“ඔබ තරහෙන් වෛරයෙන් දැවි දැවී ඉන්න පේ‍්‍රතයෙක්”

“ඔබ තරහෙන් වෛරයෙන් දැවි දැවී ඉන්න පේ‍්‍රතයෙක්”

කෙනෙකුට කදරයක් සිදුවුණත් ලෙඩ දුකක් අනතුරක් තුවාලයක් වුණත් ඒ දුක වේදනාව දැනෙන්නෙ ඔහුගේ හෝ ඇයගේ සිතටය. ගෙදර ලාච්චුවේ මුදල් අඩුවුණත් ඒ දුක දැනෙන්නෙත් සිතටය. ගේ දොර දේපළ වස්තුව පිරිහුණත්, අහිමි වුණත්, විනාශ වුණාත් ඒ දුක දැනෙන්නෙත් සිතටය. එසේ සිදුවන්නේ මේ බාහිර දේවල් සිතින් දැඩි සේ අල්ලාගෙන සිටීම නිසාය.

මේ සංසාර දුකෙන් මිදෙන්නට නම් පරම නිදහස ලබන්නට නම් සියල්ල අත්හැරිය යුතු යැයි කියන්නේ ඒ නිසාය. කෙනෙකුට අඹු දරුවන්, ගේ දොර සම්පත් අත් හැරිය හැකිද? ඒ සඳහා කළ යුත්තේ ලෝක ධර්මතාව අවබෝධ කර ගැනීමය. සියල්ල අනිත්‍ය බව වටහා ගැනීමය. කොයි තරම් ආදරයෙන් කැමැත්තෙන් අල්ලාගෙන බදාගෙන හිටියත් අපට ඒ සියල්ල අත්හැර යෑමට සිදුවන බව තේරුම් ගත යුතුය. සදාකල් අප සමඟ සිටී යැයි සිතන පුද්ගලයන් ද, අපටම අයිති යැයි සිතා සිටින වස්තු සම්පත් ද ජරාවට පත්වන, දිරා යන බව අප අතහැර යන බව තේරුම් ගත යුතුය. අප හැදු වැඩු මව් පියෝ ද අඹු දරුවෝද අප අතහැර යෑම අපට වළක්වන්නට නොහැකිය. මේ ආදරණීය අයද අප අත්හැර යා නම්, දේපළ ගෙවල් දොරවල් ඇඳ පුටු මේස යාන වාහන දිරාපත් වීම අපට වැළැක්විය හැකි ද ? නොහැක්කේමය. මට මගේ ශරීරය වයස් ගතවීම. ලෙඩ රෝග වැළැඳීම, කෙස් පැසීම, හැලීම, දත් දිරා යෑම, හැළීම, ඇඟ රැළි වැටීම, අවසානයේ මරණය වළක්වා ගත හැකිද? එසේ වළක්වා ගත් කෙනෙක් අතීතයේ සිටියේත් නැත. වර්තමානයේත් නැත. අනාගතයේ පහළවන්නෙත් නැත. මට මා ආරක්ෂා කරගත නොහැකි නම් ජරාවට පත්වීම වළක්වා ගත නොහැකි නම් මා තුළ “මම” යැයි කෙනෙක් පුද්ගලයෙක් නැත්තේය. ඒ බව අවබෝධ වූ දිනට අතහැරීමේ වේදනාව අඩුවනු ඇත.

කඩවත ප්‍රදේශයේ පදිංචි සාගල හතළිස් දෙහැවිරිදි විවාහකයෙකි. පුද්ගලික ආයතනයක රැකියාව කරන්නෙකි. දෙදරු පියෙකි. සාගලගේ ඇඟපත වේදනාවක් හටගත්තේය. නිවසේ අසාමාන්‍ය සද්ද බද්ද ඇහෙන්නට විය. දොර අගුළුවල යතුරු කරකවන හඬ, නාන කාමරයේ කරාම වලින් වතුර වැගිරෙන හඬ, කාමරවල දොර ජනෙල් අරින වහන හඬ ඇසෙන්නට විය. සමහර වෙලාවට රාත්‍රියට නිවස වටේි යමෙක් ඇවිදින හඬ පැහැදිලිව ඇසෙන්නට විය.

ශාරීරික වේදනාවලට වෛද්‍ය ප්‍රතිකාර ගත්තත් ඔහුට සුවයක් නොවීය. වෛද්‍ය පරීක්ෂණ වලින් රුධිරයේ හිමොග් ලොබින් ඌනතාවක් ද පෙන්නුම් කරන්නට විය. අනෙකුත් උවදුරු සඳහා ශාන්ති කර්ම කළත් වෙනසක් නොවීය. මේ අතර “මාංචු” පත්‍රයේ පළවන “භූත ආත්මය” විශේෂාංගය කියවන්නට ලැබී එහි සඳහන් ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය කරා සාගල සිය බිරිඳ සමඟ ගියේය. ප්‍රථම රෝග පරීක්ෂාවේදී සාගලගේ ශාරීරිය ඇතුළත ගැස්මක් හා ශරීරයේ පැද්දීමක් ඇතිවිය. එදින ඉන් එහා දෙයක් සිදු නොවුයෙන් දින විසි එකක් ගමේ පන්සලේදී බෝධි පුජා පවත්වා නැවත එන්නැයි ගවේෂකවරයා ඔහුට උපදෙස් දුන්නේය. ඊළඟට පැමිණි දිනයේ සාගලට භූතාත්මයක් ආවිශ්ට වී කතා කරන්නට විය. ගවේෂකවරයා ප්‍රශ්න කිිරිම ආරම්භ කළේය.

“කවුද මේ ශරීරයට රිංගාගෙන කරදර කරන්නේ?”

“මම මුගේ මාමා”

භූතාත්මය උත්තර දුන්නේය.

“මොකක්ද නම?”

“සමන්”

“ඇයි මේ බැණාට කරදර කරන්නේ?”

“මූ ලෝභයා, මම කියන විදිහට වැඩ කළේ නෑ”

“ඇයි මෙයා මොනවාද නොකළේ?”

“මහත්තයා, මම රට රස්සාවක් කරලා හොඳට හම්බ කළා. ගෙවල් දොරවල් හොඳට හැදුවා. ඒවත් මූට දුන්නා. මගේ කාර් එකත් මූට දුන්නා. අන්තිමට තවත් රුපියල් ලක්ෂ දෙකක් මූට දුන්නා මම මැරුණාම මගේ අවමඟුල් කටුයුතු හොඳට කරන්න කියලා. මූ ඒ සල්ලි ටිකත් මුගේ පොතේ දා ගත්තා. මගේ අවසන් කටයුතු හොඳට කළේ නෑ. මගේ මිනිය තිබ්බේ බාල පෙට්ටියක. හේවිසි ගැහැව්වෙත් නෑ. මූ මගේ ඉල්ලීම ඉටු කළේ නෑ. ඒ නිසා මම පළිගන්නවා. මූව ගෙදරින් එළවනවා.”

“ඒ මොකටද?”

“එතකොට මට මගේ ගෙදර නිදහසේ ඉන්න පුළුවන්” පේ‍්‍රතයා කියන්නට විය.

“ඔබ ජීවත්ව ඉන්දැද්දී පින් දහම් කළාද?”

“කළා. හොඳට පින් කළා. දුප්පතුන්ට උදව් කළා. මුන්ට මගේ ගේ දොර වාහන දීපු එකම පොඩි පහේ පිනක්ද? ඒත් මූ මගේ වචනයට සැලකුවේ නැහැ” භූතාත්මය පිළිතුරු දෙන්නට විය.

“ඔන්න බලන්න ඔය තරම් දන් පින් කරලත් උවමනාවට වඩා ආසාවන් තියා ගත්තම ඒ පින් අමතක වෙනවා. සමන් මැරුණට පස්සේ ඒ හිටපු සමන් නොවෙයි දැන් ඉන්නේ. ඒත් අර සිතෙන් අල්ලගෙන හිටපු උපාදාන නිසා පේ‍්‍රතයෙක් වෙලා තරහෙන් වෛරයෙන් දැවි දැවී දුක් විඳිනවා.” ගවේෂකවරයා භූතාත්මයට පැහැදිලි කර දුන්නේය. ඉන්පසු සාගලට පියවි සිහිය ලබා දී මියගිය මාමාගේ භූතාත්මය කී දේවල් ඇත්තක් දැයි ඔහුගෙනුත් බිරිඳගෙනුත් ගවේෂකවරයා විමසුවේය.

“ඔව් මහත්මයා ඒ සල්ලි මගේ බැංකු පොතට දාපු එක ඇත්ත. ඒ වෙලාවෙ මා ළඟ මුදල් තිබුණු නිසා බැංකුවෙන් සල්ලි ගන්න වුවමනා වුණේ නෑ.” සාගල ගවේෂකවරයා ඉදිරියේ කීවේය.

තවත් සතියක් බෝධි පූජා පවත්වා මාම තමන්ට කළ උදව් එකින් එක මතක් කොට මාමට පින් අනුමෝදන් කර නැවත එන්නැයි ගවේෂකවරයා ඔවුන්ට උපදෙස් දුන්නේය. බෝධි පූජා අවසන් කොට ඔවුහු නැවත පැමිණියහ. එදින ද සාගලට භූතාත්මය ආවිශ්ට වී කතා කරන්නට විය.

“කොහොමද මේ අය සමඟ බෝධි පූජාවලට ගියාද?”

“ගියා මහත්මයා, සාගල මාව මතක් කරලා මං කරපු උදව් වලට අපේ මාමාට පින් සිද්ධ වේවා කියලා පින් අනුමෝදන් කරන කොට මට සතුටක් ඇති වුණා. මගේ සිතට සහනයක් දැනුණා” ් භූතාත්මය සතුටින් කීවේය.

“ඔව් අපි දැන් මේ වනතෙක් ඔබට සිදු වී ඇති වැරදි නිවැරදි කරන්න කටයුතු කරනවා. ඔබේ මුදල් වලින් මහා සංඝ රත්තනය පහළොස් නමකට නිවසේ දී සාංඝික දානයක් පිරිනමා පින් අනුමෝදන් කරන්නයි මම මේ අයට නියම කරනවා. ඉතුරු මුදල්වලින් වැඩිහිටි නිවාසයක අඩුපාඩු සොයාබලා පරිත්‍යාග කරන්න නියම කරනවා ඔබ ඊට කැමැති ද?”

“සාදු ! සාදු ! සාදු !!! කැමතියි මහත්මයා. මම කැමතියි”

දානය දවසට ඔබත් එතැනට ගිහින් ඔබේ මුදල් වලින් සකස් කළ දානය ඔබේ අතින්ම බෙදනවා කියා හිතන්න. ඔබේ මුදලින් ගෙනා අටපිරිකර හා සෙසු පිරිකරවලට අත හිත යොමුකර ඔබේ අතින්ම පූජා කරනවා කියා සිතන්න” ගවේෂකවරයා භූතාත්මයට උපදෙස් දුන්නේය.

ඒ අනුව සාගල සහ පවුලේ අය හේවිසි සහිතව මහා සංඝරත්නය වඩම්මවා සාංඝික දානයක් පිරි නැමුහ. ඒ සඳහා මාමා දුන් මුදල් බැංකු තැන්පතුවෙන් ආපසු ගෙන වියදම් කළහ. ඉතුරු මුදල්වලින් ඔවුහු වැඩිහිටි නිවාසයකට අවශ්‍ය සනීපාරක්ෂක භාණ්ඩ තොගයක් මාමා නමින් පරිත්‍යාග කළහ. එදින සවස බෝධි පූජාවක් පවත්වා මාමට පින් අනුමෝදන් කළහ.

මේ පින්කම් පවත්වා ඔවුහු නැවත ප්‍රතිකාර පිණිස පැමිණියහ. මේ වන විට සාගලගේ ශාරීරික වේදනා පහව තිබුණු අතර නිවසේ පැවති සද්ද බද්ද පේ‍්‍රත දෝෂ ද ඉවත්ව තිබුණි. එදින ද ගවේෂකවරයා භූතාත්මය සාගලට දිෂ්ටි ගැන්වීය. භූතාත්මය සාදුකාර දෙමින් ආවිශ්ට විය.

“සාදු කියන වචනයේ තේරුම ඉතා හොඳයි කියන එක. නමුත් මේ ඉතා හොඳයි කිවේ මොනවාටද?” ගවේෂකවරයා භූතාතමයෙන් ප්‍රශ්න කළේය.

“දාන මාන ඉතා හොඳයි. වැඩිහිටි නිවාසයන්ට කළ පරිත්‍යාගයන් ඉතා හොඳයි. පින් අනුමෝදන් කිරීමත් ඉතා හොඳයි. මම දැන් මොනවද කරන්න ඕනෑ?” භූතාත්මය ගවේෂකවරයාගෙන් ඇසීය.

“ඔබ පින් අනුමෝදන් වී සතුටු වුණා නම් කලින් හිටපු පේ‍්‍රත තත්ත්වයෙන් ඉහළට යන්න ඕනෑ.”

“ඒකට මොනවා ද කරන්න ඕනෑ”

“ඔබ ගෙවල් දොරවල්, ඉඩම හා වාහනය දුන්නා නම් ඒක දුන්නා දුන්නාමය කියලා හිතින් අත හරින්න. ඒක හිතෙන් අල්ලාගෙන සිටින තුරු ඔබට දෙවියන් අතරට යන්න බෑ. ඔය පේ‍්‍රතයන් අතරමයි දුක් විඳින්න වෙන්නෙ”

“නෑ.... නෑ... මම දෙවියන් අතරට යන්න ඕනෑ. දුන්න දේවල් ගැන දැන් මගේ ඇලීමක් බැඳීමක් නෑ.” භූතාත්මය කීවේය.

“සාදු සාදු ඉතා හොඳයි” ගවේෂකවරයා ද කීවේය.

“එහෙම නම් ඔබ නිතර පින් දහම් කරන තැනකට ගිහින් ඒ තැන්වල සිදුකරන පින්කම් දැක සතුටු වෙන්න”

“මම අනුරාධපුරයට යන්න කැමතියි මහත්මයා”

සාගල ලවා අටපිරිකරක් ගෙන්වු ගවේෂකවරයා ඒ සමඟ යන්නැයි භූතාත්මයට නියම කොට ඔවුන් ලවාම ශ්‍රී මහා බෝධි පරිශ්‍රයට එය පූජා කරන්නට නියම කළේය.

අත් හැරීම පුරුදු වනතුරු තණ්හාව දුරු නොවේ. තණ්හාව දුරු වනතුරු සසර ගමන නතර නොවේ.