සැළසුම් සහගතව කළ බිරියගේ ඝාතනය

සැළසුම් සහගතව කළ බිරියගේ ඝාතනය

ජීවිතයට උරුම ඇතැම් බියකරු සිහින දෙනෙත් ඉදිරියේම සැබෑවන්නේ සුබ සිහිනයන්ට වඩා ඉක්මනින්ය. කිසිවකු මෙලොව ජනිත වන්නේ ජීවිත ගමනේ විලාසය කිහිලි ගන්නා ගෙනය. ජීවිතය දිය පහරක් සේ ගල්කුළු අතරින් හැල හැප්පීම් මැද තැනිතලා සොයමින් ඇදී ගොස් යම් තැනකදී අවසන් වේ. ලෝ දහම ද එයම වේ.

ඇතැමකුට ජීවිතය මහා කරුමයකි. තවකෙකුට සොඳුරු මල් යහනාවකි. එහෙත් සංසාරගත පව්පින් ජීවිතය පසු පස එද්දී එයින් මිදීමට මේ කිසිවකුට හැකි නම් එය පුදුමයකි. හදවතේ බැඳීම් කායික බැඳීම් වලට වඩා උත්තරීතරය. ගැහැනුන් මිනිසුන් අතරේ පවත්නා එවන් බැඳීම් ලොව පවත්නාතාක් සොඳුරුය. සංසාරගත බැඳීම් ආත්මයක් ආත්මයක් පාසා එලෙස සිහිපත් කළ යුතුය.

එහෙත් දරුවන් ලැබෙන තුරුත් එක වහළක් යට ජිවත් වූ අඹූ සැමියන්ට එකිනෙකා එපා වන තැනට කටයුතු සිදුවන්නේ ඇයි? කලක් නොදැක ඉන්නට බැරිව සිටි එකිනෙකාගේ රුව දසුන කලකදී වහ කඳුරු වන්නේ සිතන්නටවත් බැරි තරමටය. මේ සියල්ල මිනිසුන් වූ අප වේදනාවෙන් වුවද දරාගන්නවා මිසක ජීවිතවලින් වන්දි ගෙවීම මහ අනුවණ කමක ප්‍රතිඵලයකි.

ශාන්ති එවකට ජීවත් වුයේ මහරගම පිලියන්දල පාරේ ලුම්බිණි මාවතේ කුලී නිවෙසකය. ඇගේත් දරුවාගේත් තනියට සිටියේ ඇගේ මව පමණකි. දමිල ජාතික කතක වු ශාන්තිගේ මව මහරගම තරුණ මධ්‍යස්ථානයේ පිරිසුදු කරන්නියක ලෙස සේවය කළාය. ශාන්ති ද ඇඟලුම් කම්හලක සේවය කළාය. තිස්වැනි වියේ පසු වූ ශාන්ති, සැමියා අතහැරයාම නිසා ඔහුගෙන් වෙන්ව ජීවිතය ගෙන ගියේ තමන් ළඟ ඉතිරි වූ දරුවා රැකබලා ගනිමිනි. දෙදරු මවක වූ ඇගේ වැඩිමහල් දියණිය ඒ වන විට ජීවත් වුයේ සැමියා ළඟය. වැඩිමහල් දියණිය සිය සැමියා රැගෙන ගියේ ඇගෙන් වෙන්ව යාමත් සමඟය.

මොනරාගල පදිංචි පුද්ගලයකු වූ රවි හා ඇය අතර දැන හැඳුනුකමක් ඇති වුයේ ඇය කොළඹට පැමිණි පසුය. ඇය කොළඹ පැමිණ තැන් තැන්වල ඇගලුම් රැකියාවේ නිරත වෙද්දී රවි ත්‍රිරෝද රථ ගරාජයක වැඩ කළේය. නිතර දෙවේලේ ඇති වූ දැන හැදිණිම පසුව පෙම් පළහිලව්වක් දක්වා දුර දිග ගියේය. ඉන් අනතුරුව දුර දිග ගිය සබඳකම විවාහයකින් කෙළවර වෙද්දී ඇය දරු දෙදෙනකු මෙලොවට දායාද කළේ වැඩිකල් යන්නටත් පෙරය.

දරුවන් ලැබීමෙන් පසුව කලක් ගතවන විට සිය බිරිය හා අඩදබර ඇති කර ගත් රවි එය පුරුද්දක් කොට ගත්තේය. මෙලෙස අඩදබර කරමින් ජීවිතය ගෙවී යද්දී ඔහු ශාන්ති අතහැර දමා යළි මොනරාගලට ගියේය. මොනරාගලට ගිය ඔහු මහගෙදර වත්තේම පැත්තකට වන්නට තිබු ඔහුට අයත් නිවෙසක පදිංචි වූ අතර වැඩිමල් දියණියද ජීවත් වුයේ ද ඔහු සමඟය.

කලක් ගතවන විට ගමේම කෙල්ලක හා හාද වු ඔහු ඇය ද මේ නිවෙසට කැඳවාගෙන ආවේ ශාන්ති ගැන මතකයද හදවතින් හැර දමාය. අලුත් බිිරිය හා ගෙවන ජිවිතය ඔහුට සුන්දර බවක් ගෙන දුන්නද ශාන්තිගේ කරදරයෙන් මිදී ඇය හා සදහටම ජීවත් වන්නට ඔහුට සිතුණ වාර බොහෝය. බොහෝ විට ඔහු සිතුවේ සිය නීත්‍යණුකූල බිරියගෙන් නිදහස් වන විදිහක් ගැනය.

නිවෙසට කැඳවාගෙන ආ අනියම් බිරිය ද මේ වන විට ගැබ්ගෙන සිටියාය. ඇයද වරින් වර ඔහුගෙන් ඉල්ලා සිටියේ ශාන්තිගෙන් කුමන අයුරකින් හෝ නිදහස් වී තමා විවාහ කර ගන්නා ලෙසය.

කාලය ටිකෙන් ටික ගෙවී ගියේය. ඔහු සිය දියණිය ද සමඟ මොනරාගල සිට මහරගම බලා එන්නේ සිත තුළ ක්‍රියාත්මක වී තිබුණු සැළසුමක් ද ඇතිවය. ඔහු දියණියගේ ඇඳුම් පැළඳුම් හා පාසල් පොත්පත් බෑගයක අසුරාගෙන බසයට නැගුණේ ඉක්මනින්ම මහරගමට යාමේ අදිටන ඇතිවය.

රවි සහ දියණිය මහරගමට ගොස් කෙලින්ම ආවේ ශාන්තිගේ බෝඩිමටය. ඒ වන විට එහි සිටියේ ශාන්තිගේ මව පමණකි. ශාන්ති දියණියද සමඟ වෙනත් බෝඩිමකට ගිය බව ඇය කීවාය. වැඩිමහල් දියණිය ද අතකින් අල්වාගෙන රවි නැවතත් ශාන්ති සොයා ගියේය. ඒ අතරේ ශාන්තිට දුරකථන ඇමතුමක් දුන් ඔහු ඇයව මහ මඟට ගෙන්වා ගත්තේය.

ඒ මොහොතේ ද දෙදෙනා අතර වුයේ බහින් බස් වීමකි. උස් හඬින් බැණ ගත් දෙදෙනා ඊළඟට යන්නට ගියේ පොලිසියටය. දියණියන් දෙදෙනාම ඇරැව්වල ඥාති නිවෙසක රඳවා පොලිසියට යන බව කියා ගියත් ඔවුන් පොලිසි යනවා වෙනුවට ගියේ බෝඩිමටය. කාමරයට කිය පසුවත් දෙදෙනා අතර සණ්ඩු සරුවල් යළි ඇවිළිණි. දෙදෙනාගේ ආරවුල අසළ නිවෙසක සිටි කතකට ඇසුණේ අහම්බෙනි. මෙයින් බියපත් ඇය ශාන්තිගේ මව සොයාගොස් පැවැති තත්ත්වය පැවසුවාය. එසැණින් මව ද බෝඩිම් කාමරය වෙත ලහිලහියේ දිව එන්නට වුවාය.

ශාන්තිගේ මව පැමිණෙන විට සියල්ල සිදු වී හමාරය. ඇය ගෙට අඩිය තියෙන විටත් දියණිය ශාන්ති ලේ විලක් මැදය. ශාන්ති යහන මත ඇද වැටී සිටියාය. ලේ තැවරුණු මන්නා පිහියක් ද පසෙක වැටී තිබිණි.

ඒ සමඟම එතැනට පැමිණි පොලිසිය පරීක්ෂණ ආරම්භ කළේය. සැකකරුගේ පලායාම පිළිබඳ තොරතුරු ලැබුණ ද ඒ වනවිටත් පොලිසියේ ඇස් වසා ප්‍රදේශයෙන් පලාගොස් තිබිණි.

ඔහු පිළිබඳ තොරතුරු විමසුමට ලක් කළ පොලිසිය සිය නිත්‍යණුකූල බිරිය වූ ශාන්ති පෙරුමාල්ගේ ඝාතනය වෙනුවෙන් ඇගේ සැමියා සොයා පොලිස් කණ්ඩායමක් මොනරාගල බලා යැවීමට පියවර ගත්තේය. ඒ සමඟම ඇගේ වැඩිමල් දියණියගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට ද පොලිසිය වගා බලා ගත්තේය.

“එදා අපේ තාත්තා මාත් එක්ක මහරගම එන්න කියලා ලෑස්ති වුණා. අපේ තාත්තා මොණරාගල හිටියේ නැන්ද කෙනෙක් එක්ක. මමයි නැන්දයි තාත්තයි තමයි එහේ හිටියෙ. එක දවසක් ඒ නැන්ද තාත්තට කිව්වා ශාන්තිට මොකක් හරි කරන්න හැමදාම මෙහෙම ඉන්න බැහැනේ කියලා. මං නිදාගෙන හිිටියේ මට හොඳට ඇහුණා. ”

එදා තාත්තා මගේ ස්කූල් බෑග් එකට ලොකු මන්නයකුත් දැම්මා. එදා මාවත් අරගෙන තාත්ත අම්මව හොයාගෙන ගියා. ඒවෙලේ ඉඳන් දෙන්නම රණ්ඩු වුණා. මාවයි නංගිවයි ඇරැව්වල ලොකු තාත්තාලගෙ ගෙදර තියලා තමයි ගියේ”

දියණිය තමන් දන්නා සියල්ල පොලිසියට හෙළි කළාය.

සැකකරු පවත්වාගෙන ගිය සබඳකම නිසා මොණරාගල නිවෙසට ඔහු පැමිණීමට ඇති ඉඩකඩ ගැන විමසා බැලු පොලිසිය ඒ අවට රැකවල් යොදා සිටියේ ඔහු පැමිණෙන තුරුය. හොර රහසේ ඇය බැලීමට ඔහු එන බව පොලිසියට තොරතුරු ලැබී තිබීම ඊට හේතුව විය. හිරු නැගෙන්නට ඔන්න මෙන්න කියා තිබියදී අනියම් බිරිය බැලීමට හොර රහසේ පැමිණෙමින් සිටි සැකකරු එක්වරම පොලිස් නිලධාරීන්ගේ ග්‍රහණයට හසුවන්නේ ඔහුට කිසිවක් සිතාගැනීමටත් ඉඩක් නොතබාය.

සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු පවසා තිබුණේ කලෙක පටන් තමාත් ශාන්තීත් අතර ගැටුම් ඇති වී තිබුණු බවත්. එදා උදේ කාමරයේදී ඇති වූ බහින්බස් වීමකදී ඇති වූ කෝපය මත මෙය සිදු වු බවත්ය.

එසේ වුවත් ඔහු මෙය සැලසුම් සහගතව සිදුකළ බවට සාක්ෂි තිබිණි. ඔහු එදා මොණරාගල සිට පැමිණෙන විට මන්නා පිහියක් ද රැගෙන විත් තිබීම එයට හේතුවක් වී තිබිණි. වැඩිමහල් දියණියගේ ප්‍රකාශයෙන්ද ඒ බව සනාථ වී ඇත. දෙදරුවන් ඥාති නිවෙසක රඳවා ශාන්ති පමණක් තනිකොට ගෙන බෝඩිං කාමරයට ඇය රැගෙන ගියේ මෙවැනි සාපාරාධි ක්‍රියාවක් සිදුකිරිමේ අරමුණ ඇතිව බව පොලිසිය අවබෝධ කරගත්තේය. අනියම් බිරියගේ ද ඉල්ලීම පරිදි ශාන්ති ඝාතනය කොට හෝ අලුත් ජිවිතයක් ආරම්භ කිරීම රවීගේ එකම අභිලාෂය බව පෙනෙන්නට තිබිණි.

ඔහු අතින් ඝාතනය වුයේ ඔහුගේ බිරිය පමණක් නොව තම හුරතල් දියණියන්ගේ ආදරණීය අම්මා බවද ඔහුට අමතක වන්නට ඇත. ඔවුන්ගේ නොපනත්කම් නිසා දරුවන් මෙලොව අනාථ බවට පත්වුයේ හයක් හතරක් නොදන්නා වසයේදීමය.

ඔහු අනියම් බිරියක් ගෙදර තබාගෙන දීග කෑවේ තම දියණිය ද එම නිවෙසේම වෙසෙද්දීය. මවත් පියාත් අහිමි වූ දරුවන්ගේ බාරකාරත්වය හිමිවුයේ ඔහුගේම මවුපියන්ටය. ශාන්තිගේ මවට ඉන්නට හිටින්නට තැනක් නොමැති වීමත්, ඇය ජීවිතය ගෙනගියේ කම්කරු සේවිකාවක ලෙස රැකියාවක යෙදෙමින් නිසාත් ඇයට දරුවන්ගේ වගකීම දැරිය නොහැකි විම එයට හේතුවිය.

ආශාවන්ට වහල් වී ඒ මතම දැවටී මිය යන අනුවණ මිනිසුන්ට අවසානයේ උරුම වන්නේ දුක සන්තාපයම පමණකි. තම බිරිය වු ඇයව කිසිදු ලතෙක් බවක් නොමැතිව කුරිරු ලෙස ඝාතනය කරන්නට තරම් පසුබට නොවු එවන් මිනිසෙකුට තවත් ගැහැනියකට ආදරණීය සැමියකු විය හැකිද? එය තවත් ගැහැනියක විසින් හොඳ සිහි බුද්ධියෙන් විමසා බැලිය යුතු කරුණකි.

මහරගම පොලිසියේ ස්ථානාධිපති සෙනරත් දියකෙළිනාවල ගේ උපදෙස් පිට අපරාධ අංශයේ ස්ථානාධිපති අශෝක රණබාහු ඇතුළු පිරිසක් මේ පිළිබඳ විමර්ශන කටයුතු වල නිරතවුහ. මොනරාගල මූලස්ථාන පොලිස් පරීක්ෂක වරයා ද විමර්ශන සඳහා පුර්ණ සහයෝගය ලබා දුන්නේය.