හදිසි මරණයක් ද? පහර දීමක් ද?

හදිසි මරණයක් ද? පහර දීමක් ද?

ඉකුත් මාර්තු මස 13 දා පෙරවරුවේ කරන්දෙණිය පොලීසියට ලද ඇමතුමකින් කියවුණේ කරන්දෙණිය පොලිස් වසමට අයත් බොරකන්ද දිවියාගහවෙල ප්‍රදේශයේ මියගිය අයෙකුගේ මළ සිරුරක් තිබෙන බවය.

ආරංචිය ලද සැණින් කරන්දෙණිය පොලිස් ස්ථානාධිපති කුමුදු ප්‍රසන්න ඇල්ගිරියගේ මහතා ඇතුළු තවත් කණ්ඩායමක් වහාම එම ස්ථානය බලා පිටත් වූහ.

පොලිස් ස්ථානාධිපතිවරයාගේ දැනුම්දීම මත ඇල්පිටිය පොලිස් කොට්ඨාශ අපරාධ පරීක්ෂණාගාරයේ පොලිස් පරීක්ෂක චන්දිමාල් මහතා ඇතුළු සොකෝ කණ්ඩායම ද එම ස්ථානයට පැමිණියේය.

මේ පොලිස් කණ්ඩායම් විසින් මේ අබිරහස් මරණය පිළිබඳ පරීක්ෂණ පවත්වන්නට වූයේ ඉන් අනතුරුවය.

මියගොස් සිටියේ බොරකන්ද දිවියාගහවෙල පදිංචිව සිටි හේවගේ අනුර දේශප්‍රිය නමැති 30 හැවිරිදි අවිවාහකයෙකු බව ඔහුගේ ඥාතීන් විසින් හඳුනාගනු ලැබීය.

මොහු රැකියාව වශයෙන් කර ඇත්තේ ප්‍රදේශයේ සති පොළවලට එළවළු රැගෙන ගොස් ඒවා වෙළදාම් කිරීමය. නිතර බීමත්ව සිටින මොහු එසේ බීමත්ව සිටින විට ගමේ අයට බැණ වදිමින් චණ්ඩි පාට් දමන අයකු බව ද පොලීසිය කරන ලද පරීක්ෂණවලදී හෙළි වී ඇත. මොහු සමහර අවස්ථාවලදී මත්ද්‍රව්‍ය පවා භාවිත කර ඇතැයි ද පොලිසිය කියයි.

මොහු පෙර දින මිතුරන් පිරිසක් සමඟ මුහුදේ නෑමට ගොස් හොඳටම බීමත්ව සිටි බවට ද පොලීසියට තොරතුරු හෙළි වී තිබේ.

අනුරගේ මළ සිරුර තිබුණේ දිවියාගහවෙල පිහිටි ඔහුගේ නිවසට මීටර් 400 ක් පමණ දුරකිනි. එය තණකොළ වැවී තිබුණ ප්‍රදේශයක් නිසා වැටීමෙන් කිසියම් තුවාලයක් සිදුවිය නොහැකි බව පොලීසියේ විශ්වාසයයි. එහෙත් අනුරගේ මුහුණේ වම් පැත්තේ ඇහි බැම ළඟ තුවාලයක් ඇත. එය කිසියම් මොට ආයුධයකින් හෝ පොල්ලකින් සිදු වූ පහරදිමක් නිසා සිදු වූවක් ද යන්න පරීක්ෂණ පැවැත් වූ පොලිස් කණ්ඩායම් සැක පහළ කළහ.

පොලීසියේ දැනුම්දීම මත බලපිටිය වැඩබලන මහේස්ත්‍රාත්වරයා සිද්ධිය වූ ස්ථානයට පැමිණ මහේස්ත්‍රාත් පරික්ෂණය සිදු කළ අතර මහේස්ත්‍රාත්වරයාගේ නියෝගය මත ඇල්පිටිය මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි චමිල් ආරියරත්න මහතා පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කරනු ලැබීය. විශේෂඥ අධිකරණ නිලධාරිවරයා සිද්ධිය වූ ස්ථානයට ද පැමිණ පරීක්ෂණ සිදු කළේය.

අනුර දේශප්‍රියගේ මරණය හදිසි මරණයක් ද නැත්නම් කිසියම් පහරදීමකින් සිදු වූ මරණයක් ද යන්න නිගමනය කිරීමට නොහැකි බැවින් වැඩිදුර පරීක්ෂණ සඳහා ඔහුගේ සිරුරේ කොටස් රස පරීක්ෂකවරයා වෙත යැවූ අතර මරණය පිළිබඳව ලැබුණේ විවෘත තීන්දුවකි.

කෙසේ නමුත් පෙරදින රාත්‍රියේ නමය හමාර පමණ වනතුරු මියගිය අව තවත් මිතුරක ª සමඟ මත්පැන් පානය කරමින් සිට ඇති බව ද පොලිස් පරික්ෂණවලදී හෙළි වී තිබේ.

මේ නිසා මෙම අබිරහස් මරණය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු කිරීම සඳහා පොලීසිය විශේෂ පොලිස් කණ්ඩයමක් ද යොදවා තිබේ. මේ පිළිබඳ සත්‍ය තොරතුරු ඉතාම ඉක්මනින් හෙළි කරගත හැකිවේ යන්න පොලීසියේ අපේක්ෂාවයි.

ඇල්පිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතාගේ උපදෙස් පරිදි ඇල්පිටිය සහකාර පොලිස් අධිකාරී සමන් පුස්සැල්ල මහතාගේ මෙහෙයවීමෙන් කරන්දෙණිය පොලිස් ස්ථානාධිපති කුමුදු ප්‍රසන්න ඇල්ගිරියගේ, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති මනෝජ් ආරියරත්න, උප පොලිස් පරීක්ෂක කේ. ඩී. එස්. පී. අතුකෝරළ, සැරයන් (7792) අබේවික්‍රම පොලිස් සැරයන් (54361) ආරියරත්න, පොලිස් කොස්තාපල්වරුන් වන (7860) අබේවර්ධන, (68103) සේනාරත්න (80032) රත්නතිල (63536) අජිත් ඇල්පිටිය පොලිස් කොට්ඨාශ අපරාධ පරීක්ෂණාගාරයේ පොලිස් පරීක්ෂක චන්දිමාල්, පොලිස් කොස්තාපල් (35261) සනත් පොලිස් කොස්තාපල් (66527) ශාන්ත යන මහත්වරු මෙම මරණය පිළිබඳ පරික්ෂණ සිදු කළහ.

(පොලිස් පරීක්ෂණ ඇසුරෙනි)