ඵල්ලුම් ගස් ගිය එකම පවුලේ පස්දෙනා

ඵල්ලුම් ගස් ගිය එකම පවුලේ පස්දෙනා

නව වසර උදාවී ගතවූයේ දින නවයක් පමණි. නවවැනි දින සවස් වන විට කෝට්ටගොඩ, තලල්ල දකුණ, වජිරවංශ මාවත කේන්ද්‍ර කරගත් අවට ප්‍රදේශ සියල්ලේම පැතිරගිය කටකතාවකින් කියැවුණේ චන්දරේගේ ඝාතනයේ සැකකරුවන්ට මරණ දඬුවම ලැබෙන බවයි. වසර අටකට පෙර සිදුවූ ඝාතනයක් ගැන යළි කථාබහක් ඇතිවූයේ කෙසේ ද? යන්න සියල්ලන්ගේම කුකුසට හේතු විය.

කෝට්ටගොඩ, තලල්ල දකුණ, මල්ගහ කොරටුවේ පදිංචිව සිටි ඉලංගම්ගේ චන්ද්‍රදාස නොහොත් චන්දරේගේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන්වූයේ එකම පවුලේ පස්දෙනකුය. කලකට පෙර බන්ධනාගාර ගතව සිට ඔවුහු යළි පැමිණ එදිනෙදා කටයුතු හොදින් සිදුකරමින් සිටියදී 9 වැනි දින පැවති නඩු විභාගයෙන් පසු 11 වැනි දින දක්වා යළි රක්ෂිත බණ්ධනාගාර ගත කිරීම මෙම කටකථාවට මූල බීජයවී තිබිණි.

කට කතාව පැතිරගොස් ගතවූයේ දින දෙකකි. එය සත්‍යයක් බවට පත්කරමින් මාතර මහ අධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා විසින් රක්ෂිත බණ්ධනාගාර ගත කළ පස්දෙනාටම මරණ දඬුවම නියම කළේ එකොළොස් වන දින සවසය. අයුතු ජනරාශියක සාමාජිකයින්වී පොලුවලින් පහරදී මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීම ඔවුනට එරෙහිව නැගුණු චෝදනාව විය.

චන්දරේගේ ඝාතනයට සැකකරුවන් වූයේ පුස්පාකරන් මිත්‍රකුමාර්, ප්‍රියානි කරුණානායක, රංජනී කරුණානායක, සංජීව ප්‍රියසංඛ ජාසිහ (33) හා අයිරාංගනී කරුණානායක යන එකම පවුලේ පස්දෙනාය. මින් ප්‍රියානි, රංජනී හා අයිරාංගනී එකකුස උපන් සහෝදරියන් වන අතර පුස්පාකරන් රංජනීගේ ස්වාමි පුරුෂයාය.

සංජීව රංජනීගේ සහෝදරියගේ පුතාය. මින් සංජීව හැර අන් සියල්ලෝම වයස අවුරුදු පනහ ඉක්මවූ අය වෙති.

ප්‍රියානි විවාහක එක්දරු මවක වූවාය. රංජනී හා පුස්පාකරන් ට එක් පුතෙක් ද අයිරාංගනීට දියණියන් දෙදෙනකු ද සිටින අතර සංජීව අවිවාහකයෙකි. සහෝදරියන් තිදෙනාම අති දක්ෂ ක්‍රීඩිකාවන් මෙන්ම බයිසිකල් ධාවන තරග ශූරියන්ය.

චන්දරේ හා සැකකරුවන් එකම ගමේ ආසන්න නිවෙස්වල පදිංචිකරුවෝ වූ අතර ඔවුහු හොද සමගියකින් සිටි අය වූහ. බොහෝ ඛේදවාචකවලට ප්‍රේම සබඳතා මුල්වන ආකාරය අතීත සිද්ධින් පෙන්වාදෙන්නාසේම මෙම සිදුවීමටත් ප්‍රේම සබඳතාවයක් මුල්වී තිබුණි. 2008 වසරේ ඇතිවූ ප්‍රේම සබඳතාවක් සම්බන්ධයෙන් ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාම නිසා මෙම ඝාතනය සිදුව තිබුණේ 2009 ජනවාරි 15 දිනයි.

එකල විසිපස් වැනි වියේ පසුවූ සංජීව හැඩකාර තරුණයෙක් විය. මලල ක්‍රීඩා ශූරයකු මෙන්ම ක්‍රිකට් හා වොලිබෝල් ක්‍රීඩාවේද දක්ෂයකු වූ සංජීව ගමේ කා අතරත් ජනප්‍රිය චරිතයක් වූ අතර සුහදශීල පුද්ගලයකු විය. මේ නිසාම තරුණියන් සංජීව කෙරෙහි උනන්දුවෙද්දී ඔහු තෝරාගත්තේ තම මවගේ මහ ගෙදර ආසන්නයේ නිවසක ජීවත්වූ හැඩකාර තරුණියකි. ඇය චන්දරේගේ ඥාති දියණියකි.

මාතර ජනප්‍රිය පාසලක ඉගෙනගත් තරුණිය උපකාරක පන්ති සඳහා සහභාගීවීම ආදර කථාවට මග පාදන්නක්වී තිබුණි.

බස්රියේ හමුවීමෙන් දිනෙන් දින වර්ධනයවූ ආදර කතාව දෙදෙනාගේම මාපියන්ට ආරංචිවීමට වැඩි කාලයක් ගතවූයේ නැත. එම ආරංචිය පවුල් අතර නොහොඳ නෝක්කාඩුවක් බවට පත්වූයේ මෙය දුර දිග යාමට ඉඩ නොදී විසඳාගන්නට මාපියන් දැරූ උත්සාහයත් සමඟිනි. එම බහින්බස්වීම්, එකිනෙකාට දොස් පවරාගැනීම් දක්වා පැතිරගියේ එකිනෙකට ආසන්න නිවාස වල පදිංචි කරුවන් වීම නිසා වන්නට ඇත.

අති දක්ෂ රියැදුරෙකුවූ චන්දරේද ගමේ සැවොම සමඟ හොඳහිත දිනාගනිමින් ජීවත්වූ අයෙකි. විවාහකයකුවූ චන්දරේ ඒ වනවිට හතලිස් පස්වන වියේ පසුවූ එක්දරු පියෙකු විය. සංජීව හා පෙමින් වෙලී සිටි තරුණියගේ මාපියන් සමඟ කුඩාකල සිටම චන්දරේ කළ තිබුණේ නොබිඳෙන හිතවත්කමකි. ඒ නිසාම එම නිවසේ දරුවන්ට ද චන්දරේ තම දරුවන්ට මෙන්ම ආදරය කළේ ය. ඒ නිසාම මෙම ප්‍රේම සබඳතාව හා ඇතිවෙමින් තිබූ ගැටළු සහගත තත්වය චන්දරේට ද මානසිකව වධදෙන්නක් බවට පත්ව තිබුණි. ඒ පවුල් අතර තිබූ අසීමිත බැඳීම නිසා වන්නට ඇත.

2009 ජනවාරි 15 දින ඇතිවූ බහින්බස්වීම දුරදිග යන්නේ නිසාය. එහි ප්‍රතිඵලයවූයේ හිසට එල්ල වූ පොලුපහරකින් චන්දරේ ඝාතනයට ලක්වීමයි. ඝාතනයත ් සමඟ එවක ගන්දර පොලිස් ස්ථානාධිපතිව සිටි ජගත් විජයගුණරත්න සැකකරුවන් සොයා මෙහෙයුමක් දියත් කර ඔවුන් අත්අඩංගුවට ගෙන මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බණ්ධනාගාර ගතකරන ලදි. මාස ගණනක් රක්ෂිත බණ්ධානාගාර ගතව සිටි පිරිස ඇප ලබා පැමිණ නොයෙකුත් රැකියා වල නිරතවෙමින් සිටියහ.

මහෙස්ත්‍රාත් අධිකරණයෙන් මහ අධිකරණයට එක්කරන ලද නඩුව විභාගයට ගැනීම දිගින් දිගටම ක්‍රියාත්මක වෙමින් තිබූණේ සාක්ෂිකරුවන් දහසය දෙනකුගේ සාක්ෂි විභාගද පවත්වමිනි. සාක්ෂිකරුවන් දහසය දෙනා අතරින් පොලීසියේ සාක්ෂි පහක් හා ඇසින් දුටුවන්ගේ සාක්ෂි එකොළහක් නඩු විභාගය සඳහා එක්කර තිබුණි.

දින, සති, මාස, අවුරුදු ගෙවෙමින් නඩු විභාගය පැවැත්වෙද්දී දෙපාර්ශ්වය අතර නොහොඳ නොක්කාඩුකම් ද අමතක වෙමින් පැවතිණි. චන්දරේ ඝාතනයේ සැකකරුවන් තමන්ට මරණ දඬුවම හිමිවේය යන්න කිසි දිනෙක නොසිතන්නට ඇත. ඔවුන් ඒ වන විට හොඳ ජීවිත ගතකරමින් සිටීම නිසාය.

ඉකුත් 9 වැනි දින හා 11 වන දින නඩුව කැඳවූ අවස්ථාවේ සැකකරුවන් වෙනුවෙන් නීතීඥ දසරාජ් දසනායක මහතා හා තවත් නීතීඥවරයකුª පෙනී සිටි අතර පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධි නීතීඥ සමදරී පියසේන මහත්මිය පෙනී සිටියාය. ගන්දර පොලීසිය වෙනුවෙන් උසාවි කටයුතු භාර පොලිස් සැරයන් 64469 ඩබ්ලිව්. ටී. හේමන්ත මහතා පෙනී සිටියේය.

මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා විසින් තීන්දුව ප්‍රකාශයට පත් කිරීමත් සමඟ සැකකරුවන් හඬාවැටෙද්දී එය අතිශය හැඟුම්බර අවස්ථාවක් විය.

අධිකරණයෙන් පිටත රැඳී සිටි චූදිතයන්ගේ ඥාතීන්ට ද එම ආරංචිය දරාගත නොහැක්කක් විය. අධිකරණ තීන්දුව මත චූදියන් පස්දෙනාම මරණීය දන්ඩණය සිදුවන තෙක් වැලිකඩ බණ්ධනාගාරයට ඇතුලත්කර ඇත.

පොලිස් වාර්තා මත ලිපිය සකස් කෙරිණි.