“මළාට පස්සේ මම උපන්නේ වරකා ගහේ”

“මළාට පස්සේ මම උපන්නේ වරකා ගහේ”

"මම ජීවත් වුණේ කොස් ගහක. කොස් ගහ විමානය කරගෙන. මූ ඒ විමානයත් කපලා විකුණ ගත්තා. මට කරපු ඒ අපරාධයට මූව මරන්නම ඕනෑ."

කෑගල්ලේ භූතයෙක් ඇතුල් කොට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානයේදී ගවේෂකවරයා ඉදිරියේ කියන්නට විය. අමනුෂ්‍යයෝ ගස් වැල් විමාන කරගෙන වාසය කිරීම ඊට හේතුව විය.

වෘක්ෂ විමාන කරගෙන සිටින දෙවිවරුන්ට වෘක්ෂ දේවතාවෝයි කියති. ගස්වැල්වල මල් සුවඳ, ගෙඩි හා කොළ දළුවල සුවඳ පමණක් නොව මුල්වල සුවඳ පවා ආහාරය කර ගෙන ජීවිත්වන භූමස්ථ දෙවිවරුන් සිටින බව බෞද්ධ පොත්වල සඳහන් වේ. එසේම ගස්වලට ආදරයෙන් හා දැඩි තණ්හාවෙන් ජීවත් වූ මිනිස්සු ද මරණයෙන් පසු ඒ ගස්වලට අධිගෘහිතව භූතාත්ම ලබා උපදිති. තණ්හාව හෙවත් ලෝභය අකුසලයක් නිසා ඒ ලෝභ මූල සිතක් චුතියේ දී මතුවීම හේතු කොට ගෙන ඔවුහු දුගතිගාමීව උපදිති.

එසේම බල පුළුවන්කාරකම් තුළින් තමන්ගේ ව්‍යාපාර, හෝටල් ඉඳි කරන්නට, රජයේ වන වගාවන් කපා විකුණා හරි හම්බ කළ දේශපාලනඥයන් හා ඔවුන්ට උදව් කළ රජයේ නිලධාරීන් මෙන්ම කොන්ත්‍රාත්කරුවෝද පරලොව ගොස් මහජන වැසිකිළිවල අසුචි කමින් අනන්ත අප්‍රමාණ විපාක ලබන බව බොහෝ දෙනා දන්නා සුප්‍රසිද්ධ රහසකි.

අපේ පැරැන්නෝ ගස් වැල්වලට ආදරය කළහ. අවශ්‍යතාවයකට ගසක් කපාගන්නට වූ විට ඒ ගසට පංච උපහාර දක්වා අවසර ගෙන ගස කැපූ බව ජනවහරේ කියැවේ. මිනිසා පරිසරයේම ඒකකයක් මිසක පරිසරය මිනිසාගේ දඩමසක් නොවේ. කූට, වංචනික,තක්කඩි දේශපාලන බලවතුන් හා ඔවුන්ගේ ගෝල බාලයන්ගේ ක්‍රියාකාරකම් නිසා රක්ෂිත වනාන්තර සහ ඇළ, දොළ, ගංගා හා කඳු රක්ෂිතයන් විනාශ කරන්නට පටන් ගත් දා පටන් දේව කෝප, දේවසාප, ඇති වූ බව සත්‍යයකි.

කෑගල්ලේ හේරත් බණ්ඩා පනස් හැවිරිදි ඉඩම් හිමියෙකි. විවාහකයෙකි. තරුණ පුතුන් දෙදෙනෙකුගේ පියෙකි. අධික සුරාපානයට ඇබ්බැහි වී දැන් උමතු තත්ත්වයකින් පෙළෙයි. ආහාර නොගැනීම නිසා ශරීරය කෘශ වී ඇත. දිය නෑම ප්‍රතික්ෂේප කරයි. පනාවක් කතුරක් කලකින් දැක නැත. තවත් අපිරිසුදුකම නිසා කෙනෙකුට ළං විය නොහැකි තරම් දුර්ගන්ධයක් ඔහු වෙතින් වහනය වෙයි. ඔහුගේ දෑත් දෙපය බැඳ ඇත. ඒ හිස හැරුණු අත දුවනා නිසාය. පවුලේ අය ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය කරා ඔහු ගෙන ආවේ කුදලාගෙනය. එහිදී ඔහුගේ දෑත් දෙපා ලිහන ලෙස අධ්‍යාත්මීය උපදේශකවරයා උපදෙස් දුන්නේය. ලිහූ සැනින් ප්‍රතිකාර කාමරයෙන් දුවන්නට සැරසුණාත් වේවැල ඉදිරියේ ඔහු සුවච කීකරු විය.

හේරත් බණ්ඩාගේ ශරීරියේ ශක්ති වළල්ල දුර්වල වී චක්‍ර පද්ධිය අවුල් වී තිබුණු බැවින් ගවේෂකවරයා ඔහුගේ චක්‍ර නිවැරැදිව සකස් කළේය. ඉන් පසු රෝගියා රැගෙන ආ භාරකරුවන්ට ගවේෂකවරයා මෙසේ කීවේය.

“බුදු දහමේ ක්‍රියාත්මක කරන වැඩ පිළිවෙළ සීල සමාධි - ප්‍රඥා ත්‍රිවිධ ශික්ෂාවයි. ඒත් බුදු රජාණන් වහන්සේ කිසා ගෝතමිට එක්වරම බණ කීවේ නෑ. පළමුව සළුවක් දුන්නා. ඊළඟට ආහාර දුන්නා. ඊට පසුවයි ධර්මය දේශනා කළේ. එය දුර්වල වුණොත් මනස දුර්වල වෙනවා. මනස දුර්වල වුණොත් රෝගියා සනීප කරන්න බැහැ. ඒ නිසා හොඳට නාවලා පිරිසුදු කරන්න. හිස රැවුල කපලා හොඳට පෝෂ්‍යදායී ආහාර කන්න දෙන්න. තව සති දෙකකින් නැවත කැඳවා ගෙන එන්න”

ගවේෂකවරයා හේරත් බණ්ඩාගේ පවුලේ අයට කීවේය.

ඊළඟට පැමිණෙන විට හේරත් බණ්ඩා බොහෝ දුරට වෙනස් වී සිටියේය. එහෙත් මත්පැන් පානයෙන් සම්පුර්ණයෙන් ඉවත්ව සිටියේ නැත. ගවේෂකවරයා ඔහුට ශක්ති කිරණ එල්ල කරන විට ඔහු සිහිසුන්ව ඇද වැටුණේය. ගවේෂකවරයා නැවත පියවි සිහිය ලබා දී රෝගියාට උපදෙස් දුන්නේය.

“තමන්ට පවතින දෝෂයේ හැටියට තව මාස දෙකකට වඩා ජීවත් වෙන්න බෑ. මරණයට හිත හදාගෙන සුදානම් වෙන්න. මොකද කියන්නේ තව දුරටත් ජීවත් වෙන්න ආසාද?”

“අනේ ඔව් මහත්මයා”

රෝගියා දෑස් ලොකු කරගෙන ගවේෂකවරයාට කීවේය.

“මැරෙන්න තියෙනවා නම් මට ඒක වෙනස් කරන්න බෑ. ඒවා අකුසල විපාක. හැබැයි අකුසල විපාක ප්‍රබල කුසල විපාකවලින් මඟ හරවන්න පුළුවන්. එහෙම කැමති නම් වහාම මත්පැන් පානය නතර කරන්න. ගමේ පන්සලට ගිහින් දවස් විසි එකක් බෝධි පුජා පවත්වන්න ඕනෑ. කැමති නම් බෝ්ධි පුජාවලට යන්න. අකැමති නම් මරණයට සුදනම් වෙන්න”

ගවේෂකවරයා රෝගීයාට කීවේය.

බෝධි පුජාවට අවශ්‍ය දේ සහ කළ යුතු ආකාරය පිළිබඳ හේරත් බණ්ඩාගේ බිරිඳ අසා දැන ගත්තාය. ඇය ඒවා සටහන් කර ගත්තාය.

ජීවිත ආසාව නිසා හේරත් බණ්ඩා සුරාපානය අතහැර බෝධි පූජා වලට ගියේය. බෝධි පූජා අවසන් කොට ඔවුහු නැවත පැමිණියහ.

එදින ගවේෂකවරයා හේරත් බණ්ඩාගේ ශරීරියට බලපෑම් කළ භූතයා දිෂ්ටි ගන්වා කතා කළේය.

“කවුද මේ ශරීරියට රිංගාගෙන ඉන්නේ”

“මම කළු බණ්ඩා”

භූතයා උත්තර දුන්නේය.

“කවුද කළු බණ්ඩා කියන්නේ?”

“මූගේ අප්පච්චි”

“අප්පච්චි මොකද පුතාට කරදර කරන්නෙ?”

“කරදර නොවෙයි මූව මම මරණවා”

“ඇයි දෙයියනේ තමන්ගේ පුතාට එහෙම කරන්නේ?”

“මම මූ එක්ක තරහයි”

“මොකක්ද ඔය තරම් තරහ ගන්න කාරණය?”

“මහත්තයා, මම ගහ කොළට සතා සීපාවට ආදරේ මිනිහෙක්. මම වටිනා ගහ කොළ වැව්වා. මම බොහොම ආදරේ කරපු පැණි වරකා ගහක් තිබුණා. මම මළාට පස්සේ උපන්නේ ඒ ගහේ. ඒක මගේ විමානය වුණා. මේ කාලකන්නියා මගේ ඉඩමේ තිබුණු ගස් ටික කපලා විකුණ ගත්තා. අන්තිමේ මම හිටපු මහා කොස් ගහත් කපලා විකුණ ගත්තා. ඒ ගහ කපලා බිමට දාපු වෙලාවෙ මම මූට සාප කළා. ඒක තමයි මූට පිස්සු හැදුණේ. ඒක මගේ හිතට මදි ඒ නිසා මූව මරන්නම ඕනෑ. මට උන් හිටි තැන් නැති කළාට ඒක වෙන්නම ඕන” භූතාත්මය වෛරයෙන් කීවේය.

“ඔබ බොහෝම වටිනා පුද්ගලයෙක්. ගහ කොළට ආදරය කරන්නේ උතුම් මිනිස්සු. බුදු හාමුදුරුවෝ උපන්නෙත්, බුදු වුණෙත්, පිරිනිවන් පෑවෙත් ගහක යට. උන් වහන්සේ වන රෝපණය අගය කළා. ඔබටත් හොඳ වෘක්ෂයක් තියෙනවා. ඒ ගහ කවුරුවත් කපන්නෙ නෑ. මිනිස්සු බුදු හාමුදුරුවෝ වෙනුවට වැඳුම් පිඳුම් කරන්නෙත් ඒ ගහට. ඒ ඇසටු බෝ ගහ”

“ ඔව් මහත්මයා බෝධි පූජාවලට ගිය දවස්වල මට එතැන හරිම සුවදායක වුණා”

“ඔව් ගස්වැල් වලින් පරිසරය සිසිල් කරනවා. ඒත් දැන් ඔබේ වෛරය ගින්නක්. ඒ ගින්නෙන් ඔබ දැවෙනවා. වේදනා විඳිනවා. මේ පුතාගෙන් වැඩක් නැහැ. ඔය පළිගැනීමෙනුත් ඔබට යහපතක් වෙන්නේ නෑ. පුතාවයි වෛරයයි දෙකම හිතින් අත හරින්න. ඔහොම හිටියොත් තවත් අවුරුදු දහස් ගණනක් වෛරයෙන් දැවි දැවී ඉන්නයි වෙන්නේ. මම පුතාට තවත් බෝධි පූජා දහ හතරක් නියම කරනවා. ඒ දින දහ හතරේ ඉඩමේ කොස් පැළ දහ හතරක් හිටවන්නත් නියම කරනවා. දඬුවමක් වශයෙන්. ගමේ පන්සලට දානයක් පිරි නමන්නත් නියම කරනවා. ඒ දවස් දහ හතරේ ගමේ පන්සලේ බෝධීන් වහන්සේ ළඟට වෙලා සිත නිවාගන්න”

ගවේෂකවරයා භූතාත්මයට උපදෙස් දුන්නේය.

මේ කටයුතු පූජා අවසන් කොට නැවත එන්නැයි ගවේෂකවරයා හේරත් බණ්ඩාටත් පවුලේ අයටත් කීවේය.

බෝධි පූජා පවත්වා, සාංඝික දානයක් පිරිනමා පියාට පින් අනුමෝදන් කොට ඔවුහු නැවත පැමිණියහ. එදින ගවේෂකවරයා භූතාත්මය ශ්‍රී පාද අඩවියට යැවීය. ඉන්පසු ක්‍රමයෙන් හේරත් බණ්ඩා සම්පූර්ණ සුවය ලැබීය.