ඉසංකාගේ ඡායාව ලාවට දැක්කා ඵ්ත් ඒක්කම මන්නෙන් කෙටුවා

 ඉසංකාගේ ඡායාව ලාවට දැක්කා ඵ්ත් ඒක්කම මන්නෙන් කෙටුවා

අනියම් පේ‍්‍රම සම්බන්ධයක් මත ඇති වූ බහින්බස්වීමක් දුරදිග ගොස් මන්නයකින් කපා කාන්තාවක් ඝාතනය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබු වදරකරුවකුට බස්නාහිර පළාත් බද මහාධිකරණ විනිසුරු පියසීලි වික්‍රමසිංහ මතුරට මහත්මිය පසුගියදා මරණ දණ්ඩනය නියම කළාය.

මෙසේ මරණ දඬුවම නියම වුයේ සීදුව දකුණු සීදුව මැද්දේගොඩ පදිංචි රංජිත් ජානක ප්‍රනාන්දු නමැති දෙදරු පියෙකුටය. ඔහු වෘත්තියෙක් ගොඩනැගිලි පින්තාරුවෙකු විය.

සිද්ධියෙන් මිය ගියේ සීදුව කොන්ගහවේ ප්‍රදේශයේ පදිංචි ඉසංකා සමාධි නමැති තරුණියකි. ඇය විසි තුන් හැවිරිදිය. මියගිය ඇය විත්තිකරුගේ බිරිඳගේ සොහොයුරියෙකි. විත්තිකරු ඇය සමඟ ඇති කරගත් අනියම් සබඳකමක් නිසා ඇති වූ බහින් බස්වීමක් මත මෙම ඝාතනය සිදු වී තිබිණි. විත්තිකරු ඇය මරා දමන්නේ 2008 නොවැම්බර් මස 03 වනදාය.

සිද්ධිය සීදුව පොලිසියට දැනගැනීමට ලැබෙනවිට එහි ස්ථානාධිපතිවරයා වුයේ පොලිස් පරීක්ෂක සමන් සිගේරාය. සිගේරා මහතාගේ උපදෙස් මත විමර්ශන වලට එක් වුයේ අපරාධ විමර්ශන භාර ස්ථානධිපතිවරයා වන පොලිස් පරීක්ෂක සම්පත්ය.

නිලධාරින් සිද්ධිය වන ස්ථානයට යද්දී තුවාලකාරිය මීගමුව රෝහලට ගෙන ගොස් තිබු අතර බරපතල ලෙස එල්ලවී තිබු මන්නා පහර හේතුවෙන් අධික ලෙස රුධිරය වහනය වීම නිසා ඇය මිය ගොස් තිබුණාය.

පැට්‍රික් ගාමිණි පෙරේරා හා මල්ලිකා සිල්වා යන දෙපළට දාව ඉපදුණු ඉසංකාට සහෝදර සහෝදරියන් සිව් දෙනෙකි. එකම පිරිම සොහොයුරකි.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ඇරඹු පොලිස් නිලධාරින්ට ලැබු තොරතුරුවලට අනුව ඉසංකා මරා දැමීම සම්බන්ධයෙන් ඇගේ සොහොයුරියගේ සැමියා අත් අඩංගුවට ගැනීමට පොලිසිය පියවර ගත් අතර ඉසංක මරා දැමුවේ ඇයි දැයි දැන ගැනීම සඳහා පොලිසිය මියගිය තරුණයගේ මව ගෙන් ද පියාගෙන් ද ප්‍රකාශ සටහන් කරගත්තේය. මෙහිදී ඇගේ මව පොලිසියට පවසා තිබුණේ මෙවැන්නකි.

“මගේ මහත්තයා ප්‍රැටික් ගාමිණි. අපි ජීවත් වෙන්නේ දරුවොත් එක්ක. ඉසංකා සමාධි විනෝදනි දේවි. මංජු ගිත්මා හා පුතා විජේකුමාර හා එයාගේ බිරිඳ කාන්චනා ජීවත්වන්නේ අපිත් එක්ක. පුතා යුද හමුදාවේ සේවය කරන්නේ. මීට අමතරව මට තව දියණියක් හිටියා එයා දැනට මැද්දේගොඩ ගමේ පදිංචිවෙලා ඉන්නවා. එයා විවාහ වෙලා ඉන්නේ ජානකත් එක්ක. මගේ වැඩිමහල් දියණිය මංජු අපේ වත්තේම ගෙදරක පදිංචි බලයා ඉන්නේ එයාත් කසදා බැඳලා බාල දියණිය තවම විවාහ වෙලා නැහැ”.

“මම කටුනායක ඇඟළුම් කම්හලක පිරිසිදු කරන්නියක් හැටියට සේවය කරනවා. පුරුෂයා බුලත් කඩයක් කරනවා. මාත් පුතාත් පුතාගේ බිරිඳත් හා මංජුගේ සැමියාත් රස්සාවට ගියාට පස්සේ ගෙදර ඉතිරිවෙන්නේ ඉසංකා දුවත් විනෝදනී දුවත් විතරයි. මංජුත් දරුවන්ව රැගෙන පාසල් යනවා”.

“එදා මම වැඩට ගියා දවල් දොළහයි කාලට විතර මම ටැලිෆෝන් කෝල් එකක් ආවා සජී ගෙදරට ඇවිත් කරදයක් ඉක්මනට එන්න කියලා. සජී කියන්නේ මගේ බෑණා. ඉන් පස්සේ මම ගෙදරට ආවා. එනකොට තමයි දැනගත්තේ ඉසංකාට පිහියෙන් ඇනලා කියලා”.

“ඔය සජිගෙන් මගේ බාල දියණියට හුඟක් කරදර සිද්ධ වුණා. 2002 ඉඳලා කරදර කළා. මැරුණු දුවත් එක්ක පවුල් කන්න තමයි එයා උත්සාහ කළේ. ඒකට කැමති වුණේ නැති නිසා බාලදුවත් එක්ක එයා තරහෙන් හිටියේ. මගේ මැරුණු දුවට කියලා තියෙනවා එයාත් එක්ක පවුල් කන්න ආවේ නැත්තම් මරනවා කියලා. මේක මට කිව්වේ මැරුණු දුව. අපටත් දරුවන්ටත් කරදර නිසා අපි පොලිසියේ පැමිණිල්ලක් දාලා තියෙනවා. ඊයේත් දුව පොලිසියට පැමිණිල්ලක් කළා. දුව සජීත් එක්ක පවුල් කන්න ආවේ නැති නිසා තමයි එයාව මැරුවේ.”

ඇය පොලිසිය හමුවේ කියා සිටියාය. ඇගේ සැමියා වූ ගාමිණි ද කීවේ එවැන්නකි.

ඵ් වනවිටත් සැකකරු පොලිසියට කට්ටි පනිමින් සිටියේය. ඔහු වත්තක සැඟව සිටින බව දැනගත් නිලධාරිහු මහත් වෙහෙසක් දරා සැකකරු අත්අඩංගුවට ගත්හ. පොලිසිය ඔහුගෙන් ප්‍රශ්න කරන්නට විය. ඉසංකා මරා දැමුවේ ඇයි දැයි දැනගන්නටය. මියගිය ඉසංකාගේ මව හා පියා කී කතාන්දරයට හාත්පසින් වෙනස් කතාවක් ඔහු පොලිසිය ඉදිරියේ පවසා සිටියේය.

තිස්හතර හැවිරිදි ජානක මේසන්බාස් කෙනෙකි. සීදුව මැද්දේගොඩ පදිංචි ජානක උපත ලබන්නේ 1974 වසරේ ජනවාරි තිස්වන දාය. මහදුරුවලගේ රේමන් ප්‍රනාන්දුට හා මව ලොරිටා මග්ඩොනට් කෲන්ට දාව උපදින ඔහුට වැඩිමහල් එක් සොහොයුරකි. පියා වෙනත් විවාහයක් කරගෙන වෙනම ජීවත්වන බව ඔහු කියයි. මව විදේශගතව සිටි සීදුව රෝමානු කතෝලික විදුහලේ 08 වන ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලැබු ඔහු වයස අවුරුදු 18 ක් වුවාට පසු සීදුව ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක රැකියාවට ගොස් තිබිණ.

“ඔය අතරේ තමයි මම පේ‍්‍රම සම්බඳතාවයක් පවත්වාගෙන ගියේ 1996 දී මම එයාට විවාහ කරගත්තා. ඇයට මගෙන් දරුවන් දෙදෙනෙකු ඉන්නවා. අවුරුදු හතරක් විතර විවාහය තිබුණා. එයාට දෙමව්පියන් ළඟට යන්න ඕන කිව්වා. ඒ බවට පොලිසියේ පැමිණිල්ලකුත් දාලා එයා දෙම්පියන් ළඟට ගියත් අපි දෙදෙනා අතර ලොකු ප්‍රශ්නයක් තිබුණේ නැහැ”.

“ඉන්පස්සේ තමයි දෝහාකටාර් රස්සාවට මම ගියේ දරුවන් දෙදෙනා හිටියේ මගේ ළඟ. කටාර් ගිය මම 2000දී ලංකාවට ආවා. ආයෙත් ඩුබායි ගිහින් රස්සාවක් කරලා 2001 දී ලංකාවට ආවා පස්සේ ෂෙරිනා මෝටර්රියක් මිලයට අරන් ඇඟළුම් කම්හලක සේවිකාවන් උදේ සවස රැකියාව සඳහා ඇරලුවා. මේ කාලය තුළ කොස්ගහවත්තේ විජේ යන අය මම ළඟින්ම ඇසුරු කළා. ඔහුගේ නිවෙසට ආවා ගියා. ඉන් පස්සේ විජේ යුද හමුදාවට බැඳුණා. ඒ නිවෙසට ගිය කාලය තුළදි ඔහුගේ සහෝදරියක් වන නිලුෂා ලංකා කුමාරි සමඟ පේ‍්‍රම සම්බන්ධයක් තියෙන බවට කට කතා පැතිරුණා. ගෙදර අයත් ලංකාට බැනලා තිබුණා. මාත් එක්ක සම්බන්ධයක් තියෙනවා කියලා. පස්සේ ලංකා ගෙදරින් තරහ වෙලා නැන්දලාගේ ගෙදරට ගිහින් තිබුණා”.

“දවසක් මම ලියනගේ මුල්ල පල්ලියට ගිහින් ඉන්නකොට ලංකා පල්ලිය තුළ දි හම්බ වුණා. අපි දෙන්නා කතා කළා. අපි දෙන්නා කතා කරනවා ලංකාගේ මල්ලි විජේ දැක්කා. ඊට පස්සේ ලංකා මට කිව්වා ගෙදර යන්න බැහැ මාව මරයි කියලා.

“මේ කාලය තුළ මම කල්යාණි කියන ළමයෙක් එක්ක පේ‍්‍රම සබඳතාවයක් පවත්වාගෙන ගියා. එයාත් විවාහක කාන්නාවක්. එයාව මම නතරකරලා හිටියේ මුකලංගමුව පන්සල පාරේ බෝඩිමක. පස්සේ ලංකාව ඒ බෝඩිමට අරගෙන ගියා. මම කල්යාණිට විස්තරේ කිව්වා ලංකාව ගෙදරින් අරගෙන යන්නේ නැති නිසා මම බොරුවට ඇගේ දෙමව්පියන්ට කිව්වා ලංකාට ළමයෙක් හම්බවෙන්න ඉන්නවා කියලා. ඊට පස්සේ ඇය මුලින්ම බලන්න ආවේ දැනට මියගොස් ඉන්න නංගියි. ඊට පස්සේ ලංකාගේ දෙමව්පියන් අපිට කැමැති වුණා. අපි අතර ඇසුරක් ද පටන් ගත්තා අන්තිමට මම ලංකාගේ ගෙදර ඉස්සරහ ගෙයකුත් හැදුවා. දැනට එහි පදිංචිව ඉන්නේ ලංකාගේ අක්කා වන මංජු විෂ්මි යන අයයි”.

“මේ කාලය තුළ මම රැකියාව කළේ කටුනායක ඇඟළුම් කම්හළක. මෙහි සේවය කරන අජිත් කියලා කෙනෙක්ව එක්ක ලංකාගේ නංගි ඉසංකා සමඟ සම්බන්ධයක් පැවැත්වුවා. මෙයාලා යාළුවෙලා තියෙන්නේ මිතුරු හමුවකින්. අජිත් ලියුමක් දෙනකොට එයාගේ අම්මා දැකලා ඒක අරගෙන තියෙනවා. ඒ ලියුම අවසානයේ මීට ආදර අජිත් කියලා සඳහන් වෙලා තිබිලා. ඒ නිසා අම්මා හිතුවා ඒ ලියුම මම දුන්නේ කියලා. ඉසංකාට පවුල් කඩාකප්පල් කරන්න එපා කියලා ගහලා තිබුණා මමයි ලංකායි අතරේත් ප්‍රශ්න ඇතිවුණා. මටත් අජිත් කියලා කියන නිසයි මේ අය වැරදියට තේරුම් ගත්තේ. මේ කාලය තුළ ලංකාට බබෙක් ලැබෙන්න හිටියා. මං ලංකාගේ ගෙදර ඉන්න විට එයාට දුවෙක් හම්බවුණා”.

“ලංකාගේ දෙමව්පියන්ගෙන් මටත් ඉසංකාටත් කතා කරන්න එපා කියලා තිබුණේ. ඉසංකා ඒවා ගණන් ගත්තේ නැතිව ළමයා බලන්න අපේ ගෙදර එනවා. මේ හේතුව නිසා මමත් ලංකාත් ගෙදරින් ගිහින් අනුර මහත්තයාගේ බෝඩිමක නැවතුණා. මේ කාලය තුළත් ඉසංකා මට හම්බවෙන්න එන්න කියලා පණිවිඩ එවනවා. මේවා එයාගේ දෙමව්පියන් දැනගෙන තියෙනවා. දිනක් මම බෝඩිමේ ඉඳලා ගාමන්ට් එකට ගිහින් ආයෙත් බෝඩිමට එද්දී ලංකාත් නැහැ. ළමයාත් නැහැ. මම දැනගත්තා ලංකාගේ තාත්තා ගාමිණි ඇවිත් එයාලා අරන් ගිහින් තියෙන බව. මම ලංකාගේ ගෙදරට ගිහින් මේ ගැන ඇහැව්වත් එයාලා කිව්වේ ඒ ගැන එයාලා දන්නේ නැහැ කියලයි. පස්සේ ඉසංකා මට කිව්වා අම්මලා අක්කාව මාමාලගේ ගෙදර හංගලා කියලා මම මීගමුව පොලිසියට ගිහින් ලංකාහිටිය තැනට ගියා පොලිසියෙන් අපිව සමාදාන කළා. ලංකා මාත් එක්ක නැවතත් කොස්ගහවත්ත බෝඩිමට ආවා”.

“ඉරිදා දවසක මම දකුණු සීදුවේ රොහාන් මහත්තයාගේ ගෙදර කොස්කොළ කපන්න ගියා. එතකොට හැන්දෑවේ හයට විතර ඇති. කාන්ති අක්කා මගේ ළමයා අරගෙන ඇවිත් මට දීලා කිව්වා. ගෙදර කව්රුත් නැහැ. ළමයා අඬන නිසා ගෙනවා කියලා. මම ගෙදර ගිහින් බලනකොට ලංකා ගෙදර හිටියේ නැහැ. හැමතැනම බැලුවා ලංකා හම්බවුණේ නැහැ. පස්සේ ඉසංකාගෙන් මම දැනගත්තා ලංකා මාලදිවයිනට ගිහින් බව. අවුරුදු ඒකහමාරක් එයා මාලදිවයිනේ හිටියා. ඉසංකා මට ලංකා ගැන තොරතුරු දෙන නිසා අපි දෙන්නා අතරේ සම්බන්ධයක් තියෙනවා කියලා ඉසංකාව ගෙදරින් එළෙව්වා. එයා බෝඩිම් වල හිටියත් ඒවාටත් ඇවිත් තර්ජනය කරලා තිබුණා. පස්සේ මාත් ඉසංකාත් ළමයාත් සමඟ ඒකල බෝඩිමකට ආවා. මේ කාලයේ මම මේසන් වැඩ කළා. ඒකල බෝඩිමේ අපි මාසයක් විතර හිටියා. පස්සේ ලියනගේමුල්ල කමල් සිරිගේ ගෙදර අසල බෝඩිමකට ආවා. එහේ අවුරුද්දක් විතර හිටියා. ඊට පස්සේ ලංකා රට ඉඳන් ආවා. මාත් ඉංසකාත් ලංකාගේ ගෙදරට ගියා”.

“අපි හොඳින් හිටියා. ඔය අතරේ තමයි අපේ අම්මා ලංකාවට ආවේ පස්සේ 2005දී මම අම්මත් එක්ක සිංගප්පුරුවලට ගියා. ඉසංකායි ලංකායි අතරේ ආරවුල් ඇතිවෙලා තිබුණා. ඒ නිසා මම මාසයකට පස්සේ ලංකාවට ආවා. ඊට පස්සේ අපි හොඳින් හිටියා.”

“ආයෙත් ප්‍රශ්න ඇතිවුණා ආයෙත් සමදාන වුණා. ඉන්පස්සේ අපි මැද්දගොඩ පදිංචියට ගියා ඒක ගත්තේ මම රට ඉන්න කොට සොයාගත්ත මුදල්වලින්. අපේ පවුල් ජිවිතය කෑවයි කියලා ඉසංකාගේ දෙමව්පියෝ එයාව මාලදිවයිනට යැව්වා. අවුරුද්දක් විතර ඉඳලා එයා ආයෙත් ලංකාවට ආවා. සතියක් ඉඳල ආයෙත් මාලදිවයිනට ගිහින් අවුරුදු දෙකක්ම ඉඳලා ලංකාවට ආවා. එහෙම ඇවිල්ලා මට කිව්වා මාව අමතක කරන්න බැහැ කියලා. ඔය කාලයේ තමයි මට පුතෙක් ලැබුණේත්. ඒ කාලයේ මම කොන්ත්‍රාත් වැඩ කළා. ඒක කොම්පැණික කොන්ත්‍රාත් වැඩ කරද්දී එකේ තිබුණු වත්තක් සුද්ද කරලා බලු කොටුවක් ගහන්න මට කොන්ත්‍රාත් එකක් ලැබුණා. ඒක කරන්න මම ලියනගේ මුල්ලේ තියෙන කම්හලකින් මන්නා තුනක් සල්ලි දීලා ගත්තා. එක්ක රුපියල් 1100ක් වුණා. මන්නා තුනෙන් එකක් මම ගෙදර තියාගත්තා”.

“දෙවෙනි පාර ඉසංකා ලංකාවට ආවට පස්සේ එයාට වුවමනා වුණේ මාව හම්බවෙන්න. කිහිප අවස්ථාවකම අපි හම්බ වුණා. ඉසංකා කෝල් කරලා කිව්වා මාව හම්බ වෙන්න ඕන කියලා මම කිව්වා දැන් ළමයි ලොකුයි හම්බ වෙන්න බැහැ කියලා. බේරෙන්න බැරිම තැන අපි ඒත්තුකාලේ මුහුදු වෙරළේදි හම්බ වුණා. මම ඉසංකාට තේරුම් කරලා දුන්නා ඉසංකා කිව්වේ මාව අමතක කරන්න බැහැ කියලයි”

ඒ 2008 නොවැම්බර් මස තුන්වැනිදාය. වේලාව උදෑසන දහයයි තිහට පමණ ඇත. තෙල් ගස් කපන්න කළපුවට යාමට සුදානම්ව ජානක සිය පා පැදියේ නැඟි ලියනගේ මුල්ල දෙසට ආවේය. ඒ ගස් කැපීම සඳහා ගෙනා මන්නය ද අතැතිවය ඉසංකාගේ සොහොයුරිය වූ මංජු ඔහු හමුවන්නේ ඔය අතෙර්ය.

“මම එයාට කිව්වා මොකක්ද මේ ඉසංකාට ඇදිලා තියෙන පිස්සුව. මට හැමතිස්සේම කෝල් කරනවා කියලා.

“අනේ මම දන්නේ නැහැ. ඒකි මාත් එක්ක ත් රංඩු කරනවා” කියලා මංජු යන්න ගියා. එතැන ගාමිණි අයියත් හිිටියා. එයා මට ගෙදර එන්න කියලයි ගියා. ඒ වන කොටත් මගේ අතේ මන්නය තිබුණා. ඉසංකාලාගේ ගෙවල් ළඟින් තමයි ගාමිණි අයියගේ ගෙදරට යන්න හැරෙන්නේ. මම එනකොට ඉසංකාත් විනෝදනීත් කොණ්ඩේ බලමින් හිටියා. එතකොට ඉසංකා “ඕයි මෙහෙ එනවකෝ” කියලා මට කතා කළා. පස්සේ මම ඉසංකා ළඟට ගියා නංගී විනෝදනී ගෙට ගියා. මම සෙරෙප්පු දෙක ගලවලා ඉස්තෝප්පුවට ඇතුළු වෙනවාත් එක්ක ගිනි බෝලයක් මගේ මුණට ඇවිදින් ඇස්වලින් හා කන්වලින් අධික වේදනාවක් ආවා. මම මොනව කළාද දන්නේ නැහැ. කාමරවලට ගියාද දන්නේ නැහැ. ඇගේ බඩුත් හැප්පුණා.ඇස් අරින්නත් බැහැ. මම ඇස් දන නිසා ළිඳට පනින්න කියලා යනකොට ඉසංකාගේ ඡායාව මම ලාවට දැක්කා. මට මොනවා වුණාද දන්නේ නැහැ. අතේ තිබුණු මන්නයෙන් ඉසංකාට ගැහැව්වා. ඇස් දෙක අල්ලගෙනම කිහිපපාරක් ගැහැව්වා මොකක් වුණාද කියලා මම හරියට පෙනුණේ නැහැ. මම වෙළට පැන්නා. ඉන්පස්සේ මගේ වතුර බෝතලයෙන් ඇස් සෝදාගත්තා. 119ට කතා කරලා මෙහෙම සිද්ධියක් වුණා. කියලා මම පොලිසියට ගෙනිච්චේ නැන්තම් ජිවිතය නැති කරගන්නවා කියලා කිව්වා.”

එසේ ඉසංකා මරා දැමු ඔහු මන්නයද රැගෙන කැළැ වැදුණේය. කැළයෙන් පැන ගඟ දෙසට ද ගියේය. එහෙත් ඔහු ජිවිතය නැති කරගත්තේ නැත. කැලය තුළ හැංගි මුත්තන් කළේ පොලිසියට අහුවුණොත් වන දේ දන්නා නිසාය.

“ඊට පස්සේ මම මන්නය වත්තක කෙසෙල් ගස් අස්සේ තියෙන තණ කොළ අස්සේ හැංගුවා. පස්සේ මම ඒ පාළුවත්තේ හැංගි හැංගි හිටියා. මම පොලිසියට බාර වෙන්න තමයි හිටියේ ඒත් පොලිසිය ඇවිත් මාව අල්ලගත්තා.”

සැකපිට අත්අඩංගුවට ගත් ජානක කීවේය. ඔහු බොහො අය හඳුන්නනේ ‘සුජි’ ලෙසටය.

සැකකරුගේ ප්‍රකාශය සටහන් කරගත් පොලිසිය ඉසංකා මරා දැමීමට උපයෝගිකරගත් මන්නය නඩු භාණ්ඩ හැටියට අධිකරණයට ඉදිරිපත් කළේය.

සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණ. පසුව ඔහුට විරුද්ධව නඩු පැවරිණ. නඩුව මහාධිකරණයේ වෙත යොමු වු අතර පුරා වසර කිහිපයක්ම නඩුව පවත්වාගෙන ගියේය. නිනිපති විසින් අධිචෝදනා ගොනුකර තිබු අතර රජයේ අධිනිතීඥ හංස අබේරත්න මහතා පැමිණිල්ල මෙහෙයවිය. අවසානයේ සියල්ල සැලකිල්ලට ගත් බස්නාහිර පළාත් බද විනිසුරු තුමිය චුදිතව මරණ දඬුවම නියම කළාය. මරණ දඬුවම ලැබෙද්දී ඔහු වෙනත් වරදකට බන්ධනාගාර ගත වී සිටියේය.

ඉසංකාගේ ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන සිදුකල සමන් සිගේරා අද මිරිහාන පොලිසිය බාර සහකාර පොලිස් අධිකාරිවරයාය.පොලිස් පරීක්ෂක සංජිව සම්පත් පොලිස් කේෂත්‍ර බලකා මුලස්ථානයේ කැරලි මර්දන අංශයේ ස්ථානාධිපතිවරයාය.

පොලිස් පරික්ෂණ ඇසුරෙන් ලිපිය සකස් විය