"කුඩු රොෂාන් "ගේ ගෝලයෙක් අවි සමඟ මාට්ටු

"කුඩු රොෂාන් "ගේ ගෝලයෙක් අවි සමඟ මාට්ටු

මට්ටක්කුලිය - සමිත්පුර ප්‍රදේශයේ කුඩු ඒකාධිකාරිය සියතට ගැනීම උදෙසා සටන් වදින කල්ලි දෙකකි. ඉන් එක් කල්ලියක් චුටි උක්කුංගේ නායකත්වයෙන් ක්‍රියාත්මක වන අතර අනෙක් කල්ලිය කුඩු රොෂාන්ගේ නායකත්වයෙන් ක්‍රියාත්මක ය. මේ කල්ලි දෙකම කොළඹ ක්‍රියාත්මක තවත් ප්‍රධාන පෙළේ පාතාල කල්ලි දෙකකට සම්බන්ධය. එනම් ...චුටි උක්කුං සම්බන්ධව සිටින්නේ බිලුමැන්ඩල් සංඛගේ කල්ලියට වන අතර කුඩු රොෂාන් සම්බන්ධ දෙමටගොඩ චමින්දගේ කල්ලියටය. බිලුමැන්ඩල් සංඛගේ කල්ලියත් දෙමටගොඩ චමින්දගේ කල්ලියත් කලක සිට දැඩි වෛරයකින් පසුවන අතර අවස්ථාව ලද වහාම එකිනෙකා මරා ගැනීමද, නිරන්තරයෙන් සිදුවන ක්‍රියාවලියකි. මේ කල්ලි දෙකේ ගැටුම් කොළඹ ප්‍රදේශයේ යම් භීෂණකාරී තත්ත්වයක් මවන තරමටම උග්‍ර වූ අවස්ථා එමටය.

සමිත්පුර ප්‍රදේශයේදී පසුගිය සැප්තැම්බර් මස විසිතුන්වැනිදා රාත්‍රියේ වෙඩිතබා පුද්ගලයන් පස්දෙනකු ඝාතනය කිරීම ද ඒ දිනවල කොළඹ භීෂණකාරී තත්ත්වයක් මැවු සිදුවීමක් විය.

කුඩු රොෂාන් ඇතුලු කල්ලිය ටී - 56 ගිනි අවියක් සහ පිස්තොල දෙකත් උපයෝගී කරගෙන මෙම ප්‍රහාරය එල්ල කළේ චුටි උක්කුං ඇතුලු කල්ලිය වෙතය.

මෙම ප්‍රහාරයෙන් චුටි උක්කුං ඇතුලු සිව් දෙනකු එම ස්ථානයේදීම මිය ගිය අතර ඔවුන්ගේ තවත් සහයකු රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පසුව මිය ගියේය.

මෙම පංච පුද්ගල ඝාතනයට කුඩු රොෂාන් ඇතුලු කල්ලි සාමාජිකයන් කිහිප දෙනකු පොලිස් අත්අඩංගුවට පත්විය. වර්ථමානය වන විට ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගතව කල් ගෙවයි.

එක් කල්ලියක ප්‍රධානියා මිය ගොසිණි. අනික් කල්ලියේ ප්‍රධානියා සිර ගෙදරය. එහෙත් නායකයන් නැතත් කල්ලි දෙකේ ඉතිරිව එලියේ සිටින සාමාජිකයන් අතර ළඟදීම ගැටුමක් ඇතිවිය හැකි බවට මට්ටක්කුලිය පොලිසියට පසුගිය දිනවල දී තොරතුරු ලැබිණි.

ඒ අනුව පොලිසිය පසුගිය නව වැනිදා රාත්‍රියේ එක්වරම සමිත්පුර වටලා සෝදිසි මෙහෙයුමක් ආරම්භ කළේය. මෙම කල්ලි දෙකේ සාමජිකයන් පදිංචිව සිටින ස්ථාන පොලිසිය දැන සිටි බැවින් එම නිවාස වෙත වැඩි ආරක්ෂාව යෙදීමට පොලිසිය පියවර ගත්තේය.

මෙලෙස.... නිවාස පරීක්ෂාවේ යෙදෙද්දී රනිල් කුමාර නම් වූ කුඩු රොෂාන් ගේ ගෝලයාගේ නිවෙසද දැඩි පරීක්ෂාවට ලක් කෙරිණි.

එහි දී කාමරයක වූ ඇඳන් දෙකක මෙට්ට යට ඇඳපොලු අතර සඟවා තිබු මන්නා පිහි සහ යකඩ පොලු කිහිපයක් හමුවිය. එම නිවෙස තව දුරටත් පරීක්ෂා කිරීමේදී පෝරණුව යට සඟවා තිබු අවි ආයුධ කිහිපයක් ද හමුවිය.

මෙලෙස හමු වූ අවි ප්‍රමාණය දහ අටකි. කඩුවලට සමාන ලෙස නිර්මාණය කළ මන්නාපිහි හයක් යකඩ පොලු දොළහක් සහ ඇන ගසන ලද පොල්ලක් ද ඒ අතර විය.

මෙම ආයුධ තොගය සමඟ එම නිවෙසේ සිටි රනිල් නම් වු විසිහතර හැවිරිදි තරුණයාද පොලිසිය අත්අඩංගුවට ගත්තේය.

ප්‍රශ්න කිරීමේදී ඔහු පවසා තිබුණේ ප්‍රතිවිරුද්ධ කල්ලි සාමාජිකයන්ගෙන් ප්‍රහාර එල්ල විය හැකි බැවින් ඊට මුහුණ දීමට සුදානමින් මෙම අවි සාදා සඟවා තබාගත් බවය. එලෙසම ඔහු මත්කුඩු වලට ඇබ්බැහි වූ අයකු බව ද ප්‍රශ්න කිරීමේදී හෙළිවිය.

කුඩු රොෂාන් - චුටි උක්කුං කලකට පෙර සමිත්පුර එකට හිතවත්ව ජීවත් වූ දෙදෙනෙකි. ඒ අතර චුටි උක්කුං බිලුමැන්ඩල් සංඛවට එකතුවන අතර කුඩු රොෂාන් දෙමටගොඩ චමින්දට එකතු වන්නේ සමිත්පුර කුඩු ඒකාධිකාරිය සියතට ගැනීම උදෙසා දෙදෙනා අතර ඇති වූ ගැටුමේ ප්‍රතිඵලයක් ලෙසටය.

චුටි උක්කුං ප්‍රථම වරට මිනීමරුවකු වන්නේ 2004 වර්ෂයේදීය. ඒ කුඩු රොෂානගේ පියාවන කුඩු සුමිත් කපා කොටා මරා දමමිනි. කුඩු රොෂාන්ගේ දෑස් ඉදිරිපිට මෙම ඝාතනය සිදු වූ අතර එදිනම රාත්‍රියේදී චුටි උක්කුංගේ මව ද කපා කොටා මරා දමා තිබිණි. කුඩු සුමිත් ඝාතනයට චුටි උක්කුං පොලිස් භාරයට ගැනෙන අතර ඔහුගේ මව ඝාතනයට කුඩු රොෂාන් අත්අඩංගුවට පත්වන්නේ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීය.

චුටි උක්කුං කුඩු සුමිත්ට කඩු පහර එල්ල කරද්දී ඔහු බේරා ගැනීම සඳහා ඉදිරිපත් වූ කුඩු රොෂාන්ගේ පිට ප්‍රදේශයට ද බරපතල තුවාල සිදුව තිබීම හේතුවෙන් ඔහු රෝහල ගතව සිටියේය.

චුටි උක්කුංගේ මව ඝාතනයේ චෝදනාව එල්ල වූ කුඩු රොෂාන් පවසා තිබුණේ තමා ඒ පිළිබඳ කිසිවක් නොදන්නා බවත් කඩු පහර වලින් බරපතල තුවාල ලබා රෝහලේ සිටියදී එවැන්නක් කරන්නේ කෙලෙස ද ලෙසටත්ය.

වර්ථමානය වන විට කුඩු රොෂාන්, බිලුමැන්ඩල් සංඛ, දෙමටගොඩ චමින්ද ඇතුලු පාතාල කල්ලි නායකයන් රැසක්ම සිර ගෙවල්වලය. එහෙත්.... ඔවුන්ගේ කල්ලි වලට අයත් සාමාජිකයන් නායකයන්ගේ ප්‍රතිපත්ති ඉදිරියටම ගෙනයාම උදෙසා සංවිධානය වෙමින් පවතින බව නම් නොරහසකි. කෙසේ වෙතත් මේවන් අවි තොගයක් සඟවා ගෙන මොවුන් සිටින්නේ තවත් මිනිස් ඝාතනයකට අර ඇදීමකට දැයි පොලිසියේ සැකය වී තිබේ.

කොළඹ භාර නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක, කොළඹ උතුර කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලයනල් ගුණතිලක, සහකාර පොලිස් අධිකාරි ධ්ධ් නන්දන සේනාරත්න යන නිලධාරින්ගේ උපදෙස් මත මට්ටක්කුලිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂණ බණ්ඩාර දෙවැටගෙදර ප්‍රමුඛ උපපොලිස් පරීක්ෂකවරුන් වන දිසානායක, ගුණවර්ධන, ජයම්පති, දයාරත්න ඇතුලු විසිපස් දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් මෙම වැටලීමට එක්විය.