කොමඩ් එකෙන් මතුවුණු ගංජා

කොමඩ් එකෙන් මතුවුණු ගංජා

පොලිස් වැඩ්ඩන් අතරේ සිටින හොඳ වැඩ්ඩකු වන “ලානා” නිවැරැදි ඉව ඔස්සේ ගොස් මත් ද්‍රව්‍ය සෙවීමට හපනියකි. ලානාගේ භාරකරු වන කොස්තාපල් 86004 මධුශංක ලානා රැක බලා ගන්නේ දරුවකු රැක බලා ගන්නා ලෙසිනි.

බෙල්ජියම් මෙලනොයිස් වර්ගයට අයත් ශක්තිමත් සිරුරකට හිමිකම් කියන ලානා ආම්බාම් කිරීම නම් එතරම් පහසු කරුණක් නොවන්නේය.

රද්දොළුගම, ගල්ලවත්ත ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය සෙවීමේ මෙහෙයුමකට ලානා කැඳවා තිබුණේ මිගමුව පොලීසියට අනුයුක්තව රාජකාරි කළ දෙදහස් පහළොව වර්ෂයේදීය.

එම මෙහෙයුම ක්‍රියාත්මත කළේ ප්‍රදේශයේ නම් දැරූ ගංජා ජවාරම්කරුවකු කොටු කර ගැනීම සඳහාය.

ඔහු ගංජා ජාවාරමේ යෙදී සිටින බව පොලීසිය මෙන්ම අසල්වැසියෝ ද හොඳින් දනිති. ඔහු ගංජා සමග පොලීසියට කොටු වී හිරේ විලංගුවේ වැටුණු අවස්ථා බොහෝය. එහෙත් මෑත කාලයේ ඔහු පවසන්නේ තමා දැන් එම ජාවාරම්වලින් මිදී කුලී රස්සාවක් කරගෙන ජීවිතය ගැටගසා ගන්නා බවය. ඔහු එසේ ප්‍රචාරය කළ ද ඉතාම රහසිගතව ගංජා ජාවාරමේ යෙදෙන බවට පොලීසියට විශ්වාස කටයුතු අංශවලින් තොරතුරු ලැබී තිබිණි.

එදා . . . දෙදහස් පහළොව වර්ෂයේ පෙබරවාරි මස විසි හතර වැනිදා ලානා ද සමඟ මධුශංක අදාල නිවෙස වෙත ළඟා වෙද්දී මීගමුව පොලීසියේ දූෂණ මර්ධන ඒකකයේ කණ්ඩායමක් මෙහෙයුම අරඹා තිබිණි.

ලානා ඉස්සර කරගෙන මධුශංක නිවෙසට ඇතුලු විය. ඒ අවස්ථාවේදී එම නිවෙසේ ගෘහමූලිකයා වන ගංජා ජාවාරම්කරු, ඔහුගේ බිරිය හා දියණිය ද නිවෙසේ සිටියහ.

“මොකට ද මේ බල්ලෙකුත් අරගෙන අපේ ගෙදර එන්නේ. මෙහේ දැන් ගංජා නෑ. මම දැන් ඒවා කරන්නේ නෑ. ඕන නම් ගේ සෝදිසි කරලා බලන්න”

ගෙහිමියා උස් හඬින් ආවේගයෙන් යුතුව කී ඒ වදන් පොලිස් කණ්ඩායම ගණනකට ගත්තේ නැත. ඔවුන් ලානාට කියා නිවෙස සෝදිසි කිරීම ආරම්භ කළේ “හරි හරි බලමු” යැයි කියමිනි.

ලානා ද කැඳවාගෙන නිවෙස පිටුපසට ගිය මධුශංඛ මත්ද්‍රව්‍ය සොයන ලෙස අණ කළේය. ඒ අනුව ක්‍රියාත්මක වූ ලානා මුලුතැන්ගෙයට ඇතුලුව ඉව කිරීම ආරම්භ කළේය. මුලුතැන්ගෙයින් ලානාට ඉවක් දැනුණේ නැත.

ඒ අනුව මුලුතැන්ගෙයි මත්ද්‍රව්‍ය සඟවා නොමැති බව තහවුර කර ගැනීමට මධුශංඛට හැකි විය. ලානා ඊළඟට ඇතුලු වූයේ නාන කාමරයටය.

නාන කාමරයට ඇතුලු වූ ලානාගේ හැසිරීම් රටාව වෙනස් වනු මධුශංඛ නිරීක්ෂණය කළේය. කලබලයෙන් මෙන් ඉව අල්ලමින් ගිය ලානා කොමඩ් එකේ පිටුපස ප්‍රදේශය ඉව කරමින් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙන්නට විය.

ලානා කොමඩ් එකේ පිටුපස බෙනයක් ලෙස ඇති කොටස පහුරු ගාන්නටත්, ඵය කටින් කඩා දමන්නටත් දැඩි වෙහෙසක් දරන අයුරු කාහටත් නිරික්ෂණය විය. ලානාගේ හැසිරීම් රටාව කුමක්දැයි තේරුම් ගත් මධුශංඛ මෙහෙයුමට එක්ව සිටි පොලිස් කණ්ඩායමට කීවේ කොමඩ් එක පිටුපස අනිවාර්යයෙන්ම කුමන හෝ මත් ද්‍රව්‍යයක් තිබිය යුතු බවය.

ඒ අනුව කොමඩ් එක පිටුපස බෙනය වැනි කොටස පරීක්ෂා කළ පොලිස් නිලධාරියාට ඒ තුළ තිබී යමක් ඔතන ලද ෂොපිං මල්ලක් හමු විය. පරික්ෂා කිරීමේදී එහි ගංජා තිබෙන බව නිරීක්ෂණය විය.

කුඩා ගංජා පැකැට් විසි හතරක් එම උරයේ ඔතා තිබූ අතර මුලු බර ග්‍රෑම් හතලිස් හතරකි.

“දැන් තමුං මොකද කියන්නේ, ගංජා ජාවාරම කරන්නේ නෑ කිව්වට මේ අහුනොවෙන්න හංගලා තිබුණේ. මෙයා (ලානා) නාවනම් අපිට මේවා අහුවෙන්නේ නෑ තමයි”

පොලිස් නිලධාරියකු එලෙස ගෙහිමියා අමතා පවසද්දී ඔහු කීවේ අමුතුම කතාවකි.

“මම දන්නේ නෑ. කවුරු හරි ඔතන හංගන්න ඇති”

තම නිවසේ නාන කාමරයේ කොමඩ් එකේ පිටුපස ගංජා සැඟවූයේ තමා නොවන බව ඔහු එලෙස ප්‍රකාශ කරද්දී එය සැමගේ මුවඟට සිනහ නංවන කරුණක් විය. ඒ මොහු බොරුවක්වත් හරියට ගොතා කියන්න නොදන්නා අයකු ලෙස වැටහුණු නිසාය.

පොලීසිය ඔහු අත් අඩංගුවට ගත්තේ ගංජා ජාවාරමේ යෙදීමේ චෝදනාව යටතේය.