"ඒකගේ බෙල්ල කැපුවට හිත වාවන්නේ නැහැ සර්

"ඒකගේ බෙල්ල කැපුවට හිත වාවන්නේ නැහැ සර්

හිරිඇල්ල - වටවල කඳු ගැටයක අක්කර භාගයක් පමණ වගා කරගෙන ඒ ඉඩමේ අටවාගත් පැල් කොටයේ තනිකඩ ජීවිතයක් ගතකළ රාළ ඒ අවට ප්‍රකටව සිටියේ හොඳ සමාජ සේවකයකු ලෙසටය. හැන්දෑකරේට අඩියක් ගසන්නටත් පුරුදුව සිටි රාළ ගොවිකමට මෙන්ම මැණික් පතල් කෙරුවාවටත් දස්කම් පෙන් වූ පනස් තුන් හැවිරිදි අයෙකි.

පසුගිය 13 වැනිදාට එළිය වැටෙන විට හිරිඇල්ල ගම්මානය පුරාම රාළගේ මරණය ලැව්ගින්නක් මෙන් පැතිර ගියේය. රාළ මරා දමා තිබුණේ ගෙල කපා දැමීමෙනි. ඔහුගේ සිරුර පුරාද පිහි පහර එල්ල වී තිබිණි. රාළ ගේ සොහොයුරකු මේ බව රත්නපුර පොලිසියට පැමිණිලි කිරීමෙන් පසුව පොලිස් කණ්ඩායමක් වටවලට ගොස් ඒ පිළිබඳ විමර්ශන ඇරඹීය. ගෙල වෙන්වන්නට ඔන්න මෙන්න තරමට කපා දමා තිබූ රාළගේ මළකඳ පොලිසියට යන විටත් සීතල වී ගල් ගැසී තිබිණි.

ඒ දිනවල තිබූ තරමක වැසිබර කාලගුණ තත්ත්වය හේතුවෙන් වැඩි දෙනෙක් සවස් වරුවේ සිටම නිවෙස්වලට වී කාලය ගත කළා මිස වෙනදා මෙන් රෑ බෝ වූ විට එළිපහළියේ ඇවිදින්නට ගියේ නැත. එහෙත් රාළට ඒ වගක් නොවීය.

කොහොමටත් පවුල් බරක් නොවූ රාළට රෑ ගමන් බිමන් එතරම් අමුතු දෙයක් නොවීය.

කෙසේ වෙතත් ඇරඹී විමර්ශනයේදී රාළගේ ඝාතකයා ඉතිරි කර ගිය කිසිදු සාක්ෂියක් සොයා ගැනීමට පොලිසියට හැකි වුණේ නැත. එහෙත් රත්නපුර අපරාධ ස්ථාන පරීක්ෂණාගාරයේ පොලිස් පරීක්ෂක මායාදුන්න ඇතුළු පිරිස රාළ මරා දමා තිබූ පාළු නිවෙසේ බිත්තියකට විසි වී තිබූ ලේ පැල්ලමක් සමඟ කෙස් ගසක් සොයා ගත්තේය.

මේ අතර හිරිඇල්ල - වටවල කඳුකර ගම්මානය පීරමින් සිටි රත්නපුර පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති සමන් පාලිතට ඔහුගේ පුද්ගලික ඔත්තුකරුවකුගෙන් ලැබුණු වටිනා හෝඩුවාවත් සමඟ විමර්ශන වෙනතකට යොමු විය.

“සර් රාළ කන බොන මිනිහා වුණාට රණ්ඩුකාරයෙක් නෙවෙයි. ඒත් ටික කාලෙකට කළින් මිනිහගෙ ෆෝන් එක නැති වුණා. ඒක අහුලා ගත්තේ ගෝල සමන්තගෙ පවුල කියලයි රාළ හිතාගෙන ඉන්නේ. රාළ ටිකක් කටේ හළාගත්තාම ඔය කතාව කියන්න පටන් ගන්නවා. ඒ ගෑනිගෙ ගේ දොරකඩින් යද්දීත් රාළ ඔය ආඩපාලිය කියනවා. ඒ සිද්ධිය ගැන ටිකක් හොයා බලන්න සර්.....”

ෆෝන් පලහිලව්ව සොයා බලන්නට වෙනමම පොලිස් කණ්ඩායමක් ගෝල සමන්තලාගේ නිවෙසට පිටත් කර හැරිය රත්නපුර මුලස්ථාන පොලිස් පරීක්ෂක අජිත් කුමාරට ඊට ටික වේලාවකට පසු එම කණ්ඩායම උත්තර බැන්දේ මෙළෙසින්ය.

“සර් අපි ගෝල සමන්තගේ ගෙදරට ගිහින් බැලුවා. මිනිහා ගෙදර නෑ. රාළගෙ ෆෝන් එක අහුල ගත්තයි කියලා රාළ දොස් කියලා තිබුණු ගෑනි විතරක් ගෙදර ඉන්නවා. හැබැයි වැඩේ කියන්නේ සර්, ඒ ගෑනිත් ගෝල සමන්තව හොයනවා. රෑ හිටිය මනුස්සයා උදේ නැඟිටලා බලද්දී නැහැ කියලා ඒ ගෑනිත් කියනවා සර්....”

ඒ කතාව ඇසූ රත්නපුර මූලස්ථාන පොලිස් පරික්ෂකවරයා ආගිය අතක් නැති ගෝල සමන්තට මොනවා වූයේ දැයි සොයන්නට බාර කළේ උප පරීක්ෂක යසිරු රත්නායක ඇතුළු කිහිපදෙනෙකුටය. එම නිළධාරීන් ගෝල සමන්ත ගැන විපරම් කරන්නට වූයේ ඉන් අනතුරුවය.

“මිනිහට ගෝල සමන්ත කියන්නේ කාට කාටහරි අත් උදව් දීගෙන ඉන්න නිසයි. පසුගිය දවස්වල නම් මිනිහා ගල්වලේ වැඩ කළේ. මිනිහා හුඟක් වෙලාවට කරන්නේ බාසුන්නැහේලාට අත් උදව් දෙන එක තමයි. ඊයේ හවසත් මිනිහා කන පැලෙන්න බීලා හිටියේ් මහත්තයෝ. ඇයි මහත්තයලා මිනිහව හොයන්නේ.....”

සිවිල් ඇඳුමින් සැරසී සිටි පොලිස් නිලධාරීන්ගෙන් ප්‍රදේශවාසියකු එසේ ප්‍රශ්න කරන්නට වූයේ ඔහුද ගෝල සමන්තගේ මිතුරෙකු වූ නිසාය.

“නෑ අපේ හිතවතෙකුගේ ගෙදර වැඩකට කෙනෙක් හොයාගන්න ඕන ඒකයි....”

වැඩිදුරටත් ගෝල සමන්ත ගැන විපරම් කරද්දී ගම්මු පොලිසියට කීවේ මෙවන් කතාවන්ය.

" මිනිහා පිටගම්කාරයානේ. මිනිහාගේ ගම කුරුවිට. එරත්න තමයි මහ ගෙවල් තියෙන්නේ...."

ලැබුණු එම හෝඩුවාවට අනුව පොලිස් කණ්ඩායම ඊළඟට ගියේ එරත්න පිහිටි ගෝල සමන්තගේ මහ ගෙදරටය.

පොලිසිය ගෙට ගොඩවන විටත් ගෝල සමන්ත මහ ගෙදර සිටියේය. පොලිසිය දැක තක්කු මුක්කු වී පස්ස දොරින් මාරුවන්නට හැදුව ද ඊට කලින් ඔහුව වට කරන්නට නිළධාරීන්ට හැකිවිය. ඉන් බියට පත් සමන්ත “ඇයි සර් මොකද මේ....?” යැයි නිලධාරීන්ගෙන් විමසුවේය.

“තමුන් රාළව අඳුනනවා නේද? ඇයි මිනිහගෙ බෙල්ල කපලා මරාදාලා කියලා දන්නෙ නැද්ද.....?”

පොලිසිය එසේ විමසද්දී කැළඹුණු ගතියක් පෙන් වූ ගෝල සමන්ත මෙතෙක් වේලා ගිලගෙන සිටි මොකක්දෝ දෙයක් කියන්නට උත්සාහ ගත් වග වටහාගත් නිලධාරීන් ඊට බාධා නොකොට ඔහු දෙස බලා සිටියේය.

“උගේ කෙහෙම්මල් ෆෝන් එකක් මගේ ගෑනි ගත්තා කියලා ඒකා බීගෙන කුණු හබ්බ කිය කිය මගේ ගෑනිට බනිනවා සර්. මං ගෑනිවත් ඒකා ළඟට එක්කරන් ගිහින් ඇවිස්සුවා. එහෙම කරලත් මේකගේ කන්කරච්චලේ ඉවරයක් තිබුණෙම නෑ”

“ඉතින්...”?

පොලිසිය ගෝල සමන්ත කියන්නට යන දෙයට ඉඩ දුන්නේය.

“ඉතින් සර් ඊයේ හවසත් ඕං ඒකා බීගෙන අපේ දොරකඩ ළඟින් ගාටද්දි මගේ ගෑනිට කුණුහබ්බෙන් බැන්නා. ඒ වෙද්දී මමත් ගෙයි හිටියේ. අරක්කු බාගයක් විතර බීලා හිටියේ. ඒකා බීගෙන ඇවිත් බනින බැනිල්ල මට ඉවසගන්න බැරි වුණා සර් . මං ඒකට දෙකක් අනින්නයි ගියේ. ඒත් මගේ පවුල ඇවිත් මාව ගෙට ඇදන් ගියා .....”

එතැනින් එහාට යමක් නොකියා ගෝල සමන්ත අඬන්නට පටන් ගත්තේය.

“හරි ඉන් පස්සේ මොකද වුණේ ඉතුරු ටිකත් කියනවා”

නිළධාරියෙකු ගෝල සමන්තට තදින් කීවේය. රාළ මැරූ හැටි ගෝල සමන්ත පාපොච්චාරණය කළේ ඉන් පසුවය.

“මං ආපිට කාලක් බිව්වා සර්. ඊට පස්සේ තවත් කාලක් අරන් ගිහින් ගෙට වෙලා බීලා නිදාගන්න හැදුවා. ඒත් මට නින්ද ගියේ නෑ. එතනින් එහාට මට හරියට මතකත් නෑ වගේ සර්. ඒත් පිහියයි නියනයි අතට අරන් මං රාළයා හොය හොයා ඇවිද්දා මතකයි. මං ඒකගෙ බෙල්ල කපලා නියනෙන් ඇන්නා සර්”

“ඒත් මං ඒ කළ දේට හිත වාවගන්න අමාරු වුණා. මං ගෙදර ගිහින් හිටියා. ඒත් මට නින්ද ගියේම නෑ සර්. ආපිට එළිවෙන ජාමෙ මං පිහියයි නියනයි ලේ ගැවිච්ච මගෙ ඇඳුම් කැඩුම් ටිකයි ඔතාගෙන මගෙ අතින් වෙච්ච දේ ගැන කණගාටු වෙවී එරත්නෙ අපේ මහ ගෙදර ආව ගමන් තමයි සර් මේ ඉන්නේ.....”

සැකකරුගේම ප්‍රකාශ මත මහ ගෙදර පිටුපස දර මඩුව අස්සේ කඩදාසිවල ඔතා පොලිතින් මල්ලකට ඔබා තිබූ රාළ මරන්නට යොදාගත් බවට සැක කෙරෙන පිහිය, නියන සහ ලේ තැවැරුණු ඇඳුම් ද සොයා ගැනීමට පොලිසිය සමත් විය.

රත්නපුර කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සමන් යටවර ගේ අධීක්ෂණය යටතේ හිරිඇල්ල ප්‍රදේශය භාර පොලිස් අධිකාරි ජයරත්න මනම්පේරි මහතාගේ උපදෙස් මත රත්නපුර පොලිසියේ මුලස්ථාන පොලිස් පරීක්ෂක අජිත් කුමාර ප්‍රමුඛ එම පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති සමන් පාලිත උප පරීක්ෂකවරුවන යසිරු රත්නායක සහ ජයතිලක ද සැරයන්වරු වන 16920 විජේරත්න සහ 38110 ජයසිංහ ද කොස්තාපල්වරු වන 38730 වීරසේකර, 42837 සිල්වා, 89329 ප්‍රභාත්, 1921 ජයකාන්ත, 90080 රශ්මික, 29077 අජිත් යනාදිහු මේ පිළිබඳ විමර්ශනවල නිතරව සිටියහ.