අයිරිස් බෝම්බයෙන් බේරුණු යකඩ ගැහැනිය

අයිරිස් බෝම්බයෙන් බේරුණු යකඩ ගැහැනිය

බ්‍රිතාන්‍යයේ හිටපු අගමැතිනිය මාග්‍රට් තැචර් එතෙර මෙතර බොහෝ දෙනෙකු විසින් හඳුන්වන ලද්දේ යකඩ ගැහැනිය (IRON LADY)  ලෙසිනි. ඒ ඇය සිය නිලකාලය තුළදී දරදඬු ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් රට පාලනය කළ හෙයිනි. ඇය කලක් අයර්ලන්තය යටත් කරගෙන සිටියාය. මේ නිසා අයිරිස් වැසියෝ ඇයට විරුද්ධව නැගී සිටියහ

ඔවුහු ඇය මරා දැමීමට කුමන්ත්‍රණය කළහ. මේ බව ඇයගේ ආරක්ෂක අංශ පමණක් නොව පොලීසියද දැන සිටියහ. ලැබුණ ඔත්තු අනුව ඇය කොහේදී හෝ මරා දැමීමට පිරිසක් සුදානම් වන බව පොලිසිය මාග්‍රට්ට දන්වන ලදී. ආරක්ෂකයන් නැතිව කිසිම තැනක නොයන ලෙස පොලීසිය ඇයට දැනුම් දුන්නේය. එහෙත් මාග්‍රට් පොලීසියේ අවවාද තුට්ටුවකට ගණන් නොගත්තාය.

තමන්ට නිදහස ලබා දෙන මෙන් අයිරිස් වැසියෝ කොපමණ ඉල්ලා සිටිය ද මාග්‍රට් එය තුට්ටුවකට ගණන් නොගෙන මුණිවත රැක්කාය. මේ නිසා අයිරිස් ජාතිකයන්ට පෙළපාලි යාමටත් තැචර්ට විරුද්ධව සටන් කිරීමටත් සිදු විය. මෙයින් ද ප්‍රතිඵලයක් නොලැබුණ තැන අයිරිස් ජාතික ගරිල්ලා කණ්ඩායමක් තැචර් මරා දැමීමට තීරණය කළේය. මේ අනුව බෝම්බයක් අටවා ඇය ඝාතනය කිරීමට ඔවුහු තීරණය කළහ. බෝම්බය සඟවන්නේ කොතැනද යන්න ගැන ඔවුහු කල්පනා කළහ.

පොලීසියේ සහ ආරක්ෂක අංශයේ උපදෙස් අනුව තැචර් නිවසින් හෝ කාර්යාලයෙන් එළියට බැස රාජකාරි කටයුතු සඳහා යන්නේ ආරක්ෂක බල ඇණියක් සමඟය. මේ නිසා තැචර් ඝාතනය කිරීම බැරෑරුම් කටයුත්තක් බව අයිරිස් ගරිල්ලෝ වටහා ගත්හ. මොන ආරක්ෂක වළලු තිබුණත් ඇය ඝාතනය කිරීමට ඔවුහු තීරණය කළහ.

“ද ග්‍රෑන්ඩ් හෝටල්” නමැති දැවැන්ත තරු පහේ හෝටලය පිහිටා තිබෙන්නේ එංගලන්තයේ දකුණු මුහුදු තීරයේ පිහිටි බ්‍රයිටන්  (Brighton)  නමැති නගරයේය. 1864 දී මෙම හෝටලය ඉදිකරන ලද්දේ බ්‍රයිටන් නගරයට පැමිණෙන උසස් පෙළේ සංචාරකයන් වෙනුවෙනි. කාමර දෙසිය එකකින් යුත් මෙම හෝටලයට විශේෂ රැස්වීම් ශාලාවක් ද තිබිණි. මෙම ශාලාව හඳුන්වන ලද්දේ ‘එම්පුස්සුට්’ නමිනි. මාග්‍රට් තැචර් සභාපතිත්වය දැරූ කොන්සර්වේටිව් පක්ෂයේ වාර්ෂික රැස්වීම මෙම ශාලාවේදී පැවැත්වීමට තැචර්ගේ ඇමැති මණ්ඩලය තීරණය කරගෙන තිබිණ.

අගමැති තැචර් ග්‍රෑන්ඩ් හෝටලයේදී රැස්වීමක් පැවැත්වීමට යන බවත් ඒ සඳහා ඇය දින කිහිපයක්ම එම හෝටලයේ නතර වී සිටීමට සුදානමින් සිටින බවත් අයිරිස් ජාතික විප්ලවකාරි හමුදාවට ද මේ අතර (IRA) දැන ගන්නට ලැබිණ. අගමැති තැචර් ඝාතනයට හොඳම තැනත් හොඳම අවස්ථාවත් මෙය බව වටහාගත් අයිරිස් විප්ලවකාරීහු ඒ සඳහා සැලසුමක් සකස් කිරීමට පියවර ගත්හ. මේ අනුව ඔවුහු පළපුරුදු බෝම්බ අටවන්නකු වන රෝයි වේල්ස්ට වැඩේ බාර දුන්හ.

අගමැතිනි තැචර් හෝටලයට පැමිණීමට ප්‍රථම රෝයි වේල්ස් අවශ්‍ය බඩුමුට්ටුද රැගෙන හීටලයට පැමිණ අමුත්තකු ලෙස 629 කාමරයේ ලැගුම් ගත් අතර කාමරයට වැදුණු ඔහු කිසිම කෙනකුට නොදැනෙන ලෙස බෝම්බය සකස් කිරීමට පටන් ගත්තේය. රෝයි වේල්ස් නමැති බොරු නමකින් පෙනී සිටි මෙම බෝම්බකරුගේ නියම නම වුයේ පැට්රික් ජෝෂප් මාන්ය.

අගමැති මාග්‍රට් තැචර් හෝටලයට පැමිණ නතර වන කාමරය ද පැට්රික් සොයා ගත්තේය. තැචර් ඇතුළු පිරිස හෝටලයට පැමිණිමට ප්‍රථම ඇයගේ කාමරයට රිංගා ගත් පැට්රික් එහි නාන කාමරයට ගොස් කිසිවකුටත් නොපෙනෙන තැනක බෝම්බය සවි කළේය. එය දුරස්ථ පාලකයකින් පුපුරුවා හැරිය හැකි බෝම්බයකි. ඉන්පසු ඔහු කිසිවකුට නොදැනෙන ලෙස සිය කාමරයට රිංගා ගත්තේය.

තැචර්ට නවාතැන් ගැනීම සඳහා වෙන්කර තිබුණේ බෝම්බකරුගේ කාමරයට අල්ලපු කාමරය වන නොම්මර 630 කාමරයයි. තැචර් හෝටලයට පැමිණීමට ප්‍රථම පොලිස් පිරිසක් එතැනට පැමියහ. ඉන්පසු තැචර්ගේ කාමරයට ඇතුලු වූ ඔවුහු එහි අස්සක් මුල්ලක් නැර සෝදිසි කළහ. එහෙත් ඔවුනට කිසිම දෙයක් සොයා ගැනීමට නොහැකි විය. හෝටලයට පැමිණි තැචර් ඇයට වෙන්කර තිබූ කාමරයේ ලැඟුම් ගත් අතර සෙසු පිරිස ඒ අසල කාමරවල ලැඟුම් ගත්හ.

සම්මේලනයේදී මුලසුන කතාව කිරීමට නියමිතව තිබුණේ අගමැති මාග්‍රට් තැචර්ටය. කතාව සකස් කරගත් ඇය එහි අඩුපාඩු බලා ටයිප් කරන ලෙස ලේකම්වරියන්ගෙන් ඉල්ලා ඉන්පසු නානකාමරයට ගිය ඇය ඇල් දියෙන් ඇඟපත සෝදා ගත්තාය.

නාන කාමරයෙන් එළියට පැමිණි ඇය හෝටලයේ සේවකයකුට කතා කොට තේ කෝප්පයක් ගෙන එන මෙන් ඉල්ලා සිටියාය. විනාඩි කීපයකට පසු තේ කෝප්පයක රසවිඳිමින් ඇය සිය කාමරයේ සඳළුතලයට පැමිණියාය. ඒ සමඟම ඇයගේ නාන කාමරය දෙසින් මහා දෙදරීමක හඬක් ඇසිණ. අතේ වු තේ කෝප්පය විසි වී යනවාත් සමඟම ඇය ද විසි වී ගොස් බිම ඇද වැටිණ. නාන කාමරයේ සවිකර තිබු බෝම්බය මහ හඬක් නඟමින් පුපුරා යනවාත් සමඟම එහි ගිනිදැල් ද දුමාරය ද සුන්බුන් වලින්ද තැචර් වෙලා ගත්තේය. මොහොතකට පසු වැටී සිටිය තැනින් නැගිට ගත් තැචර් කාමරයෙන් එළියට පැන්නේ අනිත් අයට සිදු වුයේ කුමක්දැයි සෙවීමටය. බෝම්බය පිපිරී යාමෙන් තැචර්ගේ ලේකම්වරියන් ඇතුලු තිස් හතර දෙනෙක් බරපතල ලෙස තුවාල ලැබුහ. සමහරුන්ගේ අතපය කැඩී බිඳී ගොස් තිබිණ. එහෙත් ඇයට කිසිම අනතුරක් සිදු නොවිණ. එහෙත් සම්මේලනයට සහභාගි වීම සඳහා පැමිණ සිටි කොන්සර්වේට්ව් පක්ෂයේ සර් ඇන්තනි බෙරි, එරික් ටේලර්, ස්ටොක් ආර්යාව, මියුරියල් මැක්ලීන්, රොබටා බික්හම් යන මන්ත්‍රීවරු හා මන්ත්‍රීවරියන් බෝම්බයට අසුවී මිය ගියහ.

මෙම බෝම්බ පිපිරීමෙන් පසු බ්‍රිතාන්‍යයේ පොලීසිය හෝටලයට පැමිණ එහි සිටි සියලුම අමුත්තන් පරීක්ෂාවකට භාජනය කළේය. එහෙත් ඒ වන විටත් බෝම්බය ඇටවු පැට්රික් කාටත් හොරා හෝටලයෙන් පිට වී ගොස් තිබිණ.

පොලීසිය තැචර් නවාතැන් ගෙන සිටි කාමරයත් එහි නාන කාමරයත් දැඩි පරීක්ෂාවට ලක්කරමින් එහි තිබුණු සියලුම ඇඟිලි සලකුණු වල පිංතුර ගත්තේය. මෙම ඇඟිලි සලකුණු වලට අනුව බෝම්බ ඇටවු පැට්රික් ස්කොට්ලන්තයේ ග්ලාස්ගොව් නරගයේදී අත්අඩංගුවට ගැනීමට පොලීසියට හැකිවිය.

බ්‍රිතාන්‍යයේ අගමැති මාග්‍රට් තැචර් ඝාතනය කිරීමට තැත් කිරීමේ චෝදනා මත පැට්රික් මාන්ට විරුද්ධව උසාවියේදී නඩුවක් පවරන ලදී. මෙම නඩුවේදී පැට්රික් වරදකරු විය. ඔහුට ජිවිතාන්තය දක්වා සිර දඬුවමක් ලැබිණ.