මේස ලාච්චුවේ තිබූ කෙස්ගස් සද්ධාතිස්ස මැරූ ඝාතකයාගේද?

මේස ලාච්චුවේ තිබූ කෙස්ගස් සද්ධාතිස්ස මැරූ ඝාතකයාගේද?

ආත්මාර්ථකාමී මිනිසුන්ගෙන් බහුල වර්තමාන සමාජය අති භයංකර යැයි කීවොත් වරදක් නැත. තම සුඛවිහරණය උදෙසා අන්‍යයන්ට ඕනෑම විපතක් කිරීමට තරම් හැකියාවක් ඇති මිනිසුන් අද සමාජයේ බොහෝය.

මෙවැනි මිනිසුන් නිසා අද සමාජය පිරිහී ගොස් ඇති ප්‍රමාණය කොපමණදැයි ගණන් බැලිය නොහැකි තරම්ය.

රුපියල් සත හමුවේ අනුන්ගේ ජීවිත තඹ දොයිතුවකට මායිම් නොකරන මෙවැනි මිනිසුන් නිසා අහිංසක මිනිසුන් කොපමණ සංඛ්‍යාවක් අද අසරණ වී සිටිත් ද? අකාලයේ ජීවිතවලින් සමුගෙන යාමට සිදු වී ඇත් ද?

මේ කියන්නට යන්නෙත් මිනිස් ජීවිතයකට වඩා රුපියල් සතවලට ආදරය කළ තවමත් හඳුනා නොගත් ආත්මාර්ථකාමී පුද්ගලයකුගේ ක්‍රියාකාරකමකි. ඔහුගේ ආත්මාර්ථකාමී සිතුවිලි හේතුවෙන් අනේක වධබන්ධනයට ලක්ව ජීවිතයෙන් සමුගත් අහිංසක මිනිසකු පිළිබඳ කතාවකි මේ.

බෝයගනේ, මල්පිටිය ප්‍රදේශයේ පිහිටි තෝටෝ ලංකා පුද්ගලික සමාගමේ කළමනාකාරවරයා පසුගිය දහතුන් වැනි සඳුදා උදේ නවයයි හතලිස් පහ පමණ වෙද්දී පොතුහැර පොලීසියට ගොඩ වූයේ කලබලකාරී ස්වරූපයකිනි.

ඔහු පොලීසියට පැමිණ තිබුණේ මනුෂ්‍ය ඝාතනයක් පිළිබඳ පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම සඳහාය.

“අපේ යාඩ් එකේ මුරට හිටපු මනුස්සයව බැඳලා දාලා තියෙනවා. එයා මැරිලා”.

තොරතුර ලද වහාම පොලිස් කණ්ඩායමක් බෝයගනේ බලා පිටත් විය. කොළඹ දඹුල්ල ප්‍රධාන මාර්ගයේ මෙම වාහන අංගණය පිහිටා තිබෙන අතර එහි ගිය පොලිස් කණ්ඩායමට දක්නට ලැබුණේ ඉතා කුරිරු අන්දමට පුද්ගලයකු මරා දමා ඇති බවයි.

උඩුබැලි අතට බිම දිගා වී ඇති මළ සිරුරේ දෑත් උඩට කොට යකඩ තහඩුවක් වටවන ලෙස තබා, ටෙලිෆෝන් වයර්වලින් ගැටගසා ඇත. ඊට අමතරව දෑත් මහත ලණුවකින් ද ගැට ගසා තිබේ. එම ලණුවම පහතට ඇද පාද ද එයින් ගැටගසා ඇත.

මුහුණ සම්පූර්ණයෙන්ම ආවරණය කර තිබූ අතර යටිකය නිරුවත්ය. කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා මෙම ස්්ථානයට කැඳවීමෙන් අනතුරුව මුහුණු ආවරණ ඉවත් කෙරිණි. එවිට දක්නට ලැබුණේ ඩෙනිම් කලිසමකින්, සරමකින් සහ ටී ෂර්ට් එකකින් ඔහුගේ මුහුණ ආවරණය කර තිබූ බවයි.

එම ආවරණ ඉවත් කළ පසු දක්නට ලැබුණේ ඔහුගේ කණ අසලට රුධිරය එකතු වී ඇති බවයි. එලෙසම මුහුණ ද ඉදිමී තිබිණි.

පරීක්ෂණ සඳහා කුරුණෑගල සොකෝ අංශය ද, නිල සුනඛයා ද කැඳවීමට පොලීසිය කටයුතු කළේය. පරීක්ෂණ ආරම්භ කළ සොකෝ ස්ථානාධිපති ලහිරු කසුන් විජේසේකර ප්‍රමුඛ කණ්ඩායම ඝාතනයට පැමිණි පුද්ගලයාගේ යැයි සැක කෙරෙන කෙස්ගස් කිහිපයක්ම සොයා ගත්තේය.

එම පුද්ගලයා විසින් අතහැර දමා ගොස් තිබූ කැප් තොප්පියත්, ඔහු විසින් ගලවා තිබූ බැකෝ යන්ත්‍රයක හයිඩ්‍රොලික් පොම්පයක් සහ ඔහු විසින් කඩා දමා තිබූ මේස ලාච්චුවක් අසල සිදු කළ සියුම් පරීක්ෂා කිරීම්වලදී මෙම කෙස් ගස් සොයා ගැනීමට හැකි විය.

මෙම අපරාධකරු වාහන අංගණයේ කාර්යාලයට ඇතුලුව තිබුණේ වහළයකට ගොඩ වී කාර්යාලයේ ඉහළ මාලයේ පිහිටි ෆෑන්ලයිට් එකක් ගලවා ඉවත් කිරීමෙනි. ගලවන ලද ෆෑන්ලයිට් එක ද, විදුලි පන්දමක් ද වහළය මත තිබී පොලීසියට හමු විය. මෙම අපරාධය සඳහා එක් පුද්ගලයකු පමණක් පැමිණ ඇති බවක් පෙනෙන්ට තිබිණ. ඒ එකම වර්ගයේ පා සටහන් කිහිපයක් අංගණයේ නොයෙක් ස්ථානවල දක්නට ලැබීම නිසාය.

ඔහුගේ කෙස්ගස්, පා සටහන් ඇතුලු සාක්ෂි කිහිපයක් ඉතිරි කර ගොස් තිබුණ ද සාක්ෂි විනාශ කිරීමට ද ඔහු දැඩි උත්සාහයක් ගෙන තිබිණි.

මොහු මෙම අංගණයේ සවිකර තිබූ සී. සී. ටී. වී කැමරාවලට අයත් ඩී. වී. ආර්. යන්ත්‍රය අලු බවට පත්වන තුරුම පුලුස්සා දමා තිබිණි. එලෙසම මොහු අංගණයට ඇතුලුව තිබුණේ ඉදිරිපස පිහිටි ගේට්ටු දෙකෙන් එකක් කඩා දැමීමෙන් අනතුරුවය.

බැකෝ යන්ත්‍රවලට සවිකර තිබෙන හයිඩ්‍රොලික් පොම්ප සොරා ගැනීම සඳහා මෙම අපරාධකරු පැමිණ ඇති බවක් දක්නට තිබේ. මෙම අංගණයට ඇතුලු වීම සඳහා හොරෙකුට ගේට්ටුව කඩා දැමීමට අවශ්‍ය නැත. එහෙත් හයිඩ්‍රොලික් පොම්ප රැගෙන යාම පහසු නොවන බැවින් ඔහු මෙලෙස ගේට්ටුව කඩා දමන්නට ඇත.

එක් හයිඩ්‍රොලික් පොම්පයක් ගලවා තවත් එකක් ගැලවීමට උත්සාහ දරා ඇතත්, ගැල වූ පොම්පයවත් ඔහුට රැගෙන යාමට ලැබී නොතිබිණි.

සිදුවීම වූ වටපිටාව හොඳින් නිරීක්ෂණය කිරීමේදී ඉතිරිව තිබූ සාධකවලට අනුව හෙළිවන තොරතුරු බොහෝය.

මුරකරු කාර්යාලය ඉදිරිපිට ඉස්තෝප්පුවේ පැදුරක් එලාගෙන නිදා සිට ඇත. අපරාධකරු අංගණයට ඇතුලු වන්නේ මධ්‍යම රාත්‍රියේදීය. මුරකරු ඔහු දකින්නේ ළඟටම පැමිණි පසුය. අපරාධකරු මුරකරු සමඟ පොර බදයි. මුරකරු අපරාධකරු කවුරුන්දැයි හඳුනා ගැනීමට උත්සාහයක යෙදේ. මුරකරුගේ මුහුණ කලිසමකින්, සරමකින් මෙන්ම ටී ෂර්ට් එකකින් ද ඔහු වසා දමන්නේ හඳුනා ගනිමින් කෑ ගසාවි යන හේතු මතය.

අපරාධකරු ඉන් නතර වන්නේ නැත. නිදි පැදුර අසල දී පහර දී ඊට මීටර් දහයක් පමණ දුරින් පිහිටි යකඩ කුලුණ අසලට ඇදගෙන ගොස් එම කණුවට තබා අත් පා ගැට ගසා දමයි. පොර බදද්දී මුරකරු හැඳ සිටි සරම ගැල වී යයි. සරම පැදුර මත තිබූ අතර ඒ අසලම රබර් සෙරෙප්පුවක් ද ගැල වී ඇත. මළ සිරුර තිබූ ස්ථානයත් පැදුර තිබූ ස්්ථානයත් අතර අනෙක් රබර් සෙරෙප්පුව වැටී ඇත. එම සෙරෙප්පුව අසල කැප් තොප්පියක් ද වැටී තිබිණි.

අපරාධ ස්ථානයට පැමිණි කුරුණෑගල අපරාධ නිල සුනඛ රොනී ඉව ඇල්ලීම සඳහා ලබා දුන්නේ ආගන්තුක කැප් තොප්පියයි. එය හොඳින් ඉව කළ රොනී ගමන් කළේ කඩා දමා තිබූ ගේට්ටුව අසලට පමණය.

ඒ අනුව වැටහෙන්නේ අපරාධකරු එතැන් සිට වාහනයකින් යන්නට ගොස් ඇති බවයි.

මුරකරුගේ දේහය පිළිබඳ පැවැති පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළි වූයේ මුහුණ තදින් ආවරණය කිරීම හේතුවෙන් හුස්ම සිර වී මිය ගිය බවයි. එලෙසම ඔහුගේ පපු ප්‍රදේශයටත්, හිසටත් පහර දුන් බවක් ද හෙළි විය. ඔහුගේ පපුවේ වම් හා දකුණු පස ඉළ ඇට දෙකක් කැඩි ගොස් තිබිණි. එලෙසම හිසෙහි ද මොටායුද පහරක සලකුණු දක්නට ලැබිණි. එනම් බිම වැටුණු මුරකරුගේ පපු ප්‍රදේශයට හා හිසට පයින් පහර දී ඇති බවත් නිරීක්ෂණය විය.

මෙලෙස ඝාතනය වූයේ කුරුණෑගල පොලිස් වසමේ තෝරයාය, තාරාම්පොළ ප්‍රදේ්ශයේ පදිංචිව සිටි පෙරමහසිංහ දුරයලාගේ සද්ධාතිස්ස නම් වූ හැටහය හැවිරිදි දෙදරු පියෙකි.

ඔහු ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් රියැදුරෙකි. මීට වසර කිහිපයකට පෙර සේවයෙන් විශ්‍රාම ගිය ඔහු ආයතන කිහිපයකම රියැදුරු රැකියාවේ නිරතව සිට ඇත. මීට මාස අටකට පමණ ඉහත දී ඔහු ඔහු මෙම වාහන අංගණයේ මුරකරු ලෙස රැකියාවට යන්නේ තවදුරටත් රියැදුරු රැකියාවේ නිරතවීම අපහසු නිසාය.

“එයා විශ්‍රාම ගත්තට පස්සේ තුල්හිරිය ගාමන්ට් එකේ බස් එකක වැඩ කළා. ඊට පස්සේ කොකාකෝලා එකේ ඩ්‍රයිවින් කළා. පස්සේ එයා කිව්වා දැන් මට වාහන එලවන්න අමාරුයි, ඇස් පේනවත් අඩුයි. අනික දැන් පාරේ තියෙන වාහන ගොඩත් එක්ක වැඩ කරන්න අමාරුයි කියලා ඩ්‍රයිිවින්වලින් අයින් වුණා”.

“ඔය වාහන කොම්පැණිය අයිති මහත්තයා කාලයක ඉඳලා අපේ පවුලම අඳුරනවා. මහත්තයා ජපානේ ඉන්නේ. පස්සේ මහත්තයා එයාට මුර රස්සාව දුන්නා. අපි මුලු පවුලටම මහත්තයාගේ ගෙදර ඉන්න ඉඩ දුන්නා. දුවයි, පුතයි දෙන්නා මහත්තයාගේ කඩේ වැඩ කරගෙන හිටියා”.

“මුර රස්සාව කරනවට මහත්තයා අපේ මහත්තයට හොඳ පඩියකුත් ගෙව්වා. මගේ මහත්තයා හොර බොරු වංචාවලට කැමති නැහැ. ඒවට විරුද්ධයි.

“මගේ මහත්තයා එතන රස්සාවට ගිහින් මාස අටක් විතර වෙනවා. ඒ කාලයේදී එතන වැඩ කරපු දෙන්නෙක් එතන බඩු හොරකම් කරන්න මෙයාගෙන් උදව් ඉල්ලලා තිබුණා”.

“මම මෙතන වැඩ කරලා පඩියක් ගන්නවා. ඒ නිසා මට මෙතන හොරකම් කරන්නවත්, ඒවට උදව් දෙන්නවත් ඕනෑ නෑ. මම මට ලැබෙන පඩියට අවංකව හොඳට වැඩ කරගෙන ඉන්නවා මිසක ඔය හොර වැඩවලට සම්බන්ධ වෙන්න ඕනෑ නෑ කියලා, මෙයා ඒ දෙන්නට කියලා තිබුණා”.

“පස්්සේ ඒ දෙන්නව එතන රස්සාවෙන් අයින් කරලා තිබුණා. එත් අපි දන්නේ නැහැ මේ අපරදේ කළේ ඒ අය ද කියලා. කවුරු කළත් මේ අහස පොළොව නොඋහුලන අපරාධයක්. කාටවත් වරදක් නොකරන මගේ මහත්තයා මරලා තියෙන්නේ දස වද දීලා. ඇයි අපරාධකාරයෝ එයාට එහෙම කළේ”.

බිරිය සෝමලතා හඬා වැටෙමින් එලෙස විස්තර පවසා සිටියාය.

සද්ධාතිස්ස ඝාතනය පිළිබඳ විමර්ශණයේදී පෙනී යන්නේ හොරකමේ පැමිණි අයකුගේ ක්‍රියාවක් ලෙසටය. හොරකමේ පැමිණි අයගේ අරමුණ වන්නට ඇත්තේ එකක් රුපියල් ලක්ෂ දෙකකට වඩා වටිනා හයිඩ්‍රොලික් පොම්ප කිහිපයක් ගලවා රැගෙන යාම විය යුතුය.

එහෙත් මේ හොරා අහම්බෙන් මෙම අංගණයට ඇතුලු වූ අයකු නොව අංගණය පිළිබඳ හොඳින් දන්නා අයකු බව පෙනී යයි. ඒ මොහු අංගණයේ කාර්යාල භූමියට ඇතුලුව තිබුණේ ෆෑන්ලයිට් එක ගලවා දමමිනි. ඔහුට ඒ පිළිබඳ වැටහීමක් තිබී ඇත.

කාර්යාලයට ඇතුලු වූ ඔහු සී. සී. ටී. වී. පද්ධතියේ ඩී. වී. ආර්. යන්ත්‍රය තැන්පත් කර තිබූ ස්ථානය හොඳින් දැන සිට ඇත. එහි වයර් සියල්ල ඉවත්කොට එය මිදුලට රැගෙන විත් අලු බවට පත්වන තුරු ගිනි තබා ඇත්තේ එය තිබුණා නම් මුරකරු මැරුවේ තමා බව අතටම අහුවන බව දැන සිටි නිසාය.

මෙම අපරාධකරු කාර්යාලයේ කළමනාකරුගේ මේස ලාච්චුව කඩා මුදල් සොයා ඇත. එහෙත් එහි මුදල් නොතිබුණ බැවින් ඊට යාබදව තිබූ යකඩ අල්මාරියේ ලාච්චුවේ මුදල් තිබූ නමුත් ඒ මුදල ද රුපියල් විසි දහසක් පමණ බවත් කළමනාකරු පොලීසියට පවසා තිබිණි.

කෙසේ වෙතත් හයිඩ්‍රොලික් පොම්ප සොරකමේ ආ අපරාධකරුට සිය ඉලක්කය සපුරා ගනීමට හැකි වී නැත. ඔහු එක් පොම්පයක් ගලවා තිබිණි. තවත් පොම්පයක් ගැලවීමට උත්සාහ ගෙන තිබිණි. එහෙත් ගැල වූ පොම්පයවත් ඔහුට රැගෙන යාමට අවකාශ ලැබී තිබුණේ නැත. අවසානයේ ඔහුට ඉතිරි වූයේ මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීම සහ හොරකමේ ගිය චෝදනා පමණි. ඒවා මුලු ජීවිත කාලයම හිරේ විලංගුවේ තැබීමට අවශ්‍ය මඟ පාදා දීමට හොඳටම සෑහේ.

කුරුණෑගල කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මහේෂ් සේනාරත්න, සහකාර පොලිස් අධිකාරි කසුන් ජයසේකර යන නිලධාරින්ගේ උපදෙස් මත පොතුහැර පොලීසියේ ස්ථානාධිපති ඒ. ඒ. එන්. පී. අධිකාරිගේ මෙහෙයවීමෙන් අපරාධ අංශයේ ස්ථානාධිපති ගාමිණී විමලසුරේන්ද්‍ර ඇතුලු කණ්ඩායමක් පරික්ෂණවල නිරතව සිටී.