වාරියපොළ සමීර මැරුවේ හිටපු යුද හමුදා බොක්සිං පුහුණුකරුවෙක්ලු

වාරියපොළ සමීර මැරුවේ හිටපු යුද හමුදා බොක්සිං පුහුණුකරුවෙක්ලු

“සර්.... වාරියපොළ ත්‍රිවිල් ඩ්‍රයිවර් මරපු කේස් එකේ අනිත් මෑන් ඉන්නේ කොළඹ පැත්තේ”

මීගමුව නීතිය බලාත්මක කිරීමේ ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ගිහාන් මනෝහරට මෙම තොරතුර ලැබන්නේ පෞද්ගලික ඔත්තුකරුවකුගෙනි.

එම තොරතුරට අනුව වාරියපොළ පොලිසියෙන් තොරතුරු සොයා බැලූ ගිහාන් මනෝහරට දැනගන්නට ලැබුණේ ත්‍රිරෝද රථ රියැදුරු ඝාතනයට සැකපිට ඔහුගේ බිරිය හත් හැවිරිදි දියණිය. බිරියගේ අනියම් සැමියා, යුද හමුදා සෙබළකු, හිටපු යුද හමුදා සැරයන් මේජර් වරයකු ඇතුලු හය දෙනකු වාරියපොළ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති බවයි.

තවදුරටත් සොයා බැලිමේදී අනාවරණය වුයේ ත්‍රිරෝද රියැදුරු ඝාතනය කොන්ත්‍රාත්තුවක් බවත්, කොන්ත්‍රාත්තුව ලබාගත් හිටපු යුද හමුදා සෙබළා තවමත් අත්අඩංගුවට ගැනීමට නොහැකි ව සිටින බවත් ය.

මෙම තොරතුරු ලබාගත් ගිහාන් මනෝහර සැකකරු සෙවීමේ මෙහෙයුම අරඹන්නේ නවීන තාක්ෂණය උපයෝගී කරගෙනය.

ඒ අනුව මෙම පුද්ගලයා පදිංචි ප්‍රදේශය පිළිබඳ තොරතුරු හෙළිකරගත් මනෝහර එම ප්‍රදේශයේම පදිංචි පුද්ගලයකුගෙන් තොරතුරු ලබා ගැනීමට සැලසුම් කළේය.ඒ අනුව එම ඔත්තුකරු සැකකාර පුද්ගලයා යනඑන කාල වේලාවල් පිළිබඳ සෝදිසියෙන් සිටියේය.

ඔහු පසුගිය සතියේ දිනක ගිහාන් මනෝහරට දුරකථන ඇමතුමකින් දන්වා සිටියේ සොයන පුද්ගලයා මේ වන විට නිවෙසේ සිටින බවය.

එම තොරතුරට අනුව පොලිසිය මොහු අත්අඩංගුවට ගන්නේ ගාල්ල, බද්දේගම පිහිටි බිරියගේ නිවෙසේ සිටියදීය.

ඉන්දික නම් වන මොහු හිටපු යුද හමුදා සෙබළෙකි. යුද හමුදා බොක්සිං කණ්ඩායමේ ප්‍රබල චරිතයක් වු මොහු බොක්සිං පුහුණු කරුවකු ලෙසද කටයුතු කර ඇත.

පහර දී පුද්ගලයකු ඝාතනය කිරීමට තැත් කිරීමේ චෝදනාව යටතේ මොහුට කොළඹ මහාධිකරණයේ නඩුවක් පවතී. මෙම සිද්ධිය වූ මුල් දිනවල මොහුගේ සේවය අත්හිිටුවන අතර පසුව ඔහු යුද හමුදා සේවයෙන් ඉවත්කර ඇත. එහෙත්...යුද හමුදාව මොහුට නීතියක් පනවා තිබිණි. ඒ .... සෑම මසකටම වරක් පනාගොඩ යුද හමුදා කඳවුරේ පොතක අත්සන් තැබීමයි.

“එදා මම අත්සන් කරන්න කැම්ප් එකට ගිය වෙලාවේ අජිත් හම්බවුණා. අපි එළියට ගිහින් ඩ්‍රින්ක් එකක් ගන්න අතරේ අජිත් මට කිව්වා සාජන් මේජර් සිරිවර්ධන (යුද හමුදා සේවයෙන් විශ්‍රාම ගිය අයෙකි) කැත වැඩක් කළා. වැඩක් බාර අරගෙන සල්ලි අරන් මාරු වුණා. වැඩේ කළේ නෑ කියලා.

“සාජන් මේජර් මගේ හිතවතෙක්. පදිංචිවෙලා ඉන්නේ පනාගොඩ පැත්තේ. මම එයාට කෝල් එකක් දීලා ඩ්‍රින්ක් එකකට එන්න කිව්වා. ඒ වෙන කොට වාරියපොළ රොෂානුයි යාළුවෙකුයි ඇවිත් හිටියා”

“කෝල් එක දීලා ටික වෙලාවකින් සාජන් මේජර් සිරිවර්ධන අපි හිටපු තැනට ආවා. ඒ ආවාම අජිත් එයාගෙන් ඇහුවා මොකක්ද කරපු කැත වැඩේ. සල්ලි අරගෙන මාරු වුණා නේද කියලා. රොෂානුත් එයාට දොස් කිව්වා.”

“සාජන් මේජර් කිව්වා මට ලෝන් එකක් දීලා තියෙන්නේ. ඒක ලැබුණු ගමන් ගත්ත ලක්ෂ හතයි අසුපන්දාහයි දෙනවා කියලා. එයා වැඩි වෙලා නොඉඳ යන්න ගියා.”

ඉන්දික එලෙස පාපොච්චාරණය කළේය.

ඔහු හෙළි කළ තොරතුරු වලට අනුව අජිත් ඊළඟට මෙම කොන්ත්‍රාත්තුව බාර දෙන්නේ ඉන්දිකටය. ඒ... රුපියල් හැත්තෑපන්දහසක් ලබාදෙන බවට පොරොන්දු වෙමිනි.

ඒ වන විට රැකියාවක් නොමැතිව සිටි ඉන්දික අජිත්ගේ රුපියල් හැත්තෑපන්දහසේ කොන්ත්‍රාත්තුව ලබාගත්තේය. රොෂාන් ඒ මොහොතේම අත්තිකාරමක් ලෙස රුපියල් තිස්දහසක මුදලක් ඉන්දිකට ලබා දුන්නේය.

එතැනින් පිරිස විසිර ගියේ දුරකථන අංක ද හුවමාරු කර ගැනීමෙන් අනතුරුවය.

“එදා... ඔය සිද්ධිය වෙච්ච දවසේ (නොවැම්බර් මස තුන්වැනිදා) රොෂාන් මට කෝල් කරලා වාරියපොළට එන්න කියලා කිව්වා. මම උදේ බද්දේගමින් බස් එකේ නැගලා කොළඹට ඇවිත් එතැනින් කුරුණෑගලට ගියා. කුරුණෑගලින් බස් එකක නැගලා වාරියපොළින් බැස්සා. රොෂාන් බයික් එකේ ඇවිත් හිටියා.”

“රොෂාන් මාවත් බයික් එකේ දාගෙන යන ගමන් මගින් අරක්කු බෝතල් එකහමාරකුත් අරගත්තා. මරන්න ඕන පුද්ගලයා පදිංචි ගෙවල් කිට්ටුව වැවක් අයිනට ගිහින් අපි බිබී ඉන්දෙද්දී ගෑනු කෙනෙක් එතැනට ආවා. ඒ මරන්න ඉන්න කෙනාගේ පවුල කියලා රොෂාන් කිව්වා.”

“රොෂාන් ඒ ගෑනු කෙනා එක්ක එහාට ගිහින් ටිකක් කතා කර කර ඉඳලා ඇවිත් කිව්වා අද රෑට වැඩේ කරන්න පුලුවන් කියලා. ඒ ගෑනුකෙනා රොෂාන්ට කියලා තිබුණා එයා අද රෑට පාටියකට යනවා. එද්දී අපිට කෝල් එක දෙනවා අපිට වැඩේ කරන් පුලුවන්. කඩු දෙකක් ඒ මනුස්සයාගේ කෙසෙල් වත්ත ළඟ තියෙන බොක්කුව යට හංගලා තියෙනවා. කියලත් කිව්වා.”

“අපි... වැව ළඟ බිබී හිටියා. රෑ අට පහුවුණාට පස්සේ රොෂාන්ට කෝල් එකක් ආවේ ඒ ගෑනු කෙනාගේ දුවගෙන්. ඒ ළමයා කිව්වා තාත්තා දැන් එනවා කියලා. බොන එක නවත්තලා අපි දෙන්නා බයික් එකෙන් කෙසෙල් වත්ත ළඟට ගියා. අපි යද්දී ඒ මනුස්සයා ත්‍රිවිල් එකෙන් බැහැලා කෙසෙල් වත්තට ගිහින් තිබුණා.”

“අපි දෙන්නා බෝක්කුව යට තිබුණ කඩු දෙකත් අරගෙන වත්තට පැනලා මිනිහගේ පස්සෙන් ගියා. ගිහින් මම මිනිහව අල්ලලා බිම දැම්මා. බිම දාලා අපි දෙන්නම මිනිහට කඩුවලින් කොටාගෙන කොටාගෙන ගියා.”

“මිනිහා කෙඳිරිගෑවා. සද්දෙට කවුරුත් ආවේ නෑ. අපි කඩු දෙකත් අරගෙන වත්තෙන් පිටවෙලා බයික් එකෙන් ආපහු වැව ළඟට ගිහින් ඉතුරු ටික බ්ව්වා... මම කඩුව වැව කිට්ටුව පඳුරක් අස්සේ හැංගුවා. පස්සේ රොෂාන්,මාව බයික් එකේ එක්කගෙන ගිහින් බස් එකට දැම්මා. රුපියල් විසිදාහකුත් දිලා ඉතිරි ටික දෙන්නම් කියලා පොරොන්දු වුණා.”

ඉන්දික එලෙස රුපියල් හැත්තෑපන්දහසක ඝාතන කොන්ත්‍රාත්තුව සිදුකළ අයුරු විස්තර කළේය.

මොවුන් විසින් මෙලෙස ඝාතනය කරනු ලබන්නේ වාරියපොළ පොලිස් වසමේ පැටපොළ ප්‍රදේශයේ පදිංචිව සිටි රසික කුමාර නමැති ත්‍රිරෝද රථ රියැදුරෙකි. හතලිස් තුන් හැවිරිදි ඔහු එක්දරු පියෙකි.

පොලිස් පරීක්ෂණවලදී හෙළිවූ තොරතුරුවලට අනුව කලක් විදෙස්ගතව සිටින රසික මෙරටට පැමිණ ත්‍රිරෝද රථයක් මිලදී ගත්තේ ය.

අවුලේගම පොළ හන්දියේ ත්‍රිරෝද රථගාලෙන් හයර් යන මොහු අක්කර භාගයක පමණ කෙසෙල් වත්තටකටද උරුමකම් කීය.

මොහු විදෙස්ගතව සිටි සමයේ මොහුගේ බිරිය ගමේම පදිංචි විවාහවයකු වු රොෂාන් යන අය සමඟ අනියම් ඇසුරක් පටන්ගෙන තිබිණි. කල් ගතවෙද්දී මේ ඇසුර දුරදිග යන අතර රසික මෙරටට පැමිණීමෙන් අනතුරුව ද ඇය එය නවතා දැමීමට උත්සාහ කර නැත.

ඒ හේතුවෙන් රසික සහ බිරිය අතර පවුල් ආරවුල් ඇතිවිය. දිනෙන් දිනම මෙම ආරවුල් උග්‍ර අතට පත් වූ අතර රසික ගෙවා දැමුවේ බොහෝ දුක්බර,බලාපොරොත්තු කඩ වූ දිවියකි.

ඒ කෙසේ වෙතත් ඔහු සිය රැකියාව වූ ත්‍රිරෝද රථය හයර් කිරීම නතර කළේ නැත. එලෙසම බිං කෙසෙල් වගාව බලා කියා ගැනීම ද කරගෙන ගියේය.

කොපමණ රෑ වුණත්, මත්පැන් පානය කොට වෙරි වී සිටියත් ඔහු ගෙදරට පැමිණීමට පෙර කෙසෙල් කොරටුවට ගොස් වතුර මෝටරය ඇතුලු මුළු වත්ත පිටියම බලන්න පුරුදුව සිටියේය.

මේ අතර ඔහුගේ බිරියට දිනෙන් දිනම ඔහු මහා හිසරදයක් විය. රසිකගෙන් ගැලවෙන්නට පොටක් කල්පනා කළ ඇයට ආ සිතුවිල්ල වුයේ සැමියා මරා දැමිය යුතු බවය.

ඇය ඒ අදහස අනියම් සැමියා වන රොෂාන් සමඟ පවසන අතර රොෂාන් ද ඊට එකඟතාව පළකරන්නේය. රසික ඝාතනය කිරීමේ යෝජනාව ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදන රොෂාන් ඒ සඳහා සුදුස්සෙකු ඇත්දැයි කල්පනා කරන්නට විය. ඒ අනුව ඔහුගේ මතකයට ආවේ පනාගොඩ යුද හමුදා කඳවුරේ සේවය කරන මිතුරකු වූ අජිත්ය.

“මචං මට පොඩි වැඩක් තියෙනවා කරගන්න.මට ඒකට උදව් කරපං.” එලෙස දුරකථනයෙන් පවසන රොෂාන් අනතුරුව පනාගොඩටවිත් අජිත් හමු වී සිය අවශ්‍යතාව හෙළිකළේය.

“හරි.....මචං.. ඔය වැඩේට නියම වැඩකාරයෙක් ඉන්නවා. මිනිහා රිටායඩ් සාජන් මේජර් කෙනෙක්. මම මිනිහා එක්ක කතා කරලා බලන්නම්”

අජිත්ගෙන් ලැබුණු මෙම පිළිතුරෙන් සැහීමට පත්වන රොෂාන්ට පසුව අජිත් පවසන්නේ රුපියල් හත් ලක්ෂ අසුපන් දහසකට වැඩේ කතා කරගත් බවයි.

රසික ඝාතන කොන්ත්‍රාත්තුව බාර ගන්නා විශ්‍රාමික යුද හමුදා සැරයන් මේජර් සිරිවර්ධන රුපියල් හත්ලක්ෂ අසුපන්දහසේ මුදල ලබාගන්නා නමුත් රසික මරා දමන්නේ නැත.... ඔහු... එම මුදල රැගෙන හෙමින් සීරුවේ මාරුවන අතර ඉන් වැඩිපුරම කෝපයට පත්වන්නේ රසිකගේ බිරිඳය. මේ මුදල ලබා දී තිබුණේ ඇය විසිනි.

මෙපමණ මුදලක් වැය කලද අවශ්‍යතාව ඉටු නොවූ බැවින් ඇය දිගින් දිගටම රොෂාන්ට කරදර කරන්නට වුයේ හැකි ඉක්මනින් මෙය ඉවරයක් කර දමන ලෙසටය. එලෙසම ඒ සඳහා තව දුරටත් මුදල් වියදම් කිරීමට පවා ඇය පෙළඹුණාය.

රොෂාන් දෙවන වරට පනාගොඩට ගොස් අජිත් හමුවී මේ අවනඩුව පවසා සිටින්නේ තවදුරටත් ඇයගේ දුක් අඳෙීනා ඉවසිය නොහැකි තැනය. එහෙත්... සැරයන් මේජර් ලවා එම ඝාතනය කරවීමට හෝ දුන් මුදල ආපසු ලබා ගැනීමට හෝ අජිත්ට හැකිවන්නේ නැත... ඔහ ු..... ඉන්දිකගේ සහාය පතන්නේ ඉන් අනතුරුවය.

රසික ඝාතනයේ මුල්ම තොරතුර වාරියපොළ පොලිසියට ලැබෙන්නේ වාරියපොළ රෝහලෙනි. ස්ථානාධිපති වරයාට දුරකථන ඇමතුමක් ලබා දෙන රෝහල් සේවකයකු පවසා සිටියේ තියුණු ආයුධවලින් පහර කෑමට ලක් වූ පුද්ගලයකු රෝහලට ඇතුලත් කළ බවත්, ඔහු රෝහලට රැගෙන එනවිට මියගොස් සිටි බවත්ය.

මෙම දුරකථන ඇමතුම ලැබුණේ නොවැම්බර් මස තුන්වැනිදා රාත්‍රි නවයට පමණය.

ඒ සමඟම පොලිසියට පැමිණෙන කාන්තාවක ස්ථානාධිපතිවරයා හමු වී පවසා සිටියේ “මගේ මහත්තයා කපලා කොටලා මරලා දාලා සර් "ලෙසිනි.

ඇයගේ ඉරියව් පිළිබද සැහිමකට පත් නොවු ස්ථානාධිපතිවරයා ඇයගෙන් මෙම ඝාතනය පිළිබඳ තොරතුරු විමසන්නට වුයේ සිතට ඇතුලු වූ සැකයක් ද ඇතිවය

ඇයගේ පැමිණිල්ල සටහන් කරගන්නා ලෙසට උපදෙස් ලබාදුන් ස්ථානධිපති වරයා කණ්ඩායමක් ද සමඟ ඔහු මරා දමා තිබු පැටපොළ කෙසෙල් වත්තට යන විට අවට පදිංචි බොහෝ දෙනෙකු එතැනට රැස්ව සිටියහ.

එතැන සිටි එක් අයකු මෙම සිද්ධිය තමාට ඇසුණු බවත් රසිකගේ ත්‍රිරෝද රථය කෙසෙල් වත්ත අසල නවතා තිබෙනු දැක ගොස් බැලුවද ඔහු එහි නොසිටි බවත්, විදුලි පන්දම් රැගෙන කෙසෙල් වත්ත පරීක්ෂා කර බලද්දි ඔහු මාරාන්තික තුවාල සහිතව කෙසෙල් ගසක් අසල වැටී සිටි බවත් කිවේය.

පසුව ඔහු ත්‍රිරෝද රථයකින් රෝහලට රැගෙන යාමට උත්සාහ කළ ද නොහැකිවූ බැවින් කැන්ටරයක දමා රෝහලට රැගෙන ගියමුත් ඔහු ඒ වන විට ද මියගොස් සිටි බවය.

එලෙසම ඔහු පැවසු තොරුතුරු වලින් තවත් යමක් හෙළිවිය. ඒ... රසික මරා දමා ඇති බව ඔහුගේ බිරියට පැවසු පසු බිරිය කෙසෙල් කොටුව දෙසට දිව විත් රසික අසලට නොයා ආපසු හැරී නිවෙස වෙත ගිය බවත් “දුව තනියම ගෙදර ඉන්නේ. දොරවල් වහලා එන්නම්” කියාගෙන ඇය ගිය බවත් ඒ අතරතුරේ ගමේ අය එක්ව රසික රැගෙන ගිය බවත් ය.

ඇය... මෙම ඝාතනයට සම්බන්ධ බවට දිගින් දිගටම සැකකළ පොලිසිය රසිකගේ මළ ගෙදරට සිවිල් පොලිස් නිලධාරින් යොදවා ඇයගේත්, මළගමට පැමිණෙන අයගේත් ඉරියව් පරීක්ෂා කළේය. ඒ අනුව ඇය රසිකගේ දේහය ඉදිරිපිට හඬා වැටී කරන රඟපෑම තේරුම් ගැනීමට පොලිස් නිලධාරින්ට එතරම් අමාරු කාර්යයක් වුයේ නැත.

ඇයට රිසිසේ නිදහස විඳින්නට ඉඩ දී පොලිසිය ඇය අත්අඩංගුවට ගන්නේ රසිකගේ හත්දවසේ දානය දාය. ඇයගේ හත් හැවිරිදි දියණිය ද, රොෂාන් අජිත් ඇතුලු කණ්ඩායම වාරියාපොළ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරන අතර ඔවුන් කිසිවෙකුත් ඉන්දික පිළිබඳ නිවැරැදි තොරතුරු පවසන්නට ඉදිරිපත් වුයේ නැත. ඔහු .... මාසයකට ආසන්න කාලයක් නිදැල්ලේ සිටියේ එබැවිනි.

මීගමුව නීතිය බලගැන්වීමේ ඒකකය කළ පරීක්ෂණ වලදි හෙළි වී තිබුණේ මොහු දකුණු හා කටුනායක පාතාලයට සම්බන්ධව අපරාධවල යෙදුණු අයකු බවය.

මීගමුව කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස්ි අධිකාරි පි‍්‍රයලාල් දසනායක, සහකාර පොලිස් අධිකාරි 1 ලලිත් රෝහණ ගමගේ යන නිලධාරින්ගේ උපදෙස් මත මීගමුව නීතිය බලගැන්වීමේ ඒකකයේ ස්ථානාධිපති ගිහාන් මනෝහර ප්‍රමුඛ සැරයන්වරුන් වන 63188 රවුෆ්,51741 ඩැනී පෙරේරා, 7000 චන්දන, කොස්තාපල් 68229, අමල් යන අය පරීක්ෂණ සඳහා එක් වූහ.