ඇඩ්ඩ්‍රස් නැති මර්ඩර්ස්වලට විසඳුමක් ඇත්තේම නැතිද?

ඇඩ්ඩ්‍රස් නැති මර්ඩර්ස්වලට විසඳුමක් ඇත්තේම නැතිද?

2017 වසර ලබන්නට තව ඇත්තේ මාසයකටත් අඩු කාලයකි. එහෙත් අපරාධ ලෝකයේ පාපතරයන්ගේ ගොදුරු බවට පත් වී මරු දුටු බොහෝ දෙනෙකුගේ නැදෑයින්ට ලබන්නාවූ අවුරුද්ද පී‍්‍රතියට කරුණක් නොවනු ඇත. ඊට හේතුව වන්නේ ඔවුන්ගේ පාර්ශවයන් මේම පාපතරයන් අතින් මැරුම් කෑම නිසාය. එවන් ඝාතන බොහෝමයකට අද අසාධාරණයක් සිදු වී නැත. ඉන් සමහරක් හමස් පෙට්ටියට වැටී තිබෙන්නට ද පුළුවන. කාලයාගේ වැලිතලාවට හසු වී ඇඩ්ඩ්‍රස් නැතිව ඇති ඝාතනද බොහෝය.

තත්ත්වය අඩාල වූත් එසේත් නැතිනම් ඇල්මැරුණු තත්ත්වයේ පවතින විමර්ශන ද ඒ අතරය. එහෙත් වින්දිත පාර්ශ්වයේ සමීපතමයන් තවමත් වෙහෙසෙනු ඇත්තේ කෙසේ හෝ තමන්ට අත් වූ අසාධාරණයට සාධාරණයක් ඉටු කර ගන්නටය. නිදැල්ලේ සිටින අපරාධකරුවන් නීතියේ රැහැනට කොටු කරගැනීමට පොලීසිය උනන්දු කරවීමටය.

කාලයක් තිස්සේ නොවිසඳුණු සමහර මිනීමැරුම් පිළිබඳ ඒ මියගිය පුද්ගලයන්ගේ ඇතැම් ඥාතීන් මෙසේ දුක්වනුයේ ඊට සම්බන්ධ වුවන් තවමත් නිදැල්ලේ හැසිරිම නිසාය. “මංචු” අමතන එවන් සමහරුන් අපෙන් ඉල්ලා සිටින්නේ ඝාතනය වූ පවුලේ සමීපතමයින් පිළිබඳ නැවත නැවත අවධානය යොමු කොට ඊට සම්බන්ධ වුවන් නීතියේ රැහැනට හසුකර දෙන ලෙස කියමින්ය. අප ඒ සම්බන්ධයෙන් අදාල විමර්ශන නිලධාරින්ගෙන් විමසුවිට ඔවුන් පවසා සිටින්නේ එවැනි නොවිසඳුණු සිද්ධින් පිළිබඳ විමර්ශන දිගින් දිගටම කෙරෙන බවත් අවශ්‍ය සාක්කි නොමැති නිසා නිකරුණේ සැකකරුවන් අත්අඩංගුවට ගත නොහැකි බවත්ය. මේ එවන් ඇඩ්ඩ්‍රස් නැති ඝාතන කිහිපයකි.

නිමේද්‍රා සතාසිවම් ඝාතනය

නිමේද්‍රා සතාසිවම් ඝාතනය අපේ රටේ අපරාධ ඉතිහාසය කඳුළින් තෙත්කළ තවත් බිහිසුණු අපරාධයකි. දෙවැනි වසරේ ඉගෙනුම ලැබූ නිමේද්‍රා පාපතරයන් පිරිසකගේ කෲර පළිගැනීමට ලක්වූයේ මීට වසර කිහිපයකට කලිනි. අදටත් නිමේද්‍රා පිළිබඳ සිතමින් තැවෙන ඇගේ පියාවන සතාසිවම් සිය දියණියගේ මරණින් පසුව ඔවුන් පදිංචිව සිටි නුවරඑළියේ ප්‍රදේශයේ නිවෙසට තවමත් ගොස් නැත. ඒ තම දියණිය කෙරෙහි ඇති වාවාගත නොහැකි වේදනාව නිසාය.

එකිනෙකට සම්බන්ධ බවට සැකකෙරෙන මිනීමැරුම් ගණනාවක තවත් පුරුකක් වශයෙන් ඥාතීහු නිමේද්‍රා ඝාතනය අදටත් හඳුන්වා දෙති. පිරිසක් ඇය පැහැරගෙන ගොස් තිබුණේ පාසල නිම වී නිවෙසට පැමිණ සිය නිවෙස අද්දර බයිසිකලයක් පදිමින් සිටියදීය.

පිරිසක් එක්ව සංවිධානාත්මකව නිමේද්‍රා පැහැර ගැනීමට හේතු වී තිබුණේ ඇය ඇසින්දුටු සිද්ධියක් නිසාය. බිහිසුනු අපරාධයක් සියැසින් දැක තිබු නිමේද්‍රා පුංචිකම නිසාදෝ ඒ අපරාධය පිළිබඳ නිතර කියන්නට පටන් ගැනීම එක්තරා පිරිසකගේ ඇස්වලට කටු අනින්නාක් මෙන් විය. ඒ අනුව දැරියව පැහැරගෙන තිබු ඒ පිරිස අන්තිමේදී නුවරඑළියේ සීතල දිය කඩිත්තක හිස ඔබා නිමේද්‍රාව මරා දමා තිබුණේ සිත්පිත් නැති පාපතරයන් ලෙසටය.

කලක් තිස්සේ විමර්ශන කෙරුණත් මුළුමනින්ම සැකකරුවන් අත්අඩංගුවට ගෙන නොතිබු ඒ සිද්ධියට අදාලව සැකපිට එවකට නුවරඑළියේ මූලස්ථාන පොලිසියේ පොලිස් ලොක්කෙක්ද පොලිස් අත්අඩංගුවට පත්විය.

නුවරඑළියේ කොට්ඨාශ විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානධිපතිවරයා ඇතුළු පිරිසක් විසින් අත්අඩංගුවට ගනු ලැබු එම නිලධාරියා එම සිද්ධියේ සැකකරුවන්ට එරෙහිව නීතිය හරිහැටි ක්‍රියාත්මක නොකිරීම මත වැඩ තහනමකටත් ලක් කෙරිණි. ඊට අමතරව එම චෝදනාව පැවරුණු තවත් පොලිස් නිලධාරියකු වෙනත් පොලිස් ස්ථානයකට මාරුකර යැවූ බවත් අසන්නට තිබිණි. එහෙත් අඩු වැඩි වශයෙන් නිමේද්‍රා ඝාතනයට සම්බන්ධ සහ ඊට අනුබලදෙන ලද සියල්ලන්ට විරුද්ධව තවමත් නිසි පියවර ගෙන නැතිවා සේම නිමේද්‍රා ඝාතනය වන්නට කලියෙන් සිටම නුවරඑළියේ වතුකර පෙදෙසක් ආශි‍්‍රතව සිදු වූ අපරාධ ගොන්නකටම අදාල පුද්ගලයන් තවමත් නිදැල්ලේ පසුවන බවත් නිමේද්‍රාගේ ඥාතීන්ගේ අසන්නට ලැබේ.

ඩිංගිරි අම්මා ඝාතනය

නාවලපිටියේ කඳුකර පෙදෙසක පිහිටි නිවෙසේදී වියපත් ඩිංගිරි අම්මාව මරා එල්ලා තිබුණේ ද මීට කලෙකට ඉහතදීය. එහෙත් මෙම ඝාතනයට සම්බන්ධ වූවන් තවමත් පොලිසිය අත්අඩංගුවට ගෙන නැත.

එකොළොස් දරු මවක් වූ ඩිංගිරි අම්මාගේ මරණය ඝාතනයක් බවට ඒ පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත් වූ අධිකරණ වෛද්‍ය නිලධාරියාද හෙළි කළේය. හුස්ම සිර කිරීමෙන් ඩිංගිරි අම්මාව මරා දමා තිබූ බව කියතත් මෙතෙක් ඊට සාධාරණයක් ඉටු වී නැතැයි ඇගේ ඥාතිහූ කියති.

ඉර්ෂාදියා ඝාතනය

බිහිසුණු අපරාධකරුවන් සිය අපරාධ සඟවන්නට තෝරා ගන්නා ඉසව්වක් දැයි සිතෙන තරමට පසුගිය සමයේ කල්පිටිය ප්‍රදේශයෙන් නාඳුනන මළ සිරුරු හමුවිය. එයින් සමහර ඝාතනවල පරීක්ෂණ කටයුතුවලට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ද භාරකළ බව පසුගිය කාලයේ මාධ්‍ය මගින්ද වාර්තා කෙරිණ. කපා කොටා ඝාතනය කළ විදේශිකයකු බවට සැක කෙරෙන පුද්ගලයකුගේ මළ සිරුරක් බෙඩ්ෂීට් එකකින් ඔතා ළිඳකට දමා තිබීම එවන් එක් අපරාධයකි.

කඳ සහ හිස වෙන වෙනම හමු වූ ඉර්ෂාදියා ඝාතනය ද වාර්තාවූයේ කල්පිටිය ප්‍රදේශයෙනි. එහෙත් ඉර්ෂාදියා ඝාතනය පොලිසියේ අවධානයට ලක් වූයේ දැයි සැක සහිත බව ඇයගේ පවුලේ ඇතැම් ඥාතීන් සහ මිතුරියන් මංචුවට කීහ.

දැඩි පිලිස්සුම් තුවාල සහිතව නිවෙසේ සිටියදී හමු වූ එම කාන්තාව වැඩිදුර ප්‍රතිකාර සඳහා පුත්තලම මහ රෝහලෙන් කොළඹ ජාතික රෝහලට මාරු කර යැවීය.

ජාතික රෝහලේදී මියයාමට කලින් ඉර්ෂාදිය රෝහල් කාර්ය මණ්ඩලයට රහසක් කීවාය. ඒ කළුවරේ නිවෙසට ඇතුළු වූ කවුදෝ පිරිසක් නින්දේ සිටි ඇයට ගිනි තැබු බවකි. ඒ හැරෙන්නට ඒ කවුදැයි කියන්නට දැන නොසිටි ඉර්ෂාදියාට ගිනි තැබු පිරිස කොටුකර ගැනීමට කල්පිටිය පොලිසියට තවමත් හැකි වී නැත. මෙම විමර්ශනය කල්පිටියේදීම සිදු වූ ඇතැම් ඝාතන මෙන් අපරාධ විමර්ශනය පිළිබඳ විශේෂ දක්ෂතා පෙන්වන පොලිසියේ වෙනත් විමර්ශන අංශයකට හෝ යොමු කොට ඉර්ෂාදියාගේ පාර්ශවයට සාධාරණය ඉටුකළ යුතුව ඇත.

මීට වසර පහකට පමණ පෙර ජනපි‍්‍රය චිත්‍රපට නිළියක් ඝාතනය කෙරිණ. ඒ විනූ වෙත්තමුණිය. පරීක්ෂණ බාරවුයේ ගල්කිස්ස පොලිසියටය. ඒත් විනූගේ ඝාතනයට සම්බන්ධ වූවන් අදත් නීතියේ රැහැනට හසු වී නැත.

ඇය මරා දමා තිබුණේත් ගෙල කළුපාට හීන් ඝණ පටියකින් තදකොට දමාය. ඇය මරා දමා ඇති බව මුලින්ම දුටුවේ ඇගේ පුතාය. ඝාතකයන් ඇය මරා දේපළ ද රැගෙනගොස් නැත. එසේ නම් විනූ මරා දැමුවේ ඇයි...?

"අපි පොලිස් සුනඛයන් යෙදෙව්වා. ඇඟිලි සලකුණු නිලධාරීන් යෙදෙව්වා. එක් ඇඟිලි සලකුණක් හම්බ වුණා. විනූගේ දුරකථන පිළිබඳ විමර්ශනයක් පැවැත්වුවා. අපිට තවමත් හරිහැටි සාක්කි නැහැ. විනූ ඇසුරු කළ පුද්ගලයන් ගැනත් අපි අවධානයෙන් ඉන්නේ."

ඒ එදා විනු ඝාතනය පිළිබඳ විමර්ශන සිදුකළ පොලිස් ස්ථානාධිපතිවරයා මාංචුවට කී කතාවය. විනූ මරා දමා තිබුණේ 2011 - පෙබරවාරි මාසයේය. 2017 වසරට වසර හයක් සපිරෙයි. එත් විනූ ඝාතකයන් තවමත් නිදැල්ලේය.

අප මේ පළකළේ එවන් නොවිසඳුණු ඝාතන සමුහයකින් අල්පයකි. මෙම අපරාධ පොලිස් පොත්වල සටහන් වන්නේ නොවිසඳුණු අපරාධ ලෙසිනි.

පොලිසියේ වචනයෙන් කියනවා නම් “සී-ත්‍රී” අපරාධ ලෙසිනි.

ඕනෑම අපරාධයක් විසඳිය හැකි බවට කියමනක් ඇත. ඒ ඊට සම්බන්ධ නිලධාරින්ගේ දක්ෂතාවය නිසාය. කැපවීම, හඹායම, පළපුරුද්ද සහිත විමර්ශන නිලධාරින් අපට කොතෙකුත් සිටී. ඒ නිසා විසඳි ගිය මිනිස් ඝාතනද බොහෝය. පොලිසියට අමතරව දක්ෂ විමර්ශකයෝ රහස් පොලිසියේ ද සිටිති. අපරාධයක් සදාකාලිකව යටපත් කළ නොහැකි මෙන්ම අපරාධයක් සදා වැළලියද නොහැක.

අපරාධයක් සිදුවූ වහාම පොලිස් රාජකාරිය කරන බොහෝමයක් නිළධාරීහු සැකකරුවන් සාක්කි නැතිව අත්අඩංගුවට ගැනීමටත් පහර දී ඝාතනයේ සුලමුල සෙවීමටත් පුරුදුව සිටියහ. ඒ ඈත අතීතයේය.

අද එළෙස ක්‍රියා කිරීමට අවශ්‍ය නැත. නවීන තාක්ෂණය අද කොතෙකුත් ඇත. ඇසින් දුටු සාක්කි නැත්නම් පර්වේෂණ සාක්කි සොයාගත හැක. ඩී.එන්.ඒ.විමර්ශන ඇත. එහෙත් බොහොමයක් අපරාධවල සැකකරුවන් තවමත් අත්අඩංගුවට පත්ව නැත්තේ විමර්ශන නිලධාරීන් කියන අන්දමට “සාක්කි” නැති නිසාය.

සාක්කි නැතිව අත්අඩංගුවට ගැනීමට ඔවුහු බියවන්නේ මානව හිමිකම් චෝදනා ලැබීමට අකමැති නිසාය. නිරපරාදේ රාජකාරිමය ප්‍රශ්න ඇති කරගන්නට අකැමැති නිසාය. ඒ ඔවුන් කියන කතාය. එසේනම් “ඇඩ්ඩ්‍රස්” නමැති මෙවන් ඝාතනවලට නීතියේ සාධරණය ඉටුවනතුරු කොතෙක් අපි බලා සිටිමුද? . නීතිය රකින නිලධාරීන් මීට පිළිතුරු දිය යුතුව ඇත.