පොලිස්

පොලිස් වැඩ්ඩෝ

“ඩාලිගේ” හිර ගෙදර මෙහෙයුම්

මෙලෙස... බන්ධනාගාර නිලධාරින්ගේ අනුදැනුම ඇතිව මත්ද්‍රව්‍ය ඇතුළට ගිය විට ඒවා සෙවීම පැවරෙන්නේ පොලිසියටය. බන්ධනාගාරයේ රැඳවියන් සිටින ශාලාවල සඟවා තිබෙන මත්ද්‍රව්‍ය සෙවීම පොලිසිටයද ලෙහෙසි පහසු කරුණක් වන්නේ නැත.

ඒ සඳහා මත්ද්‍රව්‍ය සෙවීමට පුරුදු කළ නිලසුනඛයකු යොදා ගන්නා ලෙස පොලිස්පති වරයා ලබාදී තිබෙන උපදෙස් අනුව පසුගිය වසරේ මාර්තු මාසයේ සිට ගල්කිස්ස මත්ද්‍රව්‍ය නිලසුනඛ ඩාලි ඒ සඳහා යොදවා ඇත.

ඩාලි පෙරටුකරගත් කොස්තාපල් (38563) කපිලරත්න මත්ද්‍රව්‍ය සෙවීම සඳහා හා හා පුරා කියා කොළඹ මැගසින් බන්ධනාගාරයට පිය මැන්නේ පසුගිය දවසක උදේ වරුවේදීය.

මේ දෙදෙනා එදා බන්ධනාගාරයට යන විට බන්ධනාගාර පොලිස් ඒකකය ක්‍රියාන්විතය අරඹා තිබිණි. ඔවුන් බන්ධනාගාරයේ සිටි සියලුම රැඳවියන් ද ඔවුන්ට අයත් බඩු භාණ්ඩ ද හොඳින් පරීක්ෂා කොට රැඳවියන් සියල්ලම එළියට කැඳවා තිබිණි.

ඩාලිට ඉව කිරීමට ලැබුණේ රැඳවියන්ගෙන් හිස් වූ ශාලාවකි. එදා... පළමු මෙහෙයුමේ දී එම ශාලාව ඉව අල්ලමින් ගිය ඩාලි බිම පැදුරක් මත දමා තිබු කොට්ටයකට ඉව අල්ලන්නට විය.

එලෙස ඉව අල්ලා කොට්ටය කටට ගත් ඩාලි එය කටින් ඉරා දමන්නට දැඩි උත්සාහයක යෙදිණි. ඩාලිගේ මේ හැසිරිම් රටාවෙන් කපිලරත්න වටහාගත්තේ කොට්ටය ඇතුලේ අනිවාර්යෙන්ම කුමන හෝ මත්ද්‍රව්‍යයක් තිබිය යුතු බවය.

කපිලරත්නගේ දැනුම් දීමට අනුව එම කොට්ටය කඩා බැලු බන්ධනාගාර නිලධාරින්ට එහි පුළුන් ඇතුලේ සඟවා තිබු කේරල ගංජා පාර්සලයක් හමුවිය.

එම කොට්ටය වටේටම හොඳින් මසා තිබිණි. එලෙස මැසු කොට්ටය ඇතුළට කේරල ගංජා ගියේ කෙසේද? එයට පිළිතුරු කපිලරත්නලාට ලැබුණේ නැත. එලෙසම එම කොට්ටයේ හිමිකරුවකු සොයා ගැනීමටද නොහැකි වු බව නම් නොඅනුමානය.

එදා සිට අද වන විට මැගසින් බන්ධනාගාරය පස් වතාවක් ඩාලිගේ පරීක්ෂාවට භාජනය වී ඇත.

ඒ සෑම අවස්ථාවකදීම ඩාලි එහි තුළ තිබු හෙරොයින්, කේරල ගංජා, ගංජා යන මත්ද්‍රව්‍ය වර්ග සොයාගෙන ඇත. රැඳවියන් මේවා සඟවා තබනා ස්ථාන පිළිබඳ මේ වන විට ඩාලිට මෙන්ම කපිලරත්නට ද හොඳ දැනුමක් ඇත.

රැඳවියන් රඳවා සිටින ශාලාවේ බිත්ති වල කුඩා සිදුරු සාදා ඇත. පෑන් බටයක වටප්‍රමණායකින් යුත් සිදුරු මෙන්ම අඟල් තුන හතරක් පළල සිදුරු ද ඒ අතර වේ.

පෑන් බට ප්‍රමණයේ සිදුරු සබන් කැබලි ඔබා වසා තිබෙන බවක් දක්නට ඇත. එම සිදුරු නිරතුරුවම ඩාලිගේ පරීක්ෂාවට ලක්වේ. සබන් කැබැල්ල ඉවත්කර බැලීමේදී දකින්නට ලැබෙන්නේ කුඩා හොරොයින් පැකැට්ටුවකි. බන්ධනාගාර නිලධාරින්ට හසු නොවන අයුරින් රැඳවියන් අතර සිටින කුඩ්ඩන් කුඩු හංගා තබන්නේ එලෙසිනි විශාල කුහර සාදාගෙන තිබෙන්නේ ජංගම දුරකථන සහ කේරල ගංජා, ගංජා ආදිය සැඟවීමටය.

වර්ථමානය වනවිට ඩාලිට වැඩ රාජකාරි බහුලය. ඊට හේතුව බන්ධනාගාරයේ පමණක් නොව ගල්කිස්ස පොලිස් බල ප්‍රදේශය පුරා මත්ද්‍රව්‍ය මෙහෙයුම් වල නිරත වීමට සිදුව ඇති බැවිනි. ඩාලිට වැඩ වැඩි වනවා යනු කපිලරත්නට ඊටත් වඩා වැඩ වැඩිවීමය.

ඩාලි ඉව අල්ලා බඩු සොයා දෙයි. ඩාලි මෙම මෙහෙයුම් සඳහා කැඳවාගෙන යා යුත්තේ කපිලරත්න විසිනි. ඊ ළඟට ඩාලිට ආහාර පාන ලබාදී පිරිසුදු කළ යුත්තේ කපිලරත්නය.

මෙහෙයුම් අවසානයේ ඩාලි විවේක ගනිද්දී කපිලරත්න පොත්පත් වල සටහන් තැබිය යුතුය.

එලෙස රාජකාරි කොපමණ බහුල වුවත් කපිලරත්න ඒ සියල්ලම නිසි අයුරින් ඉටුකිරීමට වගබලා ගනී.

මොරටුව පැල්පත් ආශි‍්‍රත ප්‍රදේශවල මේ වන විට කුඩු ජාවාරම මෙන්ම කේරල ගංජා ජාවාරම ද ජයටම කෙරීගෙන යයි. මොරටුව පොලීසියට ලැබුණු තොරතුරු වලට අනුව පසුගිය හය වැනිදා ක්‍රියාත්මක කළ මෙහෙයුමකට ඩාලි ද කැඳවා තිබිණි.

එදින එම ප්‍රදේශයේ නිවාස දෙකක් සෝදිසියට ලක්විය. එම නිවෙස් වලට ගිය පොලිස් නිලධාරීන්ට ගෙහිමියන් පවසා සිටියේ තමා මීට පෙර මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වුව ද දැන් ඒවා නවතා දමා ඇති බවත්, තමාගේ නිවෙස් වල මත්ද්‍රව්‍ය නොමැති බවත්ය.

මෙලෙස කී එම නිවෙසකට ඩාලි කැඳවාගෙන කපිලරත්න ගියේය. කාමරයක වූ අල්මාරිය වටා ඩාලි කැරකැවෙන්නේ පුංචි හෝ ඉවක් තිබෙන නිසා බව කපිලරත්නට වැටහිණි. ඔහු සමඟ ගොස් සිටි පොලිස් නිලධාරීන් එම අල්මාරිය විවර කොට ඩාලිට ඉව ඇල්ලීමට සැලැස්විය.

අල්මාරිය ඉව කළ ඩාලි එහි පිළිවෙළට අඩුක්කර තිබු ඇඳුම් එකින් එක කටින් ගෙන බිමට දමන්නට විය. එලෙස ඇඳුම් බිම දැමු ඩාලි එක් දිග කළිසමක් කටට ගෙන එය කටින් අදිමින් ඉරා දමන්නට උත්සාහ කළේය.

එම කලිසම ගෙන පරීක්ෂා කිරිමේදී එහි සාක්කුවක තිබී කුඩා කේරල ගංජා පාර්සලයක් හමුවිය. එම නිවැසියා අත්අංඩගුවට ගත් අතර ඊළඟ නිවෙසට ගිය ඩාලි ඉව අල්ලමින් මුලුතැන්ගෙය දෙසට ගොස් එහි වූ ප්ලාස්ටික් කොස්සට ඉව අල්ලන්නට විය.

අනතුරුව එහි පහළ ප්ලාස්ටික් කොටස කටින් තදින් සපන්නට විය. එවිට එම ප්ලාස්ටික් කොටස කැඩී ගිය අතර ඒ ඇතුළේ තිබී ෂොපිං උරයක එතු පාර්සලයක් පිටතට වැටිණි.

එය ද කටට සපා කෑමට ඩාලි උත්සාහ කළ ද කපිලරත්න එය ලබාගෙන පොලිස් කණ්ඩායමට බාර දුනි. එහි වුයේ ද කේරල ගංජාය.

කොස්සේ මිට ගලවා එම සිදුර තුළට ගංජා පාර්සලය ඔබා යළි මිට ගසා එලෙස පොලිසිය රැවටීමට ගංජා ජාවාරම්කරුවන් ගත් උත්සාහය ඩාලි ව්‍යර්ථ කළේ එලෙසය.