"මම යන්නේ මෙයාවත් අරගෙනයි"

"මම යන්නේ මෙයාවත් අරගෙනයි"

පානදුරේ නාලිකා තිස් හැවිරිදි සුරූපිනියකි. ඇය විවාහකය. එක් දරු මවකි. ඇය නිතර නිතර තරහ ගතියෙන් පෙළෙයි. සැමියාට පහර දෙයි. මානසික ආතතියෙන් පෙළේ. මනෝ වෛද්‍ය ප්‍රතිකාර කොතෙක් කළත් සුවයක් නොවූ තැන ඇගේ සැමියා නුවන් ඇගෙන් වෙන් වී ගියේය.

මේ තත්ත්වය ගුප්ත බලවේගයක් නිසා සිදු වේ දැයි සැකකළ ඇගේ මව ගුප්ත

ගවේෂණ මධ්‍යස්ථානය වෙත ඇය ගෙනාවාය. දියණියගේ රෝග තත්ත්වය ආධ්‍යාත්මීය

ගවේෂකවරයා සමඟ විස්තර කළාය.

ප්‍රථම රෝග පරීක්ෂණයේදී නාලිකා දිෂ්ටි ගැන්වී කෑ ගසන්නටත් දඟලන්නටත් වුවාය. ගවේෂකවරයා රෝග තත්ත්වය සමනය කරන්නට දින විසි එකක් ගමේ පන්සලේදී බෝධි පුජා පවත්වා නැවත එන්නැයි ඔහුනට උපදෙස් දුන්නේය.

දින විසි එකේ බෝධි පූජාව අවසන් කොට මවත් දුවත් නැවත පැමිණියහ. එදින ඇයට ආවිශ්ට වූ භූතාත්මය කතා කරන්නට වූ අතර ගවේෂකවරයා ප්‍රශ්න කරන්න විය.

“කවුද මේ ශරීරයට රිංගා ගෙන ඉන්නේ”

“මම කුමාර”

“ කවුද කුමාර කියන්නේ?”

“මෙයාගෙ අනියම් සැමියා”

“කොයි තරම් කාලයක් ආශ්‍රය කළාද?”

“අවුරුදු පහක් විතර”

“මැරුණේ මොනවා වෙලාද?”

“වාහන අනතුරකින්”

“කොයි කාලෙද?”

“අවුරුදු එකහමාරකට කලින්”

“ඇයි මේ නාලිකාට කරදර කරන්නේ”

“මට නාලිකාව ඕනෑ. මම මෙයාට ආදරෙයි”

“ඔබට මොකටද නාලිකා“

“මගේ ලෝකයට ගෙනියන්න”

“ඔබ දැන් කොහේද ඉන්නේ”

“ඔහේ පාවි පාවි ඉන්නවා”

“ඉතින් නාලිකා මොකටද?”

“මට පාළුයි. ඒකයි නාලිකා ඕන”

“එතකොට නාලිකාගේ මහත්තයා”

“මම එයාට ගහලා පන්න ගත්තා”

මේ කතාවේ සැඟවුණු දෙයක් ඇතැයි වටහාගත් ගවේෂකවරයා නාලිකා පියවි සිහියට පත් කළේය. ඇගේ මව ප්‍රතිකාර කාමරයෙන් පිටතට යවා නාලිකාගෙන් පුද්ගලිකව ප්‍රශ්න කළේය.

“කවුද මේ කුමාර?”

නාලිකා විමතියට පත්ව නිහඬව සිටියාය.

“ඇත්ත කියන්න. ඔබේ ගෞරවයටයි අම්මව ඉවතට යැව්වෙත්, රෝගයක් සනීප කරන්න රෝග නිධානය සොයාගන්න ඕනෑ”

ගවේෂකවරයා නාලිකාට කීවේය.

නාලිකා සියල්ල හෙළිදරව් කරන්නට පටන් ගත්තේ ඉන් පසුවය.

“මගේ මහත්තයා එයාගේ බිස්නස්වලට නිතර ජපන් යනවා. සති ගණන් මාස ගණන් ජපානයේ ඉන්නවා. ඔය අතරෙයි මම කුමාර හඳුනාගත්තේ. කුමාර ඉතාලි ගිහින් ආපු කෙනෙක්. එයා බැඳලා නැහැ. එයා මට වටිනා තෑගි බෝග දුන්නා. දියමන්ති මාල පවා දුන්නා. කුමාරයි මමයි නිදහසේ ආශ්‍රය කළා. දවස් දෙක තුන පිට ගිහින් විනෝද වුණා. ඔය අතරේ කුමාර වාහනයක හැපිලා මැරුණා”

නාලිකා කදුළු සළන්නට වුවාය.

තවත් දෙසතියක් බෝධි පූජා පවත්වා නැවත එන්නැයි ගවේෂකවරයා ඔවුන්ට උපදෙස් දුන්නේය.

මෙසේ බෝධි පූජා පවත්වන අතර කාලයේ නාලිකා නිවසේදී ආවිශ්ට වී “උඹලාට මාව එළවන්න බැහැ” යි කියා පාර දිගේ දුවන්නට පටන් ගෙන ඇත. ඥාතීහු ඇය ලුුහු බැඳ අල්වාගෙන ඇවිත් ප්‍රතිකාර කළහ. පුද්ගලික රෝහලක ද නතර කළේය.

තරමක් සාමාන්‍ය තත්ත්වයට පත් වූ පසු නැවත ප්‍රතිකාර සඳහා ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානයට කැඳවාගෙන ආ නාලිකාට යළි භූතාත්මය ආවිශ්ට විය.

ගවේෂකවරයා භූතාත්මය ඇමතීය.

“තමුන් දැන් කුමාර නොවෙයි. පේ‍්‍රතයෙක්. නමුත් ජීවත්ව ඉන්දැද්දිත් අකුසල් කළා. පවුල් කඩා කප්පල් කළා. මැරීලත් පවුල් කඩා කප්පල් කරනවා. ඉවත්ව නොගියොත් දඬුවම් කරන්න වෙනවා. තවත් දැඟලුවොත් අල්ලලා මූදට දානවා.

“අනේ එපා මහත්මයා, මට සමාවෙන්න.මම ඉවත්ව යනවා. මේ දැන් ඉවත්ව යනවා”

භූතාත්මය නාලිකාගේ ශරීරයෙන් ඉවත්ව ගියේය.

නාලිකා සැහැල්ලු සිතින් මව සමඟ නිවසට ගියාය. එහෙත් එදින රාත්‍රි භුතාත්මය නැවතත් ආවිශ්ට වී කලබල කරන්නට විය.

“මට නාලිකා දාලා යන්න බෑ, මම යන්නෙත් නෑ, මම නාලිකාට ආදරෙයි, මට නාලිකාව ඕනෑ, මම ඉන්න ලෝකයට එයාව ගෙනියනවා”

භූතාත්මය යළි කෑ ගසන්නට විය.

ඇගේ මව මේ බව ගවේෂකවරයා වෙත දුරකථනයෙන් දැනුම් දුන්නාය. ඒ අනුව පසු දින නැවතත් නාලිකා ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය වෙත කැඳවාගෙන ගියේය. එදින ද ගවේෂකවරයා විසින් නාලිකා වෙත ශක්ති කිරණ එල්ල කොට ඇගේ ශරීරයට භූතාත්මය දිෂ්ටි ගැන්වීය. ගවේෂකවරයා භූතාත්මය සමඟ කතා කළේය.

“ඇයි මේ ආයෙත් නාලිකාට කරදර කරන්නේ?”

“ මට යන්න බෑ. මෙයාව දාලා මට යන්න බෑ. යන්න ඕනෑ කියලා හිතුවත් මට යන්න බෑ”

“ඇයි එහෙම වෙන්නේ?”

“මෙයාව පළමුවෙන්ම දැක්ක දවසේ ඇති වුණ කැමැත්ත දවසෙන් දවස වැඩි වුණා. ඊට පස්සෙ අපි දෙන්නට දෙන්නා හඳුනාගත්තා, කතා බස් කළා. දෙන්නා එක්ක ඇවිදින්න ගියා. දවස් දෙක තුන හෝටල්වල නතර වුණා. මම තෑගි දුන්නා. මෙයත් මට ආදරය කළා. මම මෙයාගෙ මිනිහවත් පන්න ගත්තා. මගේ හිතේ නිතරම සිතුවිලි ගොඩනැගුණේ මෙයා ගැනමයි. මෙයා ගැන හිත හිතා දවසක් දවසක් මම පාරේ ගමන් කරද්දී තමයි වාහන අනතුරකින් මැරුණේ. ඒ මැරුණු ගමන් මම මෙයා ළඟමයි නැවතත් හිිටියේ. මම මෙයා කෙරෙහි ඇලිලා වගෙයි ඉන්නේ, මම කොහේට ගියත් ආපහු ඇදිලා එනවා. රබර් පටියක් ඇදලා අතහැරියා වගේ මෙයා ළඟමයි නතර වෙන්නේ. ඉතින් මං කොහොමද මෙයාව දාලා යන්නේ?”

“ඒ වුණාට මෙයා දැන් දුක් විඳිනවා අසනීපවලින්. ඒ ඔබ නිසා. ඇයට මේ දුක් කරදරවලින් සුවපත් වෙන්න ඕනෑ වෙලා. ඒකයි මගේ ළඟට ආවේ ප්‍රතිකාර ගන්න. මගේ වගකීම තමයි ළගට ආපු රෝගියා සුවපත් කරන එක. කරුණාකර ඉවත් වෙලා යන්න. දැන් කීපවතාවක් යනවැයි කිව්වට ගියේ නැහැනෙ. දැන්වත් වහාම පිටවෙලා යන්න”

"මම යන්නේ නෑ. උඹලට බෑ මාව එළවන්න. මම යන්නේ මෙයාවත් අරගෙනමයි.”

භූතයා කීවේය.

ගවේෂකවරයා ශක්ති කිරණ එල්ලකොට භූතාත්මය දවාලීය. එපා.... එපා.... යැයි කෑ ගසද්දීත් නැවතත් දවාලීය. දින හයක්ම මෙසේ දවාලමින් භූතාත්මය ඉතා දුර්වල වනතුරු දවා නාලිකාගේ ශරීරයෙන් එළියට ඇද දැම්මේය. අනතුරුව ඇයට ආධ්‍යාත්මීය ආරක්ෂා යෙදීය.

මතුගම

මහින්ද විජේතිලක