"මේ පිස්තෝලේ මට දුන්නේ පොඩි ලසීගේ තාත්තා"

"මේ පිස්තෝලේ මට දුන්නේ පොඩි ලසීගේ තාත්තා"

පොලිස් කණ්ඩායම ඔත්තුකරු කී ස්ථානයට යන විට රේල් පාර අසල පුද්ගලයකු පාර දෙපස බලමින් සිටිනු නිරීක්ෂණය විය. සිවිල් ඇඳුමින් සැරසී සිටි පොලිස් කණ්ඩායම ගිනි අවි ඔහු වෙත මානමින් වටකර ගත්තේ ඔහුට කිසිවක් කිරීමට ඉඩ නොතබමිනි.

දෑත් එක්කොට මාංචු දමා ඔහු පරීක්ෂා කිරීමට පොලිස් කණ්ඩායම වගබලා ගත්තේය. සිරුර පරීක්ෂාවේදී ඔහුගේ යටිකය ප්‍රදේ්ශයේ ආගන්තුක යමක් තිබෙනු දැනිණි.

යට කලිසමේ සඟවා තිබූ එය මයික්‍රෝ පිස්තෝලයකි. ඉතාම කුඩා තනි අතේ ගුලි කරගෙන යා හැකි අන්දමේ මයික්‍රෝ පිස්තෝලයකි.

“මේක තමුන්ට ලැබුණේ කොහොමද” පොලීසිය ඒ මොහොතේම එම ගිනි අවිය ගැන ප්‍රශ්න කරන්නට විය.

“ඕක ඒ දවස්වල ලසීලගෙ තාත්තා වසන්ත (පැත්තා) ගෙන් ලැබුණේ.

“පැත්තා” ඝාතනය වී බොහෝ කල්ය. එහෙත් ඔහු දරු පරපුරට ලබා දී ගිය ගිනි අවි බොහෝය. ඔහුගේම පුත් ‘පොඩි ලසී’ සියතින් කළ පළමු ඝාතනය සඳහා පාවිච්චි කළේ ද පියාගෙන් ලද දායාදයකි. ඒ පියා සතුව තිබී පසුව පොඩි ලසීට උරුම වූ ත්‍රී එයිට් අවියකිනි.

නවීන මයික්‍රෝ පිස්තෝලය සමඟ අත් අඩංගුවට පත් වූ ඉමේෂ් ප්‍රියංකර පොඩි ලසීගේ ලොකු අම්මාගේ පුතාය. ඔහුට බාප්පා (පැත්තා)ගේ දේපල වලින් ලැබී තිබුණේ මේ මයික්‍රෝ පිස්තෝලයයි.

පොලීසිය ඉරෝෂ් ප්‍රියංකර සොයමින් සිටියේ අම්බලන්ගොඩ, ඉඩම්තොට වෙළෙඳසලකදී එකම පවුලේ තිදෙනකු (මව, පියා සහ පුතා) වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙනි.

එම ත්‍රිත්ව ඝාතනයට සැකපිට පොලීසිය මුලින්ම අත් අඩංගුවට ගත්තේ ඝාතනය වූ ඉන්දිකගේ මස්සිනා වන රංජිත්ය. ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලින් හා ජංගම දුරකථන දත්ත ඔස්සේ කළ පරීක්ෂණවලදී හෙළි වූ තොරතුරුවලට අනුව අරුමාහන්දි ජනිත් මධුශංඛ ද සිල්වා නොහෙත් පොඩි ලසී, උදාර සම්පත්, අගම්පොඩි චතුර කුමාර නොහොත් කඩ්ඩා, ප්‍රියන් මාලිංග නොහොත් ලොක්කා, සඳරුවන් නොහොත් රත්තරං අවස්ථා කිහිපයකදී පොලීසියට කොටු වුහ.

ඉමේෂ් ප්‍රියංකර පොලීසියට කොටු වන්නේ ත්‍රිත්ව ඝතනයට සම්බන්ධ අනිකුත් සාමාජිකයන් සොයා දියත් කළ මෙහෙයුමේදීය.

අත් අඩංගුවට පත් හත් දෙනාගෙන් තිදෙනකු එනම් පොඩි ලසී, උදාර සම්පත් සහ රංජිත් මෙම ත්‍රිත්ව ඝාතනයේ ඝාතකයන් තිදෙනාය. එනම් වෙළෙපළට පැමිණ ඉන්දික, දේවිකා සහ පුත් රන්දිකට වෙඩි තබා මර දමන්නේ පොඩි ලසී සහ උදාර සම්පත්ය.

ඒ වන විට රංජිත් ද මෙම වෙළෙඳසළ අසල ටී-56 ගිනි අවියක් අත ඇතිව සිටියි. ඒ ඝාතකයන්ගේ ආරක්ෂාවටය. පොඩි ලසී සහ උදාර සම්පත් මේ තිදෙනා ඝාතනය කොට යතුරු පැදියේ නැඟී පලා ගිය සැනින් රංජිත් වෙළෙඳසලට ගොඩ වන්නේ අවසන් ජවනිකාව සඳහාය.

“පොඩි ලසීලා ගිය ගමන් මම වෙපන් එක අරගෙන කඩේ ඇතුළට ගියා. ගිහින් බලද්දී ඉන්දික දඟලනවා. මට හිතුණා මිනිහා මැරිලා නැහැ කියලා. මමත් ඒ දෙන්නට (ඉන්දික සහ දේවිකාට)ෂොට් දෙකක් තියලා යන්න ගියා.”

ත්‍රිත්ව ඝාතනයේ මුල්ම සැකකරු ලෙස අත් අඩංගුවට පත් රංජිත් එලෙස පාපොච්චාරණය කර තිබිණි. වෙඩි පහර දෙකක් එල්ල කොට ඔහු එම ස්ථානයෙන් පලා යන අතර අවට පිරිස පැමිණ තුවාලකරුවන් රෝහලට රැගෙන යයි. එදින රාති‍්‍රයම සැඟවී සිටින රංජිත් ගැන පවුලේ අය කියන්නේ තුවාලකරුවන් රැගෙන ඔහු රෝහලට යන්නට ඇති බවයි. එහෙත් රාත්‍රියේ පලා යන ඔහු මීටියාගොඩ ප්‍රදේශයේ පිහිටි නිවෙසක ගෙවත්තේ ආයුධය සඟවා කිසිවක් නොදත් අයකු ලෙස යළි ගමට පැමිණ සිටියදී පොලීසිය ඔහු අත් අඩංගුවට ගන්නා අතර ප්‍රශ්න කිරීමේදී සැඟ වූ ගිනි අවිය ද ඔහු පොලීසියට ලබා දුන්නේය.

“ඔය තුන් දෙනාවම මරන්න ඕනෑකම තිබුණේ මට. ඉන්දිකගේ කඩේ මට අයිති කර ගන්න ඕනෑකම තිබුණා. ඉන්දික මැරුවට ඒක මට ලැබෙන්නේ නෑ. ඒ දෙන්නාම මැරුවට පුතාට කඩේ හිමි වෙනවා. තුන් දෙනාම මැරුණම කඩේට අයිතිකාරයෙක් නෑ. මට අයිතිය ගන්න පුළුවන්” රංජිත් පාපොච්චාරණය කර තිබිණි.

මෙම ත්‍රිත්ව ඝාතනය සිදුවීමෙන් අනතුරුව පරීක්ෂණ ආරම්භ කළ පොලීසියේ සැකය වූයේ ටී - 56 ගිනි අවි කිහිපයක් සහ පිස්තෝලයක් ඝාතනය සඳහා යොදාගෙන ඇති බවය. පොලීසියේ එම සැකය නිවැරදි බව තහවුරු කරමින් මෙම ත්‍රිත්ව ඝාතනය සඳහා ටී - 56 ගිනි අවි දෙකක් පාවිච්චි කර ඇති බව අනාවරණය විය. එම ටී - 56 අවි දෙකත්, මයික්‍රෝ පිස්තෝලයත් අත් අඩංගුවට ගැනීමට අම්බලන්ගොඩ පොලීසියට හැකි විය.

පරික්ෂණවලදී තවදුරටත් හෙළි වූයේ ත්‍රිත්ව ඝාතනය සඳහා පොඩි ලසී පාවිච්චි කළ ජංගම දුරකථන සිම් පත රංජිත් කේරල ගංජා ජාවාරම සඳහා පාවිච්චි කළ සිම් පත බවයි. ඝාතන සිද්ධියෙන් අනතුරව එම සිම් පත විනාශ කර දමා ඇතත් එහි දත්ත වාර්තා විනාශ නොවන බව මොවුන් නොදැන සිටින්නට ඇත.

අත් අඩංගුවට ගත් අගම්පොඩි චතුර කුමාර නොහොත් කඩ්ඩා මෙම ත්‍රිත්ව ඝාතනයට සම්බන්ධ වන්නේ ඉන්දිකලා ගැන බන්ධනාගාරයේ සිටින ජයලත් නොහොත් සුද්්දාට තොරතුරු ලබා දෙමිනි. කඩ්ඩා පදිංචිව සිටින්නේ ඉන්දිකගේ වෙළෙඳසල පිහිටි ඉඩමට අල්ලපු ඉඩමේය. ඝාතනය සැලසුම් කිරීමෙන් අනතුරුව ඉන්දිකලාගේ ගමන් බිමන් ඇතුලු සියලු තොරතුරු ජංගම දුරකථන ඔස්සේ කඩ්ඩා ඇතුළේ සිටින සුද්දාට ලබා දී ඇත.

ත්‍රිත්ව ඝාතනය සිදු කළ දිනයේ කඩ්ඩා පොඩි ලසී සහ සුද්දා යන තිදෙනා “කෝල් කොන්ෆරන්ස්” ඔස්සේ කතාබහ වෙමින් සියලු තොරතුරු එක විට සුද්දාටත්, පොඩි ලසීටත් ලබාදීමට කඩ්ඩා කටයුතු කර තිබිණි.

ඔහු මෙම ත්‍රිත්ව ඝාතනය පිළිබඳ තමා දැන සිටි සියලු තොරතුරු අධිකරණය හමුවේ පාපොච්චාරණය කොට රජයේ සාක්ෂිකරුවකු බවට පත්ව සිටී. ඔහු අධිකරණයෙන් ඇප මත මුදා හැර ඇත.

අත් අඩංගුවට පත් වූ ප්‍රියාන් මාලිංග නොහොත් ලොක්කා මෙම ත්‍රිත්ව ඝාතනයට සම්බන්ධ වන්නේ ඝාතකයන්ට ඉලක්ක පෙන්වමිනි. එනම් ඝාතනය සිද්ධ වූ දිනට පෙර දින දහවල් මෙම ඝාතනයේ ප්‍රධාන සැකකරු වන උදාරට ඉන්දිකගේ වෙළෙඳසල පෙන්වන්නේ ලොක්කා විසිනි.

ලොක්කා ද අධිකරණය හමුවේ සියල්ල පාපොච්චාරණය කළ අතර ඔහු ද ඇප මත මුදා හැරියේ රජයේ සාක්ෂිකරුවකු ලෙස නම් කිරීමෙන් අනතුරුවය.

සඳරුවන් නොහොත් රත්තරං යන අය මෙම ත්‍රිත්ව ඝාතනයේ සැකකරුවකු වන්නේ ඝාතනයට පැමිණි පළමු දිනයේ (4 දා) මෝටර් රථය පදවාගෙන පැමිණීමේ චෝදනාව යටතේය. එදින ඝාතන තැත වරදින නමුත් ඝාතන තැත සාර්ථක වූයේ නම් ඝාතනය කර පලා යාමට සැලසුම් කර තිබුණ මෝටර් රථය එදින පැදවූයේ මොහු විසිනි.

වතුගෙදර, ආඳාපොළ ප්‍රදේ්ශයේ පදිංචිකරුවකු වන මොහු සුද්දාගේ ‘කුඩු’ ජාවාරමේ ප්‍රබල සාමාජිකයෙකි. මොහු ද අධිකරණය හමුවේ ත්‍රිත්ව ඝාතනය පිළිබඳ පාපොච්චාරණයක යෙදී රජයේ සාක්ෂිකරුවකු වීමට ඉදිරිපත් විය. එබැවින් ඔහුට ඇප ලබා ගැනීමට හැකි විය.

අවසන් වශයෙන් අත් අඩංගුවට පත් වූ ප්‍රියංකරට චෝදනා කිහිපයකි. ත්‍රිත්ව ඝාතනය සිදු කළ දිනයේ යතුරු පැදියෙන් ටික දුරක් යන පොඩි ලසී සහ උදාර අතරමඟ යතුරු පැදිය අතැර පොඩි ලසීට අයත් වෙසල් රථයට ගොඩවේ. එය ලියාපදිංචි කර ඇත්තේ ප්‍රියංකර නමටය. එලෙසම එදින මෝටර් රථය පැදගෙන එන්නේ ද ප්‍රියංකරය.

පොඩි ලසී විසින් සිදු කළ ඝාතන සියල්ලටම වගේ මොහු දායක වී ඇති අතර මොහුට විරුද්ධව මහාධිකරණයේ නඩු කිහිපයකි. රත්ගම ප්‍රදේශීය සභා සභාපති මනෝජ් මෙන්ඩිස් ඝාතන සිද්ධියේ ද මොහු ප්‍රධාන සැකකරුවෙකි.

එලෙසම අම්බලන්ගොඩ පදිංචිකරුවකු වූ ජනිත් නොහොත් ‘තනි ඇටයා’ යන අය වෙඩි තබා ඝාතනයට තැත් කිරීමේ සිද්ධියට ද මොහු දායක වී ඇත.

“ජනිත්ව මරන්න පොඩි ලසී ප්ලෑන් කළේ දෙදාස් එකොලහ අවුරුද්දේදී. එදා මම තමයි ඔත්තු බැලුවේ. එදා පොඩි ලසී වෙපන් එකත් තියාගෙන පෑරැලියේ හිටියා. මම අම්බලන්ගොඩ ටවුමෙ ඉඳලා ජනිත්ව ෆලෝ කළා. ජනිත් ගෙදර යන්න නැගපු බස් එකේ මමත් නැගලා ආවා. ජනිත් පෑරැලියෙන් බැස්සා. මමත් බැස්සා. මම දිගටම පොඩි ලසිට කෝල් කරලා විස්තර කිය කියා තමයි බස් එකේ ආවේ”

පොඩි ලසී පෑරැලිය හන්දියේ හිටියා. ජනිත් බස් එකෙන් බැහැලා යද්දී පොඩි ලසී බයික් එකෙන් බැහැලා ජනිත්ට වෙඩි තියන්න ලෑස්ති වුණා. ජනිත් ඒක දැකලා දුවන්න පටන් ගත්තා. පොඩි ලසී පස්සෙන් පන්නගෙන ගිහින් ජනිත්ට වෙඩි තිබ්බා. පිටිපස්සට වැදුණු ෂොට් එක ඉස්සරහින් කඩාගෙන ගියා”

“එදා ජනිත් මැරුණේ නැහැ. බේරුණා. ඊට පස්සේ තමයි මිනිහට ‘තනි ඇටයා’ කියන නම පටබැඳුණේ.

“මනෝජ් මෙන්ඩිස් මරන්නත් මම ගියා. මමත් පස්සේ පොලීසියට අහු වුණා. මමත් හිටියේ හයිකෝට් ඇප අරගෙන”

“මම පදිංචි වෙලා හිටියේ තෙල්වත්තේ. එහේ ඉන්න බැරි නිසා මම ඉඳුරුවෙන් ගෙයක් කුලියට අරගෙන පදිංචි වෙලා හිටියේ. එදා ඉඩම්තොට තුන්දෙනාව මරලා පොඩි ලසීයි, උදාරයි බයික් එකෙන් ආවා. මම කාර් එක තියාගෙන මඟ හිටියා. එයාලා බයික් එක දාලා වාහනේට නැග්ගා. මම එයාලව ඉඳුරුවේ මගේ ගෙදරට අරගෙන ගියා”

“පොඩි ලසී යි, උදාරයි වෙපන් දෙක මට දීලා ඊට පහුවෙනිදා එලිවෙන්න කලින් පැනලා ගියා”

“එයාලා බලංගොඩ පැත්තේ හැංගිලා ඉඳලා ටික දවසකට පස්සේ ආපහු අපේ ගෙදර ආවා. ඇවිත් වෙපන් දෙකත් ඉල්ලගෙන ගියේ ‘තනි ඇටයා’ව මරලා දාන්න ඕන කියලා. ඒ යද්දි තමයි පොලීසියට අහුවුණේ”.

ප්‍රියංකර එලෙස සියල්ල හෙළි කළේය.පොඩි ලසී, ප්‍රියංකර ඇතුලු සම වයසේ පරපුර අපරාධකරුවන් වීමට මූලික අඩිතලම දමා දී ඇත්තේ පොඩි ලසීගේ පියා විසිනි. වසන්ත නොහොත් ‘පැත්තා’ යන අනවර්ථ නාමයෙන් හැඳින් වුූ ඔහු කලක් අම්බලන්ගොඩ භීෂණයට පත් කළ හතේ කල්ලිය ලෙසින් නම් දැරූ කොල්ල කල්ලියේ සාමාජිකයෙකි. මනෝජ් මෙන්ඩිස් අතකොට රවී, කොස්ගොඩ ප්‍රීත්කුමාර්, රෝහණ ඇතුලු පිරිසක් එම කල්ලියේ සෙසු සාමාජිකයෝ වූහ.

මිනිසුන් මරා දමමින්, මැරකම් කොල්ලකෑම්වල යෙදෙමින් ස්ත්‍රි දුෂණ කරමින් කලක් වැජඹුණ මේ කල්ලි සාමාජිකයෝ කල් ගතවෙද්දී එකිනෙකා භේදවීමට පටන් ගත්හ.

අනතුරව එකාට එකා මරාගත් අතර සිය පියා වන වසන්ත නොහාත් පැත්තා ඝාතනයට මනෝජ්් මෙන්ඩිස්, ජනිත් (තනි ඇටයා), එරික් ඇතුලු පිරිසක් සම්බන්ධ බව පොඩි ලසීගේ අදහසයි. වයස අවුුරුදු දහ අට සපිරෙද්දී ඔහු එරික් යන අය මරා දමන්නේ පියාගේ ලෙයට ලෙයින් පලිගැනීමක් ලෙසටය.

එරික් ඝාතනය පොඩි ලසීගේ වැඩක් බව කවුරුත් දැන සිටියේ නැත. ඉන් අනතුරුව දෙදහස් එකොලහ වර්ෂයේදීම තෙල්වත්ත ප්‍රදේශයේදී නාඳුණන අයකු මෝටර් රථයකට වෙඩි තැබුවේය. එම මෝටර් රථයේ ගමන් කළේ ප්‍රාදේශිය සභාවට තරග වැදීමට නියමිතව සිටි ගීත් යන අයයි. එම වෙඩි ප්‍රහාරයෙන් ඔහුගේ මල්ලී සහ තවත් අයකු මිය ගිය අතර ගීත් බරපතල තුවාල ලැබීය.

එම වෙඩි තැබීමට සැකකරුවන් හමු නොවූ අතර එය ද පොඩි ලසීගේ වැඩක් බව ප්‍රදේශයේ තතු දත් අයගේ අදහසය.

ඉන් අනතුරුව පොඩි ලසී වෙඩි තබන්නේ ජනිත්ටය. හෙල්මටය පැලඳ ජනිත් පිටුපස පන්නා යන අතරේ හෙල්මටය බිම වැටීම හේතුවෙන් ඒ පොඩි ලසී බව ජනිත් හඳුනා ගත්තේය.

ඊට පසු දිනයේම පොඩි ලසී විදෙස් ගතවන අතර පරීක්ෂණ ආරම්භ කළ පොලීසිය ඔහු ඩුබායි රටට ගිය බව සොයා ගත්තේය. ඒ ඔහුගේ ජාතික හැඳුනුම්පත් අංකය ගුවන් තොටුපළේ අදාළ අංශයෙන් පරික්ෂා කිරීමෙන් අනතුරුවය.

පසුව අධිකරණයෙන් රතු නිවේදනයක් ගන්නා පොලීසිය පොඩි ලසී අත් අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලීසියේ සහාය පැතීය. ජාත්‍යන්තර පොලීසියෙන් ඔහු මෙරටට ලබා දෙන අතර අනතුරව ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි. එරික් ඝාතනය් වගකීම ද ඔහු එහිදී භාර ගත්තේය. ඔහු මනෝජ් මෙන්ඩිස්ට වෙඩි තබන්නේ ඇප මත නිදහස්වීමෙන් අනතුරුවය.

මානෝජ් මෙන්ඩිස් ඝාතනය කොට යළි ඇතුළට යන පොඩි ලසී යළිත් ඇපමත එලියට එයි. ඔහු ඊළඟට ඇතුළට යන්නේ අම්බන්ගොඩ එකම පවුලේ තිදෙනකු ඝාතනය කිරීමේ චෝදනාවටය.

ඒ අනුව එම ත්‍රිත්ව ඝාතනයට සැක පිට රංජිත්, පොඩි ලසී, උදාර සහ ප්‍රියංකර රක්ෂිත බන්ධනාගාර ගත කැරිණි. මෙම පුද්ගලයන් සිව් දෙනාම සතුව තිබූ අවි ආයුධ හතරක් ද (ටී-56 අවි දෙකයි, මයික්‍රෝ පිස්තෝල 2 යි) පොලීසිය අධිකරණයට ඉදිරිපත් කළේය. හෙරොයින් ග්‍රෑම් හතරක් ද මොවුන් සතුව තිබී පොලීසිය සොයා ගත්තේය.

අනවසර ගිනි අවි පරිහරණය, කුඩු ජාවාරම, මනුෂ්‍ය ඝාතන යන චෝදනා සියල්ලම පොඩි ලසීට බැරව ඇත. ඇප නොලබා මරණ දඬවුමට යටත් විය හැකි තරමට එම චෝදනා බරපතලය. එහෙත් මෙරට පවතින නීතියට අනුව පොඩි ලසීට තව මාස කිහිපයකින් ඇප ලැබේදැයි සැක මතුවේ. එලෙස යළි ඔහුට ඇප ලබා එලියට පැමිණීමට හැකි වුවහොත් තව කිහිප දෙනෙකුට ඔහුගේ උණ්ඩයට බිලිවන්නට වේදැයි යන සැකය බොහෝ දෙනාගේ සිත්වල පහළ වී තිබීම සාධාරණය.

දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ෆ්‍රෑන්ක්ලීන් ප්‍රනාන්දු, ගාල්ල නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්, ඇල්්පිටිය පොලිස් අධිකාරී නිහාල් තල්දූව යන නිලධාරීන්ගේ උපදෙස් මත අම්බලන්ගොඩ මූලස්ථාන පොලිස් පරීක්ෂක මහින්ද විලේලෝරආරච්චි ප්‍රමුඛ අපරාධ අංශයේ ස්ථානාධිපති ඩී. බාලේන්ද්‍රසිහ ඇතුලු උප පරික්ෂකවරුන් වන ජයසූරිය, මදුරංග, සැරයන් 6790 සිල්වා, කොස්තාපල්වරුන් වන 72995 තරංග, 82426 ජයසේකර, 39639 ජයලාල්, ප්‍රියංකර ඇල්ලීමේ මෙහෙයුමට දායක වූහ.