"මම අනුන් වෙනුවෙන් හිරේ ගිය කෙනෙක්"

"මම අනුන් වෙනුවෙන් හිරේ ගිය කෙනෙක්"

ඇතැම් මිනිසුන් ජීවත් වන්නේ තමන්ට ඕනෑව විදිහට නොව අනුන්ට ඕනෑ විදිහටය. ඔවුහු ජිවිතය විදින්නේ නැත. බොරුවට රැවටී ලද මිනිස් ජීවිතයෙන් ප්‍රයෝජන නොගන්නා මෙවන් මිනිසුන් රටටද තමන්ට ද වැඩක් නොකරගෙන මිය යන්නේය. මොහුද එවන් මිනිසෙකු වැනිය.

සැපක් නැති හිරගෙදර ජීවිතය ගැන කියන කතා නම් බොහෝය. හිරගෙදර අවුරුදු ගණන් ගතකර ඉන් පිටතට ගියද ඇතැමෙක් අලුත් ජීවිත පටන් ගන්නේ නැත. ඇතැමෙක් නම් ජීවිතය හදා ගන්නේය . ඇතැමෙක් යහ මඟ යන්නේය. ඇතැමෙක් හිටියාටත් වඩා වැරදි මාර්ගයට යොමු වන්නේය. හිර ගෙදර ගියත් වැරැද්ද නිවැරදි කර නොගත් මොහු මට හමු වුයේ පස් වැනි වතාවට හිරේ පැමිණ නිදහස් වී යනදාය.

හිරගෙදර සිටින කවුරුත් තම ජීවිත වල ඇතුළු පැත්ත කීමට අකමැතිය. කතා කරන්නට කැමති වන්නේ එහෙමත් කෙනෙකුය. මොහුද වෙනත් අය මෙන්ම මා සමඟ මුලදි කතා කරන්නට අදි මදි කළේය. නමුදු අවසානයේ ඔහු කතා කරන්නට විය.

“ මගේ කතාව ඇහුවා කියලා කාටවත් වැඩක් වේවි කියලා නම් මම හිතන්නේ නැහැ. මොකද අපේ ජීවිත දිහා බලලා ආදර්ශයට ගන්න දෙයක් නැහැනේ. මම හරියට ඉගෙන ගත්තේ නැහැ. රස්සාවක් කියලා දෙයක් කළේ නැහැ. එදා ඉදලම කළේ අමන වැඩ.”

දැන් වයස කීයද?

"මගෙ වයස අවුරුදු තිස් හයයි. මම තරුණ වරදකරුවන්ගේ සිර කඳවුරට එද්දී මට වයස අවුරුදු පහලොවයි."

මොනවා කරල ද ඒ ආවේ.?

"අපි හිටියේ මුඩුක්කුවක. ඒ මුඩුක්කු ගෙවල් පේලියේ හැම හොර වැඩක්ම වගේම හැම ජරා වැඩක්ම කෙරුණා. මගේ ගෙදරත් ඒ වගෙයි. මගෙ තාත්තා අම්මා කවුද කියන්න මම දන්නේ නැහැ. මම හිටියේ මගෙ පුංචි අම්මා ගාව. අම්මා කවුද කියන්න පුංචි අම්මා දන්නෙත් නැහැ. පුංචි අම්මා කියන්නේ මාව ඉපදිලා දවස් දෙකකට පස්සේ එයාට මාව ලැබුණා කියලා."

ඒ කොහොමද?

"පුංචි අම්මා වැඩ කරලා තියෙන්නේ ඉස්පිරිතාලෙක. ඇටන්ඩන් කෙනෙක් විදිහට තමයි ඉදලා තියෙන්නේ. මාව රෝහලේ කාණුවක් ගාව දාලා ගිහින් තිබුණලු. පුංචි අම්මගේ අක්කා කිව්වලු එයාට දරුවෝ නැති නිසා මාව ගේන්න කියලා. ඒ කාලේ පුංචි අම්මා විවාහ වෙලා ඉදලා නැහැ. පොලිස් පොතේ ලියලා මාව අරගෙන ආවලු. ඒත් පුංචි අම්මගේ අක්කා මීට අවුරුදු පහක් විතර කලින් ලෙඩක් හැදිලා මැරිලා. එයාට වෙන කවුරුවත් දරුවෝ ඉදලා නැහැ. පුංචි අම්මා ඊට පස්සේ ජීවත් වෙලා තියෙන්නේ එයාගේ අක්කගේ මහත්තයා එක්ක. ඒත් ගමක හිටපු පුංචි අම්මා කොළඹට ආවේ කොහොමද කියන්න මම දන්නේ නැහැ. මොනවා උනත් මම දන්න කාලේ ඉදලා පුංචි අම්මා මේ මුඩුක්කු පේළියේ තනියම තමයි ඉන්නේ."

එයා රස්සාවක් කරනවද?

"නැහැ. එයාට දැන් රස්සාවක් නැහැ. පුංචි අම්මා මාව ඉස්කෝලේ යැව්වා. මම කට්ටි පැන්නා. අපේ ගෙදරට එක එක ජාතියේ මිනිස්සු ආවා ගියා . හැබැයි ඒ කවුරුවත් ගෙදර නතර වුණේ නැහැ."

අඩු වයසින්ම හිරේ යන්න වුණේ මොනවා කරලද .?

"මම ඉස්කොලේ අටේ පන්තියට විතරයි ගියේ .අපේ මුඩුක්කු පේලියේම ගංජා විකුණන තැනක්, හොර අරක්කු විකුණන තැනක් තිබුණා. මම කොහොම එතැනට පුරුදු වුණා ද දන්නේ නැහැ.කෙහොම හරි මම ඒ ජරා ජීවිතයට පුරුදු වුණා. දවසක් මම ගංජා සුරුට්ටුවක් ගෙවල් පේලියේම කෙනෙකුට අරගෙන යද්දි තමයි පොලිසියට අහු වුණේ. ඒ ගමන තමයි මට තරුණ සිර කඳුරට යන්න වුණේ. එහෙදි මම වඩු වැඩ ඉගෙන ගත්තා. එහෙ හිටපු කාලේ පුංචි අම්මා මාව බලන්න ආවා. එයා මට කිව්වේ එළීයට ආවාම හොඳ කෙනෙක් වෙන්න කියලා. නමුත් මට හොඳ මිනිහෙක් වෙන්න බැරි වුණා . මම එළියට ඇවිල්ලා දවස් දෙකකට පස්සේ පුංචි අම්මා වාහනයකට අහුවෙලා මැරුණා."

ඊට පස්සේ මොකද වුණේ?

"මොනවා වෙන්න ද කාත් කවුරුවත් නැති මම අරක්කු පෙරන මනුස්සයාගේ ගෙදරටම වෙලා හිටියා .ඒ කෙනත් බොහොම ආදරෙන් මාව බාර ගත්තා. මම ඒ අය වෙනුවෙන් කිහිප වතාවක්ම හිරේ ගියා අවුරුද්දක් දෙකක් ඇතුලේ හිටියා. එළියට ආවා. ආයෙත් ගියා. මට හිර ගෙදර ගෙදර වගේ වුණා. මම හැමදාම අනුන් වෙනුවෙන් හිරේ ගියේ."

අනුන් වෙනුවෙන් හිරේ ගියා කියලා මොනවද ලැබුණේ ?

"මුකුත් නැහැ. සරත් අයියා මාසයකට සැරයක් විතර ඇවිල්ල මාව බලලා යනවා. එළියට ආවාම සල්ලි නැහැ කිව්වම අතට රුපියල් විසිදාහක් තිස්දාහක් විතර දෙනවා."

ඒ සල්ලි වලට මොකද කරන්නේ.?

"මොනවා කරන්න ද මට දෙන්න කෙනෙක් නැහැ. කොල්ලොත් එක්ක ක්ලබ් යනවා . බොනවා. සතුටු වෙනවා . එච්චරයි."

හිතෙන්නේ නැද්ද හොඳ වෙන්න ඕන කියලා.?

"එහෙම හිතෙන්නෙම නැහැ. මට කවදාවත් ජීවිතේ හොඳ නරක කියලා දෙන්න කෙනෙක් හිටියේ නැහැ. හැමෝම මගෙන් වැරදි වැඩ කරගත්තා .මමත් ඒවා කළා . හැබැයි මම කවදාවත් ගෑනුන්ව අමාරුවේ දැම්මේ නැහැ. නමුත් මම හිර ගෙදරදි ඉංග්‍රීසි ඉගෙන ගත්තා. තව කොම්පියුටර් ඉගෙන ගත්තා."

ඔය වැරදි වැඩ අතහැරලා ‍රස්සාවක් කරගෙන ඉන්න ඕන කියලා හිතෙන්නේ නැද්ද?

"ඇත්තටම හිතෙන්නේ නැහැ. මම දැන් කම්මැලි වෙලා. මට හිතෙනවා අනුන් වෙනුවෙන් හිරේ යන මේ රස්සාව හොඳයි කියලා."

විවාහ වෙන්න කල්පනාවක් නැද්ද.?

"අපි වගේ අයත් එක්ක එන ගෑනු කවුද ? ඊටත් හෙටක් නැති අපිත් එක්ක එන කෙනාත් අමාරුවේ වැටෙනවා. මම කැමති නැහැ කාටවත් බැඳීලා ඉන්න. මේ තනිකඩව ගෙවන ජීවිතය මට හොඳයි."

මේ පාර එළියට ගිහිල්ලා මොකද කරන්නේ?

"මම දැන් යන්නේ සරත් අයියාගේ ගෙදර . සරත් අයියා තිරණය කරාවී ඊට පස්සේමොකක්ද මම කරන්න ඕන කියලා."