දැක පුරුදු-අහ පුරුදු-කළ පුරුදු තමයි පළපුරුදු කියන්නේ

දැක පුරුදු-අහ පුරුදු-කළ පුරුදු තමයි පළපුරුදු කියන්නේ

අනුරාධ මහින්දසිරි
ස්ථානධිපති - දෙමටගොඩ

මොකක්ද මේ වෙනසට හේතුව?

"ඉස්සර දෙමටගොඩ නෙමේ අද තියෙන්නේ. මේ හැම දෙයකටම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ ක්‍රියා කලාපය හේතු වුණා. ඔහු සුළු පැමිණිලි කෙරෙහි විශේෂ අවධානය යොමු කරන්නට වුණා. සාමාන්‍යයෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකු වුණාම කිසියම් ප්‍රශ්නයකට ඒ ඒ.ඇස්.පී. හෝ මම හෝ අදාල නිලධාරියා තමයි අමතන්නේ. එහෙත් මොහු පහළ නිලධාරීන් සමඟ සෘජු සම්බන්ධකම් පැවත්වුවා. ඔවුන්ට අවශ්‍ය උපදෙස් දුන්නා. මේ හැම දෙයක්ම අපරාධ අඩුවීමට හේතු වෙනවා. නියෝජ්‍ය පොලිස්පතිතුමා තමයි වරෙන්තු සංකල්ප ක්‍රියාත්මක කළේ. එක සාර්ථක වුණා. ඒත් ඔවුන්ගේ නම්ගම් තවමත් උසාවි පොත්වල සටහන් වෙනවා. අපි උසාවියට ගිහින් අදාල ලේඛන භාරකරුවන් හම්බවෙලා නඩු පොත් චෙක් කරලා බෙහොමයක් වරෙන්තු කරුවන් ඉන් ඉවත්කළා. ඔවුන් බොහොමයක් මියගිහින්. ඒත් උසාවිවල තවමත් ඔවුන්ගේ නම් ගම් වරෙන්තු ලේඛන තියෙනවා. "

වරෙන්තුකරුවන් නිදැල්ලේ සිටීම අපරාධ වැඩිවීමට හේතුවක් ද ?

“වරෙන්තු ලබන ක්‍රම කිහිපයක් තියෙනවා. පැමිණිල්ලකට වරෙන්තු වු අයද ඉන්නවා. පැමිණිල්ල මඟ හැරීම්, අමතක වීම් නිසා උසාවියෙන් වරෙන්තු ලැබු අයට එහෙත් අපරාධ සිදුකිරීම මත උසාවිය මඟ හරින අයත් වරෙන්තුකරුවන් අතර ඉන්නවා. ඔවුන් අපරාධ චෝදනා ලැබු අය නිසා නිදැල්ලේ සිටීම තවත් අපරාධ කිරීමට රුකුලක් වෙනවා. වරෙන්තුකරුවන් අත්අඩංගුවට ගැනීම අධිකරණ ක්‍රියාදාමයට පහසුවක් වෙනවා.

දෙමටගොඩ මෙවන් තත්ත්වයකට පත්වීමට තවත් හේතුවක් තමයි සැකපිට අත්අඩංගුවට ගැනීම් දිගින් දිගටම සිදු කිරීම. ගිය වසරේ පමණක් සැකපිට අත්අඩංගුවට ගැනීම් 565ක් තිබුණා. පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී ඔහුගේ අනන්‍යතාවය හඳුනාගත හැකි වෙනවා. ඔහු කිසියම් අපරාධකරුවකු නම් එම පුද්ගලයා මේ වසමට පැමිණි හේතුව සොයාගත හැකිවෙනවා. ඔහු තවත් අපරාධයක් කරන්නට සැලසුම් කරන අයෙක් නම් ප්‍රශ්න කිරීමේදී එය හඳුනාගත හැකියි. ඉන් වන්නට තිබු අපරාධයක් වළකාගත හැකියි. අපි කරපු වැටලීම් වලින් අයි.ආර්.සී. පුද්ගලයන් පවා හඳුනාගත්තා. ඉන් හුඟ දෙනෙක්ම දර්ශනයෙන් තොර පුද්ගලයන්. මෙවැනි පුද්ගලයන්ගේ ඇඟිලි සටහන් ඡායාරූප ආදී ඒර්ධ්ඉ නවීන තාක්ෂණය ඔස්සේ අපරාධ කොට්ඨාශයට යැවීමෙන් ඔහු හෝ ඇය අපරාධකුරවකු යන්න මිනිත්තු තුනක් හතරක් ඇතුළත සොයාගත හැකි වෙනවා. සැකකරුවෝ ලයින් අප් වලට දානවා. මේ නිසා පිටස්තරයන් වසමට එන්නේ නැහැ අහුවෙයි කියන බයට. මේ දෙකේම සාර්ථකත්වය නිසා එදාට වඩා අද දෙමටගොඩ වෙනස්. මම මෙහෙට ස්ථානාධිපතිවරයා ලෙස එනකොට අපරාධ විසඳිමේ ප්‍රතිශතය 43% න් දැන් එක් 65%යි. "

පාතාල ක්‍රියාකාරකම් වලත් එහෙම අඩුවක් තියෙනවද?

"ඇත්තෙන්ම ඔව්. ඉස්සර වගේ දැන් මෙහෙ පාතාලය ක්‍රියකාරී නැහැ. අනික මම හුඟ කාලයක් රාජකාරි කළේ මේ අවට පොලිස් ස්ථානවල. ග්‍රෑන්ඩ්පාස්, මාලිගාවත්ත පොලිසි වල මම අපරාධ විමර්ශන අංශය බාරව සිටියේ. ඒ කාලයේ පාතාලය තුරන් කරන්න අපි දැවැන්ත ක්‍රියාදමයක් කළා. පාතාලයේ කෙරුමන් අත්අඩංගුවට ගත්තා. ඒ නිසා ඔවුන් ගැන හොඳ අවබෝධයක් මට තියෙනවා. ඒ නිසා පාතාලයන් වැඩිය දඟලන්නේ නැහැ. "

පාතාලය මැඩලීමට යාම නිසා ඔබට කරදර පවා විඳින්න වුණානේද?

ඔව්. ඩේලු කියලා හිටියා මේ පැත්තේ පාතාලයෙක්. ඔහු බෝම්බ 7ක් එක්ක මම ඇල්ලුවා. ඔහු ප්‍රකාශ කරලා තිබුණා හිරෙන් පැනලා ඇවිත් මාව මරනවා කියලා. ඔයාට වෙඩි තියන්න ඉන්නේ පරිස්සම් වෙන්න කියලා මගේ මිත්‍ර පොලිස් නිලධාරීයෙක් මට කිව්වා. ඒත් වැඩිකල් යන්නට මත්තෙන් නාඳුනන තුවක්කුකරුවකු ඔහුව මරලා දැම්මා. පොට්ට නවුෆර් කුඩු නුර්, රිස්වාන්, පි‍්‍රන්ස්කොලම්, තමිල්නාඩුවේ රමේෂ්, ජිබෝයි, ඕල්කට් ආමි සම්පත් මොරටු සමන් ඒ කාලයේ අපිත් එක්ක ගැටුණු අය තමයි. අද හුඟ දෙනෙක් ජීවතුන් අතර නැහැ. "

"ඒ කාලයේ ඔය කියන හැම පාතාලයකුම මම අත්අඩංගුවට ගෙන තිබුණා. අපරාධ නැති කිරීම මගේ ඇඟේම තිබුණු දෙයක්. ඒත් අද සමහරක් නිලධාරීන් පාතාලයන් කවුද කියලා හරියට නොදැනයි රාජකාරි කරන්නේ. "

පොකට් කාරයෝ දෙමටගොඩ වැඩියි නේද?

"ඔව්.කාලයක් දෙමටගොඩ පොකට් කාරයන්ට ප්‍රසිද්ධ වසමක්. දුම්රියෙන් ගමන් කරන මගින්ට. වැඩිපුර කාන්තාවන්ගේ මුදල් පසුම්බි පොකට් ගැසීම නිතරන්තරයෙන් සිදුවෙනවා. දිනපතාම ඒ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි ආවා. මම කළේ සිවිල් නිලධාරින් දුම්රියට යෙදෙව්වා. මඟින් අතර වැඩිපුර තෙරපෙන පුද්ගලයන් දෙස අපේ අය අවධානයෙන් හිටියා. ඒ නිසා එවන් පුද්ගලයන් හුඟ දෙනෙක් අල්ලගන්න පුළුවන් වුණා. "

"අපිත් දෙයක් කළා. දුම්රියක් දෙමටගොඩට ආපු වේලාවට අපේ සිවිල් නිලධාරීන් බැංකු වල ඒ.ටී.එම් අසල යෙදෙව්වා. දුම්රියෙන් පොකට් ගහපු කෙනා කෙලින්ම එන්නේ ඒ.ටී.එම් එක ළඟට සල්ලි ගන්න. සමහර අය තමන්ගේ පසුම්බියේම කාඩ්වල රහස් අංකය පවා දමාගෙන එන්නේ. සිවිල් එකේ නිලධාරින් දාලා අපි පොකට් කාරයෝ ගොඩක් ඇල්ලුවා. "

දෙමටගොඩ පොලිසියට වැඩිපුර ලැබෙන පැමිණිලි මොනවද?

"හුඟක්ම පවුල් ආරවුල්, ගහ බැන ගැනීම්, ලිංගික හිරිහැර වගේ ඒවා තමයි. නැතුව මහ පරිමාණයේ අපරාධ, සංවිධානාත්මක කොල්ලකෑම් මිනීමැරුම් එහෙම වාර්තා වෙනවා අඩුයි. අපිට ලැබෙන හැම සුළු පැමිණිල්ලකටම අපි අවධානය යොමු කරනවා. සුළු පැමිණිල්ලක් හරියට විභාග කළේ නැන්තම් එක ලොකු අපරාධයක් දක්වා දුරදිග යන්න පුළුවන්. ඒ නිසා පොලිසියට ලැබෙන සුළු පැමිණිල්ලට අපි අවධානය යොමු කරන්නම ඕන. "

අපරාධ විසඳීමේ ප්‍රතිශතය ඉහළ නැංවීමට නිලධාරියා කළ යුත්තේ කුමක්ද?

"අපරාධයක් විසඳිමට නිලධාරියකු සතු කාර්යයන් කිහිපයක් තියෙනවා. එකක් දක්ෂකම, කැපවීම, අපරාධය පසුපස හඹා යාම, ඒවගේම පළපුුරුද්ද, මේ සේරම තියේනම් ඕනෑම අපරාධයක් විසඳිය හැකියි. දැක පුරුදු, අහපුරුදු, කළපුරුදු තමයි පළපුරුද්ද වන්නේ. ඒ නිසා අපරාධයක් විසඳිමට පළපුරුද්ද හුඟාක් ප්‍රයෝජනවත් වෙනවා. පළපුරුද්ද ඇත්තම් ඒ අපරාධය කරපු අපරාධකාරයා කවුදැයි අපරාධ ස්ථානයට ගියවිටම හඳුනාගත හැකියි. "

"මම ඔබට උදාහරණයක් කියන්නම්. සමහරක් හොරු ගෙවල් බිඳින්නේ ඉස්කුරුප්පු නියනකින්. සමහරක් අය කටර් අඬුවකින්, සමහරු පිහියකින්. සමහරු ගෙදරකට හොරෙන් ඇතුල් වන්නේ ජනේලයෙන්, නැන්තම් ජනෙල්කූරු ගලවලා, සමහරු වහළෙන් තවත් සමහරු ගෙදර බිත්ති කවුළුවලින් ඒ හොරු එක එක ක්‍රමයට තමයි දක්ෂ. ඒක අපි හ ඳුනාගත්ත නම් ගෙයක් කඩපු ක්‍රමයෙන් මේ ගෙදරට බැහැලා තියෙන්නේ අර හොරා කියලා සැකකළ හැකියි. "

"සාමාන්‍යයෙන් ගොඩක් ගෙවල් බිඳුම් කරන්නේ පිටස්තරින් පැමිණි පුද්ගලයන්. මෙවැනි අය ගෙවල් කඩන්නේ මිනිස්සු නින්දට ගියාම මහ පාන්දර. අපි ඒක දන්න නිසා රාත්‍රි මුර සංචාර පාමුර සංචාර, මාර්ග බාධක එහෙම අලුයම වනතුරුම යොදවනවා. එතකොට ඔය පුද්ගලයන් අනිවාර්යෙන්ම කොටුවෙනවා. සැකපිට ගෙනත් ප්‍රශ්න කිරීම් වලදී ගෙවල් බිඳුම් රාශියක් සොයාගත හැකිවෙනවා. ඒ නිසා පළපුරුද්ද හුඟාක් වටිනවා. දක්ෂකමයි. කැපවීමත් තියෙන්න ඕන."

කීර්ති මෙන්ඩිස්