බණ්ඩට වෙඩි තිබ්බේ ආමි අසංකද ?

බණ්ඩට වෙඩි තිබ්බේ ආමි අසංකද ?

බණ්ඩාට වෙඩි තැබීම සිදු කළ පුද්ගලයා ද හඳුනාගෙන ඇත. ‘ආමි අසංක’ යන අනවර්ථ නාමයෙන් හඳුන්වන ඒ පුද්ගලයා පිළිබඳ ද එම ඒකකය සියලු තොරතුරු හෙළි කරගෙන හමාරය. සී. සී. ටී. වී කැමරා දර්ශන ඔස්සේ ඔහුගේ ස්වරූපය ද හඳුනාගෙන ඇත. බණ්ඩා ඝතනයට ඔහු හා එක් වූ තිදෙනා ද ඔහු පිළිබඳ සියලු තොරතුරු හෙළි කර තිබේ. බණ්ඩාට වෙඩි තිබ්බේ “ආමි අසංක” යැයි මොවුහු පවසා ඇත.

එහෙත් ඔහු අත් අඩංගුවට ගැනීම අපහසු වී ඇත්තේ ඔහු නව තාක්ෂණයට ද පිටුපා සැඟව සිටින නිසාය.

බණ්ඩා යනු අපාධකාරයෙකි. අතුරුගිරිය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක අපරාධ කල්ලියේ ප්‍රබල සාමාජිකයෙකි. ඔහු අතුරුගිරිය නගර මධ්‍යයේ පිහිටි සැලෝන් සයොනාරා හි හිමිකාරියගේ ළඟම හිතවතෙකි. පෙම්වතෙකි. එහෙත් බණ්ඩා ඝාතනය වන්නේ ඇයගේ රූපලාවණ්‍යාගාරයේදීමය. ඒ ඇය බණ්ඩාගේ විරුද්ධවාදීන්ට ලබා දුන් තොරතුරු මත කළ සැලසුමකට අනුවය.

ඇය ඒ කිසිවක් තමා නොදන්නා බව පුන පුනා පැවසුව ද පරීක්ෂණ කණ්ඩායම බණ්ඩා ඝාතනයේ සියලු තොරතුරු හෙළිකරගෙන අවසානය.

‘සයොනාරා’ රූපලාවණ්‍යාගාරය ප්‍රමිතියකින් තොරව කරගෙන ගිය බව ද දැන් හෙළි වී ඇත. එලෙසම එහි කලක සිට නීති විරෝධී ක්‍රියා බොහොමයක් සිදු වූ බව ද කියයි.

ප්‍රමිතියකින් තොර බව කියන්නේ එහි නාන කාමරයක් නොවීමත්, ගැහැනු පිරිමි දෙපාර්ශ්වයටම එකම ස්ථානයකදී රූපලාවණ්‍ය සත්කාර කිරීමත් නිසාය.බණ්ඩා ඝාතනය වූ දිනයේ තරුණියකට ක්ලීනප් එකක් දමා තිබුණේ බණ්ඩා සිටි පුිටුව ආසන්නයේ තිබූ අනෙක් පුටුවේ හාන්සි කරවාය. සාමාන්‍යයෙන් ගැහැනු පිරිමි දෙපාර්ශ්වයටම සේවය සපයන රූපලාවණ්‍යගාරවල සේවයට ද කිහිප දෙනකු සිටින අතර ගැහැනු හා පිරිමින් සඳහා පාටිෂන් යොදා කොටස් වෙන් කර ඇත.

“ඔතෙන්ට එන්නේ එයගෙම ජාතිියේ කට්ටිය තමයි. ගෑනු පිරිමි එකට තියලා ෆේෂල් කරන තැනකට ලැජ්ජාව තියෙන ගැහැනියක් යන්නේ නෑනේ” තතු දත්තෝ පවසන්නේ එලෙසය.

එදා බණ්ඩා ඝාතනය වූ දිනට පසු දින ඇය මාධ්‍ය හමුවේ කළ ප්‍රකාශවල ගැබ්ව තිිබූ දේ දැන් අනාවරණය වී අවසානය. සිද්ධිය වූ දින සවස බණ්ඩාට පැක් එක දැමීමෙන් අනතුරුව ඇය සේවා දායිකාවකගේ මුහුණට ක්ලීනප් එකක් කර ඇත. ඒ අවස්ථාවේදී ඇය කිහිපවතාවක්ම ජල කරාමය අසලට ගිය බව ද පවසා සිටියාය.පොලිස් පරික්ෂණවලදී අනාවරණය වන්නේ එලෙස ඇය ජල කරාමය අසලට ගියේ කලුතර බන්ධනාගාරයේ සිටින බණ්ඩා ඝාතනයේ සැලසුම්කරුවන් ලබා දෙන දුරකථන ඇමතුම්වලට පිළිතුරු ලබාදීමට බවය.

බණ්ඩා ඝාතන පරික්ෂණවලදී හෙළි වන කරුණ වලට අනුව ඇය . . . රූපලාවණ්‍ය ශිල්පිනිය, කිසිම බියකින් සැකයකින් තොරව තම ආයතනය තුළදීම බණ්ඩාට වෙඩි තබා ඝාතනය කිරීමට ආධාර අනුබල ලබා දෙන්නේ මුදල් මුල් කරගෙනය.

ඇය මුදල් වංචා කිරීමේ චෝදනාවකට වරක් හිරේ විලංගුවේ වැටුණාය. ඒ අගරු චෙක්පත් ලබා දී මුදල් වංචා කළාය යන චෝදනාව යටතේය.

විදෙස් රුකියා සඳහා පුද්ගලයන් යවන බව කියමින් වරක් ඇය තවත් මුදල් වංචාවක් සඳහා එක් වූවාය. එම මුදල් වංචාවට ඇය යලිත් මහ උලුගෙදර යකඩ කූරු ගැන්නාය.

මෙලෙස මුදල් වංචා කොට දෙතුන් වතාවක් හිරේ විලංගුවේ වැටී ඇති ඇය මුදල්වලට කොපමණ ගිජු දැයි කාට වුව වැටහේ. ඇය බණ්ඩා ඝාතනයට සියලු සහාය ලබා දෙන්නට ඇත්තේ ද ලොකු මුදලක් අතට ලැබෙන නිසා විය යුතුය.

බණ්ඩා ඝාතනය සඳහා රණාලේ සමයං ඇයට රුපියල් ලක්ෂ අසූවක කොන්ත්‍රාත්තුවක් ලබා දුන් බව ද කියයි.

එම කතාවේ සත්‍ය අසත්‍යතාව හෙළි වී නැතත් ඇය රුපියල් ලක්ෂ හතලිහකට උගස් කර තිබූ ඉඩමක උගස ද මෑතකදී බේරාගත් බව තතු දත්තෝ පවසති. එහෙත් ඇය පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ දිගින් දිගටම කියා සිටියේ තමා බණ්ඩා ඝාතන සැලසුම ගැන කිසිම දෙයක් නොදන්නා බවයි.

පසුගිය නව වැනිදා මධ්‍යම රාත්‍රියේ ඇයගේ රූපලාවණ්‍යාගාරයට කිසියම් පිරිසක් විසින් ගිනි තබා විනාශ කර තිබිණි. එම ගිනි තැබීම සිදුකර තිබෙන්නේ පිටත සිට ඇතුළට පෙට්‍රල් විසි කිරීමෙන් අනතුරුවය. රූපලාවණ්‍යාගාරය ගිනි තැබීමට පෙර දිනක දී ඇයගේ සැමියා පැමිණ එහි තිබූ ගෑස් සිලින්ඩරයක් ඇතුළු බඩු භාණ්ඩ රැගෙන යන අයුරු අවට සිටි පිරිස් දැක තිබිණි. රූපලාවණ්‍යාගාරය ගිනි තබන්නේ ඉන් අනතුරුවය.

එම ගිනි තැබීමට වගකිව යුත්තේ බණ්ඩා අයත්ව සිටි ලඩියා කල්ලියේ සාමාජිකයන් බව ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අතුරුගිරිය පොලීසිය කියයි. ගිනි තැබීම සඳහා සිව් දෙනකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් පැමිණ ඇති බවට ද තොරතුරු හෙළි වී ඇත.

“සැලොන් සයොනාරා” ට ගිනි තැබූවන් සොයා අතුරුගිරිය පොලීසිය පරීක්ෂණවල නියැලී සිටින අතර බණ්ඩාගේ ඝාතකයා ලෙස හඳුනාගෙන සිටින “ආමි අසංක” සොයා මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය මෙහෙයුම් දියත් කර ඇත.