“ගෑනු ප්‍රශ්න නිසා එල්ලිලා මැරුණා”

“ගෑනු ප්‍රශ්න නිසා එල්ලිලා මැරුණා”

හෙයියන්තුඩුවේ සූසීමා, තිස් තුන් හැවිරිදි අවිවාහක තරුණියකි. ඇගේ අම්මා කමලාය. නැගණිය සේපාලිය. සූසීමාටත් සේපාලිටත් විවාහයක් හරි යන්නේ නැත. එයින් කමලා නිතර පසුතැවිල්ලට පත්ව සුසුම් හෙලන්නීය. ඊට අමතරව නිවසේ අසාමාන්‍ය දේවල් ද සිද්ධ වෙන්නට විය. පවුලේ තුන් දෙනා අතර නිතර මත ගැටුම් අමනාපකම් සිත් තැවුල් ඇති විය. ගෙදර හදන කෑම බීම ඉතා ඉක්මනින් නරක් වෙන්නට විය. කලින් යමක් කමක් ඇතිව ජීවත් වූ මේ අය දැන් නැති බැරිකම්වලට ද මුහුණ පා සිටිති. ඔවුන් ජීවිතය ගැටගසා ගත්තේ කමලාට ලැබෙන විශ්‍රාම වැටුපෙනි.

මේ තත්ත්වයෙන් මිදෙන්නට විවිධ වත් පිළවෙත් කළත් ඒවායෙන් සහනයක් නොවූ හෙයින් අවසානයේ ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය සොයා ගෙන කමලාත් සුසීමාත් පැමිණියහ.

ප්‍රථම ගවේෂණයේදී ම මවත් දුවත් ගැහෙන්නට වූහ. එදින ඉන් එහා දෙයක් නොවු හෙයින් දින දහ හතරක් ගමේ පන්සලේ දී බෝධි පූජා පවත්වා පවුලේ තුන් දෙනාටම ඊළඟ දිනයට පැමිණෙන ලෙස ගවේෂකවරයා උපදෙස් දුන්නේය.

ඔවුන්ටත් නිවසටත් බලපෑ භූතාත්මය නම්‍යශීලී වන තුරු ඔවුන්ට තුන් හතර වතාවක්ම ගවේෂකවරයා සොයා පැමිණෙන්නට සිදු විය.

පස්වැනි දිනයේ පැමිණි විට කමලාගේ ශරීරයට භූතාත්මයක් ආවිශ්ට වී කෙඳිරි ගාන්නට විය. භූතාවිශ්ට වූ කමලාට ශක්ති කිරණ එල්ල කළ ගවේෂකවරයා භූතාත්මය සමඟ කතා කළේය.

“කවුද මේ ශරීරයට ඇතුල්වෙලා ඉන්නේ?”

“මම මේ දරුවන්ගේ තාත්තා”

භූතාත්මය කීවේය.

“මොකක්ද නම?”

“සුමිත්”

“කොයි කාලෙද මැරුණේ?”

“අවුරුදු දහයකට විතර කලියෙන්”

මොනවා වෙලාද මැරුණේ?”

“එල්ලිලා. බෙල්ලේ වැල දාගෙන.”

“අනේ! අනේ! ඒ මොකද? මේ වටිනා මිනිස් ජීවිතයක් නැති කර ගත්තේ?”

“බිස්නස් වැටුණා.”

“මොනවාද කරපු බිස්නස්?”

“ගෘහ භාණ්ඩ වෙළදාම”

“ඇයි බිස්නස් වැටෙන්න හේතුව?”

“ස්ත්‍රී ඇසුර. අතේ සල්ලි ගැවසෙන කොට ගෑනු කාන්දමට වගේ මගේ ළඟට ඇදිලා ආවා මහත්තයා. මම ඒ කාලෙ ගෑනු හය දෙනෙක් ආශ්‍රය කළා. ඒ අයට අත දිග ඇරලා වියදම් කළා. එහෙම වෙන කොට ගෙදර පවුල් ජිවිතේ අවුල් වුණා. අඬ දබර ඇති වුණා. අර ගෑනු හය දෙනාගෙ බලපෑමක් වැඩි වුණා. බිස්නස් වලට කාලය යොමු කරන එක අඩු වුණා. බිස්නස් අවුල් වුණා. ගෑනු ප්‍රශ්න නිසා අඩි ගහන එකත් වැඩි වුණා. ණය වුණා. ගත්ත ණය ගෙවා ගන්න බැරි වුණා. මේ හැම එකකින්ම ඔළුවට ප්‍රශ්න වැඩි වුණා. දරා ගැනීමේ ශක්තිය නැතුව ගියා. මම එල්ලීලා මැරුණා.”

“ඇයි ජීවිතය නැති කර ගත්තේ?”

“ඔක්කොම එපා වුණා නිසා”

“ඔක්කොම එපා වුණා මිනිහා මැරුණාට පස්සේ මොකද මේ මෝනටයි දරුවන්ටයි හිරිහැර කරන්නේ?”

“මුන්ගෙන් පළිගන්න.”

“ඒ මොන වරදක් කළාට ද?”

ගවේෂකවරයා ඇසීය.

“මුන් මට සලකන්නේ නැහැ.”

“මොකක් ද තමුන් බලාපොරොත්තු සැලකිල්ල?”

“මුන් මට පින් දෙන්නේ නෑ.”

“මේ අය පහුගිය අවුරුදු දහයේම තමුන් සිහිකර දාන මාන දීලා පින්දීලා තියෙනවා”

“මට දැනුණේ නෑ.”

පේ‍්‍රතයා කියන්නට විය.

“තමන් ඉන්න මට්ටමට පින් දැනෙන්නේ නෑ. සිත නිතරම ද්වේෂයෙන් දැවෙන කොට පේ‍්‍රතයන්ට පින් දැනෙන්නේ නෑ. තමන් මේ අයගෙන් පළිගන්නේ කළින් අර තරම් වියදම් කරපු හොර ගැනුන්ගෙන් ඇයි පළිනොගන්නේ. උන්ට නේද තමුන් වියදම් කළේ සැලකුවේ. උන් මොනවද කළේ? තමුන්ව මෝඩයා කරගෙන රවටලා සල්ලි ගත්තා. ව්‍යාපාර පිරිහුණා. දැන්වත් වෙනස් වෙන්න බලන්න. අන්න එතකොට පින් දැනේවි”

“අනේ, මහත්මයා, මම වෙනස් වෙන්න කැමැතියි.”

භූතයා බැගෑපත් බවින් කීවේය.

“මම මේ අයට තවත් දවස් දහ හතරක් බෝධි පූජාව පවත්වන්න නියම කරනවා. මේ අය යනකොට තමනුත් බෝධි පූජාවට යන්න. මේ අය මල් පහන් පූජා කරන කොට සමාධි බුදු පිළිම වහන්සේ දිග බලාගෙන ඒ මල් පහන්වලට අත ගහලා පූජා කරමි. පූජා කරමි. පූජා කරමි. පුජා වේවා කියලා හිතන්න. මේ අය පන්සිල් සමාදන් වෙන කොට තමනුත් පන්සිල් සමාදන් වෙන්න. මේ මොහොතේ පටන් මේ පන්සිල් පද මම ආරක්ෂා කරනවා කියලා අධිෂ්ඨාන කර ගන්න. එතකොට ඔය ද්වේෂය දුරුවෙලා සිත පිරිසිදු වේවි. අන්න ඒ සිතට පින් දැනේවි”

භූතාත්මයට එලෙස උපදෙස් දුන් ගවේෂකවරයා මිය ගිය පියා ගැන කරුණාවෙන් බෝධි පූජා පවත්වා පින් අනුමෝදන් කොට නිවසේ සාංඝික දානයක් පිරි නමා පියාගේ නම කියා පැන් වඩා පින් අනුමෝදන් කොට නැවත එන්නැයි මවටත් දියණියත් දෙදෙනාටත් උපදෙස් දුන්නේය.

පින්කම් අවසන් කොට ඔවූහු නැවත පැමිණියහ. එදින ද කමලාට දිෂ්ටි ගන්වා භූතාත්මය සමඟ ගවේෂකවරයා සාකච්ඡා කළේය.

“කොහොමද පසුගිය දවස් ටිකේ මොකද කළේ?”

ගවේෂකවරයා භූතාත්මයෙන් විමසුවේය.

“හොඳයි මහත්මයා. මම මෝනයි දුලයි එක්ක බෝධි පූජාවලට ගියා. එතැන හරිම සුවදායක තැනක්. මේ තුන්දෙනා දානයකුත් දීලා මට පින් දුන්නා. මට සතුටක් දැනුණා. දැන් මගේ හිතේ තරහක් නෑ.”

“ඔව් මේ අය යුතුකම් කළා. ඔබත් දැන් කල්පනා කරන්න ඔබට ඔහොම වුණේ මොකද කියා. ඔහොම වුණේ ඔබේම වැරදි චාර්යාවන් නිසා. ඉන්ද්‍රිය අසංවරය නිසා. හොර ගෑනුන්ට ගෙවල් දොරවල් හදා දුන්නා. යාන වාහන අරන් දුන්නා. මත්පැන් පානය කළා. හොඳ නරක තේරුම් ගත්තේ නැහැ. ව්‍යාපාර පිරිහුණා. තමන්ගේ ජීවිතේ තමන්ට ම එපා වුණා. ප්‍රාණ ඝාතයක් කර ගත්තා. අන්තිමේ තමන් මොනවද ලැබුණේ? අකුසල කර්මවලට විපාක වශයෙන් පෙරේතයෙක් වෙලා උපන්නා. දැන් තමන්ට අර හය දෙනා හොයා ගෙන යන්න පුළුවන් නේද? කැමති නැද්ද ඒ තැන්වලට යන්න.”

“අනේ එපා.... එපා... මම දැන් උන්ට කැමති නෑ. උන් කපටි ගෑනු. මාව විනාශ කළා.”

“අනුන්ට දොස් කියන්න එපා. ඕකට හේතුව ධර්මය නොදන්නාකමයි. පව පින නොදන්නාකමයි. මෝහය. අවිද්‍යාව නිසා එයින් ඔබ දුකට ම පත් වුණා. දුගතියේ උපන්නා මදිවාට ඔබේ වෛරී සහගත බලපෑම් නිසා දූලා දෙන්නත් දුක් විඳිනවා. ඔබ නිසා ඒ අයට විවාහයක් කර ගන්න විදිහයක් නෑ ඔබ ඒ අයගේ විවාහයට බාධාවක්. ඒත් මේ අය ඔබ වෙනුවෙන් පින් දහම් කළා. දැන්වත් ඔය දුගතියෙන් මිදෙන්න කල්පනා කරන්න. ඔය පේ‍්‍රතාත්මයෙන් මිදී ඉහළ තලයකට යන්න අධිෂ්ඨාන කරන්න. ඒකට හොඳ සිද්ධ ස්ථානයක් තෝරගන්න.”

“ඔව්. මහත්මයා. මට දැන් වැටහෙනවා. මම කරන්නේ වරදක්. පාපයක්. මම බෙල්ලන්විලට යන්න කැමතියි. මට එතැන පුරුදු තැනක්. මම ආයෙත් මේ අයට කරදර කරන්නේ නෑ. මම එතැනට යනවා. මේ තුන් දෙනාටත් ඔබ තුමාටත් පින් සිද්ධ වෙනවා. මම යනවා. මම යනවා.”

එසේ කී භූතාත්මය සිය කැමැත්තෙන්ම ඉවත්ව ගියේය.

අවබෝධය ලැබෙන විට පුද්ගලයා යහමඟට පැමිණෙයි.