ෆිනෑන්ස් ලොක්කා මැරුවේ කවුදැයි හොයන්න

ෆිනෑන්ස් ලොක්කා මැරුවේ කවුදැයි හොයන්න

හොරණට අමතරව කලුතර යුනිට් එකත්

මරා දමන ලද විධායක නිලධාරි ශ්‍රීනික නිමේන්ද්‍රට තරහකාරයෝ සිට ඇති බව හෙළි වී තිබේ. සිය රැකියාවට අමතරව ඔහු පොලියට මුදල් දී ඉඩකඩම් උකසට ගැනීමට ද සිදු කර තිබේ. එලෙසම කාන්තාවන් කිහිප දෙනෙකුම ඇසුරු කර ඇති බව ද අනාවරණය වී ඇත.

ශ්‍රීනිකට වෙඩි තබා මරා දැමුවේ ඉකුත් තුන් වැනිදා උදේ 7.45 ට පමණය. ඒ බව ආරංචිවීමත් සමඟ ඔහු සේවය කළ ආයතනයේ සේවක සේවිකාවෝ ද එතැනට පැමිණියහ.

මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු පශ්චාත් පරීක්ෂණය පැවැත්වීම සඳහා සිරුර ගෙන යන ලදී. ඉන් අනතුරුව පොලීසිය විමර්ෂණය ආරම්භ කළේය.

වෙඩි වැදී මියගිය ශ්‍රීනිකගේ මෝටර් රිය විමර්ෂකයන් විසින් සේදිසියට ලක් කළේ ඉන් පසුවය. එහි තිබී ඔහුගේ දුරකථය හොරණ පොලීසියේ විමර්ෂකයන් අතට පත් විය. වාහනයේ තිබී තවත් හඳුනා ගැනීමේ කාඩ්පතක් හා ලියකියවිලි කිහිපයක් පොලීසිය සිය භාරයට ගත්තේය. දිවා ආහාර වේල ද එහි විය. වාහනයේ ඩිකියේ බෑගයක කොට කලිසමක් ද තිබිණි.

පොලීසිය ඔහුගේ ජංගම දුරකථනය පරීක්ෂා කළේය. එහි කාන්තාවකගේ නිරුවත් පින්තූර රැසකි. එය පාදුක්කේ සිය සේවා ස්ථානයේ තරුණියකගේ බව හඳුනාගෙන ඇත.

ඒ අනුව මොහුගේ ඝාතනය පිටුපස ගැහැනු හුටපටයක් ඇත් දැයි පොලීසියේ සැකය විය. මොහු මරා දමන්නට කලියෙන් සිදු වූ සිදුවීමක් ගැන නිලධාරින්ගේ අවධානය යොමු වී ඇත. ආයතනයේ ගැහැනු ළමයකු හිටි හැටියේම අසනීපව ඇත. මිල්ලෑව ප්‍රදේශයේ ඇගේ නිවසට ඇය ගෙන ගොස් ඇරලවා ඇත්තේ ශ්‍රීනික විසිනි. එතැනදී ඇති වූ සිදුවීමක් පසුව ඇය විසින් සිය පෙම්වතාට පවසා තිබිණි. පෙම්වතාගේ මිතුරකු ඊට පසුදාම ශ්‍රීනික හමුවීමට පාදුක්ක මූල්‍ය සමාගමට පැමිණ ඇත. එහෙත් ඔහුට ශ්‍රීනික හමුවීමට අවස්ථාවක් ලැබී නැත. අවසානයේ එම තරුණයා ඔහුගේ හඳුනා ගැනිමේ කාඩ්පත එම මූල්‍ය ආයතනයට ලබාදී පසුව පැමිණ ශ්‍රිනික හමුවන බව කියමින් පිටව ගොස් ඇත. ශ්‍රීනික වෙඩි තබා මරා දැමූ අවස්ථාවේ ඔහුගේ මෝටර් රථයේ තිබී හමු වූයේ එම කාඩ්පතය.

මේ අතර ව්‍යාපාරික ප්‍රශ්න කිහිපයක් ද මොහු සම්බන්ධයෙන් පැවැති බව විමර්ෂණ වලදී හෙළි වී තිබේ. මොහු විදේශ සංචාරවල ද නිරතව ඇති අතර ඒ පිළිබඳව ද ඇති වූ ප්‍රශ්න ගැන විමර්ෂකයන්ගේ අවධානය යොමු වී ඇත.

ඒ අනුව පොලීසිය මේ වන විට පාදුක්ක මූල්‍ය ආයතනයේ සේවිකාවන් කිහිප දෙනෙකුගෙන්ද ප්‍රශ්න කර ඇති අතර කෙසේ හෝ ශ්‍රීනික මරා දමන්නට හේතුව සොයා ගැනීම පොලීසියේ අරමුණ වී තිබේ. ශ්‍රීනික සිය බිරියට හා දරුවාට බෙහෙවින් ආදරය කර තිබේ. සමහර දාට නිවෙසේ කෑම පිසින්නේ ද ඔහුය. මිය යන්නට කලින් පුතාට කැමැති ආහාර ද ඔහු විසින් සකසා දී ඇත. බිරිය ද ඔහුට දක්වන්නේ මහත් ඇල්මකි. තමාට මහත් ආදරය කරපු මෙවන් සැමියකු තවත් නැතැයි ඇය වරක් පොලීසිය හමුවේ පවසා තිබිණි.

කෙසේ වෙතත් ශ්‍රීනික මරා දැමීමට හේතුව සොයමින් සිටින පොලීසියට තවත් වැදගත් හෝඩුවාවක් ගෙන දෙන්නට ඒ අවට තිබූ සී. සී. ටී. වී කැමරාවක් සමත් වී ඇත.

ශ්‍රීනික වෙඩි තබා මරා දැමුණේ ඉක්තු තුන් වැනිදා උදැසන හතයි හතලිස් පහට පමණය. ඉංගිරියේ ඇදුරාගල පිහිටි සිය නිවසේ සිට පාදුක්ක හොරණ පාරේ ගාලගෙදර පිහිටි සිය ව්‍යාපාරික ස්ථානයට එද්දී ඉළිඹ ප්‍රදේශය්දී ඝාතනයට ලක් විය. මොටෝ රියෙන් එමින් සිටියදී ඔහු පසුපස හඹා එන යතුරුපැදියක් සී සී ටී වී කැමරාවේ රූගත වී තිබිණි. මුහුණු මුළුමනින්ම ආවරණය වන පරිදි හිස් වැසුම් පැළඳ සිටි දෙදෙනකු එහි ගමන් කළහ. ඒ වන විට මාර්ගයේ වාහනත දබදයක් තිබිණි. ශ්‍රීනිකගේ මෝටර් රථය හඹා පැමිණි මෝටර් බයිසිකලය ඔහුගේ මෝටර් රථයට ළං වෙද්දී බයිසිකලය පැද වූ අය විසින් කිසියම් කුඩා වර්ගයේ ගිනි අවියකින් ශ්‍රීනිකට වෙඩි තබා ඇත. පසුව ශ්‍රීනිකගේ වාහනය නතරවීමත් සමඟ යතුරු පැදියේ පිටිපස්සේ සිටි තැනැත්තා ටී 56 ගිනි අවියක් ද අතැතිව ශ්‍රීනිකගේ මෝටර් රිය අසලට ගොස් වෙඩි ප්‍රහාරය එල්ල කොට ඇත. ශ්‍රිනිකට වෙඩි තැබීමෙන් පසු කිසිම කලබලයකින් තොරව යතුරුපැදියට නැග ගත් ඔහු සිය සගයා සමඟ පලා ගොස් ඇත. ඉළිඹ සිද්ධය සිදු වූ ස්ථානයේ සිට ඉංගිරිය දෙසට කිලෝ මීටර් භාගයක් පමණ ගොස් ගුරුගොඩ හන්දියෙන් වමට හැරී පාදුක්ක මලගල මාර්ගයෙන් ඔවුන් පලා යන අන්දම මිල්ලෑව ප්‍රදේ්ශයේ වෙළඳසැලක තිබූ සී සී ටී වී කැමරාව පරීක්ෂා කිරීමේදී විමර්ෂකයන්ට හඳුනා ගැනීමට හැකි විය.

සිද්ධිය සම්බන්ධයෙන් හොරණ මුලස්ථාන පොලීසිය මේ වන විට පුද්ගලයන් රැසකගෙන් ප්‍රශ්න කර ඇත. මියගිය ශ්‍රීනික සේවය කළ ආයතනයේ තරුණියන් 8 දෙනකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන තිබේ. ඒ අතර ඔහු ළඟින් ඇසුරු කළ තරුණියක ද සිටී. ඔහුගේ ජංගම දුරකථනයේ තිබී ඇත්තේ ඇයගේ නිරුවත් පින්තූරය. එම පින්තූරත් ශ්‍රීනිකට එවා ඇත්තේ එම තරුණිය විසින්ම බව පරීක්ෂණවලදී හෙළි වී ඇත. ශ්‍රිනික හමුවීමට ඔහුගේ ආයතනයට ගිය තරුණයාගෙන් ද පොලීසිය ප්‍රශ්න කර ඇත. ඔහු අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. එහෙත් ශ්‍රීනිකගේ ඝාතනය සම්බන්ධයෙන් පත්‍රය මුද්‍රණයට යන අවස්ථාව වන තෙක්ම කිසිදු ස්්ථිර හෝඩුවාවක් පොලීසියට ලැබී තිබුණේ නැත.

කෙසේ වෙතත් ශ්‍රීනිකගේ ඝාතකයන්ට හැමදාමත් සැඟව සිටිය නොහැක. ඔවුන් කවදා හෝ පොලීසියට කොටු වෙනවා නොඅනුමානය. එදිනට ශ්‍රීනික මරා දැමීමට හේතු වූ කරුණු හෙළි වනු ඇත. එය කොන්ත්‍රාත්වක් ද යන්න නිශ්චිතවම නිගමනය කරනුයේ එදාටය. එතෙක් ශ්‍රිනික ඝාතනය අබිරහසක්ය.

සහකාර පොලිස් අධිකාරී ජනක නන්දන මහතාගේ අධීක්ෂණය මත හොරණ මුලස්ථාන පොලිස් පරීක්ෂක ප්‍රසන්න වැලිකලගේ මහතාගේ මෙහෙයවීම මත අපරාධ විමර්ෂණ අංශයේ ස්ථනාධිපති තරිදු හෙට්ටිආරච්චි ඇතුළු කණ්ඩායමක් මේ පිළිබඳ විමර්ෂණ සිදු කළේය.

කළුතර කොට්ඨාශ අපරාධ විමර්ෂණ ඒකකයේ ස්ථානාධිපති බන්දුල ප්‍රනාන්දු මහතා ප්‍රමුඛ උප පරික්ෂක සමන් පද්මලාල් ඇතුළු කණ්ඩායමක් ද මෙම ඝාතනයේ සුලමුල සොයමින් සිටියි.