බණ්ඩාරගම ගුරුවරිය මරලා නැහැලු... වස බීලලු?

බණ්ඩාරගම ගුරුවරිය මරලා නැහැලු... වස බීලලු?

"බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචි ගුරුවරියක් අබිරහස් ලෙස ඝාතනය කර ඇත."

පසුගිය දහතුන්වැනි සඳුදා දහවල් වරුවේ ගුවන් විදුලි හා රූපවාහිනී නාලිකා හා මුද්‍රිත මාධ්‍ය සිය ප්‍රවෘත්ති විකාශ වලින් මෙම තොරතුරු හෙළි කළේය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය මාධ්‍ය වෙත නිකුත් කළ නිවේදනයේ සඳහන් වුයේ ඇයගේ දෙඅත් ගැටගසා තිබු බවත් ඇය අබිරහස් ලෙස මියගොස් සිටි බවත්ය.

පදිංචිව සිටි නිවෙසේ සිට මීටර් පනහක් පමණ දුරින් පිහිටි ඔවුන්ටම අයත් පාළුවට ගිය නිවෙස පිටුපස ඇය උඩුබැලි අතට වැටී මියගොස් සිටියාය. ඉහළට එසවී තිබු ඇයගේ දෑත් සුදු පැහැ රෙදි කඩකින් ගැටගසා ඇති බවක් දක්නට ලැබිණි.

එලෙසම ඇය වැටී සිටි ස්ථානයට මඳක් දුරින් රතුපාට දියරයක් සහිත කුඩා ප්ලාස්ටික් බෝතලයක් ද බත් සහිත ඉටිකොළයක් සහ කුඩා විදුලි පන්දමක් ද තිබී හමුවිය. මේ සියල්ලම මෙම නිවැසියන්ට අයත් ඒවා නොවන බව තහවුරු විය.

එලෙසම උඩුබැලි අතට වැටී සිටි ගුරුවරියගේ කටින් සෙම වැනි ද්‍රව්‍යයක් ගලා ගොස් තිබු අතර දෙකන් වලින් රුධිරය ගලා ගිය බවක් නිරීක්ෂණය විය.

ඇය මියගොස් සිටි ස්ථානයට හොරණ වැඩබලන මහේස්ත්‍රාත් පුෂ්පා කන්නංගර මහත්මිය පැමිණ මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත් වූ අතර හොරණ අපරාධ නිල සුනඛ ග්‍රේරෝ ද කැඳවා තිබිණි.

ඉව ඇල්ලීමට දීම සඳහා මළ සිරුර අසල බොහෝ දේ තිබිණි. එහෙත්... ඒවා ඉව කළ ග්‍රේරෝට සැකකටයුතු ඉලක්කයක් කරා ගමන් කිරීමට හැකිවුයේ නැත.

මළ සිරුර කපා පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා වාර්ථාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වැඩ බලන මහේස්ත්‍රාත් වරිය නියෝග කළාය. ඒ අනුව මළ සිරුර පානදුර රෝහල් මෘත ශරීරාගාරය වෙත යොමු කැරිණි.

ඇයගේ සිරුර කපා පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වු අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා නිකුත් කළ වාර්ථාවේ මරණයට හේතුව ලෙස විවෘත තීන්දුවක් ලබා දී තිබිණි. එලෙසම වස ශරීරගතවී ඇති බවද එහි සඳහන් විය. එහෙත්... ඇය මරා දමා ඇති බවක් වාර්ථාවේ සඳහන්ව නොතිබිණි.

මෙලෙස මිය ගියේ මොරගහහේන පොලිස් වසමේ වැල්මිල්ල, හාලපිටිය රණවිරු මාවතේ පදිංචිව සිටි කොණ්ඩාචාරිගේ මංගලිකා නම් වු පනස් අට හැවිරිදි ගුරුවරියකි.

දෙදරු මවක වන ඇය බණ්ඩාරගම, පනහවත්ත ශ්‍රී ස්වර්ණජෝති විදුහලේ ප්‍රාථමික අංශයේ ගුරුවරියකි.

ඇයගේ මිය යාම දුටු සැනින් පෙනී යන්නේ සාහසික ක්‍රියාවක් බවය. එහෙත්... පරීක්ෂණ කරගෙන යාමේදී එය සාහසික ක්‍රියාවක් නොවන බව හෙළිවිය. ඇයගේ දෑත් උඩට කොට ගැට ගසා තිබු බව මුලින් නිකුත් වූ පොලිස් වාර්ථාවේ පවා සඳහන්ව තිබිණි.

එහෙත්... පසුව හෙළිවුයේ ඇයගේ දෑත් ගැටගසා නොතිබුණ බවත්, ඇය වැටී සිටි ස්ථානයේ දෑත් අසල සුදු පැහැ කමිසයක කොටසක් වැටී තිබුණ බවත්ය.

වැල්මිල්ල ප්‍රදේශයේ පිහිටි නිවෙසේ ඇය පදිංචිව සිටියේ සැමියා සහ දරු දෙදෙනාද සමඟය. සැමියා විශ්‍රාමික ගුරුවරයෙකි. ඇයට විශ්‍රාම යාම සඳහා වසර දෙකක පමණ කාලයක් ඉතිරිව තිබිණි.

දන්නා කාලයක සිට ඇය උදේ හතර වෙද්දී නින්දෙන් පිබිදීමට පුරුදුව සිටියාය. ඒ ගෙදර දොර වැඩ, දරුවන්ගේ හා සැමියාගේ වැඩ කටයුතු ඉටුකොට ආහාර ද පිළියෙළ කොට නියමිත වේලාවට පාසලට යාමට අවශ්‍ය වූ නිසාය.

සිද්ධිය වු දින අලුයම් කාලයේ අහම්බෙන් මෙන් පිබිදෙන සැමියා දකින්නේ බිරිය ඇඳෙහි නොවන බවය. සැමියා මෙලෙස ඇහැරී තිබුණේ බිරිය උදේට අවදිවන වේලාවට පෙරය. වෙන කිසි දිනෙක නොවු ලෙස අලුයම් කාලයේ බිරිය ඇඳෙහි නොසිටීම පිළිබඳ සැමියාගේ සිතට කුතුහලයක් දැනුනේ කුමන හේතුවක් නිසාදැයි හෙළි වී නැත.

එහෙත් .... ඇය නොමැති බව දුටු ඔහු වහා කාමරයෙන් පිටව මුලුතැන්ගෙට ගොස් ඇය සිටී දැයි බැලුවේය. එහෙත් ඇය පෙනෙන්නට නැන.

අනතුරුව ඔහු ගියේ වැසිකිළිය දෙසටය. ඇය වැසිකිළියේ සිටින බවක් ද පෙනෙන්ට නැත. ඉන් කලබලයට පත් ඔහු වහා නිවෙසට පැමිණ නිදා සිටි පුතාට කතා කොට මව අතුරුදන් බව දැනුම් දුන්නේය. පියාගේත් සහෝදරයාගේත් කටහඬ ශබ්දයට නිදා සිටි දියණිය ද ඇහැ ඇරී පැමිණි අතර තිදෙනාම එක්ව මංගලිකා සෙවීම ආරම්භ කළහ.

නිවෙස අවට හොඳින් සෝදිසි කළ ද ඇය පෙනෙන්නට සිටියේ නැත. ඔවුන්ගේ නිවෙස පිහිටි ගෙවත්තේම නිවෙසේ සිට මීටර් පනහක් පමණ දුරට වන්නට කුඩා නිවෙසක් පිහිටා ඇත. එහි කිසිවකු පදිංචි නොවන බැවින් පාළුවට ගොසනි. පුතා ගේ සෝදිසියට ලක්වුණේ එම පාලුවට ගිය නිවෙස පිහිටි ප්‍රදේශයයි.

එලෙස මව සොයා ගිය පුතා පාළු නිවෙස පිටුපස සැකකටයුතු යමක් සිදුව ඇති බව දුටුවේ විදුලි පන්දම් එළියෙනි. එලෙස ඔහු දුටුවේ සිය මව එනම් මංගලිකා නිවෙස පිටුපස උඩුබැලි අතට වැටී සිටින අයුරුය.

දුටු දසුනින් කලබලයට මෙන්ම දුකට පත් ඔහු කෑ ගසමින් පියා අමතා මව වැටී සිටින බව දන්වා සිටියේය. පියාත්, සහෝදරියත් එම ස්ථානයට දිව ආ අතර පුතුගේ එකම බලාපොරොත්තුව වුයේ කෙසේ හෝ මව යථා තත්ත්වයට පත්කර ගැනීමය. ඔහු... මවගේ පපුව පිරිමදින්නට ඇත්තේ එලෙස කළහොත් මවට හුස්ම වැටෙනු ඇතැයි සිතා විය යුතුය.

ඒ වන විට ද ඇයගේ මුවින් සුදු පාටට හුරු සෙම වැනි ද්‍රව්‍යයක් ගලාගොස් තිබිණි. පුතා පපුව පිරිමදිද්දී ඇයගේ මුවින් සෙම වැනි ද්‍රව්‍ය තව තවත් ගලා එන්නට විය. පවුලේ අය මොරගහහේන පොලිසියට මෙම සිද්ධිය දැනුම් දෙන්නේ ඉන් අනතුරුවය.

සිද්ධිය පිළිබඳ පැවැති පරීක්ෂණ අවසානයේ එක් නිගමනයකට එළැඹීමට සියල්ලන්ටම හැකි වූහ. ඒ... ඇය වස පානය කොට සිය දිවි නසාගෙන ඇති බවයි. මෙය නිශ්චිත වශයෙන්ම දැන ගැනීම සඳහා ඇගේ සිරුරේ කොටස් රස පරීක්ෂකවරයා වෙත යොමු කරන ලදී.එය එසේ වුවද ඇය සිය දිවි නසා ගත්තේ කුමන කරුණක් නිසා ද යන්න තවමත් හෙළි නොවු රහසකි. ඇයට මේ අයුරින් දිවි නසා ගැනීමට තරම් තිබු ප්‍රශ්න මොනවාද යන්න දන්නේ ඇයම පමණි. ඒ ගැන දන්නා අය ඇතත් කවදාවත් තොරතුරු හෙළි නොකරනු ඇත. එබැවින්... ඇයගේ සිය දිවි නසා ගැනීමට හේතුව ද සදාකාලික අබිරහසක් වනු ඇත.

පානදුර කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන් රත්නායක, සහකාර පොලිස් අධිකාරී පී.ජේ. නන්දන යන නිලධාරීන්ගේ උපදෙස් මත මොරගහහේන පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති පොලිස් පරික්ෂක ඉන්දික ඇතුලු කණ්ඩායමක් පරීක්ෂණ වල නිරත විය.