අම්බලන්ගොඩ ත්‍රිත්ව ඝාතනයේ ප්‍රධාන සැකකරු "පොඩි ලසී " හඳුනාගන්න බැරිවෙයි

අම්බලන්ගොඩ ත්‍රිත්ව ඝාතනයේ ප්‍රධාන සැකකරු "පොඩි ලසී " හඳුනාගන්න බැරිවෙයි

අම්බලන්ගොඩ, ඉඩම්තොට එකම පවුලේ මව, පියා සහ සිව් හැවිරිදි පුතා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවකු වන්නේ දකුණු පාතාලයේ නායකයකු වන අරුමාහන්දි ජනිත් මදුසංක ද සිල්වා නොහොත් ‘පොඩි ලසී’ය.

හදුනා ගැනීමේ පෙරට්ටුවට ගෙන යමින්

අනෙක් සැකකරුවන් කිහිපදෙනා අතරින් කලුදේව උදාර සම්පත් යන අය ටී- 56 අවියෙන් වෙඩි තැබීම සිදු කළ පුද්ගලයා බවට කරුණු අනාවරණය වී ඇති අතර රෝහණ මංජුල යන අය ද මෙම ත්‍රිත්ව ඝාතනයට සෘජුවම සම්බන්ධ වූ බවට අම්බලන්ගොඩ පොලීසිය තොරතුරු අනාවරණය කරගෙන තිබිණි.

ඉඩම්තොට වෙළෙඳසලේදී ඉන්දික, දේවිකා සහ පුතු රන්දික වෙඩි තබා මරා දැමූ දිනයේ ඒ සිද්ධිය ඇසින් දුටු කිහිප දෙනකු සිටියහ. ඒ පිරිස අතරින් සාක්ෂි දීම සඳහා ඉදිරිපත්ව තිබුනේ කුඩා දැරියන් දෙදෙනකු පමණි. ඔවුන් මෙම වෙළෙඳසල අසල පිහිටි නිවෙසක පදිංචිකරුවන් වූ අතර ඝාතනය වූ ඉන්දිිකගේ ළඟම ඥාතීන්ය.

අවුරුදු දොළහ දාහතර යන වයස්වල පසුවන මේ දැරියන් දෙදෙනා එදා පොලීසියට පවසා තිබුණේ ඝාතනයට පැමිණි පුද්ගලයන් හොඳින් දුටු බවයි.

එබැවින් මෙම ත්‍රිත්ව ඝානයේ සැකකරුවන් හඳුනා ගැනීමේ පෙරෙට්ටුවට ඉදිරිපත් කිරීමට බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග ලබා දුන්නේය. එම නියෝගවලට අනුව බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේදී පසුගිය සතියේ හඳුනාගැනීමේ පෙරෙට්ටුව පැවැත්විණි.

එදින පොඩි ලසී, උදාර සහ රෝහණ මංජුල බලපිටිය මහේස්ත්‍රත් අධිකරණය වෙත කැඳවානෙ ආවේ දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේය. සන්නද්ධ පොලිස් භටයන් මාර්ගයේ මෙන්ම අධිකරණය අවටත්, ඇතුලතත් ආරක්ෂාවට යොදවා තිබිණි. මේ සැකකරුවන් තිදෙනා රැගෙන ආවේ තැඹිලිපැහැ ආවරණවලින් වසා කිසිවකුටවත් නොපෙනන ලෙසටය.

හඳුනා ගැනීමේ පෙරෙට්ටුව ආරම්භ වූ අතර ඊට ඉදිිරිපත්ව සිටි දැරියන් දෙදෙනා කියා සිටියේ සිද්ධිය වූ දින රාත්‍රියේ පැමිණියේ මොවුන්දැයි හඳුනාගත නොහැකි බවයි.

එදින පොඩි ලසී සහ උදාර යතුරු පැදියෙන් පැමිණ තිබුණේ හෙල්මට් සහ ජැකට් පැළඳගෙනය. රාත්‍රියේ හෙල්මට් පැළඳ සිටින අයකු හඳුණා ගැනීම ඉතාම අපහසු කරුණකි. විශේෂයෙන් නාදුණන අයකු හඳුනා ගැනීම ඉතාම දුෂ්කරය.

දැරියන් දෙදෙනාට මේ තිදෙනාගෙන් එක් අයකුවත් හඳුනා ගැනීමට නොහැකි වූයේ ඒ නිසා බව පැහැදිලි වුව ද ඊට එහා ගිය කරණු රැසක් තිබෙන බව පොලිසියේ සැකය වී ඇත.

දැඩි රැකවල් යොදා තිබු අයුරැ

මෙම ත්‍රිත්ව ඝාතනයේ ප්‍රධාන සැකකරුවකු වන්නේ ඝාතනය වූ ඉන්දිකගේ මස්සිනා වන රංජිත්ය. ඔහු රක්ෂිත බන්ධනාගාරගතව සිටින අතර මෙම ත්‍රිත්ව ඝාතනය සැලසුම් කළේ කරන්දෙණියේ දොස්තර හොඳ හිත මරා රක්ෂිත බන්ධනාගාරගතව සිටින හිටපු යුද හමුදා සෙබළකු වන ජයලත් නොහෙත් සුද්දාය.

සුද්දා යනු තමාගේ සුබසිද්ධිය උදෙසා ඕනෑම අපරාධයක් කිරීමට සුදානම් අයෙකි. එදා ත්‍රිත්ව ඝාතනය සිදු වුූ දිනයේ මේ දරියන් දෙදෙනා සාක්ෂි දීමට ඉදිරිපත් වන්නට ඇත්තේ මෙම අපරධයට තමන්ගේ ළඟම ඥාතියකු වන රංජිත් මාමා සම්බන්ධ බව නොදැන විය යුතුය.

එහෙත් පරික්ෂණ කරගන යද්දී හෙළි වූ තොරතුරු එතරම් ගුණදායක ඒවා වූයේ නැත. එලෙසම හඳුනා ගැනීමේ පෙරෙට්ටුුවේදී හඳුනා නොගෙන සිටින ලෙස හිර ගෙදර ඇතුළෙන් දැරියන්ගේ වැඩිහිටියන්ට තර්ජනාත්මක මෙන්ම අවදානම් දුරකථන ඇමතුම් ලැබෙන්නට ඇත. දැරියන් දෙදෙනා ලසීලා හඳුනා නොගන්නට එවැනි හේතුවක් මුල් වන්නට ඇති බව පොලීසියේ විශ්වාසයයි. මෙම පෙරෙට්ටුවේදී හඳුනා නොගැනීම ඉදිරි කටයුතු සඳහා කිසිසේත් බලපෑමක් නොවන බව අම්බලන්ගොඩ පොලීසියේ නිලධාරියකු පැවසීය. ඒ ඇසින් දුටු සාක්ෂි අභිබවා යන විද්‍යාත්මක හා පර්වේෂණාත්මක සාක්ෂි රැසක් පොලීසිය විසින් හොයාගෙන ඇති බැවිනි.

මෙම ත්‍රිත්ව ඝාතන සඳහා උපයෝගී කරගත් ගිනි අවි තුනම පොලීසිය සෙයාගෙන ඇත. ඒවා රජයේ රස පරීක්ෂක වෙත යවා ඇත.

එලෙසම අත් අඩංගුවට පත් අවස්ථාවේදී මෙම සැකකරුවන් සියල්ලන්ම ත්‍රිත්ව ඝාතනයට සම්බන්ධ වූ අයුරුත් එය සැලසුම් කළ අයුරුත් එවැනි දෙයක් කිරීමට මුල් වූ කරුණු පිළිබඳ තොරතුරු හෙළි කර ඇත.

පොලීසියේදී ලබාදෙන කටඋත්තර අධිකරණයේදි වලංගු නොවූව ද නවින තාක්ෂණය උපයෝගී කරගෙන කරන ලද පරීක්ෂණවලදී එනම් මෙම ත්‍රිත්ව ඝාතනය සඳහා සහභාගි වූ අය පාවිච්චි කළ ජංගම දුරකථන දත්ත ඔස්සේ ලබා ගත් දත්ත අනෙක් සියලුම සාක්ෂි අභිබවා යන වෙනස් කළ නොහැකි සාක්ෂි පොලීසිය විසින් ගොනු කරගෙන ඇත.

ඇසින් දුටු සාක්ෂිවල කට වැසීමට පොඩි ලසීලාට ජයලත්ලාට හැකි වුවත් විද්‍යාත්මක සාක්ෂි වෙනස් කිරිම නම් මේ කිසිවෙකුට කළ හැකි දෙයක් නොවනු ඇත. එබැවින් ත්‍රිත්ව ඝාතනයේ නඩු විභාගයේදී දැනට සැකපිට අත් අඩංගුවට පත්ව සිටින පිරිස මෙම අපරධය සිදු කළ බවට ඔප්පු වන සාක්ෂි ඉදිරිපත් කිරීමට පොලීසියට හැකියාව ලැබී ඇත.