ඉඩම් ආරවුල දුරදිග ගිහින් හිසට පහරදි මාමා මරලා

ඉඩම් ආරවුල දුරදිග ගිහින් හිසට පහරදි මාමා මරලා

ඇඳෙන් වැටී සිහිසුන් වූ බවක් මුලින් කියූ ඔලිදුරුගේ ජෝතිෂ්ගේ මරණය පහරදීමක් නොවේනම් හිස යමක හප්පා සිදුකරන ලද්දක් බව මේ වනවිට පොලීසියට පැහැදිලි ය. ඒ වග කරාපිටිය මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා පැවැත් වූ පශ්චාත් මරණ පරීක්ෂණයේදීත් තහවුරු වී ඇත. හිස් කබල පුපුරාගොස් ඇති වූ අසාධ්‍ය තත්ත්වයෙන් ජෝතිෂ්ව මුලින්ම ඇතුලත් කොට තිබුණේ ගොන්නගහහේන රජයේ රෝහලටය. තත්ත්වය බරපතල බැවින් රෝහල් වෛද්‍යවරු වැඩිදුර ප්‍රතිකාර සඳහා ජෝතිෂ්ව කරාපිටිය රෝහලට යැවුවද දින තුනකට පසු ඔහු කරාපිටිය රෝහලේ දී මිය ගියේය.

පසුගිය ජනවාරි පළමුවැනිදා රාත්‍රියේ දී අහංගම කහවතුගොඩ සිය නිවෙසේදී ජෝතිෂ් සහ ඔහුගේ සහෝදරියකගේ පුතකුවන ලොක්කා අතර බහින් බස් වීමක් දුර දිග යාම නිසා ඇති වූ ආරවුලක් ජෝතිෂ්ගේ මරණයට හේතු වී ඇත.

ඒ වන විට නිවෙසේ සිටියේ ලොක්කා සහ ජෝතිෂ් හැරෙන්නට ඔහුගේ එකම දියණිය පමණි. පස්දරු පියකුවන ජෝතිෂ්ගේ පුතුන් දෙදෙනකුත් කහවතුගොඩම පදිංචි නමුත් ඔවුන් කවුරුත් සිද්ධිය වන විට නිවසේ සිට නැත.

ජෝතිෂ් සහ ලොක්කා අතර තිබුණේ දුරදිගගිය අමනාපයකි. ලොක්කා ජෝතිෂ්ගේ සහෝදරියගේ පුත්‍රයා වුවත් ජෝතිෂ්ට ලොක්කාව එච්චර ඇල්ලුවේ නැත. ලොක්කාට ද ජෝතිෂ්ව පෙන්නන්ට බැරි වුයේ අවුරුදු දෙක තුනක සිටය.

ලොක්කාගේ මවගේ ගම අහංගමය. එහෙත් ලොක්කාගේ මව ඇතුළු පවුලේ ඥාතීන් ජීවත් වන්නේ කඩුවෙල පට්ටිය වත්තේය. පවුලේ අයට වඩා ලොක්කා අමුතුම ගති පැවතුම් ඇත්තෙකි. කඩුවෙල ජීවත්වෙනවාට වඩා ලොක්කා පි‍්‍රයකළේ අහංගමටය. ඒ සිය මවගේ මහගෙදර අහංගම පිහිටීම නිසාය. ඒ නැදෑකම මත ලොක්කා කඩුවෙල සිට අහංගමට පැමිණ ඇත්තේ මීට වසර කිහිපයකට කලින්ය.

ලොක්කා මහගෙදරට එනවිටත් ලොක්කාගේ මවගේ සොහොයුරා වන ජෝතිෂ් සමඟ ජෝතිෂ්ගේ අවිවාහක දුව මෙන්ම විවාහක පුතකුද ඔහුගේ බිරිය සහ දරුවා ද එම නිවසේ පදිචිංව සිටියහ. එහෙත් නෑකම සැලකූ ජෝතිෂ්ලා ලොක්කාටත් ඒ නිවෙසේම නවතින්නට ඉඩ හැරියහ.

මහගෙදර නතර වූ ලොක්කා නිකම්ම හිටියේ නැත. ජෝතිෂ්ගේ නිවෙසට යාබදව අටවාගත් ටකරන් මඩුවක ඔහු වාත්තු වැඩ කරන්නට පටන් ගත්තේය. වාත්තු වැඩවලට සැබෑ දක්ෂයකු වූ ලොක්කා මේසන් වැඩ, ටයිල් වැඩ හා සැටලින් වැඩටත් හපන්කම් දැක්වීය. මෙලෙස වාත්තු වැඩ කරගෙන යන අතරතුර ලොක්කා ඔහුගේ මාමා වන ජෝතිෂ් සමඟ ඉඩකඩම් වලට ඇති අයිතිය සම්බන්ධයෙන් වාද විවාද කරන්නට පටන් ගත්තේය. ලොක්කා සහ ජෝතිෂ් අතර අමනාපයක් ඇතිවන්නේ ඉන් පසුවය.

මව් උරුමයෙන් ලැබෙන්නට තිබෙන දේපළ ඉල්ලා ලොක්කා ජෝතිෂ් සමඟ ආරවුල් ඇති කර ගත්තේය. ලොක්කාගේ කතා බහින් උරණ වූ ජෝතිෂ් අවසානයේ ලොක්කාව ිසිය නිවෙසින් පන්නා දැමීය.

පන්නා දැමු පළියට සියල්ල අකුලාගෙන දොට්ට බහින්නට ලොක්කා කැමැත්තක් දැක්වුයේ නැත. ලොක්කා නිතර නිතර ජෝතිෂ් සමඟ ආරවුල් ඇතිකර ගනිමින් ජීවත් විය. ඒ වාත්තු වැඩ කළ කුඩා ටකරන් කාමරයේම රැඳි සිටිමින්ය.

කාලයා ඈවැමෙන් ලොක්කාට වාත්තු වැඩ එපා විය. සියල්ල නවතා දැමු ලොක්කා අහංගම ප්‍රදේශයේ තැන් තැන්වල කුලී වැඩ කරන්නට පටන් ගත්තේය. එලෙස මුදලක් සොයා ගන්නා ඔහු සවස් වනවිට මත්වතුරෙන් සප්පායම් වන්නේය.

ඒ පසුගිය ජනවාරි පළමුවැනිදාය. මත්වතුර කටේ හළාගත් ලොක්කා වෙරිමරගාතේ ටකරන් මඩුවට එද්දී ජෝතිෂ් සිටියේ මහගෙදර දොරකඩය. ජෝතිෂ්ව දුටු ලොක්කා පුරුදු පරිදි ජෝතිෂ්ට ඇනුම් පද කීවේය. ජෝතිෂ්ද ඊට එකට එක කියද්දී ඒ බහින් බස් වීම දුරදිග ගියේය.

කේන්තියෙන් ජෝතිෂ්ට කිට්ටුකළ ලොක්කා ජෝතිෂ්ව තල්ලු කර දැමු බව කියන්නේ ඉන් පසුවය. ඇද වැටුණු ජෝතිෂ්ව ඔසවාගෙන ගොස් ඇඳට දමන්නේද ලොක්කාය. නිවෙසේ සිටි ජෝතිෂ්ගේ අවිවාහක දියණිය මේ සියල්ල දුටුවාය.

“කාටහරි මේක කිව්වොත් දැනගනින් උඹටත් කරන දේ.....”

ඒ බිය ගැන්වීමට ජෝතිෂ්ගේ දියණිය කට වසා ගත්තාය.

ටික වේලාවකට පසුව ජෝතිෂ්ගේ පුතු නිවෙසට ආවේය. එවිට නිවෙසේ සිටින සහෝදරිය කියන්නේ තාත්තා ඇඳෙන් ඇද වැටී අමාරු තත්ත්වයෙන් සිටියදී තමා බොහොම අමාරුවෙන් ඔහු ඇඳට ගොඩකළ බවකි. තාත්තාගේ තත්ත්වය පිරික්සන්නට ඇඳ ළඟට ගිය ජෝතිෂ්ගේ පුතු දුටුවේ නාසයෙන්, කටින් ලේ දමමින් සිහිසුන්ව සිටින තම පියාය. වහා ජෝතිෂ් රෝහලට රැගෙන ගිය පුතා තම පියා ඇද වැටිමකින් තුවාල සිදු වූ බව රෝහලට පැවැසුවේය. එහෙත් ජෝතිෂ්ගේ තත්ත්වය අසාධ්‍ය බව තේරුම්ගත් වෛද්‍යවරු ඔහු කරාපිටිය මහ රෝහලට මාරුකර යවා ඇති අතර ඊට දින තුනකට පසුව ඔහු මිය ගියේය.

හදිසි මරණ පරීක්ෂක බඹරැන්ද ගමගේ නිමල් කරුණාතිලක මහතා මේ පිළිබඳ මරණ පරීක්ෂණය පවත්වන්නට කටයුතු කළ අවස්ථාවේදී පවුලේ ඥාතීන් පවසා ඇත්තේ තම ඥාාතිවරයා මියගියේ ඇඳෙන් වැටීමෙන් නොව පහරදීමකින් බවය. මෙහිදී ජෝතිෂ්ගේ දියණිය එතෙක් සඟවාගෙන සිටි රහස ද හෙළි කරනු ලැබුවාය. හදිසි මරණ පරීක්ෂකවරයා ඉදිරියේ ඇය කියන්නේ ඇත්තක් දැයි සෙවීම සඳහා විමර්ශන ආරම්භ කළ පොලීසිය ජෝතිෂ්ගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණයකට යොමු කළේය. ඒ ගාල්ල වැඩ බලන මහේස්ත්‍රාත් පී.තිරාණගම මහතා විසින් සිදුකරනු ලැබු මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසුවය. මේ සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළ රුහුණු වෛද්‍ය පිඨයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය සහ විශේෂඥ අධිකරණ වෛද්‍ය සු.සි.පී. පෙරේරා මහතා නිගමනය කළේ ජෝතිෂ් මියගොස් ඇත්තේ ඇද වැටීමකින් නොව හිසට එල්ල වූ බරපතල පහරදීමකින් බවය. ඒ අනුව වැඩ බලන මහේස්ත්‍රාත් වරයා නියෝග කළේ මිට සම්බන්ධ පුද්ගලයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසය. ඒ මොහොතේ පටන් අහංගම පොලීසිය ලොක්කා සොයා ඒ අවට සැරිසරන්නට විය.

ජෝතිෂ්ට පහරදුන් දා පටන් ලොක්කා ආගිය අතක් නොවීය. ලොක්කා සොයා අහංගම පොලීසිය කඩුවෙල පට්ටියවත්ත අවට සැරිසරන්නට පටන් ගත්තේ ඔහු එහි සැඟව සිටින බවට ලැබු තොරතුරක් මතය. නිවෙසට යන මාර්ගයේ ගමන් කරමින් සිටියදී පොලීසියට කොටු වූ ලොක්කා ලිස්සා පැන යන්නට උත්සහ දැරුවත් එය සාර්ථක නොවීය.

පොලීසිය ඉන්පසුව ලොක්කාගෙන් ප්‍රශ්න කළේ ජෝතිෂ් මරා දමන්නට හේතු වූ කරුණු කාරණා දැන ගන්නටය.

බහින්බස්වීමක් සමඟ අතපය එසවීමක් සිදුවූ බවත් ඒ හැරෙන්නට ඊට වැඩි යමක් මතක නැතැයි ලොක්කා පොලීසියට කීවේය. එහෙත් අපරාධ ස්ථානය සෝදිසි කළ පොලීසියට ලොක්කා නැවතී සිටි ටකරන් මඩුවේ ලී මැස්සක සඟවා තිබු තියුණු මන්නා පිහියක් සොයා ගත හැකිවිය. ඉන් අනතුරුව දිගින් දිගට කළ ප්‍රශ්න කිරීම්වලදී ලොක්කා විසින්ම නිෂ්පාදනය කළ ගල්කටස් වර්ගයේ තුවක්කුවක්, එම මඩුවේම බිම පොලිතින්වලින් ඔතා වළලා තිබියදී සොයා ගැනීමටද පොලිසිය සමත් විය. පොලීසිය පවසන්නේ සැකකරු හා මියගිය තැනැත්තා අතර පැවැති ඉඩම් ආරවුලක් හේතුවෙන් මෙම මිනීමැරුම සිදු වී ඇති බවට අනාවරණය වී ඇති බවයි.

සොයාගත් පිහිය හා තුවක්කුව සමඟ ගාල්ල අධිකරණයට ඉදිරිපත් කළ සැකකරු එළැඹෙන 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කළේය. ගාල්ල කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චන්දන ගලප්පතිගේ අධීක්ෂණය යටතේ අහංගම භාර සහකාර පොලිස් අධිකාරි ගාමිණී ඉහළපොළගේ උපදෙස් මත අහංගම පොලිසීයේ වැඩබලන ස්ථානාධිපති උපුල් කුමාර ප්‍රමුඛ අපරාධ විමර්ශන අංශයේ ස්ථනාධිපති දර්ශන නානායක්කාර සමඟ උප පරීක්ෂක මංජුල සැරයන් 18893 ඥානසිරි සමඟ කොස්තාපල්වරු වන 68339 පතිරාජ,15921 අරුණ, 59463 සුමිත්, 9198 කිංස්ලි ආදිහු මේ පිළිබඳ වැඩිදුර විමර්ශනවලට එක්ව සිටියහ.

පොලිස් පරික්ෂණ ඇසුරෙන් ලිපිය සකස් විය