“සුපිරි මොන්ටෙරෝව හිමි බොනැන්සා ජයග්‍රාහකයා ඔබයි”

“සුපිරි මොන්ටෙරෝව හිමි බොනැන්සා ජයග්‍රාහකයා ඔබයි”

ඔබත් මෙලෙස රැවටුණු කෙනකුද?

එක්තරා දුරකථන සමාගමකින් පැවැත් වූ දිනුම් ඇදීමේ තරගයකින් සුපිරි දිනුමක් ඇඳුණු බව කියමින් කෝටිපති රූපලාවන්‍ය ශිල්පිනියකගෙන් ලක්ෂ දොළහකටත් අධික මුදලක් වංචාකළ සිව් දෙනකු ගල්කිස්ස කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය මඟින් පසුගියදා අත් අඩංගුවට ගත්තේය. ඊට සම්බන්ධ සිද්ධිය සැකෙවින් මෙසේය.“ආයුබෝවන්ඩ මැඩම්. අපෙන් ඔබට සුබ පැතුම්, අපි...... දුරකථන සමාගමෙන්. අපි ඔබට සතුටින් දැනුම් දෙන්නේ ඔබතුමිය අපේ...... බොනැන්සා තරගයේ සුපිරි ජයග්‍රාහිකාවක් වී තිබෙන බවයි. ස්තූතියි මැඩම් අපි නැවත අමතන තෙක් ඔබට ආයුබෝවන්.....”මේ ඇමතුම ලැබෙන්නේ සැබැවින්ම එම දුරකථන සමාගමෙන් යැයි සිතු පිළියන්දල ප්‍රදේශයේ පදිංචිකාරියකවන මේ ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනිය මහත් සතුටට පත් වුවාය. ඇය සිතුවේ ලැබු ඇමතුමට අනුව තමාට විශාල මුදලක් ත්‍යාග වශයෙන් ලැබෙනු ඇතැයි කියාය. පුල පුලා තෑගි ලබාගන්නට මඟ බලා සිටි ඇය එම දුරකථන සමාගමෙන් ඇමතුමක් ලැබෙන තුරු ඇඟිලි ගැන්නාය. ‘ඔබගේ සැප සනීප කොහොමද මැතිණියනි, අපි නැවත ඔබ අමතන්නේ ඔබට හිමි ත්‍යාගය ඔබට ලබාදීමටයි. නමුත් ඒ සඳහා වන චෙක්පත ඔබට ලබාදීමට කලින් ඔබ ජයග්‍රහණය කර තිබෙන සුපිරි මුදල් තෑගි මල්ලෙන් ආදයම් බදු වශයෙන් රජයට යම්කිසි සුළු මුදලක් ගෙවිය යුතු වෙනවා මැතිණියනි. එහෙත් අපේ අපේක්ෂාව ඔබේ තෑගි මුදලින් ඒ කොටස අඩු නොකොට මුළු මුදලම ඔබට ගෙවන්නයි....”

එතෙකින් ඒ ඇමතුම විසන්ධි විය. ඇමතු ඔවුන් ඇයට කියුවේ සුපිරි ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් කිහිපදෙනා අතරින් සුපිරි මොන්ටේරෝවේ හිමිකාරිය වශයෙන් ඇය තේරී ඇති බවය. ඒ සමඟ ඇඟට පතට නොදැනීම එම සමාගමේ නියෝජිතයා ඇයට කීවේ ඒ සඳහා කලින් සඳහන් කළ බදු මුදල නම් ගෙවන්නට සිදුවන බවත් ඒ මුදල සුදානම් කරගන්නා ලෙසත්ය. එවිට සුබෝපභෝගි මොන්ටේරෝවේ අයිතිය සහිත ලියකියවිලි සමඟ ඒ රථයේ යතුරත් ලබා ගැනීමට පැමිණිය යුතු දිනය දැනුම්දිය හැකි බවත් ඇය ඇමතු නියෝජිතයා කීවේය. ඊටත් දිනකට පසුව නැවත ඇමතුමක් රූපලාවන්‍ය ශිල්පිනියගේ ජංගම දුරකථනයට ලැබිණි. . ඔහු කීවේ ත්‍යාග ලබාදීම සම්බන්ධයෙන් වන අවසාන දිනයට ඇත්තේ තව දින කිහිපයක් පමණක් බවය. ඒ නිසා කල් නොයවාම සල්ලි ඊසි කෑෂ් කරදෙන ලෙස ඉල්ලා සිටි ඔහු ඊට අදාළ දුරකථන අංකයත් රූපලාවන්‍ය ශිල්පිණියට දුන්නේය. තමා අදාළ දුරකථන සමාගමේ කළමනාකරුවකු බව ඇඟවූ එම තැනැත්තා මේ දිනුම ගැන කා සමඟවත් නොකියන ලෙසටත් පවුලේ ඥාාතීන් සහ හිත මිතුරන් පුදුම කරවමින් එක්වරම මොන්ටෙරෝව ගෙඩිය පිටින්ම දෝතට තිළිණ කිරීමේ උත්සවයක් ද දුරකථන සමාගමේ වියදමින් පවත්වන්ටත් එහිදී ඇයව රටටම පෙන්වන්නටත් සියල්ල සුදානම් කොට හමාර බව ඔහු රූපලාවන්‍ය ශිල්පිනියගේ හිත දිනා ගනිමින් කියන්නට විය.

ඒ කතාවත් සමඟ බෙහෙවින් උද්දමයට පත් ශිල්පිනිය එදිනම ඇයට ලබාදුන් අංකයට රුපියල් දස ලක්ෂ හැත්තෑපන්දහසක මුදලක් ඊසි කෑෂ් ක්‍රමයට ගෙවා දැම්මාය. දැන් ඇගේ ආසාව සිය ඥාතීන් ද හොල්මන් කරමින් මොන්ටෙරෝව ගෙදරට ගෙන්වා ගැනීමය. කොයි මොහොතේ හෝ දුරකථන සමාගමෙන් ඇමතුමක් එන තුරු ඇඟිලි ගනිමින් සිටි රූපලාවන්‍ය ශිල්පිනියට ඉන් පසු කිසිදු ඇමතුමක් ලැබුණේ නැත.

බොනැන්සා මොන්ටේරෝව දිගේ එල්ලී එල්ලී සිහින මවමින් සිටි රූපලාවන්‍ය ශිල්පිනියට සතියක් දෙකක් යද්දී කිසියම් සැකයක් හිතට ආවාය. ඇය දන්නා කියන අයගෙන් මේ ගැන විමසූවිට ඔවුන් සැවෝම කීවේ එවැනි ලොතරැයියක් හෝ දිනුම් ඇදීමක් නැති බවය. අවසානයේ අදාළ දුරකථන සමාගම ඇමතූ රූපලාවන්‍ය ශිල්පිනියට තමන්ගේ මොන්ටේරෝව ප්‍රමාද මන්දැයි විමසු විට එම දුරකථන සමාගමෙන් ලැබුණු පිළිතුරත්සමඟඇයට හීන්දාඩිය දැම්මාය.. එවන් කිසිම තරගයක් තම දුරකථන ආයතනයෙන් පවත්වා නොමැති බව දුරකථන සමාගම කී විට රූපලානව්‍ය ශිල්පිනිය අන්ද මන්ද වුවාය. අන්තිමේදී ඇයට ඉතිරි වුුයේ නීතියෙන් පිළිසරණක් අපේක්ෂා කිරීම පමණි.

ඒ අනුව තමන් රුවටුණු රැවටිල්ල පිළිබඳ ගල්කිස්ස කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයට පැමිණිලි කිරීමට ඇයට හැකිවුවාය. කෙසේ හෝ පැමිණිල්ල දමා ටික දිනකට පසු ඒ මොන්ටෙරෝව ලබාදීම සඳහා අවශ්‍ය ලියාපදිංචි ගාස්තුව වශයෙන් තවත් රුපියල් දෙලක්ෂයක් ලබාදෙන ලෙසට රූපලාවන්‍ය ශිල්පිණිය ඇමතු පුද්ගලයා යළි පවසා සිටියේය.

ඇය ඊට උත්තර බැන්දේ පොලිසියේ උපදෙස් මතය. තවත් රුපියල් දෙලක්ෂයක් ඊසි කෑෂ් කරවා ගන්නට දත කෑ ජාවාරම්කරු ඇය ළඟට ගෙන්වා ගැනීම පොලිසියේ උපාය විය. ඊට රැවටුණු ජාවාරම්කරු ඇගෙන් මුදල් ලබාගැනීම සඳහා මහ මඟට යැව්වේ ඔවුන් දන්නා කියන කාන්තාවක් ය. ඇය පැමිණියේ ත්‍රිරෝද රථයකින්ය. සිවිල් ඇඳුම් ලා සිටි පොලිස් නිළධාරීන් වහා ඉදිරියට පැමිණ මොවුන් කොටු කරගත්තේය.

තමන් කුලී ත්‍රිරෝද රථ රියදුරකු බව හඳුන්වාදුන් ත්‍රිරෝද රියදුරා අවසානයේ පොලිස් විමර්ශනවලට සහාය ලබාදෙන්නට ඉදිරිපත් විය. එහෙත් ඒ වනවිටත් එම ත්‍රිරෝද රථ රියදුරා පිළිබඳත් පොලිසියේ සැක පහළ වී තිබිණ. රූපලාවන්‍ය ශිල්පිනියට ඇමතුම් ලබාගත් දුරකථන අංක 13කට වඩා වැඩි සංඛ්‍යාවක් හඳුනාගත් පොලිසිය ඒ අනුව මාවනැල්ලේ පදිංචි කාන්තාවක් අත්අංඩගුවට ගත්තේය.

ඒ අනුව ඇගෙන් ප්‍රශ්න කරද්දී හෙළිවුයේ එකම එක දිනක් පමණක් ඇසුරුකර ඇයව විවාහකරගන්නා බවට දුන් පොරොන්දුවක් පිට තම පෙම්වතාගේ කීමට තමා මේ ජාවාරමට සහාය දුන් බවය.

පසුව මෙහි සුලමුල අනාවරණය විය. දීර්ඝ කාලයක් තිස්සේ බන්ධනාගාර ගතව සිටින සිරකරුවකු මෙම ජාවාරමේ මහ මොළකරුය. පුවත්පතකට මෙම රූපලාවන්‍යාගාරය පිළිබඳ පළකළ දැන්වීමකින් දැන හඳුනාගෙන ඇගේ නමට මෙසේ ඇමතුම් දෙමින් ඔහු මෙම ජාවාරම සිරගෙදර සිට මෙහෙයවා ඇති බව පරීක්ෂණ වලින් අනාවරණය කරගත හැකිවිය. රූපලාවන්‍ය ශිල්පිණිය රවටා ලබාගත් ලක්ෂ 13කට ආසන්න මුදල සොයා ගැනීම සඳහා විමර්ශන පවත්වමින් සිටින ගල්කිස්ස කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයට මේ අන්දමේ ජාවාරම් කරුවන්ට හසු වී ලක්ෂ ගණනින් මුදල් අහිමිකරගත් 20 දෙනකුගේ පමණ දුක්ගැනවිලි අසන්නට ලැබී ඇත.

ඔබත් මෙලෙස හසුවුණු අයකු නම් වහා ගල්කිස්ස පොලිසියට එන ලෙස පොලිසිය මහජනයාගෙන් ඉල්ලා සිටී.

ගල්කිස්ස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චන්දන අතුකෝරළ ගේ අධීක්ෂණය යටතේ ගල්කිස්ස ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරි රොහාන් ප්‍රනාන්දු ගේ උපදෙස් මත ගල්කිස්ස පොලිසියේ වැඩබලන මුලස්ථාන පොලිස් පරීක්ෂක අනුර ගුණතිලක ප්‍රමුඛ ගල්කිස්ස කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ ස්ථානධිපති සී.අයි. එච්. එස් පෙරේරා සමඟ සැරයන්වරුවන 13427 පි‍්‍රයන්ත, 51487 නවරත්න ද කොස්තාපල්වරුවන 15016 සෙනරත්, 61211 දිමුතු, 74491 නුවන් සහ කාන්තා පොලිස් කොස්තාපල් 6421 සරෝජිනී ආදීහු මේ පිළිබඳ වැඩිදුර විමර්ශන පවත්වමින් සිටිති.