බ්ලැක් ඩාලියාගේ ඝාතකයා තවමත් නිදැල්ලේ

බ්ලැක් ඩාලියාගේ ඝාතකයා තවමත් නිදැල්ලේ

ශීතල දවස් වුවත් එදින උදෑසන

හොඳින් හිරු පායා තිබුණා. බෙටී පදිංචිව සිටියේ ලොස් ඇන්ජලීස් නුවර තට්ටු නිවාසවලින් සමන්විත ප්‍රදේශයකය. ඇය එදාත් සුපුරුදු ලෙසින් එළියට බැස්සේ ඇවිදීමට යෑමටයි. ඇය ඇවිද ආපසු ආවේ තරමක පාළු පළාතක් හරහා. ඒ පැත්තේ වැඩිපුර ගෙවල් හෝ ගොඩනැඟිලි තිබුණේ නැහැ. තණකොළ වැවුණු පාළු ඉඩමක් අයිනෙන් වැටුණු පාරක් දිගේ බෙටී ඇවිදගෙන ආවා. ඒ එනකොට පාළු ඉඩමේ තණ බිස්සේ දුටු දෙයින් ඇය භීතියට පත් වුණා.

වහා පොදු දුරකථනයක් සොයා ගිය බෙටී නිර්නාමිකව තමා දුටු දේ පොලිසියට දැනුම් දුන්නේ පුරවැසියකුගේ යුතුකමක් ඉටු කරමින්. ඒ දිනය 1947 ජනවාරි මස 15 වැනිදායි. බෙටී ගේ දුරකථන ඇමතුමත් සමඟ ලොස් ඇන්ජලීස් පොලිසිය එතැනට කඩා බිඳගෙන ආවා. එතැන වුයේ ශරීරය දෙකඩ කළ තරුණියකගේ මළ සිරුරක්. සිද්ධිය සැලවිමත් සමඟම මුළු මහත් ලොස් ඇන්ජලීස් පුරවරයම කැලඹීමට පත් වුණා.

එලෙස ඝාතනය කර ලොස් ඇන්ජලීස් නුවර පාළු තැනකට ගෙනැවිත් දමා තිබූ තරුණිය එලිසබත් ෂෝට් ලෙසින් පසුව පොලිසිය හඳුනා ගත්තා.

1925 දී මැසචුසෙන්්ට්ස් හි උපත ලද එලිසබත් කුඩා කළ හැඳින්වුණේ බෙත් ලෙසින්. ඒත් තරුණ වියට පත් වුණාම කවුරුත් තමාට බෙත් කියා කතා කරනවාට ඇය කැමති වුණා. ඒත් පසුව ඇය ප්‍රසිද්ධියට පත් වූයේ මේ එක නමකින්වත් නෙමෙයි වෙනස්ම නමකින්.

දෙමව්පියන්ගේ වෙන්වීමත් සමඟ බෙත් සිය නිවෙසින් පිට වෙන විට ඇයට වයස අවුරුදු 16යි. ඇගේ එකම ආශාව වුණේ කෙදිනක හෝ නිළියක වීමටයි. චිත්‍රපට නැරැඹීමත් ඇගේ එක් පුරුද්දක් වෙලා තිබුණා. වයසින් වැඩෙත්ම බෙත් කාගේත් සිත් ඇදගන්නා සුරූපී තරුණියක් වුණා. කා සමඟත් මිතුරුව හොඳින් කතාබහ කරන ඇය ආචාරශීලියි. එහෙත් ඇය කවදාවත් එක තැන වැඩි කලක් රැඳුණේ නැහැ.

කෙතරම් සුරූපී තරුණියක වුවත් ඇයට වූ එක් පුරුද්දක් වූයේ දිවා කාලයේ පුළුවන් තරම් නිදාගෙන රාත්‍රියේ රස්තියාදු ගැසීමයි.

මැසචුසෙන්ට්වලින් කැලිෆෝර්නියාව හරහා ෆ්ලොරිඩාවට ආ බෙත් එතැනින් ඉන්ඩියානාවලට විත් චිකාගෝ බලා ආවා. චිකාගෝවලින් දුම්රියක නැග්ග ඇය එවර නතර වූයේ ලොස් ඇන්ජලීස් නුවරයි. ඇගේ අන්තිම අවුරුදු 4 ඇය ගත කළේ එලෙසය. ඇය වැඩි කලක් එක තැනක නොරැඳෙන බව බෙත් ළඟින් ඇසුරු කළ කිහිප දෙනෙක් දැන සිටියා.

1946 අවුරුද්දේ ඔක්තෝබර් නොවැම්බර් මාසවල බෙත් නතරව සිටියේ හොලිවුඩ් පුරයේ චිත්‍රපට අධ්‍යක්ෂවරුන් ළඟින් ආශ්‍රය කළ පුද්ගලයකුගේ නිවසේ. ඔහුගේ නිවෙස බෙත් මෙන් තවත් සුරූපී තරුණියන් රැසක ගේ තාවකාලික නිවහනක් ලෙස ප්‍රසිද්ධව තිබුණා. කෙසේ හෝ වැඩි කලක් නොගොස් බෙත් එතැනින් ද නික්ම ගියා.

බෙත් ගේ මරණයත් සමඟ ප්‍රසිද්ධ වූ නම ඇයට පට බැඳුණේ ලොස් ඇන්ජලීස් නුවර ගත කළ කාලයේදීයි. බෙත්ට තිබුණේ ඝණ කළු පැහැති කෙස් කළඔක්. එසේම ඇය නිතර ඇන්දේ කළු පැහැ ඇඳුම්. “බ්ලූ ඩාලියා” නමින් චිත්‍රපටයක් ලොස් ඇන්ජලීස් නුවර සිනමාහල්වල ප්‍රදර්ශනය වුණෙත් මේ කාලයේදිමයි. නිතර කළු ඇඳුම් අඳින ඝණ කෙස් කළඹ සහිත බෙත් “බ්ලැක් ඩාලියා” බවට පත් වුණෙත් මෙම කාලයේදීයි. මෙතැන් සිට ඇගේ අකල් මරණය දක්වාම බෙත් ප්‍රසිද්ධ වුණේ “බ්ලැක් ඩාලියා” ලෙසිනුයි. බෙත් ගේ අන්තිමට ස්ථීර පදිංචි නිවහන ලෙස දී තිබූණේ චෙරෝකී හී මහල් නිවාසයක ලිපිනයක්. ඉන් පසු දෙසැම්බර් මාසයේ ඇය සැන් දියාගෝ බලා ආවා. එහිදී ඇයට හමු වූ මිතුරියක් සිය නිවෙසේ ඇය නතර කර ගත්තේ බෙත් ගැන ඇති වූ අනුකම්පාව නිසයි. එහෙත් ඇගේ රාත්‍රී ගමන් බිමන් නිසා වැඩි කලක් නොගොස් ඇයට එහෙන් පිට වීමට සිදු වුණා.

“බෙත් ඉතා හොඳ මිතුරියක්. ඇය සොල්දාදුවන්ට හරි කැමතියි. ඇගේ රාත්‍රී ගමන් බිමන් නිසා මගේ නිවෙසේ නතර කර ගැනීම අපහසු වුණා. ඒ නිසාම එයාට වෙන තැනක් සොයාගන්න කිව්වා”

බෙත්ට නවාතැන් දුන් මිතුරිය පසුව පැවසුවේ එලෙසිනි.

මේ අවදිය දෙවැනි ලෝක මහා යුද්ධය අවසන්ව සොල්දාදුවන් නිදහසේ වීදි සරන යුගයක්. සෑම තැනම පාහේ සොල්දාදුවන් දක්නට ලැබුණු අතර ඔවුන්ගේ අතේ එල්ලුණු සුරූපී තරුණියන් ද සිටියා. නිළියක වී ඉහළ යෑමට සිතූ බෙත්ට පිරිමි ඇසුර අඩුවක් නොවුණත් ඇය පි‍්‍රය කළේ සොල්දාදුවන්ටයි.රොබට් ට, බෙත් මුණ ගැසුණේ ජනවාරි මාසයේ දිනකයි. 25 හැවිරිදි ඔහු විවාහකයෙක්. ඒ කාලේ බෙත් නතරව සිටියේ සැන් දියාගෝවලයි. රාත්‍රියක බෙත් මුණගැසී ඇය මිතුරියගේ ගෙදර බැස්සවීමට ඔහු ඉදිරිපත් වුණා.

මිතුරිය සිය නිවෙසින් බෙත් ට පිටවීමට කියූ පසු රොබට් ලොස් ඇන්ජලීස් හි බිල්ට්මෝර් හෝටලයේ ඇය නතර කළා.බෙත් අන්තිමට පණ පිටින් දුටු දිනය වුණේ 1947 ජනවාරි 14 වැනිදායි. ඇය එදා කවුරු හෝ එනතෙක් බ්ල්ට්මෝර් හෝටලයේ ලොබියේ රැඳී සිටියා. එදායින් පසු බෙත් දකින්නට ලැබුණේ පසුවදා යි. ඒත් පණ පිටින් නොවෙයි.

“මං එදා හවස 6.30ට විතර බෙත් හෝටලයට ඇරලවා සැන්දියාගෝවල මගේ නිවෙසට ගියා. ඇය ඇගේ සොහොයුරිය සමඟ පදිංචියට යන්නයි හිටියේ. මං එයාව ඇරලවා ගියාට පසු එයා කොහේ ගියා දැයි මං දන්නේ නෑ”

රොබට් පොලිසියේ ප්‍රශ්න කිරීම් හමුවේ පැවසුවා.

බෙත් කුරිරු වද හිංසා පමුණුවා ඝාතනය කර සිරුර ඉණෙන් දෙකඩ කර රුධිරය වහනය වීම් නතර වූ පසු අදාළ ස්ථානයට ගෙනවිත් දමා තිබූ බව පරීක්ෂණවලදී අනාවරණය වුණා.

බෙත් ගේ මරණය මුළු මහත් ලොස් ඇන්ජලීස් නුවරම කැළඹීමට පත් කළා. ඇගේ මරණයත් සමඟ ඇයට පට බැඳුණු නම සමඟ පුවත්පත් පුවත වාර්තා කළේ මෙලෙසිනි.

“බ්ලැක් ඩාලියා මරා දමයි”, “බ්ලැක් ඩාලියා ගේ මරණය අබිරහසක්”, “බ්ලැක් ඩාලියා මිනීමරුවා තවමත් නිදැල්ලේ”ලොස් ඇන්ජලීස් පොලිසිය ඇගේ ඝාතකයන් සොයා පරික්ෂණ කළත් කිසිම තොරතුරක් සොයා ගත නොහැකි වුණා.

ඇගේ සිරුර කපා කොටා විකෘති කර තිබූ අන්දමට කුමන හේතුවක් නිසා ඇය ඝාතනය කළාදැයි වත් සොයා ගැනීමට පොලිසියට බැරි වුණා. දෙසීයකට අධික පිරිසක ගෙන් ලොස් ඇන්ජලීස් පොලිසිය ප්‍රශ්න කිරීම් කළත්, කිසිම හෝඩුවාවක් ලැබුණේ නැහැ.

“බ්ලැක් ඩාලියා” ඝාතනය ගැන රට පුරා වඩාත් ප්‍රසිද්ධ වූයේ ඇය ගතකළ ජීවිතය නිසයි. ඒ ගැන කටකතා සහ මතවාද රට පුරා පැතිර ගියේ සුළි කුණාටුවක් මෙන්ය.

බෙත් මිය ගියේ අවුුරුදු 22ක් තරම් වූ ඉතා අඩු වයසකින්. ලොස් ඇන්ජලීස් පොලිසිය රහස් පරීක්ෂකයන් යොදවා කෙතරම් පරික්ෂණ කළත් මරණය ගැන කිසිම සාක්කියක්වත් නිවැරැදි තොරතුරක්වත් එළියට ආවේ නැහැ. දින සති මාස ගණන් ගෙවුණේ ඝාතනය ගැන ජනතාව තව තවත් කළඹවමින්.

ලොස් ඇන්ජලීස් පුවත්පත් දිගින් දිගටම ඇගේ ඝාතනය කළවුන් සොයා නොගැනීම ගැනත් ඇගේ ඝාතනය ගැනත් තොරතුරු පළ කළා. බොහෝවිට ඒ පුවත් මඟින් ලොස් ඇන්ජලීස් පොලිසියේ අදක්ෂකම ගැන චෝදනා එල්ල වුණා.

මේ අතරවාරයේ “බ්ලැක් ඩාලියා” ගේ මරණය කළේ තමන් යැයි කියමින් පුද්ගලයින් 50ක් පමණ පොලිසියට ඉදිරිපත් වුණා. ඇතැමුන් එසේ කර ඇත්තේ ප්‍රසිද්ධිය තකා බව පොලිසිය පසුව හෙළිකර ගත්තා. මෙලෙස ඇගේ මරණය සිදු කළා යැයි ඉදිරිපත් වූ ඇතැම් අය අඩු වශයෙන් ඇගේ සේයාරුවක්වත් හඳුනා නොගත් අයයි.

දින සති මාස ගණන් ගෙවී ගොස් ඇගේ ඝාතනය සිදු වී වසර ගණනක් ගතවී. එහෙත් ලොස් ඇන්ජලීස් පොලිසියට නියම ඝාතකයා සොයා ගැනීමට නොහැකි වුණා. අඩු වශයෙන් හෝඩුවාවක්වත් ලැබුණේ නැහැ. මේ අතරවාරයේ කිහිපදෙනෙක් ඝාතකයා ගැන තොරතුරු දෙන්න ඉදිරිපත් වුණා.

ලොස් ඇන්ජලීස් නුවර මත්පැන් හලක සේවකයෙක් ඉදිරිපත් වී ඝාතකයන් දෙදෙනෙකු ගැන තොරතුරු කිව්වා. සොයා බලද්දී ඒ දෙදෙනා රහස් පරීක්ෂකයන්. ඔවුන් පෙරදා රැයේ “බ්ලැක් ඩාලියා” ඝාතන සිද්ධිය ගැන කතා බහ කරමින් මත්පැන් බිවූ අවන්හලේ සේවකයා ඔවුන් වරදවා වටහාගෙන තිබුණා. තවත් කාන්තාවක් අපූරු යෝජනාවක් කරමින් බ්ලැක් ඩාලියා ගේ මිනියේ අතක බිත්තරයක් තබා මිහිදන් කළහොත් සතියකින් ඝාතකයා හෙළි වන්නේ යැයි “කෙම් ක්‍රමයක්” ගැන තොරතුරු පැවසුවා. තවත් ජෝ‍යාතිෂඥයෙක් ඝාතනය සිදුවූ දිනය හා වෙලාව හරියටම කිව්වොත් ඝාතකයා කිව හැකි යැයි පවසා තිබුණා. තවත් අයෙක් බ්ලැක් ඩාලියාගේ දකුණු ඇස් බෝලය ඉල්ලා තිබුණේ ද නිශ්චිතව ම ඝාතකයා ගැන පැවසීමටයි. තවත් කාන්තාවක් ඝාතකයා ගැන තොරතුරු කීමට මුදලක් ඉල්ලා සිටියා.මේ අයගෙන් වැඩි දෙනෙකු මනෝ වෛද්‍යවරුන් වෙත යොමු කරන්නත් පොලිසිය අමතක කළේ නැහැ.

“බ්ලැක් ඩාලියා” ඝාතනය සිදු වූ වසරින් වසර ගෙවි යද්දී ඒ අළලා පොත් ගණනාවක් ලියැවුණා. “බ්ලැක් ඩාලියා” නමින් චිත්‍රපට රැසක් ද නිපදවුණා. ජෝර්ජ් ක්නෝටන් නමැත්තා ද බෙත් සමීපව ඇසුරු කළ අයෙක්. ජෝර්ජ්ගේ දියණිය “බ්ලැක් ඩාලියා” ගැන පොතක් ලියමින් එය නම් කර තිබුණේ “බ්ලැක් ඩාලියාගේ ඝාතකයා මගේ පියා” යනුවෙනි.

ලොස් ඇන්ජලීස් පොලිස් ඉතිහාසයේ ඉතාම ගැටලු සහගත මෙන්ම මෙතෙක් නොවිසඳුණු මනුෂ්‍ය ඝාතනය ලෙස වාර්තා වන්නේ බ්ලැක් ඩාලියා ඝාතනයයි. එපමණක් නොව එදිනෙදා කොතෙක් මරණ හෝ ඝාතන හෝ සිදු වුවද ඝාතනයෙන් වසර 50ක් ගතවනතුරුත් සමාජයේ කතා බහට ලක් වූ එකම ඝාතන සිද්ධිය ලෙස ද මෙය වාර්තා වෙනවා.

පරික්ෂකයන් ඝාතකයා සොයා වසර ගණනාවක් ගියත් මිනීමරුවන් නීතියේ රැහැනට හසුකර ගැනිමට නොහැකි වී තියෙනවා. ඒ නිසා ලොස් ඇන්ජලීස් පොලිස් පරික්ෂණ ඉතිහාසයට කළු පැල්ලමක් එක් කළ මනුෂ්‍ය ඝාතනය ලෙස ද මෙය ඉතිහාස ගත වෙනවා.