්නට විය. වැඩි කලක් යන්නට මත්තෙන් ලසන්ත සැඟව සිටින ස්ථානය පිළිබඳ තොරතුරු ස්ථානාධිපතිවරයා ට ලැබිණ. ලසන්ත පොල්වත්තක සැඟව සිටියදී පොලීසිටය කොටු විය.

“අපි සේරම දැනගෙන ඉවරයි. උඹ ඇත්ත කියපන්.” ලසන්ත සියල්ලම හෙළිකළේ ඉන් පසුවය.

ලසන්ත විවාහකයෙකි. ඔහුට ගෙයක් දොරක් නැත. ඔහු බිරිය සමඟ පදිංචිව සිටින්නේ සුනාමි නිවසකය. ඒ නිවස පිහිටියේ මියගිය ලීලාවතීගේ නිවසට ආසන්නයේය. තව දුරටත් කරුණු කාරණා සොයද්දී පොලීසියට දැනගත හැකි වූයේ ලීලාවතීගේ පුතා හා ලසන්තගේ බිරිඳ අතර අනියම් සබඳතාවක් ඇති බවය. කලක් මොවුන් හොඳ මිතුරන්ය. මත් පැන් තොළ ගෑවේද එකටමය. සමහර දාට ලීලාවතීගේ පුතා නතර වන්නේ ලසන්ත ගේ නිවසේය. මේ නිසා ලීලාවතීගේ පුතා ලසන්තගේ බිරිඳ සමඟ අනියම් සබඳතාවය කිසිදු බාධාවකින් තොරව පවත්වාගෙන ගියේය. අවසානයේ ලසන්ත ද දමා ඔහුගේ බිරිඳ ලීලාවතීගේ පුතා සමඟ පැන ගියාය.

ප්‍රශ්නය උග්‍ර වන්නේ එතැන් සිටය. දරුවන් දමා පලා ගිය බිරිඳ කෙසේ හෝ යළි නිවසට කැඳවාගෙන ඒමට ලසන්තට ඕනෑ විය. මේ නිසා ලීලාවතීගේ පුතාගේ සිත තුළ ලසන්ත කෙරෙහි වෛරයක් ඇති විය. එහෙත් ටික කාලයක් සතුටින් සමාදානයෙන් සිටිය ද ලසන්ත ගේ බිරිය ලීලාවතීගේ පුතා සමඟ තිබූ අනියම් ඇසුර නතර කළේ නැත.

තුන් වරට ද ඇය ලීලාවතීගේ පුතා සමඟ පැන ගියේ පසුගිය 18 වැනිදාය. එදානම් ලසන්ත ගේ රතු කට්ට හොඳටම පැන්නේ්ය. බිරිය හා මිතුරා ඉන්න තැනක් සොයා ගැනීමට නොහැකිවූ තැන ලසන්තට මල පැන්නේය. ලීලාවතීගේ පුතාගෙන් පළිගත යුතු බව ඔහු තීරණය කළේය.

“උඹ කීයට හරි මෙහාට එන්න එපැයි” එසේ සිතූ ලසන්ත කෙලින්ම ගියේ ලීලාවතීගේ නිවසටය. සිය බිරිය සමඟ පැනගිය ලීලාවතීගේ පුතා කොයි මොහොතේ හෝ නිවසට එනු ඇතැයි සිතූ ලසන්ත ලීලාවතීගේ නිවසේ සැඟව සිටියේය.

රාත්‍රියේ ඉදිරි දොර විවර වන හඬ ලසන්තට හොඳින් ඇසිණ. දොර විවර කර ගෙන එන්නේ ලීලාවතීගේ පුතා බවට සැක කළ ලසන්ත සැඟව සිටී තැනින් හිස ඔසවා බැලීය. ලසන්ත ගේ සිතුවිල්ල නිවැරදි නොවීය. ලසන්ත ඉදිරියට ආවේ වයෝවෘද්ධ ලීලාවතීය. සැඟව සිටින ලසන්ත දුටු ලීලාවතී බියට පත්ව කෑගසන්නට වූවාය. ලීලාවතීගේ ළතෝනියට බියවූ ලසන්ත ඉදිරියට පැමිණ ඇයගේ ගෙල දෑතින්ම තදකර ගත්තේය. ගතවූයේ තත්පර ගණනකි ලීලාවතී ඇද වැටිණ. ලසන්ත සිතුවේ ඇය මිය යන්නට ඇති බවකි. ඊට තමා කොටු වන්නට ඉඩ ඇතැයි සිතූ ලසන්ත නිවසේ තිබූ රතු නයිලෝන් ලණුව ඇගේ ගෙල වටා ඔතා එහි කෙළවර ජනේලයක ගැට ගැසුවේ ලීලාවතී සිය දිවි නසා ගෙන ඇති බව හඟවන්නටය.

අපරාධයක් සිදුකොට කිසිදාක සැඟවී සිටිය නොහැක. අපරාධයක් සදා වැළලීමටද නොහැක. මේ බව සාක්ෂාත් කරමින් ලීලාවතීගේ මරණය අබිරහසක් වන්නට ඉඩ නොදී එහි ඇත්ත නැත්ත හෙළි කර ගැනීමට අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා ට හැකිවිය. නැතිනම් හිරේ විලංගුවේ වැටෙන්නේ ඝාතකයා නොව වෙනත් අහිංසකයෙකි ඒ ලීලාවතීගේ පුතාය.

“ලීලාවතීගේ පුතාට උවමනා වුණේ කොහොමහරි ලසන්තව අම්මගේ මරණයට පටලවන්න. එතකොට දෙන්නටම ඇතුළට යන්න වෙනවා. ඇතුළෙදී යාළුවාට මොනවාහරි කරන්නත් හිතේ තියෙන්න ඇති. නැත්නම් තමන්ගේ අම්මා නොමරා අම්මා මැරුවා කියලා මොන පුතෙක් ද නිකරුණේ පොලීසියට භාර වෙන්නේ. එයාට ඕන වුණේ යාළුවාගෙන් පළිගන්න. ඒවගේම ලසන්තට ඕන වුණේ ලීලාවතීගේ පුතා මරන්න. මොකද මිනිහගේ ගෑනිව තුන් පාරක් ම අරන් ගිය නිසා. ලීලාවතීගේ පුතා මරන්න හිතාගෙන තමයි ලසන්ත ලීලාවතීගේ ගෙදරට ආවේ. ඒත් ලීලාවතී එයාව හඳුනාගත් නිසා තමයි නිකං අපරාදේ ලීලාවතී මැරුම් කෑවේ.”

සිද්ධිය පිළිබඳ විමසීමකදී අපරාධ විමර්ශන අංශය භාර ස්ථානාධිපතිවරයා කීවේය.

“සර්ට පින්සිද්ධ වෙයි මාව බේර ගත්තට මාව නිරපරාදේ මිනීමරුවෙක් නොකළාට” දෑත් එක්කොට ස්ථානාධිපතිවරයාට ලීලාවතීගේ පුතා පැවසීය.

කළුතර කොට්ඨාශ භාර පොලිස් අධිකාරී උපුල් ආරියරත්න මහතාගේ උපදෙස් මත දකුණු කළුතර පොලීසියේ වැඩබලන ස්ථානාධිපති සමින්ද අමරසේකර හා අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ලසන්ත වීරසිංහ මහතා ඇතුළු කණ්ඩායමක් මේ පිළිබඳ විමර්ශන සිදු කළහ.

ලසන්ත මනඞකල්පිත නමකි