"ආත්ම තුනක්ම මම, මෙයා හොයාගෙන ආවා"

"ආත්ම තුනක්ම මම, මෙයා හොයාගෙන ආවා"

වත්තල වින්සන්ට් තිස් හැවිරිදි ක්‍රිස්තු භක්තියෙකි. බැංකු නිලධාරියෙකි. එක් දරු පියෙකි. බිරිඳ චාමිණී විසිපස් හැවිරිදිය. කල්පනාවේ වෙනසක් හට ගැනීම නිසා වින්සන්ට් මනෝ වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ගත්තේය. මොහුට විශාදය නමැති මානසික රෝගය ඇතැයි සැකකොට ප්‍රතිකාර කළත් සුවයක් නම් නොවීය.

දැන් ඔහු බලාගත් අත බලාගෙන කල්පනා කරයි. වරෙක ඉකිබිඳ හඬයි. අඳුරු අහුමුළුවල තනිව සිටින්නට පි‍්‍රය කරයි. රාත්‍රියට බිරිඳගෙන් ඈත් වී වෙනම කාමරයක නිදා ගනියි. කරන ලද ප්‍රතිකාරවලින් සුවයක් දකින්නට නොවූ හෙයින් චාමිනී ඔහු රැගෙන ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය සොයාගෙන ආවාය.

තම සැමියා මේ තත්ත්වයට පත්වන්නට කිසිම වරදක් හෝ හේතුවක් නැති බවත් මීට අවුරුදු එකහමාරකට පෙර හිටි හැටියේ මේ තත්ත්වයට පත් වූ බවත් ආධ්‍යාත්මීය උපදේශකවරයා ඉදිරියේ ඇය පැහැදිලි කළාය.

එදින රෝග පරීක්ෂාවේදි වින්සන්ට්ට භූතාත්මයක් ආවිශ්ටවී අඬන්නට වූයේය. ඒ දුක්බර ඇඬීම නතර නොවූයෙන්, ගවේෂකවරයා ඔහු ප්‍රකෘති සුවයට පත් කොට දින විසි එකක් ගමේ පන්සලේ දී බෝධි පූජා පවත්වා නැවත එන්නැයි චාමිනීට උපදෙස් දුන්නේය. ඔවූහු ක්‍රිස්තු භක්තිකයන් වුවද ප්‍රතිකාරය වෙනුවෙන් බෝධි පූජා පවත්වන්නට කැමැත්ත ප්‍රකාශ කළහ.

එයින් සහනයක් ලැබෙන බව ඔවූහු විශ්වාස කළහ.

බෝධි පූජා අවසන් කොට ඔවූහු නැවත පැමිණියහ. එදින ප්‍රතිකාර ආරම්භයේදීම වින්සන්ට්ගේ ශරීරයට භූතාත්මයක් ආවිශ්ට වී කතා කරන්නට විය. ගවේෂකවරයා භූතාත්මයෙන් ප්‍රශ්න කිරිම් ආරම්භ කළේය.

“කවුද මේ කතා කරන්නේ?”

“මම සුදු මැණිකේ”

“කවුද මේ සුදු මැණිකේ කියන්නේ. මේ වින්සන්ට් සුදු මැණිකෙගෙ කවුද?”

“මේ මගේ මහත්තයා”

“මොකක්ද මහත්තයාගෙ නම”

“කළු මහත්තයා”

“ඉතින් සුදු මැණිකේ මැරිලා කොයි තරම් කාලයක් ද?”

“අවුරුදු හැටක් විතර වෙනවා.”

“මැරිලා මොනව ද කළේ?”

“මෙයාට තියෙන ආදරේට මෙයාගෙ පස්සෙන්ම ආවා”

“කාගෙ පස්සෙන් ද?”

“මගේ කළු මහත්තයගෙ පස්සෙන්”

“අවුරුදු හැටක් ම?”

“ඔව් මෙයා මිනිස් ආත්ම තුනක උපන්නා. මම ඒ ආත්ම තුනේම මෙයා හොයාගෙන ආවා. මෙයාගේ ජීවිතය කෙටි කරලා මගේ ලෝකෙට අරගෙන ගියා.”

“ඒ කොහොමද?”

“මම මෙයා ළඟට වෙලා ඉන්න කොට, මෙයාට මා ළඟට එන්න හිතෙන තත්ත්වයට මම මෙයාව පත් කරනවා. ඔය දැනුත් සමහර වෙලාවට අඬන්නේ මාව මතක් වෙලා”

“මේක පුදුම කතාවක්නෙ. ආත්ම භව හතරකට කලින් මැරුණු කෙනා කොහොමද මතක් වෙන්නේ?”

“මම මෙයා ළඟට වෙලා ඉන්නවා. මෙයා ළඟට වෙලා නිදා ගන්නවා. දැනුත් චාමිනීව එපා වෙලා ඉස්සරහ කාමරේට වෙලා තනියම නිදියන්නේ ඒකයි. මම මැරුණු කාලෙ ඉඳලම මෙයාට වෙන දෙයක් හිතන්න ඉඩ දෙන්නේ නෑ. මා ගැනම හිතන්න පොළඹවනවා. අන්න ඒ වෙලාවට තමයා මෙයා අඬන්නේ?”

“කොහොමද මෙයා ළඟට ආවේ?”

“මෙයා මනුෂ්‍ය ලෝකෙ උපන්නාම මෙයා ළඟට වෙලා ඉඳලා මගේ ලෝකෙට අරගෙන යනවා. එහෙම ඉන්නකොට මෙයා හිටි හැටියේ අතුරුදන් වෙනවා. ඊට පස්සේ මම මෙයාව හොයනවා. ලෝකෙ හැම තැනම හොය හොයා යනවා. එහෙම හොයාගෙන යනකොට හම්බ වෙනවා. මේ වතාවෙ මෙයාව හොයා ගත්තේ මීට අවුරුදු එකහමාරකට කලින්”

“භූතාත්මය ගවේෂකවරයා ඉදිරියේ කියාගෙන ගියේය.

“ඉතින් මේ කළු මහත්තයා නෙමෙයිනෙ. මෙයා වින්සන්ට්නේ”

“ඒ මහත්තයාට පේන හැටි, මේ එක්කෙනාමයි. ශරීරයෙන් වෙනස් වුණාට මේ එකම කළු මහත්තයා”

“ඔව් වෙන්න පුළුවන්. කෙනෙකුගේ මරණයේදී රූපකාය විනාශ වෙනවා. තම පරම්පරාව වෙනස් වෙමින් දිගින් දිගට යනවා. තණ්හාව උපාදාන කොට ගත් භව පරම්පරාව සසර පුරා ගමන් කරනවා. ඒක අපි වටහාගන්න ඕනෑ. ඔබේ හිතේ දුකක් තියෙනවාද?”

“ඔව් හැමදාමත් ළංකරගන්න හදනකොට මෙයා ඈත් වෙනවා. මම මෙයාව මගේ ලෝකෙට ගෙනියන්න හදනකොට මෙයා වෙන තැනක උපදිනවා. ඒකයි මට තියෙන දුක”

“ඒකට හේතුව ඔබ දන්නවාද?”

“අනේ නැහැ මහත්තයා”

“තමුන් භූතාත්මයක්, මෙයා මනුෂයෙක්, තමුන් කළ පෙර අකුසල් නිසා පේ‍්‍රතියක් වෙලා. මෙයා පෙර කුසල් කළ නිසා මනුෂ්‍ය භව ලබනවා. තමුන් තවමත් ප්‍රාණඝාත කරනවා. දැනටමත් ආත්ම තුනකදී මෙයාව මරලා. මේ වතාවෙත් මෙයාව මැරුවොත් තමුන් තවත් ඈත් වෙනවා. තමුන්ට ඊළඟට මෙයාව දකින්නවත් ලැබෙන්නේ නෑ.”

“අනේ.. එහෙම නම් මම මොනවද කරන්න ඕනෑ”

“ මෙයාට ආශිර්වාද කරන්න”

“ඒ කොහොමද?”

“මෙයා දැනට සිටින රෝගි තත්ත්වයෙන් සුවපත් වෙන්න කියලා හදවතින් ම මෛත්‍රී කරන්න. මෙයා මේ භවයේ පින් දහම් කරලා දීර්ඝායු ලබන්න කියලා හිතන්න. ඊළඟ භවයේ ඔබේ ස්වාමියා වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ චින්තන ශක්තියේ බලයෙන්, මෛත්‍රී කරුණා මුදිතා ශක්තියෙන් ඔබටත් ඔය පේ‍්‍රතාත්මයෙන් මිදෙන්න පුළුවන් වේවි. මේ අයටත් මම කියන්නම් ඔබට පින් අනුමෝදන් කරන්න කියලා.

“එසේ කී ගවේෂකවරයා තවත් දින දහහතරක් බෝධි පූජා පවත්වන්නැයි චාමිනීට නියම කළේය.

ඒ බෝධි පූජා පවත්වන විට වින්සන්ට්ගේ අසාමාන්‍ය ගති වෙනස් වී ගියේය. ඔහු සාමාන්‍ය ජීවිතයට ටිකෙන් ටික හැඩ ගැසෙන්නට විය. බෝධි පූජා අවසන් කොට නැවත ප්‍රතිකාර සඳහා පැමිණි දින භූතාත්මය හැඬුවේ නැත.

ගවේෂකවරයා භූතාත්මයට කතා කළේය.

“කොහොමද මේඅය සමඟ ඔබත් බෝධි පූජාවලට ගියාද?” ගවේෂකවරයා ඇසීය.

“ඔව්! මහත්මයා මටත් එතැනදී විශාල සුවදායක බවක් දැනුණා. සහනයක් දැනුණා. දැන් ඉතින් මම මොනවද කරන්න ඕනෑ”

පේ‍්‍රතිය ගවේෂකවරයාගෙන් විමසුවාය.

“ඔබ දැන් ප්‍රේතාත්මයෙන් ඉහළ තලයකට යන ලකුණු පෙනෙනවා. දැන් ඉතින් මෙයාට බලපෑම් කරන්න එපා. මෙයාගෙ මේ ජීවිතය අවසන් වෙනතුරු, ඔබ සුදුසු සිද්ධස්ථානයක් සමීපයට වෙලා පිනට දහමට හිත යොමු කරගෙන ඉන්න” ගවේෂකවරයා භූතාත්මයට කීවේය.

නිවසේ සාංගික දානයක් පිරිනමා සංසාර ගත බිරිඳක් වූ සුදු මැණිකේට පින් අනුමෝදන් කොට සුදුමල් වට්ට්යක් ද රැගෙන අනුරාධපුරයට යන්නට සූදානම් වී එන්නැයි ගවේෂකවරයා වින්සන්ට් ට උපදෙස් දුන්නේය.

ඒ අනුව කටයුතු කොට ඔවුන් යළි පැමිණ දින සුදු මල් වට්ටියට භූතාත්මය සම්බන්ධ කොට ශ්‍රී මහා බෝධි පරිශ්‍රයට යැවීමට ගවේෂකවරයා කටයුතු කළේය.