“ත්‍රිවිල් එකේ ආපු තුන්දෙනෙක් මන්නා පිහි වලින් එයාට කෙටුවා”

“ත්‍රිවිල් එකේ ආපු තුන්දෙනෙක් මන්නා පිහි වලින් එයාට කෙටුවා”

සමනල කඳු මුදුනෙන් ඇරැඹෙන කැලණි ගං කොමලිය කඳුකරය පසුකරගෙන රත්නපුර, අවිස්සාවේල්ල, කොස්ගම, කඩුවෙල හරහා මුහුදට වැටෙන්නේ වැල්ලම්පිටිය ද පසුකරගෙන ගොස් මෝදර ප්‍රදේශයෙනි.

කැලණි ගං කොමලියට කරන ගරු සැලකිල්ලක්, උපහාරයක් ලෙස වැල්ලම්පිටිය පැල්පත් ආශි‍්‍රත ගම්මානයක් “කැලණි නදී ගම” ලෙස නම් කොට ඇත. වර්ථමානය වන විට මෙම ගම්මානයේ පැල්පත් දකින්නට ලැබෙන්නේ කලාතුරකිනි. එකින් එකට යාබදව දෙමහල් නිවෙස් ඉදි වී ඇති අතර ඉන් සමහර නිවෙස්වල ඛ්ඛ්ඊඍ කැමරා ද සවිකර තිබේ.

මේ ගම් පියසේ නම ඇසු සැනින් ඕනෑම කෙනකුගේ හදවතේ මැවෙන්නේ සෞම්‍ය දසුනකි. ඉතා සාමාකාමී මිනිසුන් වෙසෙන නිශ්ශබ්ද පරිසරයකින් යුතු නිවාස සංකීර්ණයකි.

එහෙත්.... මෙහි ජිවත්වන පිරිසෙන් වැඩි දෙනෙකු නීති විරෝධී ජාවාරම් සිය ජිවිකාව කරගත්තෝ වෙති. එලෙසම මත්කුඩු ඇතුලු මතට ඇබ්බැහි වුවෝද මේ ගම් ප්‍රදේශයේ එමටය. එහෙත්... මෙවැනි චරිත අතර සමාජයට වැඩදායි ලෙස ජීවත් වන අය ද නැතිවා නොවේ.

කැලණි නදී ගම, කොටුවිල, දෙවන අදියර අංක 90 දරණ නිවෙසේ පදිංචි ත්‍රිරෝද රථ රියැදුරකු වූ හතලිස් පස් හැවිරිදි මාපිටිගම සුනිල් ද එලෙස කාටවත් කරදරයක් නොකොට ජිවිතය ගෙන ගිය අයෙකි. තිදරු පියකු වූ ඔහු ත්‍රිරෝද රථ රැකියාවට අමතරව මුදල් පොලියට දීම ද කරගෙන ගියේ අමතර ආදායමක් ලබාගැනීම උදෙසාය. ඔහු ද මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බව සමහරකු කීවද එවැන්නක් පොලිසියට වාර්ථා වී තිබුණේ නැත.

ඔහුට දෙමහල් නිවෙසක් ඇත. උසට තාප්පයක් සාදා ශක්තිමත් ගේට්ටුවක් යොදා නිවෙසේ ආරක්ෂාව සලසා ඇති අතර සී.සී.ටී.වී. කැමරා ද සවිකොට ආරක්ෂාව තව දුරටත් තහවුරු කර ගැනීමට හෙතෙම කටයුතු කොට ඇත.

කැලණිනදි ගම ඇතුලේ මාර්ගය අඩි හත අටකට වඩා පළල් නැත. පාර දෙපැත්තේම එක ළඟ එක නිවාස මෙන්ම වෙළෙඳසල් ද පිහිටා ඇත.

මෙවැනි ප්‍රදේශවල ජීවත් වන බොහෝ දෙනකු රාත්‍රිය උදාවීගෙන එද්දී නිවෙස් වලින් පිටතට විත් පාරට වී අසල් වැසියන් සමඟ කතා බහේ යෙදී සිටීම මෙන්ම නොයෙක් ක්‍රීඩා වල යෙදීම ද සුලබ දසුනකි. එලෙසම උත්සව කාලවලදී විනෝද වීමට ද පාරට පැමිණිමට සිදුවන්නේ ගෙවතුවල ඉඩකඩ නොමැති බැවිනි.

ඒ.... පසුගිය දෙසැම්බර් තිස් එක් වැනිදා රාත්‍රියයි. දවසේ වැඩ නිමකළ සුනිල් මධ්‍යම රාත්‍රිය උදාවේද්දී රතිඤ්ඤා දැල්වීම සඳහා සුදානම්ව නිවෙස ඉදිරිපිටට ගොස් සිටියේ බිරිය හා දරුවන් ද සමඟය. බිරිය මෙලෙස පාරට පැමිණ සිටියේ 2017 දින උදාවෙද්දී කිරි උතුරවා කිරිබත් පිසීමට අවශ්‍ය සියලු කටයුතු සම්පාදනය කිරීමෙන් අනතුරුවය.

මධ්‍යම රාත්‍රිය උදාවීමට ආසන්නය. සුනිල් සිය පවුලේ අයද ළඟ තබාගෙන රතිඤ්ඤා පත්තු කරමින් සිටි අතර අසල් වැසියන් ද බොහෝ දෙනකු පාරට විත් මෙලෙස ගිනිකෙලි සංදර්ශන පවත්වන්නට වුහ.

එලෙස.... වේලාව ටිකෙන් ටික ගෙවී දෙදහස් දාහත වර්ෂය උදාවීමට විනාඩි දෙක තුනක් තිබිය දී කැලණිනදි ගම මැදින් පිහිටි මාර්ගය දිගේ ත්‍රිරෝද රථයක් ඉදිරියට පැමිණෙන්නට විය. සුනිල්ගේ නිවෙස පිහිටි මෙම මාර්ගය ඔස්සේ වැඩිපුරම ගමන් කරන්නේ ත්‍රිරෝද රථ පමණි. ඊට හේතුව මෙහි පදිංචි බොහෝ දෙනකු සතුව ත්‍රිරෝද රථ තිබීමය. එලෙසම ප්‍රධාන මාර්ගයේ සිට මෙම ගම්මානයට කිලෝමීටර් දෙකක් පමණ දුර ප්‍රමාණයක් ඇතත් බස් ධාවනයක් නොවන හෙයින් ගමන් බිමන් සඳහා ත්‍රිරෝද රථ භාවිත කිරීමට ඔවුන්ට සිදුව තිබිමය.

මධ්‍යම රාත්‍රිය උදාවෙද්දී පැමිණි ත්‍රිරෝද රථය නතර වුයේ සුනිල්ගේ නිවෙස අසලය. මේ පැමිණියේ කවුරුන්දැයි සුනිල්ගේ පවුලේ අය දැන සිටියේ නැත. තම නිවෙස අසල නතර කළ ත්‍රිරෝද රථය දෙස බලන විට සුනිල් ඇතුලු පවුලේ අය දුටුවේ මන්නා පිහි රැගත් තිදෙනකු ඉන් පිටතට පැන තමා ඉදිරියට පැමිණෙන අසුරුය. ඔවුන් පැමිණි ත්‍රිරෝද රථය රිවස් එකේම යන්නට ගියේය.

ඒ වන විට රතිඤ්ඤා අතැතිව පාර අයිනේ සිටගෙන සිටි සුනිල් වෙත කඩා පැන්න තිදෙනා සිය අත වු මන්නා පිහි වලින් ඔහුට දිගට හරහට පහර දෙන්නට විය.

මේ සිදුවීම දුටු පාර දෙපස රතිඤ්ඤා පත්තු කරමින් සිටි පිරිස් වහ වහා නිවෙස් තුළට රිංගා ගත් අතර මැරී බිම වැටෙන තෙක් සුනිල්ගේ හිස පපුව ඇතුලු සිරුර පුරා මන්නා පහර එල්ල කළ පිරිස ලේ බේරෙන මන්නා පිහි ද අතැතිව කැලණිනදි ගම ඇතුළට දිව ගියහ.

දෙදහස් දාහත වසර උදාවී ගෙවී ගිය හතලිස් තුන්වන විනාඩියේදී වැල්ලම්පිටිය පොලිසියේ දුරකථනය නාද දෙන්නට පටන්ගත්තේය. එම ඇමතුම ලැබී තිබුණේ කොළඹ ජාතික රෝහලෙනි. ඇමතුම දුන් අය කියා සිටියේ මන්නා පිහි පහර වලින් බරපතල තුවාල ලැබු පුද්ගලයකු රෝහලට රැගෙන ආ බවත් රෝහලට ඇතුළත් කරන විට ද ඔහු මියගොස් සිටි බවත්ය.

ඔහු ... කැලණිනදි ගම දෙවන පියවර අංක 90 දරණ නිවෙසේ පදිංචි සුනිල් මාපිටිගම යන අය බවද රෝහලෙන් පොලිසියට දන්වා සිටියේය.

ලද පණිවුඩයට අනුව කැලණිනදි ගම බලා යාමට පොලිසියේ කණ්ඩායමක් සැරසෙද්දී පොලිසියට පැමිණි කාන්තාවක පවසා සිටියේ සිය සැමියා වන සුනිල් මැර පිරිසක් විසින් කපා කොටා මරා දැමු බවයි.

නව වසරේ රාජකාරි ආරම්භ කරමින්, වැල්ලම්පිටිය පොලිසියේ කණ්ඩායමක් ඒ මොහොතේම කැලණිනදි ගම බලා පිටත්ව ගියේය.

සිය දහස් ගණන් ජීවත්වන ගමේ කිසිවකු පාර අයිනේ පෙනෙන්නට නැත. සුනිල්ගේ නිවැසියන් හා ඥාති හිතවතුන් කිහිප දෙනකු ඔහුගේ නිවෙසේ සිටිනු දක්නට ලැබිණි.

නිවෙස ඉදිරිපිට පාර මැද ලේ ගලා ගිය සලකුණු දක්නට ඇත. එතැන සිටි අයකු එම ලේ පැල්ලම් පෙන්වමින් කියා සිටියේ සුනිල්ට පහර දුන්නේ එම ස්ථානයේදී බවයි.

නිවෙස් වලට රිංගා ගෙන සිටි ගම් වැසියෝ පොලිසිය පැමිණ ටික වේලාවක් ගෙවී යද්දී එකිනෙකා පාර දෙසට ඇදෙන්නට වුහ. ඔවුන් එලෙස කල් යල් බලා පැමිණියේ මේ සිදුවීම ගැන හාංකවිසියක් හෝ නොදන්නා ලෙසටය. කිසිම දෙයක් නොදුටු බව ඇඟවෙන පරිදිය.

සුනිල් මාපිටිගම ගේ බිරිය ඇතුලු දරුවන් තමා ඇසින් දුටු දෙය පොලිසියට විස්තර කළේය. එහෙත්.... ඔවුන් කට වචනයෙන් කියනවාට වඩා සිද්ධිය එලෙසම බලාගැනීමේ හැකියාව පොලිසියට උදා වී තිබිණි. ඒ... සුනිල්ගේ නිවෙසේ සවිකර තිබු සී.සී.ටී.වී. කැමරාවල මෙම ඝාතන සිද්ධිය හොඳින් රූගතව තිබීම නිසාය.

සුනිල්ගේ පවුලේ අය පවසා සිටියේ සුනිල් හා වෛරයෙන් පසුවන උක්කුපුතා යන අයගේ නංගිගේ අනියම් පුරුෂයා වන අසංක නොහොත් පරිප්පුවා. පරිප්පුවාගේ මල්ලී ලක්මාල් උක්කුපුතාගේ දෙවැනි නංගිගේ පුතාවන සුරංග සහ යුද හමුදාවෙන් පලාගිය සෙබළකු වන ආමි දුමින්ද මෙම ප්‍රහාරයට පැමිණි බවයි. එලෙස අසංක, ලක්මාල් හා දුමින්ද යන තිදෙනා මන්නා පිහි රැගෙන විත් පහර දුන් බවද ඔවුහු පොලිසියට පවසා තිබිණි.

ඔවුන් හෙළිකළ මේ තොරතුරු සියල්ලම සී.සී.ටී.වී කැමරා වලද රූගතව තිබිණි. එනම් සැකකරුවන් පිරිස කවුරුදැයි නිවැරැදි ලෙස හඳුනා ගන්නට පොලිසියට හැකිවිය. ඒ අලුයම් කාලයේම පොලිසිය මෙම සැකකරුවන් සොයා නිවෙස් වටකළ මුත් ඒ වන විට ද ඔවුන් සිය නිත්‍යනුකූල නොවන බිරියන් ද රැගෙන ප්‍රදේශය හැර පලාගොස් තිබිණි.

ඔවුන් සොයා මෙහෙයුම් දියත් කළ පොලිසිය ඊළඟට කළේ මෙම ඝාතනය කාගේ සැලසුමකට අනුව කාගේ වුවමනාව මත සිදුවුවාදැයි සොයා බැලීමයි.

බුද්ධි අංශ නිලධාරින්ගෙන් හා පෞද්ගලික ඔත්තු කරුවන්ගෙන්ද පවුලේ අයගෙන්ද ලබාගත් තොරතුරු වලින් හෙළි වුයේ කැලණිනදී ගම දෙවන අදියරේ පදිංචි කුඩු ජාවාරම් කරුවකු වන උක්කුපුතා යන අයගේ අවශ්‍යතාව මත ඔහුගේ සැලසුමකට අනුව මෙම ඝාතනය සිදුකර ඇති බවයි.

පොලිස් පරීක්ෂණ වලදී හෙළි වූ තොරතුරු වලට අනුව උක්කුපුතා සුනිල් සමඟ වෛර බැඳ ගන්නේ මීට වසර කිහිපයකට ඉහතදීය. ඒ උක්කුගේ මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව සුනිල් නැඟී සිටිම හේතුවෙනි.

උක්කුගේ මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව සුනිල් නොයෙක් පියවර ගත්තේය. ඒ.... පොලිසිය ඒ සඳහා නිසි පියවර නොගත් නිසා ද නොඑසේ නම් තමාගේ ව්‍යාපාරය කරගෙන යාම අපහසු වු නිසා ද අනාවරණය වී නැත.

මීට වසර කිහිපයකට ඉහත දී උක්කුං ගමෙන් එලවා දැමීමට සුනිල් කටයුතු කර තිබිණි. ඒ ... මොහු තව දුරටත් කැලණිනදී ගම වාසය කළහොත් ගම් ප්‍රදේශයේ පදිංචි ගැටවර වියේ පසුවන නව යෞවනයන් රැසක්ම මත් රකුසාට බිලි වීම අනිවාර්යෙන්ම සිදුවන බව දැන ගත් නිසා විය යුතුය.

සුනිල් විසින් එලවා දැමු උක්කුං මීට ටික කලකට පෙර යළි සිය නිවෙසේ පදිංචියට පැමිණ සිටි අතර යළිත් ඔහු කුඩු ජාවාරම් ද කරගෙන ගියේ පොලිස් ඇසට වැලි ගසමිනි.

ඒ කෙසේ වුවද සුනිල් සමඟ තිබු වෛරය නම් උක්කුංගේ සිතේ පැලපදියම්ව තිබුණේ දිනෙන් දින දලුලා වැඩෙමිනි.

උක්කුං ධනවතෙකි. ඔහුට දෙමහල් නිවෙසක් ද ඇත. ඔහුගේ මත්ද්‍රව්‍ය ජාවාරමේ හවුල් කරුවන් වුයේ පවුලේ ළඟම ඥාතින්ය. එලෙසම ප්‍රදේශයේ චන්ඩින් වුයේ ද ඔවුන්මය.

මාපිටිගම සුනිල් ඝාතනයේ සැලසුම් කරු වූ උක්කුං පුතා සොයා පොලිසිය ඔහුගේ නිවෙසට ගියේ ජනවාරි මස පළමුනවැනිදා අපර භාගයේදීය. ඒ වන විට ඔහු නිවෙසේ සුවසේ කල් ගෙවමින් සිටියේය. පොලිසිය ඔහුගේ දැත් එක්කොට මාංචු දැම්මේ සුනිල් ඝාතනයේ සැලසුම්කරු ලෙස එල්ල වී ඇති චෝදනාව ද පැහැදිලි කර දෙමිනි.

එහෙත්... ඔහු... එම චෝදනාව පිළිගන්නේ නැත. ඔහුගේ ළඟම ඥාතින් විසින් සුනිල් ඝාතනය කර ඇති බව ඉතා පැහැදිලිව හෙළි වී ඇතත්, ඒ කිසිම අයකු සුනිල් සමඟ වෛරයෙන් නොසිටි අතර එකම වෛරක්කාරයා වුයේ උක්කුං බව ඔප්පු වී ඇතත් ඔහු වරද පිළිගන්නට සුදානම් බවක් පෙනෙන්නට නැත.

පොලිසිය ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි. ඊළඟ නඩු දිනයේ දී උක්කුං අධිකරණයට පැමිණෙන විට ඔහු වෙනුවෙන් ඉදිරිපත් වීමට නීතිඥවරු සිව් දෙනකු පැමිණ සිටියහ.

මේ සිව්දෙනාම අධිකරණයට කරුණු දක්වමින් ඉල්ලා සිටියේ උක්කුංට ඇප ලබා දෙන ලෙසටය. එහෙත්.... පොලිසිය ඉදිරිපත් කළ තර්ක හමුවේ සැකකරු යළිත් රක්ෂිත බන්ධනාගර ගත කිරීමට අධිකරණ නියෝග ලැබිණි.

වැල්ලම්පිටිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂණ සම්පත් සංජීව, ප්‍රමුඛ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂණ රොෂාන් ද සොයිසා, උප පොලිස් පරීක්ෂක ආනන්ද ජයසිංහ ඇතුලු කණ්ඩායමක් පලාගිය අපරාධකරුවන් සොයා මෙහෙයුම් වල නිරතව සිටී.

පොලිස් පරීක්ෂණ ඇසුරින් ලිපිය සැකසිණි.