පුතාට ගහපු පිහි පහර තාත්තගේ පපුවටම වැදිලා

පුතාට ගහපු පිහි පහර තාත්තගේ පපුවටම වැදිලා

හික්කඩුව පොලිස් වැයික්කියේ දඩල්ලට නුදුරු දොඩන්ගොඩ පතහ ප්‍රදේශයේ පසුගියදා සිදු වූ මිනිස් ඝාතනයට හේතුව බීමත්කම බව හික්කඩුව පොලීසිය කියයි. මත්වතුර කටේ හළා ගැනීමත් සමඟ ඇති වූ කතාබහේදී වචනයක් දෙකක් එහා මෙහා වීම නිසා ඇවිස්සී ගිය එම කතාව දුර දිග යාමෙන් දෙපිරිස අතර ගැටුමක් ඇතිවූහ. අවසානයේ එතැන සිටි පුද්ගලයකු පිහිපහරක් වැදීමෙන් ජීවිතක්ෂයට පත්විය. එහෙත් ඔහු එම ආරවුලට සම්බන්ධ වූවකු නොවීය.

මේ මිනීමැරුම සම්බන්ධයෙන් තරුණයන් සිව් දෙනකු හික්කඩුව පොලීසිය මඟින් අත් අඩංගුවට ගෙන තිබිණි. අවුරුදු 30 ටත් අඩු වයස්වල පසුවන මොවුන් අතුරින් දෙදෙනකුම අයිය මලෝය.

මොවුන්ගේ දබරයෙන් මරුමුවට පත් වූයේ දෙපාර්ශවයේම අයකු නොවේ. ඔහු මේ පිරිස දබර කරගත් නිවසේ විසු හැත්තෑ දෙහැවිරිදි තැනැත්තෙකි. ගාල්ලගේ ගොඩ්නි සමරවීර නම් වන ඔහු මිය යන්නේ පිහි පහර වැදීමෙනි. තරුණ පිරිසේ බොහොමයක් ගොඩ්නිගේ ඥාතීන්ය. ඒ නිසා ඔවුන් ගොඩ්නිගේ ගෙදර මත්පැන් සාදයකට එක්ව සිටියේය. ටික මොහොතකින් ඇති වූ දබරය උත්සන්න වුවත් ගොඩ්නි ඊට කර ගහන්නට ගියේ නැත. එහෙත් ගොඩ්නි පිහි පහරක් කා මිය ගියේය. එකෙකු තවකෙකුට දමා ගැසූ පිහි පහර කෙළින්ම ගොඩ්නිගේ පපුවටම කිඳා බැසීමත් සමඟ ගොඩ්නි එතැනම ඇද වැටුණේය.

මේ අතර පොලීසිය කරන ලද විමර්ශනවලදී හෙළි වී ඇත්තේ ගොඩ්නිගේ පපුවට කිඳා බැස්සේ ඔහුගේම ඥාති සොහොයුරියකගේ පුතකු විසින් එල්ල කරන බව කියන ලද පිහි පහරකි. ඔහු එම පිහිපහර එල්ල කළෙ ගොඩ්නිට නොව ගොඩ්නිගේ පුතාටය. ඒත් පිහිපහර වැදුණේ පැත්තක සිටි ගොඩ්නිටය. එකම පිහි පහර පපුවට තදින් කිඳා බැසීම නිසා වියපත් ගොඩ්නි රෝහල් ගත කරන විටත් මියගොස් සිටියේය.

හික්කඩුව පොලීසියේ නිලධාරීහු කරාපිටිය මහ රෝහල මාර්ගයෙන් මේ පිළිබඳ දැනුවත් වී අපරාධ ස්ථානයට ළඟා වූහ. ගොඩ්නිගේ පපුවේ ඇනුණු බවට සැක කෙරෙන ලේ තැවරුණු පිහිය ද අපරාධ ස්ථානයේ වැටී තිබී සොයා ගැනීමට පොලීසියට හැකි වී ඇත. එහෙත් ගොඩ්නිගේ පුත්‍රයා සමඟ දබර කරගන්නට පිටතින් පැමිණි පිරිස එතැනින් ඒ වන විටත් පලා ගොස් සිටියහ.

මූලික පරීක්ෂණවලදී මේ මිනීමැරුමට අවශ්‍ය කරන ප්‍රධාන සැකකරු ටික කලකට පෙර ගාල්ල පොලිස් වසමේදී අනර්ථයක් සිදු කිරීමේ සිද්ධියකටත් අවශ්‍ය අයකු බව පොලීසියට හඳුනා ගත හැකි විය.පසුගිය මාර්තු දොළොස් වැනිදා රාත්‍රී දහයට පමණ සිදු වූ බව කියන මේ පිහි ඇනුමින් පසුව සැකකරුවන් සියලු දෙනා ප්‍රදේශයෙන් පලා ගොස් සිටිය ද මොවුන්ගේ නම් ගම් හා ලිපින සොයා ගැනීමට පොලීසියට එතරම් අපහසු දෙයක් නොවීය.

පහරදීමට පැමිණ ඇත්තේ සිව් දෙනකු බව අනාවරණය කර ගත් පොලීසිය ඔවුන් පදිංචි ස්ථානවලට ගිය ද ඔවුන් ගෙවල් දොරවල් වසා දමා දමා පලා ගොස් තිබිණි. එහෙත් දිගින් දිගටම සැකකරුවන් ලුහුබඳිමින් සිටි හික්කඩුව පොලීසියට ලද තොරතුරකට අනුව ගොඩ්නි සමරවීර ඝාතතනයේ සැකකරුවන් සිව් දෙනා කොටු කර ගත හැකි විය. ඒ මිතුරන්ගේ නිවෙස්වල සැඟව සිටියදීය. ප්‍රධාන සැකකරු ඇතුළු සැකකරුවන් පොලීසිය හමුවේ මේ පිළිබඳ පාපොච්චාරණය කරමින් කියන්නේ මෙවන් කතාවකි.

‘අපිට ගොඩ්නි මාමව මරන්න කිසිම හේතුවක් නෑ සර්. පරණ කතාවක් ඇදලා අරන් අපිත් එක්ක සණ්ඩු කෙරුව මාමගේ පුතා එක්කයි අපිට කේන්තිය තිබුණේ. මාමට වැදුණේ එයාට දමලා ගහපු පිහි පාර සර් . . .’ අවාසනාවකට ඒ පිහි පහරේ ඉලක්කය වී ගොඩ්නි මිය ගියේය. ගොඩ්නි පිහි පහර කාගෙන ඇද වැටෙන විට පිටස්තරින් ඒ නිවෙසට ඇතුළුව සිටි ගොඩ්නිගේ ඥාති පුතුන් ඇතුළු සැකකරුවන් පැන යන්නේ ද සිදු වූ අපරාධයේ බරපතලකම දැනගෙනම විය යුතුය.

ගොඩ්නි සමරවීර ඝාතනයට අත් අඩංගුවට ගත් සිව් දෙනාගෙන් දෙදෙනකු ඊට කෙළින්ම දායක වී ඇති බවත් අනෙක් දෙදෙනාව අත් අඩංගුවට ගෙන ඇත්තේ එම සැකකරුවන් දෙදෙනාට ආධාර අනුබල දීමේ වරදට බවත් පොලීසිය කියයි.මිය ගිය ගොඩ්නි ඒ ප්‍රදේශයේ සිටි සමාජ සේවකයෙකි.

පිටස්තරින් පැමිණි ගොඩ්නිගේ නිවෙසට ඇතුළු වූ සැකකරුවන් අතින් පහර කෑමට ලක්වීමෙන් ගොඩ්නිගේ දියණියකට ද තුවාල සිදුව ඇති බවත් පොලීසිය කියයි. අධිකරණයට ඉදිරිපත් කෙරුණු සැකකරුවන් සිව් දෙනා එළැඹෙන 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

ගාල්ල භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චන්දන ගලප්පත්තිගේ අධීක්ෂණය යටතේ ගාල්ල ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරි සතිෂ් ගමගේ ගේ උපදෙස් මත හික්කඩුව පොලීසියේ ස්ථානාධිපති චානක ද සිල්වා ප්‍රමුඛ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ලක්මාල් සමඟ උප පරික්ෂකවරුන් වන පතිජීව සහ වේලාතන්ත්‍රි ද සැරයන්වරුන් වන 52035 ගුණරත්න, 22602 කපිල, 28017 ඩයස් ද කොස්තාපල් 58918 අජිත් මේ පිළිබඳ වැඩිදුර විමර්ශනවල නිරතව සිටියහ.