"තමුන් දැන් අධ්‍යක්ෂවරයෙක් නෙමෙයි විරූපී පේ‍්‍රතයෙක් ! "

"තමුන් දැන් අධ්‍යක්ෂවරයෙක් නෙමෙයි විරූපී පේ‍්‍රතයෙක් ! "

තත්පරයකට ලක්ෂවාරයක් වෙනස්වන, අධි වේගයෙන් දුවන මිනිස් සිත හැම කෙනෙකුගේම හැම තැනකදීම, හැම මොහොතකම, තවත් කෙනෙකුට නතර කර තබන්නට නොහැකිය. ඔබට ඔබ ඉදිරියේ ඇති ගසක එක් කොළයක් බලන්නට වුවමනා යැයි සිතා ඊට ඇස යොමු කරන්න. ගසා වටා පවතින කොළ සමුහයත්, ගසට පිටුපසින් පවතින සියලු ගස්වැල් සහිත කඳු යායත් ඔබට පෙනෙන්නේ ක්ෂණකිනි. එසේ නම් මේ අධිවේගී සිත් සතන් ඇති මිනිසුන්ගේ සිතුම් පැතුම් ද ඒ හා සමානව ක්ෂණයකින් වෙනස් වේ. කොට්ටාවේ පදිංචි මැණිකේ හැටපස් හැවිරිදි ගෘහනියකි. ඇගේ පුතා සනත් හතලිස් හැවිරිදිය. ඔවුන්ගේ නිවසේ රාත්‍රියට සද්ද බද්ද ඇසෙන්නට විය. මහා දුර්ගන්ධයක් වරින් වර හමා යන්නට විය. මවටත් පුතාටත් නිතර අසනීප තත්ත්වයන් වැළදෙන්නට වූ අතර සුළු දේටත් මත ගැටුම් අඬ දබර හට ගත්හ. මව නින්දේදී හීනෙන් බිය වී කෑ ගසා ගෙන අවදි වෙන්නට වුවාය.

“මාංචු” පත්‍රයේ පළවන “භූතාත්තමය” කතා කියවන නිසා තමන්ගේ නිවසටත් එම අමනුෂ්‍ය බලපෑම් ඇති වී ඇත්දැයි ඔවුන්ට සැක සිතුණි. ඒ අනුව මොවුහු ඇතුල්කෝට්ටේ පිහිටි ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය සොයා ගෙන පැමිණියහ. ආධ්‍යාත්මීය උපදේශකවරයා මුණ ගැසී තමන්ට එළැඹ ඇති තත්ත්වයන් විස්තර කොට ප්‍රතිකාර පැතූහ.

ගවේෂකවරයා ශක්ති කිරණ එල්ල කරන විට මැණිකේ සිහිසුන්ව ඇද වැටුණාය. සනත් පැද්දෙන්නට විය. ඔවුන්ට අමනුෂ්‍ය දෝෂයක් ඇති බව පැහැදිලි වු හෙයින් දින විසි එකක් ගමේ පන්සලේදී බෝධි පූජා පවත්වා නැවත එන්නැයි ගවේෂකවරයා ඔවුනට උපදෙස් දුන්නේය.

බෝධි පූජා අවසන් කොට ඔවුන් නැවත පැමිණි දිනයේ මැණිකේ භූතාත්මයක් ආවිශ්ට වී කෑ ගසමින් දගලන්නට වුවාය. ඇය රුධිර පීඩනයෙන් පෙළෙන්නියක් බව ඇගේ පුතා ගවේෂකවරයා දැනුවත් කළ බැවින් තවත් දින දහ හතරක් බෝධි පූජා පවත්වන ලෙස ද නිවසේ භාවිත කළ යුතු පිළිවෙත් කිහිපයක් ද කියා දුන් ගවේෂකවරයා තවත් දෙසතියකින් නැවත එන්නැයි ඔවුනට කීවේය.

නියමිත දිනයේ ඔවුහු නැවත පැමිණියහ. එදින මැණිකේ දිෂ්ටි ගැන් වු ගවේෂකවරයා භූතාත්මය සමඟ කතා කළේය.

“කවුද මේ ශරීරයට ආවිශ්ට වෙලා ඉන්නේ?”

“මම ජයරත්න”

“කවුද ජයරත්න කියන්නේ?”

“මම මේ මැණිකෙගේ මහත්තයා, මේ සනත්ගේ තාත්තා මම විධායක නිලධාරියෙක්”

“ඇයි මේ නෝනාටයි පුතාටයි කරදර කරන්නේ?”

“මුන් මාව ගණන් ගන්නේ නෑ. මට සැලකුවේ නෑ.” භූතාතත්මය කීවේය.

ප්‍රශ්න කිරිම් නතර කළ ගවේෂකවරයා මැණිකේට ප්‍රකෘති සිහිය ලබා දී මවගෙන් හා පුතාගෙන් පියා ගැන තොරතුරු විමසීය.

සනත්, පියා ගැන විස්තර කළේය.

“මහත්මයා අපේ පවුලේ මමයි, නංගියි, මල්ලියි ඉන්නේ, නංගී විවාහ වෙලා එයාගෙ මහත්තයාගෙ ගෙදර පදිංචියි, දැන් අම්මයි මමයි ගෙදර ඉන්නේ, මල්ලී නුවර රස්සාවක් කරනවා. අපේ තාත්තා රාජ්‍ය සංස්ථාවක අධ්‍යක්ෂවරයෙක්. අන්තිමට විශ්‍රාම ගිහින් ගෙදර හිටියේ. තාත්තා හරිම මාන්‍යාධිකයි. තාත්තා වාහනෙන් බහින කොටම අම්මා මොන වැඩේ කර කර හිටියත් දුවගෙන ගිහින් බෑග් එක අරගෙන එන්න ඕනෑ. හැබැයි එයාගේ පිටිපස්සෙන් බැරි වෙලාවත් ඉස්සරවෙලා ගියොත් බනිනවා. පිට මිනිස්සු කතා කරන කොට “සර්” කියලා කතා කරන්න ඕනෑ. මහත්තයෝ කිවාවොත් බනිනවා. අපි කොයි තරම් හොඳට සැලකුවත් මදි බනිනවා.”

“අම්මා කොයි තරම් හොඳට උයලා පිහිලා කන්න දුන්නත් නැති අඩු පාඩුවක් කියලා බනිනවා. ගෙදර උයන දේවල් තාත්තාගෙන් අහලා උයන්න ඕනෑ. තෙලට ද මිරිසට ද කියලා අහන්නත් ඕනෑ. පුංචි දේටත් බනිනවා. තරහ වෙලා නංගිලාගේ ගෙදර යනවා. ඊට පස්සෙන්දාම අපි ගිහින් එක්කගෙන එන්න ඕනෑ. නොගියොත් ඒකටත් බනිනවා. නංගිලාගේ ගෙදර කෑම රස නෑ කියලා බනිනවා. ” “තාත්තා සංස්ථාවේ සේවකයගෙන් බලය පාවිච්චි කර සැලකිලි ලැබුවා. ඒ වගේ ගෙදරනුත් ඒවා බලාපොරොත්තු වුණා. අපිත් අපට පුළුවන් උපරිමයෙන් තාත්තාට සැලකුවා. මල්ලි නම් තාත්තගෙ මානයට විරුද්ධව කතා කළා. නිහතමානී වෙන්න කියලා නිතරම කිව්වා. අම්මා නම් කඳුළු හෙළපු නැති දවසක් නෑ”

සනත් ගවේෂකවරයා හමුවේ කියන්නට විය.

“අනේ! ඔව් මහත්මයා, පුතාලගෙ තාත්තා හරිම නීති කාරයා. සංස්ථාවේ සේවකයෝ විරුද්ධයි. ඉන්න තැන ගරු සරු දැක්වූවා. නැති තැන ගැරහුවා”

මැණිකේ ද ඊට එකතු වෙමින් කීවාය.

ගවේෂකවරයා නැවතත් මැණිකේ දිෂ්ටි ගන්වා භූත ආත්මය ඇමතීය.

“තමන් තරුණ කාලේ තමන්ගෙ තාත්තට සැලකුවාද?”

“ඔව්” භූතයා පිළිතුරු දුන්නේය.

“උඹලා මට සලකපල්ලා කියලා තාත්තා රණ්ඩු කළාද?”

“නෑ”

“ගෞරව සැලකිලි ලැබෙන දේවල් විහින් බලෙන් ලබන්න පුළුවන් දේවල් නොවෙයි. ඔය හැම දෙයක්ම බලෙන් ලබා ගන්න කටයුතු කරපු ඔබට මරණයෙන් ගැලවෙන්න පුළුවන් වුණා ද?

“් ඒක නම් බැරිවුණා”

“තමුන් දැන් මැරිලා. තමුන් එදා හිටපු අධ්‍යක්ෂ නොවෙයි. තමුන් දැන් පේ‍්‍රතයෙක්. තමුන්ගේ විරූපී බව දැක්කොත් මිනිස්සු බය වෙනවා. තමුන්ගේ ඔය පේ‍්‍රත හැඩරුව ගැන මෝනාටයි පුතාටයි මම කියන්නද?”

“අනේ අනේ එපා. මහත්මයා, ඒක නම් කරන්න එපා”

පේ‍්‍රතයා බැගෑපත් වන්නට විය.

“මිනිස් ජීවිතයේ දී මානාධිකවීම නිසා තමන් දැන් ඉතා අප්‍රසන්න, පේ‍්‍රතයෙක් වෙලා. එදා අධිපතිකම් කරපු ආයතනයේ සේවකයින්ගෙන් ලැබුණු සැලකිලි ගෙදරනුත් බලාපොරොත්තු වෙලා තරහෙන්, වෛරයෙන් මැරුණු නිසයි දුගතිගාමී වුණේ. තමුන් දැන් ඉන්නේ ගැට්ටක් උඩ. එහා පැත්තට වැටුණොත් අවුරුදු දහස් ගණන් අපා දුක් විඳින්න වෙනවා. මේ පෙර භවයක කුසල විපාකයක් මතුවුණු ඉතාම දුර්ලභ අවස්ථාවක්, ඔය පේ‍්‍රත භාවය අතහැර සුගතියකට යන්න හිතන්න. අපට පුළුවන් ඔබට උදව් කරන්න. මොකද කියන්නේ?”

“අනේ හොඳයි මහත්මයා. ඉතා හොඳයි. ඉතා හොඳයි. සාදු සාදු මාව හොඳ තැනකට යවන්න මහත්මයා”

“හොඳයි, නෝනයි දරුවොයි ගෙදර සාංඝික දානයක් පිරිනමා ඔබට පින් අනුමෝදන් කරාවි. ඒ පින් අරගෙන එන්න”

එසේ කී ගවේෂකවරයා සංඝයා වහන්සේ දස නමකට දානයක් පිරිනමා මහත්මයාගේ නම කියා පැන් වඩා පින් අනුමෝදන් කර නැවත එන්නැයි ඔවුන්ට උපදෙස් දුන්නේය.

දානයෙන් පසු ඔවුහු පැමිණියහ. එදිනද මැණිකේ දිෂ්ටි ගන්වා ගවේෂකවරයා භූතාත්මයට කතා කළේය.

“කොහොමද පින් අනුමෝදන් වුණාද?”

“ඔව් මහත්මයා මට හරිම සතුටුයි, මම මීට පස්සේ කාටවත් කරදර කරන්නේ නෑ. මට හොඳ තැනකට යන්න ඕනෑ” භූතයා කීවේය.

සුදුමල් වට්ටියක් ගෙන්වා පිනට නැඹුරු වූ පේ‍්‍රතයා ඊට සම්බන්ධ කළ ගවේෂකවරයා ඔවුන් ලවාම භූතාත්මය අනුරාධපුරයට යැවීය. ඉන්පසු නිවසේ සිටින අයට ආධ්‍යාත්මීක ආරක්ෂාව යෙදීමට ද ගවේෂකවරයා අමතක නොකළේය.