“ඇල්බට් මුදලාලි කියන්නේ ගඳ ගහන පේ‍්‍රතයෙක්”

“ඇල්බට් මුදලාලි කියන්නේ ගඳ ගහන පේ‍්‍රතයෙක්”

නිවසට වැලි වැටෙයි

නාන කාමරයේ වතුර කරාම අරියි

දොර ජනෙල් වසා දමයි

කෙනෙක් පෙර කළ කුසල විපාක නිසා මෙලොවදී භවභෝග සම්පත් ලබයි. ඒවා දියුණු කරන්නට කටයුතු කරයි. පෙර භාවයන්හිදී කරන ලද කුසල කර්ම සඳහා මෙලොව දී ඉෂ්ට විපාක සම්පත් ලැබුණ ද ලෝභය හා මෝහය නිසා ඉන් සැප විඳින්නට කල්පනා නොකරයි. දාන ශිලාදී කුසලයන්හි විපාක විඳිය යුතු අවස්ථාවේ ලෝභය හා මෝහය යන අකුසල් ක්‍රියාත්මක වී ඒවා ඔහුගේ සැපයට බාධා පමුණුවයි. කුසල විපාකය අකුසලයකට හරවා ගනී. මෙවැනි ක්‍රියාවලින් හෙතෙම සසර ගමන දිග් කරගනී.

මාතර මංගලා හැට අට වැනි වියේ පසුවන දෙදරු මවකි. දුවත් පුතාත් විවාහ වී දූ දරුවන් ලබා සිටිති. මහ ගෙදර ජීවත් වෙන්නේ මංගලාත් පුතාගේ පවුලේ අයත්ය. පුතාගේ නම සුනෙත්ය. සුනෙත් ගේ පියා මිය ගොස් දැනට වසර පහකි. මෑතක සිට මංගලාගේ මියගිය සැමියා වරින් වර පෙනෙන්නට එයි. සුනෙත්, සුනෙත්ගේ බිරිය හා දරුවෝද මේ අවතාරය හැබැහින්ම දැක ඇත. අවතාරය වැඩි පුරම පෙනේන්නේ මංගලාටය. හිටි හැටියේ වැලි අහුරක් දමා ගසන්නාක් මෙන් නිවසට වැලි වැටෙන්නට ද විය. නාන කාමරයේ වතුර කරාම අරියි. දොර ජනෙල් වසා දමයි. මේ තත්ත්වයෙන් මිදෙන්නට ඔවුහු තොවිල් හතරක් පහක් ම කළහ. පැමිණෙන ඇදුරෝ භූතාත්මය අල්ලා බැඳ ගත්තා යැයි කියමින් භූතයා බෝතල්වල දාගෙන අරගෙන යයි. ඒත් දින දෙක තුනකට පසු මේ භූත දෝෂය පෙර තිබුණාටත් වඩා තදින් ක්‍රියාත්මක වේ. දිනක් මංගලා සිය පුතාත් සමඟ ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය වෙත පැමිණියාය. ආධ්‍යාත්මීය උපදේශකවරයා මුණ ගැසී වසර ගණනක සිට තම නිවසේ පවතින තත්ත්වය පැහැදිලි කළාය.

“මහත්මයා අපට මේ වැඩේ ඉක්මනින් ඉවරයක් කර ගන්න ඕනෑ

” මංගලා ගවේෂකවරයා ඉදිරියේ කියා සිටියාය.

“එහෙම කරන්න බැහැ. එහෙම නම් ඔය බුලත් පඬුරු ආපහු අරගෙන යන්න. මේ වැඩ එහෙම කරන්න බැහැ”

ගවේෂකවරයා ප්‍රතිකාර කිරීම ප්‍රතික්ෂේප කළේය.

“සමාවෙන්න මහත්මයා, කරදරය දරුණු නිසයි අම්මා එහෙම කියන්න ඇත්තේ”

සුනෙත් ඉදිරියට පැන ගවේෂකවරයාට කීවේය.

“මේ අවුරුදු ගණනාවක් එක දිගට පැවතුණු දෝෂයක්, තොවිල් හතරක් පහක්ම කළැයි කීවෙත් ඔයගොල්ලොමයි. මේ වගේ දේවල් එන්නේ කර්ම විපාක අනුවයි. කර්ම විපාක සල්ලිවලින් පිහ දාන්නත බෑ. විඳිය යුතු දුක් විඳින්නම වෙනවා. පෙර පව් ගෙවන්න වෙනවා. දවස් ගණන් අව්වැසි නොබලා බෝධි පූජා තියන්න වෙනවා. පැය ගණන් පිරිත් ගාථා කියන්න වෙනවා. පෝළිම්වල රස්තියාදු වෙන්න වෙනවා. දාන මානවලට වියදම් කරන්න වෙනවා. ඒ වගේ කොහෙන් හරි කර්ම විපාකය ගෙවන්න වෙනවා. ඔය ගොල්ලන්ගේ පෙර පව් මට විසඳන්න බැහැ. අවුරුදු ගණනක් ඇදුරන් විදයම් කරලත් බැරි වුණ දෙයක් මට ඉක්මනින් කරන්න බැරිකමයි මම කිව්වේ”

ගවේෂකවරයා ඔවුනට කරුණු පැහැදිලි කළේය.

“හොඳයි මහත්මයා පුළුවන් විදිහකට කරන්න” සුනෙත් ගවේෂකවරයාට බැගෑපත් වෙමින් කියන්නට විය. පළමු පරීක්ෂාවේදී මංගලා තුළින් මතු වූ භූතාත්මය ඇය සිහිසුන් කොට පලා ගියේය. ගවේෂකවරයා ඔවුන්ට දින විසි එකක් ගමේ පන්සලේ බෝධි පුජා පවත්වා නැවත එන්නැයි උපදෙස් දුන්නේය. බෝධි පූජා අවසන් කොට ඔවුන් නැවත පැමිණිය ද භූත ආත්මය විවිධ කපටිකම් කරමින් පලා ගියේය. මෙසේ භූතාත්මය නම්‍යශීලී වනතුරුම පිළිවෙත් වෙනස් කරමින් ගවේෂණය කරන්නට ගවේෂකවරයාට සිදු විය.

සයවැනි දිනයේ භූත ආත්මය මංගලාට ආවිශ්ට වුවද පැන ගියේ නැත. වේදනාවෙන් අඬන්නට විය. ගවේිෂකවරයා භූතාත්තමයෙන් ප්‍රශ්න කරන්නට විය.

“කවුද මේ අඬන්නේ?”

“මම ඇල්බට්”

භූතාත්මය උත්තර දුන්නේය.

“කවුද ඇල්බට් කියන්නෙ?”

“මේ මංගලා මගේ මෝනා. සුනෙත් මගේ පුතා”

“ඇයි ඉතිං අඬන්නේ?”

“ආදරේට. මේ ගොල්ලන් දාලා යන්න බැරිකමට”

“ආදරේට ද කරදර කරන්නේ?”

“නැහැ තරහට”

“ඇයි මේ අය එක්ක ඔය තරම් තරහක්”

“ඇයි මුන් මාව පන්නන්න කොයි තරම් තොවිල් කළාද? ඒත් මම ඒවාට අහුවුණේ නෑ. මුන් සුදානම් වෙන කොට මම පැනලා යනවා. මාව පන්නන්න මුන්ට අයිතියක් නෑ. මුන් භුක්ති විදින්නේ මගේ දේවල්. මගේ දේපළ.”

“ඔබට මොනවාද තිබුණු දේපළ?”

“මට බේකරි දෙකක් තිබුණා. තොග වෙළෙඳාම් කරන කඩයක් තිබුණා. මට ඒවා ඕනෑ. ඒ විතරක් නොවෙයි. මගේ මෝනවත් ඕනෑ. දරුවත් ඕනෑ.”

“ඒ මොකටද?”

“මම මුන්ට ආදරෙයි. මුන්ව මගේ ළඟට ගන්න ඕනෑ.”

“කොහොමද ඔබේ ළඟට ගන්නේ?”

“මරලා අරගෙන යනවා”

“ආදරේ නම් ඇයි එහෙම කරන්නේ ?

“මට ආපහු මේ ලෝකෙට එන්න බැහැ. මම දැන් මැරිලානෙ මහත්තයා”

“එහෙම මරලා ගෙනියන්න දෙන්න බෑ.”

“ඇයි ? ඒ මොකද?”

“ඔබ දැන් මැරිලා. දේපළවලට තණ්හාවෙන් මැරිලා. බිරිඳට දරුවන්ට ආසාවෙන් මැරිලා. තණ්හා ආසා කියන්නේ අකුසල් සිත් . අකුසල් සිතකින් මැරුණාම උපදින්නේ සතර අපායෙන් එකක. ඔබ දැන් පේ‍්‍රතයෙක්. ඔබ ඔය ආත්මයේ අවුරුදු දහස් ගණනක් දුක් විඳන්න වෙනවා. මේ අම්මයි පුතයි පින් දහම් කරනවා. බෝධි පූජා තියනවා. මේ අය මැරෙන වෙලාවට ඒ පින්කමක් මතක් වුණොත් කෙළින්ම දිව්‍ය ලෝකයක උපදිනවා. එතකොට ඔබට මේ අයව සඳහටම දකින්නවත් ලැබෙන්නේ නෑ. එකයි ලෝක ස්වභාවය.”

“එතකොට මගේ දේපළ?”

“ඒවා ඔබට ලැබුණේ කොහොමද?

ඔබේ අතීත භවයන්හි කළ කුසල්වල විපාක වශයෙන් ඔබට භව භෝග සම්පත් ලැබුණා. ඒවා ඔබ හම්බ කළේ කොහොමද?

ගවේෂකවරයා භූතාත්මයෙන් ඇසීය.

“මම එක පිම්මට වැඩ කළා. ඉතින් මට හරි ගියා.”

“ඔබ ඒ කාලෙත් අඬ අඬා හිටියද?”

“නෑ. එහෙම අඬ අඬා හිටියා නම් අපි දුකේම තමයි”

“ඔබ උත්සාහයෙන් වැඩ කළා. ඒ නිසා බේකරි, තොගකඩ ගොඩ නගා ගන්න පුළුවන් වුණා. ඒ වගේම තවත් සමහරු උත්සාහ කරනවා. ඇයි ඒ අයට හරියන්නේ නැත්තේ?”

“උන්ට පින නැහැනෙ මහත්මයා”

“අන්න හරි ඔබට පින තිබුණ නිසා දියුණු වුණා. දැන් ඒ පින් පිරිහිලා පේ‍්‍රතයෙක් වෙලා. ඇල්බට් මුදලාලි ගඳ ගහන පේ‍්‍රතයෙක් වෙලා. ඔබට පින් ලැබුණොත් ඔය පේ‍්‍රතාත්මයෙන් මිදිලා දිව්‍ය ලෝකයක දෙවිකෙනෙක් වෙන්න පුළුවන්. එතකොට මේ නෝනයි පුතයි දිව්‍ය ලෝකයට ආ දවසක මුණ ගැහෙන්නත් පුළුවන්. කැමති නම් දිව්‍ය ලෝකයට යන්න පුළුවන්. දිව්‍ය කුමාරයෙක් වෙන්නත් පුළුවන්.”

“ඒ කොහොමද? අනේ මහත්මයා මම සතුටුයි දිව්‍ය ලෝකයට යන්න”

“එහෙම නම් මේ අය බෝධි පූජාවලට යනකොට ඔබත් යන්න. ඔය බේකරි, කඩ, හිතෙන් අතහැර දිව්‍ය විමානයකට යන්න හිතන්න. මේ අය දෙන පින් අනුමෝදන් වෙන්න. ඔබට මේ අවස්ථාව උදා වුණේත් පෙර පිනකටය කියලා හිතන්න. තණ්හාවෙන් ලෝභ කමෙන් ගෙවල් දොරවල් අඹු දරුවන් බදාගෙන ඉන්න එපා. ඕවා අතහැරලා බෝ මළුවට වෙලා පිනට දහමට අතහිත දෙන්නැ”

ඒසේ භූතාත්මය දැනුවත් කළ ගවේෂකවරයා තවත් සතියක් බෝධි පූජා පවත්වා නිවසේ විසි නමකට සාංඝික දානයක් පිරිනමා ඇල්බට් මුදලාලිගේ නම කියා පැන් වඩා පින් අනුමෝදන් කර නැවත එන්නැයි මංගලාට උපදෙස් දුන්නේය. ඒ අනුව නියම කළ දානමාන පිරිනමා ඔවුහු නැවත පැමිණියහ. එදිනද මංගලාට ඇල්බට්ගේ ප්‍රාණකාරයා ආවිශ්ට වූ අතර ගවේෂකවරයා භූතාත්මය සමඟ කතා කළේය.

“දැන් කොහොමද?”

“මට සතුටුයි මහත්මයා, මට පින් අනුමෝදන් වුණා. පින් දැනුණා. ඒ පින් දැනෙන කොට ඇති වුණ පී‍්‍රතිය හරිම ඉහළයි. මම මේ ටිකේ හිටියේ බෝධීන් වහන්සේ ළඟ.”

“ඔව් ඔව් දැන් ගෙදර සද්ද බද්දත් නෑ මහත්මයා” සුනෙත් ද ඊට පිළිතුරු දෙමින් පැවසීය.

“හොඳයි හොඳයි ඔබට දැන් ඔබේ දේපළ ඕනෑ ද?” ගවේෂකවරයා භූතාත්මයෙන් ඇසීය.

“එපා එපා මට දැන් ඕනෑ දිව්‍ය විමානයක්.”

“එහෙම නම් හොඳ සිද්ධස්ථානයකට ගිහින් පිනට දහමට හිත යොමු කරන්න. අපි ඔබ මාතර බෝධීන් වහන්සේ ළඟට යවන්නම්.”

“එපා.... එපා.... මට දැන් තනියම යන්න පුළුවන්. මම දැන් අනුරාධපුුරයට යනවා.”

එසේ කී භූතයා මංගලාගේ ශරීරයෙන් ඉවත්ව ගියේය. මංගලා නින්දෙන් ඇහැරුණක් මෙන් අවදි වූවාය. මේ මගේ දේපළය.

මේ මගේ අඹු දරුවෝ යැයි සිතින් දැඩි සේ අල්ලාගෙන සිටියොත් උපදින්නේ සතර අපායෙන් එකකමය. එය සත්‍යයකි.