සරෝජා දේවිගේ මරණය අබිරහසක්

සරෝජා දේවිගේ මරණය අබිරහසක්

ඉකුත්දා පානදුර මුලස්ථාන පොලීසිය වෙත 119 හදිසි ඇමතුම් අංශයෙන් පණිවිඩයක් ලැබිණි. ඒ පානදුර කෝවිල්වත්ත නිවසක නැවතී සිටි කාන්තාවක් දවස් කිහිපයක් තිස්සේ අතුරුදන්ව ඇති බව කියමිනි. පසුව සිද්ධිය සම්බන්ධයෙන් කෝවිල්වත්තට ගිය පොලිස් නිලධාරින්ට ඉදි කරමින් පවතින සිව් මහල් ගොඩනැගිල්ලක් තුළින් හමා එන තද දුඟදක් දැනිණි. පසුව එම ගොඩනැගිල්ල සෝදිසි කිරීිමේදී එහි කාමරයක් තුළ නරක් වී ගිය කාන්තාවකගේ මළ සිරුරක් දැකගත හැකි විය. මළසිරුර අධික ලෙස නරක් වී දුඟද හමමින් තිබිණි. සිරුරේ කිසිදු ඇඳුමක් ද නොවිණ.

සිද්ධිය වහා උසස් නිලධාරීන්ට දැන්වූ කෝවිල්වත්තට ගිය නිලධාරිහු ඔවුන්ගේ උපදෙස් මත පානදුර මහෙස්ත්‍රාත්වරිය මේ පිළිබඳ දැනුවත් කළහ. ඉන් අනතුරුව එතැනට පැමිණි කල්හාර ලියනගේ මහත්මිය මහේස්ත්‍රාත් පරික්ෂණය සිදු කළ අතර පසුව මියගිය කාන්තාවගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සඳහා යොමු කරන ලද්දේ ඇයගේ මරණයට හේතු හොයන්නටය.

නිරුවත් කාන්තා මළ සිරුර තම නැගණිය වන පෙරියසාමි සරෝජා දේවි යන අයගේ බව ඇගේ සොහොයුරා වූ ජෙගනාදන් සේගේෂ්වරන් සහ සහෝදරිය වන පෙරියසාමි කලාරාණි යන අය විසින් හඳුනා ගන්නා ලදි. හතළිස් හත් හැවිරිදි ඇය එක්දරුමවකි. ඇය මොරටුවේ ආහාර සකස් කරන ආයතනයක සේවය කරන්නියකි.

කෙසේ වෙතත් ඇය මියගිය හේතුවක් පශ්චාත් මරණ පරික්ෂණයේදී අනාවරණය කරගත නොහැකි වූ අතර පශ්චාත් මරණ පරික්ෂණය පැවැත් වූ පානදුර අධිකරණ වෛද්‍ය නිලධාරී ඒ. ඉලංගෝවන් මහතා සරෝජා දේවිගේ මරණය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබා දුණි.

මළ සිරුරේ ආමාශ කොටස් රජයේ රස පරික්ෂකවරයා වෙත යවා වාර්තාවක් ලබා ගන්නා ලෙසත් හෙතෙම නියෝග කරන ලදී. තවදුරටත් විමර්ශන සිදු කරන ලෙස පොලීසියට නියෝග ලැබිණි. කෙසේ වෙතත් සරෝජා දේවිගේ මළ සිරුරේ අභ්‍යන්තර හෝ බාහිර කිසිදු තුවාලයක් දක්නට නැතැයි ද වාර්තාවේ.

මියගිය සරෝජා දේවි වසර පහකට අධික කාලයක් මොරටුවේ ආහාර සකස් කරන ආයතනයක සේවිකාවක් ලෙස රැකියාව කර ඇත. ඇය සේවයට ගියේ ඒ ආයතනයේම නේවාසිකාගාරයක නැවතී සිටය. මීට සති තුනකට පමණ පෙර ඇය කාටත් නොදන්වා නාවතැන්ගෙන සිටි නේවාසිකාගාරයෙන් ඉවත්ව ගොස් තිබිණි. රැකියාව කරන අතරතුර ඇය පානදුර කෝවිලට පැමිණ ආගමික වතාවත්වල යෙදීම පුරුද්දක් කරගෙන සිටියාය. මොරටුවේ සේවය කරද්දිත් ඇය කෝවිලට ආවා ගියාය. ඒ යන එන අතරතුර කෝවිල අසල මල් කඩයක් හිමි කාන්තාවක් සමඟ ඇය හිතවත්කමක් ඇති කර ගත්තාය.

මීට දින විස්සකට කලින් සරෝජා එම මල් කඩය හිමි කාන්තාවට පවසා ඇත්තේ තමා නැවතී සිටින මොරටුව නේවාසිකාගාරයේ කරදර පවතින බැවින් පානදුරෙන් නැවතීමට කාමරයක් සොයා දෙන ලෙසය. ඇගේ එම ඉල්ලීම මත මල්කඩය හිමි තැනැත්තිය කෝවිලවත්තේ ඉදි කෙරෙන සිව් මහල් ගොඩනැගිල්ලේ කාමරයක් සරෝජනීට ලබා දී තිබිණි. ඉන්පසුව ඇය මොරටුවේ රස්සාවට ගොස් ඇත්තේ එම කාමරයේ සිටය. මේ ගැන ඇය මිතුරියන්ට හෝ ඥාතීන්ට දන්වා නැත.

කෙසේ වෙතත් පොලීසිය ඇගේ මරණය පිළිබඳ පුළුල් විමර්ශනයක් අරඹා ඇත. ඇගේ මරණය ඝාතනයක්ද නැතහොත් ස්වාභාවිකව සිදුවූ දෙයක්ද යන්න සොයාගැනීම පොලීසියේ ප්‍රධාන අරමුණයි. එහෙත් මළ සිරුරේ අභ්‍යන්තරව හෝ බාහිරව කිසිදු තුවාලයක් දකින්නට නැති බව පොලිසිය කියයි.

එහෙත් ඇය මියගොස් සිටි කාමරයේ තිබූ ඇගේ ඇඳුම් ඇතුළු බඩු බාහිරාදිය මුළු කාමරය පුරාම විසිර දමා තිබිණි. ඒ නිසා එය කිසිවකුගේ සාහසික ක්‍රියාවක්දැයි පොලීසියේ සැකය වී තිබේ.

පානදුර කෝවිල අසළ මල් කඩයක් හිමි ඇය නවාතැන් ගෙන සිටි මහල් ගොනැගිල්ලේ අයිතිකාරියගෙන් ද සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය ප්‍රශ්න කොට තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් පානදුර සොකෝ නිලධාරින් ද පුළුල් පරික්ෂණයක් ඇරඹූ අතර සරෝජා දේවිගේ මරණය සම්බන්ධයෙන් කිසිදු හෝඩුවාවක් මෙතෙක් සොයා ගැනීමට නොහැකි වී තිබේ. මේ නිසා සරෝජා දේවිගේ මරණය තවමත් අභිරහසකි.

පානදුර කොට්ඨාශ බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන් රත්නායක මහතාගේ අධීක්ෂණය මත පොලිස් අධිකාරි රොහාන් ප්‍රනාන්දු මහතාගේ මෙයෙවීමෙන් පානදුර මුලස්ථාන පොලිස් පරික්ෂක තුෂාර සිල්වා, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති එම්. කේ. රූපරත්න ඇතුළු නිලධාරීහු මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වති.