බිරියගෙන් පළිගන්නට සිඟිත්තිය ඝාතනය කළ නරුම පියා

බිරියගෙන් පළිගන්නට සිඟිත්තිය ඝාතනය කළ නරුම පියා

අප කාගේත් ජීවිතවල ඉරණම විසඳෙන්නේ සංසාරයේ පතාගෙන ආ ලෙසය. මේ බොහෝ සිදුවීම් ඉරණමේ අපූරු සැලසුම්වලට යටත්ය. ඉපදීම, මිය යාම ඒ සංසාර තීරණ මත සිදුවේ. පටාචාරා සිටු දියණිය සියලු සැප සම්පත් මැද සුන්දර දිවියක් ගත කරමින් සිටියාය. කරුමයක මහත, ඇගේ නෙත් සිත් පැහැර ගත්තේත්, ඇය ප්‍රේයෙන් මුසපත් කළේත් සිටු මාලිගාවේ දාසයෙකි.

ඇයට ඔහුගේ දසුන මිහිරක් විය. අවසානයෙහි හොර රහසේම මෙහෙකරුවා සමඟ පලායන පටාචාරාව ඉන්පසු ගෙවන්නේ අතිශය දුෂ්කර දිවියකි. යළිත් දරුවන් හා සැමියා කැටිව ගම්බිම් බලා එන ඇයට මුහුණදීමට සිදුවන්නේ නොසිතූ ව්‍යසනයකටය. දරවන් ද අහිමිව සැමියාගේ වියෝගය ඇයට දරාගත නොහැකි විය. ඇගේ ඉරණමේ සැලසුම එයම වූයේ කිනම් පවකින් ද?

මේ නූතන පටාචාරාව ද තුරුණු වියේදීම තමන්ට නොගැලපෙන ප්‍රේමයක් වෙනුවෙන් ළඳ බොළඳ හදවත පුද කළේ දෙවරක් නොසිතාය. ඇයට සැපවත් අනාගතයක් උදා කිරීමට සිතූ මවුපියෝ ඒ වන විට සිටියේ විදෙස්ගතවය. යම් තරමකට පාසල් අධ්‍යාපනය ලද ඇය පවුලේ එකම දරුවා වීම ද සුවිශේෂී විය.

තෝරකොලයායේ අංක 116 දරන නිවෙසේ පදිංචිව සිටි දිනේෂා සුකුමලී ඒ නිවසේ ආලෝකය ලෙස කාගේත් ආදරයට පාත්‍ර වූවාය. හුරුබුහුටි පෙනුමින් යුත් සුකුමලීගේ ප්‍රියමනාප බව නිසාම කවුරුත් ඇය දෙස ආදරයෙන් බැලුවේය. ළඳ බොළඳ සුරතල් කෙල්ල නිදහසේ ජීවිතය ගත කරමින් සිටියදී ඇගේ ජීවිතයේ ඉරණම්කරුවා ඇගේ පියවර ඔස්සේ ළඟටම පැමිණ සිටියේය. ඔහු ද ඉතා ළාබාල කොලු ගැටයෙකි. හෙල්වල දම්මිණියවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ චතුර මධුසංක ඇගේ ජීවිතය ළඟ නතර වන්නේ දෙදෙනාගේම නිසි වයස් එළඹීමටත් ප්‍රථමයෙන්ය. කටේ කිරි සුවඳවත් හරිහැටි මැකී නොගිය මෙම යුවළ ප්‍රේමයෙන් බැඳී ගියේ කාටත් හොර රහසේය.

චතුර යනු පාසල් අධ්‍යාපනයක් පවා හරි හැටි ලබා නොගත් තමන්ගේ මනාපයට ජීවිතය ගත කළ අකීකරු පුත්‍රයෙකි. මොනවා නැතත් දුරාචාරයට යොමු වී සිටි ඔහු හරි හරියට ගංජා ඉරුවේය. රා අරක්කු හිතේ හැටියට පානය කළේය. ඒ මදිවාට සූදු අන්තුවෙක් ද වූයේය. මෙතරම් ළාබාල වයසේදීම ඔහු සමාජයේ අකැප යයි සම්මත දුරාචාරයන්හි නියැලී සිටියේ මවුපියන් නිහඬව සිටියදීය. මේ දුරාචාරයන් නිසාම කවුරුත් ඔහු නොරිස්සුවේය. ඒ සියල්ල නොකඩවා කරගෙන යන අතරතුරදීම ඔහු ප්‍රේමවන්තයකු වී අවසන්ය. අතේ සතේ නැතිව රැකියාවක් පවා නොතිබුණු ඔහු ජීවත් වූයේ මවුපියන්ගෙන් ඉල්ලා ගත් මුදල්වලිනි.

චතුරගේත් සුකුමලීගේත් බාලවයස්කාර ප්‍රේමය මවුපියන්ගේ කනට වැටෙන්නට වැඩි දවසක් ගත නොවීය. සුකුමලීගේ වැඩිහිටියෝ මෙයට කෙසේවත් නොකැමැති වූ නමුත් කළ හැකි යමක් නොවීය. නිසි වයස් එළැඹි පසු දෙදෙනාට විවාහවීමේ ආශිර්වාදය ලබා දුන් මවුපියෝ නිහඬව කරබාගෙන සිටියේ තවත් කාලයක් ගතවී යන තුරුය. කාලය ද ගෙවී ගියේ දෙදෙනා නිසි වයස් සම්පූර්ණ කරමින්ය.

සුකුමලීත් චතුරත් අඹු සැමියන් බවට පත්වී එකම වහලක් යටට එන්නේ ජීවිතය බෙදා හදාගන්නටය. එහෙත් ජීවිතය පිළිබඳ කිසිදු බරපතලක් නොතිබූ අඹු සැමියෝ අලුත් පිට යුග දිවියේ රස පහස විඳිමින් දිවි ගෙවූහ. ජීවත්වීමට අතපය වෙහෙසා රැකියාවක නොයෙදුණු චතුරට එය ගැටලුවක් නොවූයේ සුකුමලීගේ මවුපියෝ විදෙස්ගතව උපයමින් ඔවුන්ට මිල මුදල් එවීම නිසාය.

අනුන්ගේ දහඩිය මහන්සියෙන් ඉපයූ කාසිපනම් හිතේ හැටියට වියදම් කරමින් තම ජීවිතයේ සුඛ විහරණය කළ චතුර දුරාචාරයට බෙහෙවින් නැඹුරු වූයේ එලෙසය. කාලය මෙසේ ගෙවී යද්දී ඔහු තුළ වූ දඩබ්බරකම් නැවත ඉස්මතු විය. ටිකෙන් ටික තම බිරිය සමඟ අඬදබර කර ගැනීමට පුරුදු වූ ඔහු ඇතැම් දිනක ඇයට ගුටිබැට දීමට තරම් දුර්ජනයකු වූයේය. ඒ වනවිට ගැබ්බරව සිටි සුකුමලී ටික දිනකින්ම සිඟිති දියණියකගේ මවක් වූවාය. තිනිදි සදිත්‍යා සසත්මි පුංචි කැදැල්ලට එකතු වන්නේ ජීවිතයට සැනසුම රැගෙන යයි සුකුමලී සිතුවාය. එහෙත් අවාසනාවකට මෙන් චතුරගේ නරුම ගතිගුණ දවසින් දවසම දැඩිවන්නට විය. වැඩිහිටියකු නොමැති නිවසෙහි තම අණසක පතුරවාගෙන තම බිරියට තලා පෙළමින් ජීවිතය ගෙනයෑම ඔහුට රිසි විය. සුකුමලීට මවුපියන්ගෙන් ලැබෙන මුදල් තම හිතු මනාපයට වියදම් කරමින් කල්මැරූ චතුරගේ දඩබ්බර හැසිරීම් සුකුමලීගේ අප්‍රසාදයට ලක් වන්නේ තවදුරටත් ඉවසිය නොහැකි තැනය.

නොදන්නා වියේදී කළ මෝඩකම් ගැන පසුතැවිලි වුව ද දැන් එයට කළ හැකි දෙයක් නොවීය. සුකුමලී දිනක්, ඔහුගෙන් ලැබෙන තාඩන පීඩන ගැන මිද්දෙණිය පොලීසියට පැමිණිල්ලක් කළේය.

“මට එයාගෙන් හරියට කරදරයි. හේතුවක් නැතිවත් ගහනවා, බනිනවා. මාව සැක කරනවා. මට එයාගෙන් අයින් වෙන්න ඕනෙ”.

සුකුකමලී හඬා වැටෙමින් පොලීසිය ඉදිරියේ පැවසුවාය.

දෙපාර්ශ්වයම ගෙන්වා අවවාද කර පවුල සමාදාන කිරීමට පොලීසිය ගත් උත්සාහය ව්‍යර්ථ වී ගියේ සුකුමලීගේ බලවත් ඉල්ලීම නිසාය.

“මට මෙයා එපාමයි. මම දික්කසාද නඩුවක් දාලා මෙයාගෙන් වෙන් වෙන්න ඕනෙ”

ඇය දිගින් දිගටම ඔහුව ප්‍රතික්ෂේප කරද්දී ඔහු නිහඬවම බලා සිටියේය. දික්කසාදවීමේ අවශ්‍යතාවක් ඔහුට තිබුණු බවක් පෙනෙන්නට නොවීය.

දෙපාර්ශ්වයේම එකඟතාව මත තීරණය වූයේ දරුවා බැලීමට චතුරට ඉඩ දෙන ලෙසත්, සුරතල් කිරීමට අවස්ථාව දිය යුතු බවත්ය. එහෙත් සුකුමලී කියා සිටියේ දරුවා බැලීමට අවශ්‍ය නම් නිවෙසෙහි ගේට්ටුව ළඟට පැමිණ දරුවා බැලීමටත් සුරතල් කිරීමටත් අවස්ථාව දියහැකි බවය.

මෙම තීරණයෙන් පසු චතුර දමිණියවත්තේ පිහිටි තම මහගෙදර බලා පිටත්ව ගිය අතර සුකුමලී දියණිය ද රැගෙන සිය නිවෙසට ගියාය. මේ නිවෙස් දෙක අතර පරතරය කිලෝ මීටර් දෙක තුනකට වඩා නොවීය. චතුර නිවෙසින් පිටත් වී යාම හේතුවෙන් සුකුමලීගේ රැකවරණය පතා ඇගේ බාප්පා පැමිණ එහි නතර වන්නේ වැඩි කලක් ගතවීමට පෙරය.

අරගල කර පිටව ගිය චතුර තෝරකොළයායේ සුකුමලීගේ නිවෙසට දිනපතා හවස් වරුවේ පැමිණීම සිදු විය. ඒ වෙලාවට සුකුමලීගේ බාප්පා දුව රැගෙන ගොස් චතුරට දුන්නේය. ටික වේලාවකින් චතුර පිටත්ව යන්නේ දරුවා බාප්පා අතට පත් කරමිනි. මෙලෙස කාලය ගෙවී ගියේය.

එක්තරා රාත්‍රියක චතුර මත් වතුරෙන් හා ගංජා මතින් වියරු වැටී සිටියේය. මෙවේලෙහි ඔහුට සුකුමලී පිළිබඳ මෙන්ම දරුවා පිළිබඳව ද සිහි විය. ඒ රාත්‍රියේම ඔහු සුකුමලීගේ නිවෙස ළඟට ගියේය. දුව සිටියේ නිදිමත ගතියෙනි. ඒ වන විට නිදිබරව සිටි දරුවා සුකුමලීගේ උකුල මත නිදා වැටෙමින් සිටියේය. චතුරගේ හඬ ඇසුණු බාප්පා දරුවාට ඇඳුමක් අන්දවා දෙන ලෙස සුකුමලීට කීවේය. සීතලට ඔරොත්තු දෙන අයුරින් ඇඳුමින් අන්දවා බාප්පා අතට දරුවා දුන් සුකුමලී, චතුර දරුවා අතට ගන්නා අයුරු ද බලා සිටියාය. බාප්පා ද මඳකට ඉවත්ව ගියේය.

කාලය ගත වී ගිය ද දරුවා රැගෙන චතුර යළි එනපාටක් පෙනෙන්නට නොවීය. තත්පරයෙන් තත්පරය කාලය ගෙවී යද්දී සුකුමලී බියෙන් තැති ගත්තාය. මොහොතක් ගෙවී යද්දී අසල්වැසි කාන්තාවක සුකුමලීට දුරකථන පණිවුඩයක් එව්වේ තමන් දුටු දේ පවසමිනි.

“චතුර දරුවත් අරන් තේක්ක කැලේ පැත්තට දිව්වා”

ඉන් තැතිගත් සුකුමලී, චතුරගේ දුරකථනයට ඇමතුමක් දුන්නාය. එහෙත් එය ක්‍රියාවිරහිතය. පසුව ඇය ඔහුගේ මහ ගෙදරට කතා කළේ ඔහු එහි ඇති බවට සැක කරමිනි. දරුවා එහි ද නොවීය. තේක්ක කැලය ඇත්තේ ඇගේ නිවෙස පිටුපසය.

ඇය උමතුවෙන් මෙන් හඬා වැටුණාය. සිය බාප්පා සහ ඥාති සහෝදරයකු සමඟ මිද්දෙණිය පොලීසියට ගිය ඇය ඒ පිළිබඳ පැමිණිලි කළාය.චතුරගෙන් සුකුමලීට දුරකථන ඇමතුමක් ලැබිණි. “දරුවා ඕනෙ නම් උඩහ තේක්ක කැලේට වරෙන්” ඉන් කියැවිණි. රාත්‍රිය වැඩි නිසා එය කළ නොහැකි බව ඇය කියා සිටියාය. දරුවා වෙනුවෙන් ඉනූ කිරිවලින් ඇගේ තනපුඬු පුපුරු ගසමින් තිබුණි. අවසානයේ බාප්පා චතුරගේ දුරකථනයට ඇමතුම් දුන්නේය. බාප්පාගේ දුරකථනයට පිළිතුරු දෙන චතුර තේක්ක කැලයේ දරුවා සිටින බව කීවේය. විදුලි පන්දම් එලියෙන් තේක්ක කැළයට ගිය බාප්පා දරුවා සෙව්වේ නොඉවසිල්ලෙන් යුතුවය.අවසානයේ දරුවා සොයා ගිය බාප්පාට දරුවා හමු විය. දරුවා සිටියේ නිදාගෙනය. ඒ දසුන සිත කම්පා කරවන සුළුය. ඔහු දරුවා දෝතට ගත්තේය. එහෙත් සිඟිත්තියගේ ගෙල පැත්තකට ඇල වී ගියේය. උණු ලේ දහරාවක් ගලායමින් තිබුණි. පුංචි දියණිය ගෙල කපා මරා දමා ඇත. චතුර නැමැති දුර්ජන පියා පැන ගොසිනි. ඔහු තම බිරියගෙන් පලිගත්තේ තමන්ගේම ලෙයින් උපන් කිරිකැටි දියණිය ඝාතනය කිරීමෙනි. සුකුමලීගේ ජීවිතයේ විලාපය මේ රාත්‍රිය දිගේ ඈතට ඈතට ඇදී ගියේය. ඒ විලාප හඬ ඇසුණු ගම්වැසියන් මහා රාත්‍රියේම තේක්ක කැලේට දිව යන්නේ මේ අපරාධය කුමක් ද යන්න සොයා බලන්නටය.පසුගිය දිනක මේ අධම මිනිසා යතුරුපැදියක නැඟී පලා යද්දී පොලීසිය ලුහුබැඳ ගියේය. යතුරු ප0ැදිය අතහැර කැලෑවට වැදුණු ඔහු ඊට දින කිහිපයකට පසු නීතියේ රැහැනට කොටු විය. ජීවිතයේ උරුම කරුම අපට තවත් මාවතකට පාර කපන්නේ එලෙසය. තමන්ගේම ලේවලින් පලිගත් මෙවැනි අදම මිනිසුන්ට නොකළ හැකි යමක් මේ මිහිපිට තිබිය නොහැකිය.තංගල්ල කොට්ඨාශ බාර පොලිස් අධිකාරී සිසිර කුමාර, තංගල්ල සහාකාර පොලිස් අධිකාරි සුගත් මාසිංහගේ උපදෙස් මත මිද්දෙණිය පොලිස්සියේ ස්ථානාධිපති සංජීව,අපරාධ අංශයේ ස්ථානාධිපති ජයවීර ප්‍රමුඛ සැරයන් වරුන් වන 15315 ධර්මසිරි,24084සෝමපාල,කොස්තාපල්වරුන් වන 12579 සුසන්ත,27970 ජයතිලක, 88977 සුරවීර ඇතුළු කණ්ඩායමක් පරික්ෂණවල නිරත වුහ.