චුටි දියණිය මරා දමා අවුරුදු 12ක් හිරේට ගිය මවක්

චුටි දියණිය මරා දමා අවුරුදු 12ක් හිරේට ගිය මවක්

ඩෝවින්ට මයිකල් මුණ ගැසුණු කාලේ එයා හෙදියක්. පුහුණුවන අවදියේ ඇය ප්‍රසිද්ධ සාප්පුවක බඩු අසුරන්නියක ලෙස අමතර රැකියාවකුත් කළා. මයිකල් එතැන වැඩ පරීක්ෂකවරයෙක්. ඩෝවින් හරිම ලස්සනයි. කොණ්ඩෙ රන්වන් පාටයි. මයිකල්ට ඇය ගැන හිත ඇදෙන්න එකෙත් හේතුවක් වුණා. දෙදෙනා කොහේදී හෝ මුණ ගැසෙමුදැයි ඉස්සෙල්ලාම ඇසුවේ මයිකලුයි. ඇයත් එකපයින්ම ඔහුට කැමැත්ත දුන්නා.

“මං ඔයාට කැමතියි” මයිකල් ඇයට පැවසුවා. ඩෝවින් ඇගේ කැමැත්ත පළ කළේ ආදරය පිරුණු සිනහවකින්, ඒ ආශ්‍රය ආදරයක් බවට පෙරළුණා. තවත් වසර කිහිපයක් ආදරයෙන් ගත කරද්දී ඔවුන්ට අවශ්‍ය වුණේ ඉක්මණට එක් වහලක් යටට වෙන්නයි. ආදරයේ මල්ඵල ගන්වමින් ඔවුන් විවාහ වුණේ එංගලන්තයේ බරී ප්‍රදේශයේ දෙව් මැදුරකදී.

මයිකල් විවාහකයකු වූවත් ඒ වෙද්දී ඔහු දික්කාසද වෙලයි හිටියේ. ඔහුට පුතුන් දෙදෙනෙක් හිටියා. ඒ සියල්ල දැන සිටි ඩෝවින්ට ඒක ප්‍රශ්නයක් වුණේ නැහැ. මයිකල් ද ඇයට සැබෑවටම ආදරය කළා. මේ අතරතුරේ දී පුහුණු කාලසීමාව නිමා කළ ඩෝවින් හෙදියක ලෙස පත්වීමක් ද ලැබුවා.

ඔවුන්ට චුටි දුව චියෝ ලැබුණේ රාජකීය ඕල්ඩ්හැම් රෝහලේ දී. දුව උපන් දා මයිකල්ගේ ජීවිතයේ ලස්සනම දවස වුණා. එදා සිට ඔවුන්ගේ ලස්සන කැදැල්ල තවත් වාසනාවන්ත වුණේ චියෝ දියණිය නිසයි. මේ කාලයේ දී දෙදෙනාම එකතුවෙලා නිවෙසක් ද මිලට ගත්තා. ඒ වන විට ඩෝවින් බරි ප්‍රදේශයේ මූවර්ගේට් ප්‍රාථමික රෝහලේ හෙදියක ලෙස සේවය කළා.

කොච්චර සතුටින් හිටියත් ඔවුන්ට තමන් උපයන මුදල් ජීවිත්වීමට මදිවුණා. ආර්ථික අමාරුකම් ටිකෙන් ටික වැඩි වෙද්දී දෙන්නා ගේ ආදරය ද මදින් මද ලිහිල් වුණා. මයිකල් මත්පැනට ඇබ්බැහි වුණෙත් ඒ කාලේදීමයි. වැඩිකල් නොයාම දෙදෙනා අතර බහින් බස්වීම් ඇතිවුණා. ඉස්සර තිබූ ආදරය ගෙයි පෑල දොරෙන් පලා ගියා. සියලු කතන්දර මැද්දේ මයිකල් කළේ ඩෝවින්ට සහ චුටි දියණියට ඒ නිවෙසේම ඉන්න හැරලා තම මවගේ නිවෙසට පදිංචියට යෑමයි. අන්තිමේදී දෙදෙනා දික්කසාද වුණා.

ඩෝවින්ගෙන් වෙන්ව ජීවත් වුවත් මයිකල් චුටි දුවට ආදරෙයි. ඔහු නිතරම දියණිය ගැන සොයා බලනවා. වෙන්ව වාසය කළත් මයිකල්ගේ මව වගේම ඩෝවින් ගේ මවත් ඩෝවින් හා චියෝ දියණිය ගැන සොයා බැලුවා.

මේ අතරවාරයේ තමයි ඩෝවින්ගේ ජීවිතයට තවත් පෙම්වතෙක් ළං වුණේ. ඔහු “මාටින්”. සේවය කරන්නේ හදිසි අනතුරුවලට ලක්වන අය වෙනුවෙන් යුක්තිය පසිඳලන ආයතනයක. දෙදෙනා අතර ඇසුර දුරදිග යද්දී ඇය ඔහු වඩාත් විශ්වාස කරන්නත් පෙළඹුණා. දවසක් ඔහු ඩෝවින්ට යෝජනාවක් කළා.

“ඔයාගෙ රෝහලේ ඉන්න හදිසි අනතුරුවලට ලක්වුණු අයගේ තොරතුරු මට දෙන්න.”

මේ රෝගීන්ගේ තොරතුරු ලබාගෙන ඔවුන්ට අනතුර වෙනුවෙන් නඩු කීමට තමන් සේවය කරන ආයතනයේ සේවය ලබා දීමෙන් මුදල් උපයා ගැනීම මාටින්ගේ අපේක්ෂාව වුණා. ඩෝවින් සිය පෙම්වතා විශ්වාස කර හදිසි අනතුරු නිසා රෝහල්ගත වන රෝගීන්ගේ තොරතුරු මාටින්ට ලබා දුන්නා. ඒක ලොකු වරදක්.

ඩෝවින්ටත් මාටින්ටත් මේ කටයුත්ත වැඩිකල් කරගෙන යෑමට නොහැකි වුණා. ඩෝවින් රෝහල් නිලධාරීන්ගේ අතට හසුවුණා. ප්‍රතිඵලය වුණේ ඇය රැකියාවෙන් නෙරපීමයි. අවුරුදු 15ක පළපුරුදු හෙදියක ලෙස ඉතා සාර්ථකව සේවය කළ ඩෝවින් මහපාරට ඇද වැටුණා. ඇය ඉන්පසු වෙනත් රැකියාවලට අයදුම්පත් ඉදිරිපත් කළත් රැකියාවක් ලැබුණේ නැහැ. මාටින් හම්බකරන දේ සිවු හැවිරිදි දියණියත් සමඟ ඩෝවින්ට යැපෙන්නට කොහොත්ම මදි.

රැකියාව අහිමි වුවත් ඩෝවින් සිය මව ෂිලාට තමාට රැකියාවක් නොමැති බව හැඟවුයේ නැහැ. ඇය දිනපතාම මාස 08ක් පමණ එක දිගට පුංචි දියණිය දිවා සුරැකුම් මධ්‍යස්ථානයක තබා රැකියාවක් සෙවීමට පිටවත්ව ගියා. ඒ නිසා ඩෝවින්ගේ මව සිතා සිටියේ දියණිය තවමත් රැකියාවට යන බවයි.

ඒ දවස මයිකල්ට කවදාවත්ම අමතක නොවන දිනයක් එදා උදෑසන පොලිසිය මයිකල්ගේ මව පෝලීන්ට පණිවුඩයක් දුන්නා. පොලීන්ට ඒ පණිවුඩය විශ්වාස කරන්නත් බැරිවුණා.

“මට ඔය කතාව විශ්වාස කරන්න බැහැ. ඒක වෙන්න බැහැ. ඩෝවින් හොඳ අම්මා කෙනෙක්.” පෝලීන් පොලිස් නිලධාරීන්ට පැවසුවා.

“මයිකල්ට සිය මව පවසන මේ කිසි දෙයක් සිතා ගන්න බැහැ. මොකද්ද මේ වෙලා තියෙන්නේ. ඩෝවින් ඔවුන්ගේ චුටි දුව මරා දාලා. ඇයත් සිය දිවි නසාගන්න තැත් කරලා.”

“අනේ දෙවියනේ. මේ මොකද්ද වුණේ. මගේ චුටි දු කුමාරි, මේක නම් වෙන්න බැරි දෙයක්. ඩෝවින් කවදාවත් මෙහෙම දෙයක් කරන්නේ නෑ. මගේ චුුටි කෙල්ලට මෙහෙම වුණේ ඇයි?” ඔහු සිය මවගේ ඇකයේ මුහුණ හොවාගෙන හඬා වැටෙන්න වුණා.

චුටි දුව ඝාතනය කළ ඩෝවින් සිය දිවි නසාගන්න තැන් කළේ රසායන ද්‍රව්‍යයක් අඩංගු ගෑස් වර්ගයක් ආග්‍රාහනය කිරීමෙනුයි. ඊට අමතරව ඇය නහරයක් ද කපාගෙන තිබුණා. එහෙත් ඇය මිය ගියේ නැහැ. පොලිසිය වහා ඇය රෝහල් ගත කළා.

ඩෝවින් සමඟ ඇති වු තරහ නිසා ඔහු ඇය බැලීමට රෝහලටවත් ගියේ නැහැ. එහෙත් සති මාස ගතවී පොලිසිය දිගින් දිගටම පරීක්ෂණ කරද්දී සිදුව ඇති දේ ඇසුවාම මයිකල්ට ඩෝවින් ගැන ඇති වුයේ පුදුමාකාර සංවේගයක්.

“ඩෝවින් වෙනදා මට දිනපතාම කතා කරනවා.” දින තුනකින් විතර දුව මට කතා කළේ නැහැ. ඒ නිසා මං අසල්වාසියකුට කතා කළා. ඩෝවින්ගේ මව ෂිලා සිද්ධිය වූ දා ගැන පොලිසියට පැවසුවේ එලෙසින්.

එදා පෙබරවාරි 14 වැනිදා ආදරවන්තයන්ගේ දිනයයි. ෂිලා ගේ දුරකථන ඇමතුම අනුව අසල්වැසියා ඩෝවින් හා දියණිය සිටි නිවෙසට ගියා. ඒ යන විට දුටු දෙයින් තුෂ්නිම්භූත වූ ඔහු වහාම ෂිලාට හා පොලිසියට දුරකථන ඇමතුම් දුන්නා. පොලිසිය එතැනට එද්දී අසාධ්‍ය තත්ත්වයේ පසු වූ ඩෝවින් හුස්ම ගැනීමට අපහසුව සිටියා. ඇය තමා කළ දේ ගැන ලිපියක් ද ලියා තිබුණා.

“මට මගේ දුව අම්මෙක් නැතිව තියා ගන්න බැහැ. මෙය ඉතා කෲර දෙයක් බව දන්නවා. ඒත් මට කරන්න දෙයක් නැහැ. සමාවෙන්න.” ඩෝවින්ගේ ලිපියේ වූයේ එයයි.

ඔවුන් දෙදෙනා ජීවත් වූ මැන්චෙස්ටර් නිවෙසේ නිදන කාමරේ මවත් දියණියත් වැතිර සිටියා. වියෝ දුව ෆිජාමා ඇඳුමක් ඇඳ සිටි අතර ඇය වටේට ඇගේ සෙල්ලම් බඩු තබා තිබුණා. ඒ චුටි දියණියගේ ගෙල කපා පපුවට පිහියෙන් ඇන තිබුණේ මොන හිතකින් දැයි මයිකල්ට හිතාගන්න බැරි වුණා.

රසායනික ද්‍රව්‍ය අධිකව ආග්‍රාහණය කිරීම නිසා ඩෝවින් ගේ මොළයට දැඩි සේ හානි වී තිබුණේ යළි ප්‍රකෘති තත්ත්වයට පත් කළ නොහැකි ලෙසිනුයි. සදාකාලික රෝගියකු තත්ත්වයට පත් වූ ඇය නඩු විභාගය සඳහා අධිකරණයට ආවේ විකෘති මානසිකත්වයකින් යුතු සදාකාලික රෝගියකු ලෙස රෝද පුටුවකයි.

ඩෝවින්ට සිදුව ඇති දේ දුටු මයිකල්ගේ සිත වාවන්නේ නැතිව ගියා. ඇය මේ තත්ත්වයට පත් වුණු හේතු අනාවරණය වුයේ ඉන්පසුවයි.

මයිකල්ගෙන් දික්කසාද වූ පසු ආර්ථික අගහිඟතාවකට මුහුණ දුන් ඩෝවින් සැනසීම පතා මාටින්ට ළංවුණා. එහෙත් ඒ සම්බන්ධයෙන් ඇයට සිදුවුයේ කබලෙන් ලිපට වැටීමක්, මාටින්ගේ අවශ්‍යතාව අනුව රෝගීන්ගේ තොරතුරු හෙළිකිරීම නිසා ඇයට රැකියාව අහිමි වුණා. එහෙත් ඇය මේ කිසිවක් සිය පවුලේ අයටවත් මයිකල්ටවත් ඇඟවූයේ නැහැ.මානසික වශයෙන් දැඩි සේ පිරිහීමට පත් ඩෝවින්ගේ ණය බරත් එන්න එන්නම වැඩි වුණා. සියල්ලෙන් මිදීමට ඇගේ අවසන් තීරණය වූයේ දියණිය ද ඝාතනය කර සියදිවි නසා ගැනීමයි.

ඩෝවින්ට සිදු වූ දේ ඇසූ මයිකල් ගේ සිත ඇය කෙරෙහි උණු වුණා. ඔහු රෝහලට ගොස් ඇගේ ඇඳ ළඟ පැය දෙකක් පමණ රැඳී සිට යළිත් නිවෙසට පැමිණ වැළපෙන්නට පටන් ගත්තා.

“ඩෝවින්ට තිබුණා මට කතා කරන්න. සිදුව ඇතිදේ කිව්වා නම් මට ඔවුන්ට උපකාර කරන්න තිබුණා. දැන් මට මගේ චුටි දුව නැති වුණා.” කම්පාවෙන් පසුවන මයිකල් ශෝකය දරා ගත නොහැකිව පැවසුවා.

නඩු විභාගයකින් පසු ඩෝවින්ට දොළොස් අවුරුදු සිර දඬුවමක් ලැබුණා. එහෙත් ඇය සිරගෙදර සිටින්නේ ද මන්ද මානසික රෝගියකු ලෙසයි. ඩෝවින්ගේ පෙම්වතා වන මාටින් ට රෝගීන්ගේ තොරතුරු ලබාගැනීමේ වරදට අධිකරණය දඩ නියම කළා. එහෙත් මයිකල් පවසන්නේ ඩෝවින්ට අධිකරණය දුන් දඬුවම බරපතළ වැඩි බවයි. අධිකරණය ඇය කෙරෙහි මීට වඩා සානුකම්පිත වියයුතුව තිබුණා යැයි ඔහු පවසනවා.

“ඩෝවින් මේ තත්ත්වයෙන් ඉන්නවා බලන්න බැරි තරම්. එය හරිම බියකරුයි. මේ ඉන්නේ මා දන්නා ඩෝවින් නොවෙයි. ඇයට කවදාවත් ඇවිදින්න බැහැ. මේ සිදු වූ දේ ගැන වෙලාවක මං මටම චෝදනා කරගන්නවා. මට මේ දේ වළක්වන්න තිබුණා. මෙතැන කුමක් හෝ වරදක් සිදුවන බව මා දැනගත යුතුව තිබුණා. ඒත් මං ඒ ගැන කිසිවක් ම දැන සිටියේ නැහැ. ඒ ගැන මං සමාව ඉල්ලනවා. ඩෝවින් මගේ ජීවිතය විනාශ කළා. ඒත් මං ඇයට ආදරෙයි.” මයිකල් පැවසුවා.