දරු දුකෙන් උමතුවෙලා ඔබ මැරුණා

දරු දුකෙන් උමතුවෙලා ඔබ මැරුණා

අපට පෙනෙන මානයේ පවතින දේවල් හෙවත් අපේ පංචේන්ද්‍රියයනට ගෝචර වන දේවල් බොහෝය. එහෙත් අපට නොපෙනෙන මානයේ ඉන්ද්‍රිය ගෝචර නොවන්නාවූ ලෝකයේ ක්‍රියාකාරකම් ඊටත් වැඩිය. සොබා දහමේ ක්‍රියාකාරීත්වයන් මෙන්ම අපේ පියවි ඇසට නොපෙනෙන සත්ත්ව පුද්ගල කොට්ඨාශයන්ගේ ක්‍රියාකාරීත්වයන් ද බොහෝය. ඒ සෑම සත්ත්වයෙක්ම තණ්හාව උපාදාන කොට ගෙන දීර්ඝ වූ සංසාර ගමනක යෙදේ. සත්ත්වයෝ මේ සංසාර ගමනේදී වැඩි හරියක්ම නවාතැන් ගෙන දුක් විඳින්නේ සතර අපායේය. ඊට හේතුව ලෝභය, ද්වේෂය හා මෝහයයි. එයිනුත් ප්‍රධාන වන්නේ මෝහයයි. මෝහය, මිත්‍යා, දෘෂ්ටිය,අවිද්‍යාව, ඇත්ත ඇති සැටියෙන් නොදැකීම, මෝඩකම ආදී නම්වලින් පෙනී සිටී. ඇත්තටම මිනිසා යම් දෙයක ඇත්ත ඇති සැටියෙන්ම දන්නවා නම් එයට ලෝභ නොකරයි. ද්වේෂ නොකරයි. කිසා ගෝතමිය තම දරුවා මළ සොවින් උමතු වූවාය. දරුවා ජිවත් කරවන්නට නැවත පණ ගන්වන්නට දරුවාගේ මළ සිරුර වඩාගෙන තැන තැන දුවන්නට වූවාය. ඒ මවකගේ දාරක පේ‍්‍රමයයි. එහෙත් මරණයට තැනක්,වේලාවක්, වයසක් නැති බව ඇය දැන සිටියේ නැත. ඒ දරුවාට නැවත පණ ලබා දෙන්නට නම් කෙනෙකු නොමළ ගෙයකින් අබ මිටක් සොයා ගෙන එන්නැයි බුදුරජාණන් වහන්සේ ඇයට වදාළ සේක. එසේ අබ සොයන්නට ගිය ගමනේදී මරණයට තැනක්, වේලාවක්, වයසක් නැති බවත් කාටත් මරණය නිත්‍ය බවත් කිසා ගෝතමී වටහා ගත්තාය. අදත් එවන් අවබෝධයක් නැති අය නැතුවාම නොවේ.

කැළණියේ පදිංචි වසන්තා රජයේ කාර්යාලයක සේවය කරන ලිපිකාරිණියකි. තිස්තුන් හැවිරිදි ඇයට තුන් හැවිරිදි පිරිමි දරුවෙකු සිටී. ඇගේ සැමියා ධනංජය ග්‍රමා නිලධාරිවරයෙකි. දැනට මාස හතරක පමණ කාලයක සිට වසන්තතාගේ හැසිරීම් රටාව වෙනස් වී ඇත. කොණ්ඩය කඩා විසුරුවාගෙන සිටින ඇය තුන් හැවිරිදි දරුවා සිඟිත්තකු මෙන් බදාගෙන හුරතල් කරයි. රාත්‍රියට දරුවාත් මවත් දෙදෙනාම හිනෙන් බියට පත්ව කෑ ගසා ගෙන අවදි වෙති. දරුවා සවස් කාලයේ සෙල්ලම් කරමින් සිටින අතර හිටි හැටියේ අත දිගුකොට “අන්න අතන ඇන්ටි කෙනෙක් බලාගෙන ඉන්නවා” යි කියයි.

ධනංජය මේ නිසා වසන්තාට මනෝ වෛද්‍ය ප්‍රතිකාර ලබා දුන්නත් එයින් කිසිදු වෙනසක් සිදු වූයේ නැත. අමනුෂ්‍ය දෝෂ්‍යක් ඇතැයි ඇදුරන් ලවා වත් පිළිවෙත් කළත් ඒවායෙන් ද කිසිදු සහනයක් නොවීය.

අවසානයේ ධනංජය ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය කරා බිරිඳත් දරුවාත් කැඳවාගෙන ආවේය. එහිදී ආධ්‍යාත්මීය උපදේශකවරයා මුණගැසී ඔවුන්ට එළඹ ඇති තත්ත්වය පැහැදිලි කළේය.

මූලික පරීක්ෂණයේදීම වසන්තාටත් දරුවාටත් අමනුෂ්‍ය බලපෑමක් ඇතැයි අනාවරණය වූයෙන් දින විසි එකක් ගමේ පන්සලේ දී බෝධි පූජා පවත්වා නැවත එන්නැයි ගවේෂකවරයා ඔවුනට උපදෙස් දුන්නේය.

බෝධි පූජා අවසන් කොට පැමිණි දිනයේ වසන්තා දිෂ්ටි ගැන් වූ විට භූතාත්මයක් ආවිශ්ට වී කතා කරන්නට වූවාය. ගවේෂකවරයා භූතාත්මයෙන් ප්‍රශ්න කරන්නට විය.

“කව්ද මේ ශරීරයට ඇතුල්වෙලා ඉන්නේ?”

“මෙයා වගේම ගෑනියෙක් තමයි මමත්”

පේ‍්‍රතිය කීවාය.

“මොකක්ද තමන්ගේ නම”

“නම මතක නෑ”

“ඇයි මතක නැත්තේ?”

“වේදනාව මිසක් වෙන කිසි දෙයක් හිතට එන්නේ නෑ”

“මොකක්ද ඔබට තියෙන වේදනාව“

“දරු දුක”

“මොකක්ද ඔබේ දරු දුක”

ගවේෂකවරයා ඇසීය.

“මහත්තයා මගේ දරුවා මැරුණා. මගේ රත්තරන් පුතා මැරුණා. ඒ දුක දරුණුවට ආවාම මගේ කල්පනාව නැතුව ගියා. මගේ පුතාවම තමයි මතක. පුතාවම විතරයි කල්පනාවට එන්නේ. මම මගේ පුතා හොය හොයා ඇවිද්දා. අවුරුදු ගණනාවක් පුතා හෙව්වා. අන්තිමට මට මගේ පුතා මුණ ගැහුණා.”

“ඒ කොහේදි ද?”

“පාක් එකේදි. මේ වසන්තා මගේ පුතා එක්ක පාක් එකේ සෙල්ලම් කර කර හිටියා. මට පුතාගෙ ඇඟට රිංගන්න බැරුව ගියා. ඉතින් මම වසන්තාගේ ඇඟට රිංගුවා. වසන්තාගේ ඇඟේ ඉඳගෙන.දැන් මම මගේ පුතා එක්ක සෙල්ලම් කරනවා. මම පුතාව හුරතල් කරනවා. ”

“ඔබට වැරදිලා. ඔය ඔබේ පුතා නොවෙයි. ඔය වසන්තාගේ පුතා”

“නෑ.... නෑ.... මේ මගේ පුතාමයි. මහත්තයා දන්නේ කොහොමද? මමනෙ මගේ පුතා අඳුනන්නේ.”

“ඔය ඉන්නේ වසන්තාගේ පුතා”

“ නෑ..... නෑ.... මේ මගේ පුතාමයි”

“ඔබ ඔබේ පුතා අඳුනනවාද?”

“ඔව්”

“හරි මේ පුතා ඔබව හඳුනනවාද?”

“ම්.... ම්.... ම්....” පේ‍්‍රතිය නිරුත්තරය.

“ම්... ම්.... කියලා හරියන්නේ නෑ. මේ පුතා ඔබට අම්මේ කියනවාද? ඇත්ත කියන්න. ඔබව හඳුනනවා නම් ඔබ දැක්ක ගමන් පුතා ඔබට අම්මේ කියන්න ඕන”

ඒත් ප්‍රේතිය නිරුත්තරය.

“පුතා ඔබ දැක්කාම අන්න ඇන්ටි කෙනෙක් කියලා තමයි කියන්නේ”

“ම්.... ම්.... ඔව් මහත්තයා”

“පුතා අම්මට ඇන්ටි කියනවාද?”

ගවේෂකවරයා පේ‍්‍රතියගෙන් විමසීය.

“ඔබ ඔබේ දරු දුක නිසා උමතු වෙලා. ඒ උමතුවෙන්ම මැරිලා. කිසා ගෝතමී වගේ දරු දුකෙන් උමතු වෙලා ඔබ මැරුණා. ඒ චිත්ත සන්තානයෙන්ම ඔබ පේ‍්‍රතියක් වෙලා ඒ දැඩි දරු දුක. මතකය, උමතුව ක්‍රියාත්මකයි. දැන් ඔබ කීවා ඔබේ දරුවා මැරුණා. දරුවා හොය හොයා ඔබ අවුරුදු ගණනක් ඇවිද්දා. මැරුණු දරුවා සොහොනේ වැළලුවා. දැන් ඒ පුතාත් මැරිලා. අම්මත් මැරිලා පේ‍්‍රතියක් වෙලා තමන්ගේ පුතා වගේ හැඩරුව තියෙන දරුවෙකුට රැවටිලා. ඔබ වගේම මේ වසන්තාත් ධනංජයත් තමන්ගේ දරුවාට ආදරෙයි. ඔබ දැන් පළමුවෙන්ම පියවි සිහියට එන්න. ඇත්ත පිළිගන්න. ඔබේ පුතා හිටියා නම් දැන් ලොකු ළමයෙක්. මේ දරුවා තවම තුන් හැවිරිදි ළමයෙක්. ඇත්ත ඒකයි. ඇත්ත පිළිගන්න.”

“අනේ මහත්තයා මට මේ මොකවත් තේරෙන්නෙ නෑ”

“මේ පුතාගෙ අම්මා වසන්තා. ඔබට මේ දරුවා කියන්නේ ඇන්ටි කියලා. අම්මා කියන්නේ වසන්තාට. මේ දරුවාට හිරිහැර නොකර කරුණාකර ඉවත් වෙන්න. ඔබ ඔබේ දරුවා හෙයාගෙන යන්න. එයාත් සංසාරෙ ඇවිදිනවා ඇති”

“මම කොහොමද මගේ දරුවා හොයා ගන්නේ. මට මගේ පුතා ඕනෑ”

“මම මේ අයට තවත් දින දහ හතරක් බෝධි පූජා නියම කරනවා. ඔබත් මේ අය සමඟ බෝධීන් වහන්සේ ළඟට යන්න. එතැන නතර වෙන්න. තවත් අය එතැන පින් දහම් කරාවි. ඔබ ඒ අයගෙ පින් දහම්වලටත් අත හිත දී සාදු කියා දායක වෙන්න. කාලයක් ඒ වගේ පින් දහම්වල යෙදෙන කොට ඔබ පේ‍්‍රතාත්මයෙන් මිදේවි. ඊට පස්සෙ දිව්‍යංගනාවක් වෙන්න හිතන්න. දිව්‍ය ලෝකයකම හිත බඳින්න ඔබට ඉහළට යන්න පුළුවන් වේවි.”

“හොඳයි මහත්තයා මම එහෙම කරන්නම්”

ධනංජයටත් වසන්තාටත් දරුවාටත් තවත් දින දහ හතරක් බෝධි පූජා නියම කළ ගවේෂකවරයා ප්‍රේතියට ද ඒ බෝධි පූජාවලට යන්නටැයි නියම කළේය. බෝධි පූජා ආරම්භ කර දෙවැනි දිනයේ සිට නිවසේ රාති‍්‍රයට ආරක්ෂක පිරිත් කීපයක් සජ්ඣායනා කර සුවඳ දුම් අල්ලන්නට ද ගවේෂකවරයා නියම කළේය.

බෝධි පූජා අවසන් වනවිට වසන්තා සුවපත්ව සිටියාය. පේ‍්‍රතිය ඔවුන් සමඟ යළි පැමිණියේ නැත.