"දුවගේ මරණය මට සැකයි"

"දුවගේ මරණය මට සැකයි"

“ශාන්තිකර්මයක් අතර තුර කාන්තාවක් මරුට “මෙය පසුගිය සතියේ මහත් ආන්දෝලනයට ලක්වූ කතා පුවත විය .

ශාන්තිකර්මය අතරතුර ලබා දුන් දියර වර්ගයක් පානය කිරීම හේතුවෙන් මේ මරණය සිදු වූ බව ප්‍රචාරය විය . මේ මරණය පිළිබද පැවැති පශ්චාත් පරීක්ෂණයේදී අනාවරණය වී ඇත්තේ හදුනා නොගත් රසායනික ද්‍රව්‍යයක් හෝ විෂක් ශරීර ගත වීමෙන් මේ මරණය සිදුව ඇති බවය .

වැඩිදුර පරීක්ෂණ සදහා ශරීර කොටස් රස පරීක්ෂක වෙත යැවීමද පොලිසිය කටයුතු කර තිබේ.

හලාවත ඉලිප්පදෙණියේ පදිංචිව සිටි එම්.ඒ. ඉෂාරා උමයංගනී මේ ශාන්තිකර්මයෙන් මිය ගිය කාන්තාවයි . දෙදරු මවක් වන ඇය ඒ වන විට සැමියාගෙන් නිත්‍යානුකුලව දික්කසාද වී සිටියාය.

මනා රූ සපුවකටද උරුම කම් කියු උමයංගනී ට දේවාල ගානේ යන්න සිදු වු කතා පුවතද මේ දික්කසාදයට ම ඈඳී පවතී . ඒ අධිකරණ නියෝගයක් අනුව සිය නිවුන් දරු දෙදෙනා පැය කීපයක් පිටතකට රැගෙන යාමට පියාට ලැබෙන අවසරය මතය.

“අක්ක දරුවන් ගැන හරි බයෙන් හිටියේ . දැනට මාසයකට කලින් ළමයි දෙන්නව අයියා අරගෙන ගිහින් . පැය ගාණක් ගිහිල්ලා තමයි ගෙනල්ලා බැස්සුවේ . ඒ ආව වෙලාවේ ඉදලා ළමයි එක එක විකාර දේවල් කියන්න ගත්තා. මිනී ඇට කටු දැක්ක කිව්වා , ගිය තැන සාදු කෙනෙක් හිටියා කිව්වා . ළමයින්ගේ මේ දෙඩවිල්ලට අක්කා තවත් බය වුණා එදා ඉදලා තමයි අක්කා දුම්මලසුරියේ තියන මේ දේවාලෙට යන්න ගත්තේ . මේකට අක්කට උදව් කරපු අක්කගේ යාලුවෙකුත් හිටියා .“

උමයන්ගනිගේ බාල නැගණිය වන මධුහන්සි මේ කතාව කියා නිම කිරීමට ප්‍රථම ක්ලාන්තව ඇද වැටුණාය . මධුහන්සි නතර කළ තැනින් පටන් ගත් උමයන්ගනිගේ පියා නිමල් ප්‍රනාන්දු පැවසුවේ මෙවැනි කතාවකි.

“මම හිටියේ ඉතාලියේ පොඩි දුව ලංකාවට ඇවිල්ලත් මාස කීහිපයයි . එයා ආවේ ඉංග්‍රීසි ඉගෙන ගන්න කියලා . ලොකු දුව අපිට නිතරම කිව්වා එයාගේ මහත්තයගෙන් කරදර තර්ජන තියනවා කියල . මැරෙන්න දවස් තුනකට ඉස්සෙල්ලා කතා කරලා කිව්වා මට ජිවත් වෙන්න නම් දෙන්නෙම නැහැ කියලා . මිනිහා අමාරු කාරයා නිසා අපිත් බයෙන් හිටියෙ.් අපි ඉක්මනට ලංකාවට එන්නයි හිටියේ නමුත් අපිට එන්න වුණේ දුවගේ මරණෙට .

මේ වන විට උමයන්ගනිගේ නැගණිය දෙවරක් පොලිසියට ප්‍රකාශ ලබා දී ඇත . ඇගේ පළමු ප්‍රකාශය නිසි ලෙස ලබා දීමට කිසියම් පිරිසක් බාධා කර තිබේ . ඒ අනුව දෙවන ප්‍රකාශය නිවැරදිව පොලිසියට ලබා දුන් බව මදුහන්සි කියයි .

“අපි මේ දේවාලෙට යද්දී හවස හත විතර වුණා. අපි ත්‍රිවිල් එකකින් ගියේ .මේ ගමනට අපි ඔක්කොම හයදෙනෙක් ගියා .අක්ක ,අක්කගේ දරු දෙන්නා, අක්කගේ යාලුවා, එයාගේ දරුවයි මමයි. අපි ගිය ගමන්ම තිබුනේ බෝධිපුජාව . ඊට පස්සේ විෂ්ණු දේවාලයට ගියා . එතැනදී අපිඔක්කොටොම නින්ද ගියා . ළමයි දෙන්නත් නිදිය ගත්තා .. වෙනදට අපිට මෙහෙම නින්ද යන්නේ නැහැ . හිතාගන්න බැහැ පුදුම නිදිමතක් ආවේ. පැයකට විතර පස්සේ අක්කා ඇවිල්ලා මාව ඇහැරෙව්වා. ඊට පස්සේ යාතිකා පටන් ගත්ත ඊළඟට ගියේ කාලි දේවාලයට ...".

ඊට පස්සේ කඩවර දේවාලයටගියා එතන ගොටු හදල තිබුණා . යාතිකාව දිගටම ගියා. ඒ වෙලාවේ අක්කා ආවේස වුණා. මොන මොනවාද කියන්න ගත්තා . කපුවා ලඟ වැඳ වැටුණා . කපුවා කිව්වා එයාට වඳින්න කියලා. කපුවා සැරෙන් කිව්වම අක්ක බය වෙලා වගේ වැන්දා . ඊට පස්සේ අක්කා ගොටුව හොල්ලලා කඩන්න ගියා. එතකොට කපුවා කිව්වා ගහනවා අත ගන්න කියලා.

නමුත් අක්ක නැවැත්තුවේ නැහැ. ඊට පස්සේ කපුවා ඇහුවා මොනවද ඕනෑ කියල ..අක්කා කිව්වා අරක්කු කියලා .එතකොට අරක්කු වගේ මොනවාද දුන්නා .අක්කා ඉඹලා කිව්වා සැර මදීයි කියලා . එතකොට කවුද එක්කෙනෙක් දුවලා ගිහිල්ලා බෝතලයක් ගෙනත් කපුවට දුන්නා. කපුවා ඒක බලලා අක්කට දුන්න අක්කා ඉඹලා බලලා උඩට උරලා ඇද්දා ඊට පස්සේ හිනා වෙලා උගුරක් බිලා ඉතිරි ටික කටට හලාගත්තා . එතකොට කට දෙපැත්තෙන් වැක්කෙරුණා . මේක බිලා විනාඩි දෙකක් වත් හිටියේ නැහැ අක්කා බිම වැටුණා .බිම වැටිලා දගලන්න ගත්තා එතකොට තමයි කට්ටිය බය වුණේ”“එතන හිටිය එක්කෙනෙක් කිව්වා තැඹිලි පොවන්න කියල. තැඹිලි ගෙඩි තුනක්ම පෙව්වා . ඊට පස්සේ සබන් වතුර පෙව්වා . පොල් කිරි පෙව්වා . මේ ඔක්කොම බලෙන් කළේ . මම බලන් හිටියා මම කිව්වා දොස්තර කෙනෙක් ගෙන්වන්න කියලා . එතකොට තමයි දොස්තර ගෙන්නුවේ . එයා ඇවිල්ලා බලලා කිව්වා ඉස්පිරිතාලෙට ගෙනියන්න කියලා. අක්කව ඉස්පිරිතාලෙට ගෙනියද්දි මාව එක්කන් යන්න නෙමෙයි හැදුවේ මම බලෙන්ම වාහනේට නැග්ගා . දුනකදෙනියට තමයි ගෙනිච්චේ එතැනදී අක්කගේ යාලුවා මට කිසි දෙයක් කියන්න දුන්නේ නැහැ . මම කියන්න යද්දී මාව නවත්වනවා. දොස්තර බලල අක්කා නැතිවෙලා කිව්වා.”

ඇය එලෙස පොලිසියට ප්‍රකාශයක් ලබා දී තිබුණාය.

මියගිය උමයන්ගනිගේ පියාට මේ මරණය පිළිබඳ බලවත් සැකයක් පවතී . මේ වන විට අබිරහසක්ව පවතින මේ මරණය පිළිබද පරීක්ෂණ කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට යොමු කරන ලෙසට ඔහු ඉල්ලා සිටි .

මේ පිළිබද පොලිස් පරීක්ෂණ දුම්මලසුරිය පොලිසිය විසින් සිදු කරනු ලබයි . දුම්මලසුරිය පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති කපිල සිල්වා ප්‍රකාශ කළේ මෙම සිදුවීම සම්බන්ධයෙන් දේවාලයේ කපුවා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර ඇතිබවයි. මරණය නොසැලකිල්ල මත සිදුවක්ද නැතහොත් සැලසුම් සහගතව සිදුකළ අපරාධයක්ද යන්න පිළිබඳ ද පරීක්ෂණ පවත්වන බව හෙතෙම පැවසිය.