සොහොයුරා විසින් මරා දැමු තරුණ නායකයා

සොහොයුරා විසින් මරා දැමු තරුණ නායකයා

භාරතීය ජනතා පක්ෂයේ අනාගතය බැබලවීම සඳහා ක්‍රියාකළ තරුණ නායකයකුගේ අභාවය මුළු භාරතය පුරාම මහත් වු ආන්දෝලනයක් මෙන්ම දේශපාලනමය අවිනිශ්චිත තාවක් උදා කිරීමට සමත්විය. එම අභාවය ඝාතනයක් වීම එය තවත් සංකීර්ණ එසේම මහත් වූ අප්‍රසාදායක් හා රටපුරා ජනතාව අතර කෝපයක් ඇති කරවීටමද හේතුවිය. මෙසේ ඝාතනයට ලක් වුයේ භාරතීය ජනතා පක්ෂයේ නැගී එන තරුවක් වූ ප්‍රමෝද් මහජන් නමැති තරුණ මන්ත්‍රීවරයාය. මහරාෂ්ටු ප්‍රදේශයෙන් රාජ්‍ය සභාවට පත්වුණු මහජන් අටාල් බිහාරි වජ්ජායිගේ විදුලි සන්දේශ ඇමතිවරයා ලෙස කටයුතු කළ අතර ඉන්දියාව තුළ ජාලමය අංශයේ විප්ලවීය වෙනසක් සිදු කිරීම නිසා විදුලි සංදේශ කටයුතු ඉක්මනින් ජනතාව අතරට පැතිර යාම ද සිදුවිය. ඒසේම දේශපාලන පක්ෂ අතර ඔහු පැවැත් වූ මිත්‍රශිලි ක්‍රියාවලිය හේතුකොට ගෙන ඔහු වඩාත් ජනපි‍්‍රය දේශපාලන චරිතයක් විය.

මාධ්‍යවේදියකු හා ගුරුවරයකු ලෙස කටයුතු කළ හෙතෙම දේශපාලන කරලියට ඇතුළු වුයේ රාෂ්ට්‍රිය ස්වයම් සේවක් සංග් පක්ෂයෙනි. ඉන්දිරා ගාන්ඩි අගමැතිනියගේ සමයේ පත්වනු ලැබු හදිසි නීතිය යටතේ සිර දඬුවමකට ලක් වූ හෙතෙම පසුව භාරතීය ජනතා පක්ෂයට බැඳී එහි යොවුන් පෙරමුණේ ක්‍රියාකාරි සමාජිකයකු ලෙස කටයුතු කළේය. පසුව ජාතික මට්ටමින් සංවිධානය කරනු ලැබු ඇතැම් කැපී පෙනෙන දේශපාලන ක්‍රියාකාර කම් හේතුකොට ගෙන රාජ්‍ය සභාවටත් පසුව ලෝක් සභාවටත් ඇතුළු වීමට ඔහුට අවස්ථාව ලැබිණ.

එහෙත් 2006 අපේ‍්‍රල් 22 දින ඔහුගේ ජීවිත ගමන අවසන් වුයේ අදහාගත නොහැකි අන්දමකිනි. ඒ ඔහුගේ බාල සොහොයුරා වු ප්‍රවීන් මහජන් අතිනි. මුම්බායි හි පිහිටි සිය සොයුරාගේ කුලී නිවසට ගිය ප්‍රවීන් ඔහුගේ බ්‍රවුනිං පිස්තෝලයෙන් වෙඩි තබා ප්‍රමෝද් මහජන් මරා දමන ලදී. ඔවුන් දෙදෙනා අතර සිදු වූ බහින් බස් වීමක ප්‍රතිඵලයක් වශයෙන් මෙම ඝාතනය සිදු වූ අතර ප්‍රවීන්ගේ පළමු වෙඩිල්ල ප්‍රමෝද්ට නොවැදුණුත් ඊළඟ වෙඩි තුනම ඔහුගේ සිරුරේ අක්මාවටත් අග්න්‍යාසයටත් බරපතල හානි සිදුකරලීමට සමත් විය.

ප්‍රමෝද් මහජන් වහාම අසල පිහිටි හින්දුජා රෝහලට ඇතුලු කරනු ලැබු අතර එහිදී ශල්‍ය කර්මයකට භාජනය කරන ලද්දේ ඒ සඳහාම ලන්ඩනයේ සිට ගෙන්වා ගනු ලැබු විශේෂඥ ශෛල්‍ය වෛද්‍ය මොහොමඩ් රේලා විසිනි. දින 13ක් ජීවිතයත් මරණයත් අතර සිටි ප්‍රමෝද් අවසානයේ හෘදයාබාධයක ප්‍රතිඵලයක් ලෙස ජීවිතයෙන් සමුගත්තේය. මුම්බායි නගරයේ ෂිවාජි උද්‍යානයේ මුළුමහත් රාජ්‍ය ගෞරව සහිතව ඔහුගේ අවමඟුල පවත්වන ලද්දේ 2006 මැයි 04 වැනිදාය. තම සොහොයුරාට වෙඩි තැබු ප්‍රවීන් ඊළඟට ගියේ මුම්බායි නගරයේ වෝර්ලි පොලිස් ස්ථානයටයි. ඔහුගේ අනන්‍යතාවය හෙළිකළ ප්‍රවීන් තම සොහොයුරා ප්‍රමෝද්ට වෙඩි තැබු බවට පාපොච්චාරණයක් ද කළේය.

එහිදී ඔහු පවසා සිටියේ තමා තුළ තම සොහොයුරා කෙරේ කුඩා කළ සිට මහත් වූ වෛරයක් පැවති බවත් තම සොහොයුරා විසින් තමන්ට කරන ලද අපහාස උපහාස නිසා තමා මහත්සේ පීඩා වින්ද බවත් තමා තුළ කලක සිට ඇතිව තිබු කෝපය හා වෛරය නිසා මෙසේ වෙඩි තැබු බවත් ය.

වෙඩි තැබීම ඔහු විසින් පිළිගැනීම හේතුවෙන් දීර්ඝ නඩු විභාගයක් නොමැතිව ප්‍රවීන් මහජන්ට ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් නියම විය.

මෙම ඝාතනයට හේතුව වශයෙන් තමාගේ ජීවිතය කෙරේ වැඩිමල් සොහොයුරා දැඩි බලපෑමකට ලක් කිරීම සේම අපහාස උපහාස කිරීම වැනි හේතු ඔහු විසින් ඉදිරිපත් කරනු ලැබු නමුත් ඔහුගේ මානසික තත්ත්වයට හේතු වූ තවත් කරුණක් මාධ්‍ය මගින් හෙළිකර තිබිණ.

ඇතැම් මාධ්‍ය මගින් ඔහුගේ බිරිඳ සාරංගි හා ප්‍රමෝද් අතර පැවැති සම්බන්ධය ප්‍රවීන්ගේ වෛරයට හේතුවන්නට ඇතැයි ප්‍රකාශ කිරීම නිසා මෙම ඝාතනය පිටුපස වෙනයම් අබිරහසක් ඇත්දැයි යන මතය මුළු ඉන්දියාව පුරාම පැතිර ගියේය.

එක්තරා පාසලක පැවති උත්සවයකදී සාරංගී දුටු ප්‍රමෝද් තම සොහොයුරාට ගැලපෙන බිරිඳක් ලෙස සලකා ඔවුන්ගේ විවාහය සිදුකර දෙනු ලැබිණි. ප්‍රවීන්ට ඉන්ෆෝකොම් නමැති ආයතනයේ උපදේශක තනතුරක් ප්‍රමෝද් විසින් සොයා දෙනු ලැබු නමුත් ඒ සඳහා ලැබෙන වේතනය වන රුපියල් 63,000 සාරංගි වෙත යැවීමටද ප්‍රමෝද් ක්‍රියාකර තිබිණ.

පියාගේ මරණින් පසු පවුලේ අනාගත සුබ සිද්ධිය පිළිබඳ වගකීම ප්‍රමෝද් වෙත යොමුවීම නිසා පවුලේ සමාජිකයින් සියළුදෙනා වෙනුවෙන්ම කටයුතු කිරීම ප්‍රමෝද් විසින් සිදුකරන්නට විය.

ප්‍රමෝද් විසින් ඔවුනට ජීවත්වීම සඳහා කුලී නිවසක් ද තේන් ප්‍රදේශයෙන් ලබාදෙනු ලැබීය.

මේ අතර තුළ ප්‍රමෝද් මහජන් තරුණ කාන්තාවන් පක්ෂයේ ඉහළ ස්ථාන වෙත යැවීමට මහත් උනන්දුවක් දැක් වූ බවත් කාන්තාවන් සමඟ ප්‍රමෝද් පැවැත් වූ රහස් සබඳතා අලලා ප්‍රවීන් විසින් රචිත “මාස් ඇල්බම්” නමැති ග්‍රන්ථය ඉන්දියාව පුරා මහත් ප්‍රසිද්ධියක් ගනු ලැබීය.

සිර ගෙදර සිටියදී ප්‍රවීන් විසින් රචනා කළ මෙම ග්‍රන්ථය උණු කැවුම් ලෙස විකිණි ගියේය. මිනීමැරුමට හේතු වූ හේතුන් දක්වා තමාගේ නිදොස් බව පෙන්වීම එම ග්‍රන්ථය රචනා කිරීමේ අරමුණ නොවූ බව ප්‍රවීන් පැවසු අතර ප්‍රමෝද් බලය, ධනය හා කැපී පෙනීමට තිබු ආශාව දැක්වීම මෙන්ම ඔහු කාන්නාවන් රැසක් සමඟ රහස් සබඳතා තිබු අන්දම පැහැදිලි කිරීම මෙහි එකම අරමුණ බවත් ප්‍රවීන් දන්වා සිටියේය.

කෙසේ වෙතත් ප්‍රමෝද් මහජන් භාරතීය ජනතා පක්ෂයේ නැගී එන තරුවක් ලෙස වැජඹීමත් සමඟ තමා ඔහුගේ දුප්පත් සහෝදරයා ලෙස සැලකීම ප්‍රවීන් තුළ මහත් ප්‍රකෝපකාරී හැඟීමක් ඇති කිරීමට සමත් වුවා යැයි සිතිය හැකිය. එහෙත් ප්‍රමෝද් මහජන් ගේ අබිරහස් චරිතය සඟවා තැබීමට බොහෝ දෙනෙකු විසින් උත්සාහ ගැනීම නිසා ඔහුගේ මරණය පිළිබඳ සියළු කරුණු හෙළි වී ඇත් ද යන්න ප්‍රශ්නයකි.ප්‍රමෝද් මහජන් ඝාතනය කළ ඔහුගේ බාල සොහොයුරු ජිවිතාන්තය දක්වා සිරගෙට නියම කරනු ලැබු අතර කොන්දේසිපිට තාවකාලීක සති දෙකකට නිදහස් කරනු ලැබු ප්‍රවීන් මහජන් මොළයේ සිදු වූ ලේ ගැලීමක් හේතුවෙන් ආඝාත තත්ත්වයක් ඇති වී රෝහල් ගත කරනු ලැබු අතර 2010 මාර්තු 03 වැනිදා ජීවිතක්ෂයට පත් විය. මේ අනුව භාරතීය ජනතා පක්ෂයේ නැගී එන තරුවක් වූ ප්‍රමෝද් මහජන් මෙන්ම ඔහුගේ ඝාතනය සිදුකළ ඔහුගේ බාල සොයුරු ප්‍රවීන් මහජන් ද මොලොව අත්හැර ගිය නමුත් එම ඝාතනයට නියම හේතුවද තවමත් නිශ්චිත වශයෙන් පැවසීමට කාටත් හැකියාවක් ලැබී නැත.