පොඩි සාගරගේ මස්සිනාත් මිනීමැරුමකට මාට්ටු

පොඩි සාගරගේ මස්සිනාත් මිනීමැරුමකට මාට්ටු

පාතාල නායක පොඩි සාගරගේ මස්සිනා කෙනෙකු වන "නිකවැරටියේ අබේ" වෙඩිතබා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමේ වරදට කොටවෙහෙර පොලීසිය මඟින් පසුගිය දා අත්අඩංගුවට ගත්තේය.මින් පෙර කිසිම බල අපරාධයක් වෙනුවෙන් අත්අඩංගුවට පත් වී නොතිබූ “අබේ” රැකියාව ලෙස මේසන් වැඩ කළ අයෙකි. සැකකාර අබේ පොලිස් අත්අඩංගුවට පත් වූයේ ඉකුත් පොහෝදා දහවලේ තවත් මේසන්බාස්වරයකු වූ ඔහුගේ මිතුරකුට වෙඩි තබා මරා දැමීම හේතුවෙනි. රුපියල් හාරදහසක ගනුදෙනුවක් පිළිබඳ මේ දෙදෙනා අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් මිතුරාගේ මරණය සිදු වී තිබේ.

සැකකාර අබේ තැබූ වෙඩිල්ලක් හිසට වැදී එතැනම මැරී වැටී තිබුණේ ඔහුගේ මිතුරකු වන මද්දුමගේ ජානක පි‍්‍රයන්ත හෙවත් ජානක නැමැති අයෙකි. ඔහුද මේසන්බාස් කෙනෙකි. කලක් තිස්සේ එකට එකම තැන මේසන් වැඩවල යෙදුණු අබේ සහ ජානක වෛරක්කාරයන් වී ඇත්තේ මීට මසකට පමණ පෙරදී කොබෙයි ගනේ ප්‍රදේශයේ නිවෙසක අලුත්වැඩියා කටයුත්තක් කිරීමෙන් පසුවය.

දෙදෙනා එකට එක් වී කරගෙන ගිය ඒ ඉදිකිරීම අතරමැද නැවතීමෙන් පසුව ඒ කටයුත්තෙන් මඳකට ඉවත්ව තිබෙන අබේ එහි ඉතිරි කොටස කරගෙන යාමට බාර කර ඇත්තේ ජානකටය. ජානක ඉන්පසු තනිව නිමකළ ඒ රාජකාරියට අදාළ මුළු මුදල තනිවම බුක්ති විඳිම හේතුවෙන් අබේ ඔහු සමඟ බහින් බස් වී ඇත. තමන්ට අයිති කොටස ජානකගෙන් ඉල්ලා සිටි විටදී දෙදෙනා අතර ඇති වූ බහින්බස් වීම උග්‍ර වී තිබේ.

“මං කාලෙක ඉඳලා මට ලැබෙන්න තියෙන සල්ලි ඉල්ලුවා. ඒත් මං කතා කළාම ජානක මගේ සල්ලි දුන්නේ නෑ. පුළුවන් නම් ගනින් කියලා ජානක මට තර්ජනය කළා.”

පසුගිය ටිකේ ජානක කොළඹ වැඩකට ගිහින් හිටියේ. ඒත් හිටිහැටියේම 10 වැනිදා ජානක මට කතා කරලා කිව්වා මං උඹලෑ ගෙවල් ළඟ ඉන්නේ එළියට වරෙන් කියලා. මං ඒ වෙද්දි මගේ දුවත් එක්ක මහව අපේ නෑදෑ ගෙදරකට ගිහින් හිටියේ. ජානක කළ තර්ජනය අහලා අපිට අනතුරක් කරයි කියලා බයවෙලා ඊට ටික කාලෙකට කලින් මට තියාගන්න කියලා දීලා තිබිච්ච තුවක්කුව මම අතට ගත්තා. මං ඒක අපේ වත්තේ වැට ළඟ හංගලා තිබුණේ. එදා උදේ ජානක නිහාල් කියන අපේ ගමේ කෙනෙකුටත් කොටලා තිබිච්ච නිසා ඒ වෙලාවෙදිත් කෑකෝ ගගහ හිටිය ජානක ළඟට නිරායුධව යන්න මං බය වුණා.”

"ඒත් පස්සෙ මං තුවක්කුවත් අතට අරන් ජානක කෑ ගහන සද්දේ ඇහිච්ච පැත්තට ගියා. ඒ යද්දී ජානක අතේ ලොකු වක් පිහියක් තියෙනවා මං දැක්කා. ජානක ඒකත් උරුක් කරන් මගේ පැත්තට එද්දී මං පණ බයට මගේ අතේ තිබ්බ තුවක්කුවේ කොකා ගැස්සුවා. වෙඩිල්ල වැදිච්ච ජානක එතැනම බිම වැටුණා. අතේ තිබිච්ච වක් පිහියත් එතැනම බිම වැටුණා.”

"මං ඒත් එක්කම ගෙදර දිව්වා. ගෙදර ගිහින් බලද්දී කවුරුත් හිටියේ නෑ. ඊට පස්සේ මට හිතුණා ගිහින් පොලීසියට බාර වෙනවා කියලා. ඒ වෙද්දී තමයි සර්ලාට මාව මුණ ගැහුණේ.” අත්අඩංගුවට පත් වූ සැකකාර අබේ පොලීසිය හමුවේ පාපොච්චාරණ කළේ එවැන්නකි.

ෂොට් ගන් එකට අමතරව අපරාධ ස්ථානයේ වැටී තිබූ තියුණු ආයුධයක් ද සමඟ අධිකරණයට ඉදිරිපත් කළ සැකකාර අබේ බන්ධනාගාර ගත කෙරිණි. සැකකාර අබේගේ ඥාති දියණියකගේ උපන් දින සාදයකට ද තවත් විවිධ අවස්ථාවලට ද වෙඩි කා මිය යන්නට කලින් පොඩි සාගර නිතර නිතර ආගිය අවස්ථා පිළිබඳවත් පොලීසියට තොරතුරු ලැබී තිබේ.

ඒ කෙසේවෙතත් මියගිය ජානක සහ සැකකාර අබේ විරසක වන්නට ළඟින් ඇසුරු කළ මිතුරෝය. ජානක තමන්ට දුන් බව කියන ගිනි අවිය පරෙස්සමට තබාගත් බවක් සැකකාර අබේ කියන නමුත් ඒ දෙදෙනා එකට දඩයමේ ගිය බවට තොරතුරුත් නිකවැරටියේ සිරිසෙතගම අවටින් ඇසෙන්නට තිබේ.

මියගිය ජානකත් සැකකාර අබේත් වෙනත් බල අපාරාධවල නිරතව සිටි බවට පොලීසියට මෙතෙක් කිසිම සාක්ෂියක් ලැබී නැත. එසේම මියගිය ජානක මේසන් වැඩ කිරීමෙන් උපයාගත් දෙයින් ළාබාල දරු දෙදෙනා ද රැක ගනිමින් කුඩා නිවෙසක ජීවත් වූ අයකු බව අපට දැනගත හැකිවිය. ඒ මිසක ඔහුට අමතර ආදායම් වශයෙන් අයථා අන්දමින් ලැබුණු කිසිම ආදායමක් නොවූ බවද කියයි. අබේ සම්බන්ධයෙන් පොලීසිය වෙනමම විමර්ශනයක් පවත්වමින් සිටින හෙයින් එහි ඇත්ත නැත්ත ඉදිරියේදී හෙළිවනු ඇත. ඒ හැරෙන්නට නිවෙස ඉදිරිපිටදී වෙඩි තබා මරා දමා තිබූ ජානකගේ ඝාතනයට තවත් කිහිප දෙනෙකුගේ සම්බන්ධ කම් තිබූ බවට සිරිසෙතගම අවට සමහර ගම්මු සැක කළත් පොලිස් විමර්ශනවලදී එවැන්නක් මේ වනවිට තහවුරු වී නැත.

කුලියාපිටිය භාර පොලිස් අධිකාරි සංජීව බණ්ඩාරගේ අධීක්ෂණය යටතේ කොටවෙහෙර භාර සහකාර පොලිස් අධිකාරි හේරත් මහතාගේ උපදෙස් මත කොටවෙහෙර පොලිසියේ ස්ථානාධිපති අතුල කරුණාපාල ප්‍රමුඛ සේනානායකපුර පොලිසියෛ් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති රාජපක්ෂ, නිකවැරටිය පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ උප පරීක්ෂක දිසානායක සමඟ කොටවෙහෙර පොලිස් ස්ථානයේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති හේරත් බණ්ඩාර, සැරයන්වරු වන 19626 විජේකෝන්, 55071 විමලධර්ම හා කොස්තාපල් 33511 රත්නායක ආදීහු මේ පිළිබඳ වැඩිදුර විමර්ශන පවත්වමින් සිටිති.

පොලිස් පරීක්ෂණ ඇසුරින් ලිපිය සකස් විය.